මහින්දගේ ‘‘මම සුදනා’’ සහ ‘‘මාධ්‍ය ආචාර ධර්ම පද්ධතිය’’: ඊසොප්ගේ උපමා කතා?

BUP_DFT_DFT-123

රාජපක්ෂගේ ආණ්ඩුව, සකල මහජන මතයත්, සකල මුද්‍රිත, විද්‍යුත් හෝ සමාජයීය මත සම්පාදකයයනුත් තමන්ගේ පරම පාලනයට නතු කර ගැනීමට දිගටම වැඩ කරනු ඇත. ඔහු සහ ඔහුගේ සහෝදර, ආරක්ෂක ලේකම් අතර ඇති ‘‘මං හොඳයි, ඌ නරකයි’’ නැමැති ආදිතම නූල් සූත්තරයට තවමත් සමාජ වලංගු භාවය තිබේ. යුද්ධයේ දී රඟපෑ භූමිකාව හේතුවෙන් මහජනතාවගෙන් කොටසකගේ සහාය ආරක්ෂක ලේකම්වරයාට ඇති බව සැබවි. කොළඹ ලස්සණ කිරීමේ ඔහුගේ නගර සංවර්ධන ව්‍යාපෘතිය නිසා අමතර ප‍්‍රසාදයක් ද ඔහුට හිමිවෙයි.

සංවර්ධනයේ සිවිල් අංශ තුළට ත‍්‍රිවිධ හමුදා සහභාගීත්වය ලබා ගැනීම තුළින් ජනිත කෙරෙන භීතිය හේතුවෙන්, දැනට දකින්ට ඇති තත්වයට වඩා අනතුරුකාරී අනාගතයක ශක්‍යතාව ගැන සැක කරන බුද්ධිමත් ජන කොටසක් ද සිටිති. මෙකී භීතිය නැමැති සාධකය යථාවක් මිස හිතින් ගත්තක් නොවේ. ආරක්ෂක ලේකම්වරයා පිළිබඳ බිය ආණ්ඩුවේ සේම විපක්ෂයේ බොහෝ දෙනා තුළ ද ඇති බව තවත් බොහෝ අය කියති. ඒ පසුපස ඇති හේතුව, දේශපාලනයේ සහ පොදුජන ජීවිතයේ සෑම ක්ෂේත‍්‍රයක් කෙරෙහිම ඔහු දක්වන, බුරුලක් නැති අදහස් සහ ආකල්පයන් ය. දේවල් බලාත්මක කිරීමේ සමස්ත පරාසය ඔහුගේ යටතේ පවතින බවත්, අවශ්‍ය යැයි ඔහු සිතනන්නේ නම් ඕනෑම අවස්ථාවක එම බලය පාවිච්චි කිරීමට ඔහු නොපැකිළෙන බවත් ඔවුහූ දනිති. තම ක‍්‍රියාකාරකම් යොමුවන්නේ ජාතික සහ මහජන ආරක්ෂාව සඳහා බව ඔහු නොයෙක් වර කියා තිබේ. දැන්, එම තත්වය මාධ්‍යයට බලපාන්නේ කෙසේද?

පුවත්පත් සංගමය (ප‍්‍රකාශන), ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව සමග සමගාමීව කටයුතු කරන කර්තෘ සංසදයෙන් සංගෘහිත මාර්ගෝපදේශ මාලාවකට අනුගත වීමට ශී‍්‍ර ලංකාවේ මුද්‍රිත මාධ්‍ය බැඳී සිටී. සාමාන්‍ය සිවිල් අපහාස නීතියට අනුබද්ධ නීතිරීති ඊට ඉහළින් බලාත්මක වන බව අමුතුවෙන් කිව යුතු නැත. පුවත්පත් මණ්ඩල පනත මේ සාකච්ඡාවෙන් බැහැර කෙරෙන්නේ හිතාමතාමයි. හේතුව, ඊට කොමසාරිස්වරුන් පත්කරන්නේ ආණ්ඩුවෙන් වන නිසා ය. මාධ්‍ය සඳහා ආණ්ඩුවෙන් පනවන ආචාර ධර්ම පද්ධතියකට එරෙහි වන සමස්ත තර්කයේ පදනම වන්නේ, නිදහස් මාධ්‍ය සහ විසම්මුතිය ඉවසීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ සද්භාවය පිළිබඳව පවතින සැකයයි. ඉහත කී ‘භීතියේ’ සාධකයත් ඊට එක් වීමෙන්, ශ‍්‍රී ලංකාවේ මාධ්‍යවේදීන් අතරේ ස්වයං-වාරණය සහ මන්දෝත්සාහය බිහිකොට ඇත. එය කවුරුත් පිළිගත යුතු සත්‍යයකි. ඒ ධාරණා ද්වයම රටේ වෘත්තීය මාධ්‍යවේදීන් අතරේ තදින්ම මුල්බැසගෙන තිබේ.

තොරතුරු දැන ගැනීමට ජනතාවට ඇති අයිතියේ මූලධර්මය මත දැඩිව පිහිටා කටයුතු කළ සෑම මාධ්‍යවේදියෙකුටම අතීතයේ දී ඒ සඳහා වන්දියක් ගෙවීමට සිදුව තිබේ. බොහෝ මාධ්‍යවේදීන් ඝාතනය කෙරුණේ, පැහැරගැනුණේ සහ ප‍්‍රහාරයට ලක්වුණේ ද, තවත් පිරිසක් රට හැර පළායාමට පෙළඹුණේ ද මන්දැ යි අමුතුවෙන් විස්තර කළ යුතු නැත. අතීත වාර්තා ඊට මොනවට දෙස්දෙයි. එහෙත්, මාධ්‍ය සහමුලින්ම පාලනයට නතුකරගෙන ඇති ආණ්ඩුවකට, ‘ආචාර ධර්ම පද්ධතියකුත්’ මාධ්‍ය ප‍්‍රජාවට ගිල්ලන්නට අවශ්‍ය කරන්නේ මන්ද යන ප‍්‍රශ්නයට පිළිතුරක් අවශ්‍ය කෙරේ. එය, මිනී පෙට්ටියේ අවසාන ඇනය ගැසීමක් විය නොහැකි ද? මාධ්‍ය වෘත්තියට එයින් කුමක් සිදුවනු ඇත් ද? මේ ආචාර ධර්ම පද්ධතියේ ඉලක්කය වන්නේ, තවමත් නොනැමී සිටින අතලොස්සක් මාධ්‍යවේදීන්වත් මැඩපැවැත්වීම ය යන්න, මාධ්‍ය ප‍්‍රජාවේ බොහොමයකගේ අනුමානය යි.

‘ශ‍්‍රී ලංකා මාධ්‍යවේදී වෘත්තිය සමිතිය’ පසු ගිය 17 වැනි දා යෝජිත ආචාර ධර්ම පද්ධතිය පිළිබඳ සංවාදයක් ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීය. එහි ප‍්‍රධාන අමුත්තා වුණේ, මාධ්‍ය ඇමති සහ කැබිනට් ප‍්‍රකාශක, කෙහෙලිය රඹුක්වැල්ල යි. ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ ලේකම් චරිත හේරත්, වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍ර ජයරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති නායක කේ. ඞී. ලාල්කාන්ත සහ ශ‍්‍රී ලංකා මාධ්‍යවේදී වෘත්තීය සමිතියේ සභාපති මන්දනා ඉස්මායිල් සංවාදයට සහභාගී වූහ. ප‍්‍රශ්නෝත්තර සැසිවාරය සඳහා බොහෝ දෙනා සහභාගී වුවත්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී එම්. ඒ. සුමන්දිරන්ගේ කෙටි කථනය, ඒ සියල්ලන්ගේ අදහස් කුළුගන්වාලීය.

සංවාද මණ්ඩපයට කලින්, ජ්‍යෙෂ්ඨ නීතිඥ වැලිඅමුණ, මාධ්‍ය මූලධර්ම සරළ භාෂාවෙන් පැහැදිළි කෙළේය. යම් වාර්තාවක සත්‍යාසත්‍යතාව මුලින් පිරික්සා බලන මාධ්‍යවේදියා එය ලිවීමට පෙර ඊට අදාළ දත්ත නීරික්ෂණය කරන බව ඔහු කීය. එබැවින් උපචාර සංග‍්‍රහයක් ඇති කරගත යුත්තේ වෘත්තීය ක්ෂේත‍්‍රයෙන්ම මිස, පිටතින් පනවන නීතිරීති ආශ‍්‍රයෙන් නොවන බව ඔහු පෙන්වා දුනි. ආචාර ධර්ම සංග‍්‍රහයක් යෝජනා කිරීමේ ආණ්ඩුව සද්භාවය සහ ඒ සඳහා විශේෂයෙන් මේ මොහොත තෝරා ගැනීම කුකුසට කාරණයක් බව චන්ද්‍ර ජයරත්නගේ අදහස විය. එහෙත්, ඇමති කෙහෙලිය රඹුක්වැල්ලගේ කියා සිටියේ, මාධ්‍ය කර්මාන්තයට අත්‍යාවශ්‍ය මාර්ගෝපදේශනයක් වශයෙන් මිස නීතියක් වශයෙන් මේ ආචාර ධර්ම පද්ධතිය යෝජනා නොකෙරෙන බව යි. කෙසේ වෙතත්, මාධ්‍ය යනු බලගතු අවියක් බව අමාත්‍යාංශ ලේකම්වරයාගේ කටින් පිටවීම, බළලා මල්ලෙන් එළියට පැනීමක් විය. ශ‍්‍රී ලංකාව, මාධ්‍යවේදීන්ට සිය වෘත්තියේ නියැළීම වඩාත් අනතුරුදායක රටක් වශයෙන් වර්ගීකරණය වන බව සමහර විට ඔහුට අමතක වන්නට ඇති.

ප‍්‍රකාශනයේ නිදහසට ආණ්ඩුව ගරුකොට ඇත් දැයි එම්. ඒ. සුමන්දිරන් (බොහෝ කොට මාධ්‍යවේදීන්ගෙන් සමන්විත )එම සභාවෙන් ප‍්‍රශ්න කෙළේය. යාපනේ ප‍්‍රකාශයට පත්වන ‘උදයන්’ පුවත්පත 37 වාරයක් ප‍්‍රහාරයට ලක්ව ඇති බවත්, ඒ සෑම අවස්ථාවක දීම ප‍්‍රහාරකයන් විසින් අවි ආයුධ යොදාගෙන තිබුණු බවත් ඔහු පෙන්වා දුනි. උතුරේ අවි දැරිය හැක්කේ හමුදාවට පමණක් බව ඔහු විස්තර කර දුන් පසු, ‘උදයන්’ පුවත්පතට එල්ල කළ එම ප‍්‍රහාරයන් ප‍්‍රභවය ලබන්ට ඇත්තේ කොතැනින් දැ යි සභාවට පැහැදිළි විය. ජනාධිපතිවරයා ද ඇතුළු දේශපාලඥයන්ට පක්ෂව සහ විපක්ෂව බොහෝ ලිපිලේඛන ලියැවෙන අතර කාටූන් ඇඳෙන බවත් කී සුමන්දිරන්, හැකි නම් ආරක්ෂක ලේකම්වරයාව කාටූනයකට අඳින්නැ යි අභියෝග කෙළේය. තව ද, ජාතික ප‍්‍රතිපත්ති ගැන සහ ආණ්ඩුකරණය ගැන ප‍්‍රසිද්ධියේ කතා කරන එක් රාජ්‍ය නිලධාරියෙකු හැරුණු කොට තවත් කිසි රජයේ නිලධාරියෙකු වෙත් දැ යි ඔහු ප‍්‍රශ්න කෙළේය.

සංවාද මණ්ඩපය තුළ කෙහෙලිය රඹුක්වැල්ල පත්වුණේ දුෂ්කර තත්වයකටයි. ආචාර ධර්ම පද්ධතියක් අවශ්‍යම නම් එය සංගෘහිත විය යුත්තේ මාධ්‍ය ප‍්‍රජාව අතරින්ම ය යන පණිවිඩය, මේ හමුවේ දී ඔහු ලද අත්දැකීම තුළින්, ඔහු ආණ්ඩුවට සන්නිවේදනය කරනු ඇත.

රාජ්‍ය මාධ්‍ය සෑම ආණ්ඩුවකින්ම යොදාගෙන ඇත්තේ තමන්ගේ ප‍්‍රචාරක හොරණෑවක් වශයෙනි. මේ ආණ්ඩුව යටතේ එය තවත් පල්ලම් බැස්සේය. ගුවන් විදුලියක ප‍්‍රධානියෙකු වශයෙන් දැනට කටයුතු කරන, දේශපාලඥයෙකු බවට පත්වූ එක් මාධ්‍යවේදියෙකු උදේට මෙහෙයවන ගුවන්විදුලි වැඩසටහනක් හරහා කියන දෑ අතිශය විසකුරු ය. අවලාදාත්මක ය. එහෙත්, මේ වැඩ සටහනට හෝ ඒ විද්‍යුත් මාධ්‍යාව්දියාට එරෙහිව එක වචනයක් බලධාරීන්ගෙන් මෙතෙක් කියැවී නැත. අංශුමාත‍්‍ර හෝ සත්‍යතාවකින් තොරව, කීර්තිමත් කලාකරුවෙකු අපවාදයට පත්කිරීම ගැන මේ වන විට ස්වාධීන රූපවාහිනිය විවේචනයට ලක්ව තිබේ. පාර්ලිමේන්තු වරප‍්‍රසාදවල ආනුභාවයෙන් තමන්ට එරෙහිව නඩු කීමට කිසිවෙකුට නොහැකි බව දන්නා ආණ්ඩුවේ මන්ත‍්‍රීවරු ගල් පැලෙන බොරු කියති. මෙවැනි පක්ෂාග‍්‍රාහි පුද්ගලයන් විසින් ආණ්ඩුව රකින තාක් කල් සහ ආණ්ඩුවට එරෙහි වන්නන්ව අපවාදයට පත්කරන තාක් කල්, මොනම ආචාර ධර්ම පද්ධතියක්වත් ඔවුන් සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන්නේ නැත.

ඒ තතු කෙසේ වෙතත්, පාර්ලිමේන්තුව හරහා ගෙනෙන ‘ආචාර ධර්ම පද්ධතියක්’ ඇත්තෙන්ම අවශ්‍ය කරන්නේ ද? උත්තරය, කොහෙත්ම නැත යන්නයි. මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැරගෙන යාම, තර්ජනයට ලක්කිරීම සහ පහර දීම ආදී සිදුවිම් ගැන පරීක්ෂණ කරන්නේ නම් සහ එම සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන්නේ නම් ද, ‘තොරතුරු දැන ගැනීමේ කෙටුම්පතක්’ ඉදිරිපත් කරන්නේ නම් ද, රාජපක්ෂ ආණ්ඩුවෙන් යෝජනා කෙරෙන ‘ආචාර ධර්ම පද්ධතිය’ ගැන සාකච්ඡුා කිරීමට පිළිවන. ආණ්ඩුවේ අවංක භාවය ඔප්පු කොට පෙන්විය හැකි ලිට්මස් පරීක්ෂණය එයයි. රටේ නීති ක‍්‍රියාත්මක කිරීමේ සියලූ ආයතන පාලනය කරන මුත්, මාධ්‍යවේදීන් ඝාතනය කළ වැරදිකරුවන් සොයා නොගන්නා හෝ සොයා ගැනීමට අසමත් වන ආණ්ඩුවකට, මාධ්‍ය ප‍්‍රජාව සඳහා වන ආචාර ධර්ම පද්ධතියක් ඉදිරිපත් කිරීමට මොනම සදාචාරමය අයිතියක්වත් නැත.


ලාල් වික‍්‍රමතුංග

———————————————————————————————————————-

013 ජුලි 24 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Mahinda’s Good Cop, Bad Cop & Code of Ethics for Media: Aesop’s Fables? ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්