Colombo, Democracy, Features, Human Security, Life quips, Media and Communications, Peace and reconciliation, Politics and Governance

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත

පසු ගිය 11 වැනි දා, ‘ඉගිලෙන මාළුවෝ’ චිත‍්‍රපටය බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ දී ප‍්‍රදර්ශනය කරන ලදි. ඒ, එහි පැවැත්වීමට නියමිතව තිබූ ප‍්‍රංශ සිනමා උළෙලක ආරම්භක දර්ශනයක් වශයෙනි. තරුණ සිනමාකරුවෙකු වන සංජීව පුෂ්පකුමාරගේ නිර්මාණයක් වන මෙය, ජාත්‍යන්තර සිනමා උළෙලවල් ගණනාවක ප‍්‍රදර්ශනය කොට ඇති අතර එයින් සමහරක දී සම්මානයට ද පාත‍්‍ර වී ඇත. මේ චිත‍්‍රපටයට එරෙහිව රජයට සම්බන්ධ පුද්ගලයන් දෙතුන් දෙනෙකුගෙන් එල්ල වූ චෝදනා මත, බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා බලධාරීන් විසින්, ඉහත කී සමස්ත සිනමා උළෙලම නවතා දැමූ බව වාර්තා වෙයි. මා මේ චිත‍්‍රපටය තවම නරඹා නැති නිසා එහි ගුණාගුණ කීමේ හැකියාවක් දැනට නැත.

Image Credit: sanjeewafilm.com
Image Credit: sanjeewafilm.com

කෙසේ වෙතත්, මේ මොහොතේ මෙම චිත‍්‍රපටයට වැදගත්කමක් පැවරෙන්නේ එහි තිබිය හැකි සිනමාත්මක හෝ කලාත්මක වටිනාකමක් මත නොව, මේ රටේ පාලකයන් විසින් එම චිත‍්‍රපටය තමන්ගේ දේශපාලන දාං ලෑල්ලේ එක් ඉත්තෙකු වශයෙන් පාවිච්චි කළ යුතු යැයි හදිසියේ තීන්දු කිරීම මත ය.

මීට පෙර සිටි පාලකයන් දැන සිටියාට වඩා, පහසුවෙනුත්, සාර්ථක අන්දමිනුත් දෘෂ්ටිවාද වෙන්දේසි කළ හැකි බව තේරුම්ගෙන සිටීම, මහින්ද රාජපක්ෂ රෙජිමය ඊට පෙර පැවති පාලකයන්ගෙන් වෙනස් කොට දක්වන ප‍්‍රධාන ලක්ෂණයකි. හැම මාසයකම මිනිසුන්ගේ ජීවිත නැති කෙරෙන අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග උගුල් පද්ධතියක් පවතින රටක, කඩා වැටෙන ගුවන් පාලම්, නැව් නොඑන වරායවල්, අහස්යානා නොබසින ගුවන් තොටුපොළවල්, නෙළුම් පොකුණු සහ ආසියාවේ උසම කුළුණු ගොඩනැගීමේ මමංකාරය ප‍්‍රමුඛත්වයට ගැනීමත්, බුදුන් වහන්සේගේ සිට ඕනෑම ශාස්තෘවරයෙකුගේ ධර්මය පදික වේදිකාවේ විකිණීමත් සිය දේශපාලනය කරගත් වර්තමාන රෙජිමය, කලාවට යහතින් ඉන්ට ඉඩ දෙන්නේ නැත.

කොටි සංවිධානය හමුදාමය වශයෙන් පරාජය කරනු ලැබීමෙන් උපයාගත් හයිය, ඉහත කී දෘෂ්ටිවාදය ලාභදායී දේශපාලනික වෙළඳාමක් වශයෙන් පවත්වා ගැනීම පහසු කොට තිබේ. ‘මව්බිම’, ‘ගෞතම බුදුන්ගේ දේශය’, ‘රණවිරුවා’, ‘දේශපේ‍්‍රමය’ සහ ‘භෞමික අඛණ්ඩතාව’ වැනි දෘෂ්ටිවාදී සංකල්පීයකරණය තුළින් ජනිත කරගන්නා, ‘බටහිර’ සහ ‘අන්‍යාගමික කුමන්ත‍්‍රණ’, ‘දේශද්‍රෝහීන්’ සහ ‘එන්.ජී. ඕ. කොටි’ ලේබලය සහිත ‘අනෙකාව’ මේ වන විට, රටේ දකුණුකරේ ජනප‍්‍රිය කතිකාව තුළ භෞතීස්ම කොට තිබේ. මේ තත්වය තුළ, කොටි සංවිධානය සමූල ඝාතනය කිරීම තුළින් රාජපක්ෂ රෙජිමයට ක්ෂණිකව ලබාදුන් වීරත්වයේ වාසිය එක දිගට නඩත්තු කිරීම දුෂ්කර කටයුත්තක් බව, දැන් දැන් පාලකයාට වැටහේ. එවිට, වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ කායික සිරුර නිරුද්ධ වීම කෙසේ නම් කතාවේ සමාප්තිය වන්න ද?

නැත, ප‍්‍රභාකරන්ව ‘ජීවත් කැරැවිය’ යුතුය.

ජීවත්ව සිටින මිනිසාට වඩා ඒ මිනිසාගේ හොල්මනට මිනිස්සු බිය වෙති. ජීවත්ව සිටියදී පවා එම මිනිසාව රකුසෙකු වශයෙන් සාර්ථකව අර්ථගන්වා ඇතිනම්, ඔහුගේ හොල්මනට මිනිස්සු තවත් බිය වෙති. මෙවැනි දෘෂ්ටිමය උගුලකට රටක සමස්ත ජනතාවක් හසුකරගත් විට, එය කෛරාටික කට්ටඩියන්ගේ පාරාදීසයක් වන්නේය. තොවිල්පවිල්, හදිහූනියම් සහ දෙහිකැපීම්, වැල නොකැඞී එන්නේය.

ඔව්, පාලකයාගේ පැත්තෙන්, ප‍්‍රභාකරන්ව ‘ජීවත් කැරැවිය’ යුතුය.

රජයේ නිලධාරියෙකු වන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ, ලංකාවේ වත්මන් දේශපාලනයේ බලනහරය වන් ජාතික ප‍්‍රශ්නය ප‍්‍රතික්ෂේප කරමින්, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන ලෙසත්, උතුරට මැතිවරණයක් අවශ්‍ය නැති බවත් කියයි. එම ගුණ්ඩුව ගිලින ඇමරිකාවේ සහ යුරෝපයේ යහතින් වෙසෙන අන්තවාදී දෙමළ ක‍්‍රියාකාරිකයෝ, එවිට ඊලාම් රාජ්‍යය තමන්ගේ එකම අභිලාෂය බව නැවතත් ප‍්‍රකාශයට පත්කරති.

ප‍්‍රභාකරන්ගේ මිනිස් සිරුර නිරුද්ධ කළ ගෝඨාභය රාජපක්ෂ, දැන් ප‍්‍රභාකරන්ගේ හොල්මනට පණ දෙන්නේ එලෙසිනි. ‘‘අන්න පේනවා ද? කොටි තවම යහතින්..’’ බටහිරට ඇඟිල්ල දිග් කරමින්, ජාතිවාදී සහ ජාතිකවාදී නඩය බෙරිහන් දෙති. දේශපාලන විසඳුමක් අවශ්‍ය නැතැ යි කියන විටම, අනිත් පැත්තෙන් කියැවෙන්නේ, යුද්ධයක් අවශ්‍ය විය හැකි බවයි. මෙය, නන්දිකාදල් කලපුවේ අවසන් කෙරුණු යුද්ධය වැනි එකක් නොව, ඊළඟ පරම්පරාව එවැන්නකට නැවත මුහුණදෙන තෙක්, මේ පරම්පරාව ඒ සඳහා දෘෂ්ටිවාදීමය වශයෙන් සන්නද්ධ කිරීමේ, නොනවතින දෘෂ්ටිවාදී යුද්ධයකි.

එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, බොදුබල සේනා, රාවණා බලය, සිංහල රාවය ඈ, කී නොකී අන්තවාදී සකල බලවේගවල තොවිල්පවිල් කරලියට එයි. එවිට, සොල්දාදුවෙකුගේ නිල ඇඳුමක් ළඟින් සිනමා කැමරාවක් ගියොත්, එය, ‘රණවිරු අපහාසයක්’ වන්නට පිළිවන. පාලකයන් ගැන කෙරෙන ඕනෑම විවේචනයක්, ‘බටහිර කුමන්ත‍්‍රණයක්’ හෝ ‘එන්.ජී. ඕ, ව්‍යාපෘතියක්’ වන්නට පිළිවන. ඒ මගින් පාලකයා ඔබට කියන්නේ, අවනත වන්න, නිශ්ශබ්ද වන්න යන්නයි.

මේ සඳහා විවිධ මාර්ග, තැනේ හැටියට උපයෝජනය කෙරේ. ගොරහැඩි සහ බිහිසුණු සුදු වෑන් උපරිමයේ සිට, අල්ලස් හෝ දූෂණ විමර්ශන සඳහා ‘නීත්‍යානුකූලව’ කුදලා ගැනීම සහ තෝරාගත් පුද්ගලයන්ට සහ සංවිධානවලට එරෙහිව වෙනත් ආකාරයෙන් ජනතාව උසි ගැන්වීම ආදිය එහි දී අපට දැකගත හැකිය.

‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය, කොටි සංවිධානය ප‍්‍රමුඛ බටහිර ඩයස්පෝරාවේ මුදලින්, ලංකාවේ රණවිරුවන්ට අපහාස කිරීම සහ සිංහල-බෞද්ධ සංස්කෘතිය වැනසීම සඳහා නිපදවන ලද චිත‍්‍රපටයක් බව, ස්වාධීන රූපවාහිනී නාලිකාව (අයි.ටී.එන්) ගිය ඉරිදා සිට දිනපතාම තවමත් (18) රටට කියයි. මෙහි නිෂ්පාදකවරුන්ට මේ මුදල් එල්.ටී.ටී.ඊ. සංවිධානය හරහා සොයා දීමාදියෙන් සම්බන්ධීකරණ කටයුතු කෙළේ, ‘‘ගාමිණී වියන්ගොඩ නැමැත්තෙකු’’ බව, මගේ ඡායාරූපයක් ද පෙන්වමින්, මෙම නාලිකාව පුන පුනා කියයි. මෙවැනි පුද්ගලයන් ගැන තවත් තොරතුරු අනාවරණය කිරීමට ‘‘ජීවිත පරදුවට තබමින් වුව’’ තමන් නොපසුබට වන බවත්, එම නාලිකාව අපට දැන ගැනීමට සලස්වයි.

රාජපක්ෂ පාලනය ‘මාධ්‍ය සදාචාර පද්ධතියක්’ රටට ගිල්ලවන්නට බැලූවේය. අයි.ටී.එන් නාලිකාවේ ප‍්‍රවෘත්ති ආවරණයත්, ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයාගේ කියුම් දෙසත් බලන විට, මාධ්‍ය සදාචාරයකට කලින්, ශීලාචාර සමාජයක තිබිය යුතු අවම මානව ගෞරවය කුමක් දැයි මේ ආයතනවලට සහ පුද්ගලයන්ට කියා දිය යුතුව තිබේ. රජයට සම්බන්ධ දේශපාලඥයන්ගේ නොමනා කල්ක‍්‍රියාවන් ගැන, නීතියෙන් ‘ඔප්පු වීමට’ පෙර විනිශ්චයක් දීම ප‍්‍රතික්ෂේප කරන මෙවැනි රාජ්‍ය බලධාරීන්, ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටයත් නොබලා ඒ ගැන විනිශ්චයක් දීමත් ඊට අදාළව මා කොටි සම්බන්ධීකාරකයෙකු වශයෙන් හංවඩු ගැසීමත්, ආණ්ඩුවේ මාධ්‍ය සදාචාරයේ නිරුවත මහ දවල් හෙළි කරන්නක් මිස වෙන කවරක් ද?

පහත සඳහන් කරුණු, පාඨකයන්ගේ නැවත දැන ගැනීම සඳහා ය: ජාතික ප‍්‍රශ්නය සම්බන්ධයෙන් සහ කොටි සංවිධානය සම්බන්ධයෙන් මගේ මතිමතාන්තර රහසක් නොවේ. රටේ ජාතික ප‍්‍රශ්නයක් ඇති බවත්, එය විසඳිය හැක්කේ දේශපාලන විසඳුමකින් පමණක් බවත්, කොටි සංවිධානය බිහි වුණේ එවැනි දේශපාලන විසඳුමක් නැති තත්වයක ප‍්‍රතිඵලයක් වශයෙන් මිස, කොටි සංවිධානය, ප‍්‍රශ්නයේ හේතුව නොවන බවත්, මගේ ලේඛනවල සවිස්තරාත්මකව කියා තිබේ. යුද්ධයේ විනාශය සම්බන්ධයෙන් කොටි සංවිධානයත් වගකිව යුතු බව, යුද්ධය අවසානයේ ආපසු හැරී බැලීමෙන් පසුව මම කීවෙමි. ඒ නිගමනයට මා පැමිණියේ, අවසාන වසර ගණනාව තුළ කොටි සංවිධානය ගෙන ගිය අදූරදර්ශී සහ ආධානග‍්‍රාහී ක‍්‍රියා කලාපය (මාවිල්ආරුව) සැලකිල්ලට ගැනීමෙනි.

යුද්ධයේ අවසානය, සාමයේ උදාවක් වීමට නම්, ලැබුවා වූ යුද ජයග‍්‍රහණය තමන්ගේ සන්තකයක් කර නොගෙන, රටේ සන්තකයක් බවට පරිවර්තනය කළ යුතුව ඇති බව පාලකයන් තේරුම්ගත යුතුය. රටේ සන්තකයක් යනුවෙන් අදහස් කරන්නේ, සිංහල-බෞද්ධයාට සීමා නොවූ, දෙමළ සහ මුස්ලිම් ආදී සියළු ජනවර්ගවලට ද බෙදාහදාගත හැකි, සන්තකයකි. දේශපාලන විසඳුමක හරය එයයි.

අවාසනාව වන්නේ, එවැනි දැක්මක් රාජපක්ෂලාට නොමැති වීමයි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාලකයන්ගේ ප‍්‍රතිපත්ති තුළ දක්නට ලැබෙන දෙබිඩි පිළිවෙත් ඊට දෙස් දෙයි. මෙසේ කීමෙන් මා ‘කොටියෙකු’ වන්නේ නම්, එම ලේබලය සහ මගේ මතය අහසට පොළොව සේ වෙනස් බව කීම මිස මට කළ හැකි වෙන දෙයක් නැත. කෙසේ වෙතත්, ආණ්ඩුව යුද්ධ කළ කොටි සංවිධානය සමග කිසි සම්බන්ධයක් අතීතයේදීවත්, වර්තමානයේදීවත් මට තිබී නැති බවත්, ‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා සහ ඊට ඇතැම් කලාකරුවන් පෞද්ගලිකව හැඳිනීම හැරුණු කොට, ඒ චිත‍්‍රපටය සමග වෙනත් කිසි සම්බන්ධයක් මට නැති බවත් අවධාරණය කළ යුතුව තිබේ.

Gamine Viyangoda 2ගාමිණී වියන්ගොඩ | Gamini Viyangoda