Image Credit: uktamilnews

ශ්‍රී ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍යද? යන්න මැයෙන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ එකමුතුව පසුගිය 25 දා කොළඹ පුස්තකාල සේවා මණ්ඩලයේදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකදී ‘ප්‍රජාතන්ත්‍රවාදය‘ පිළිබදව අපූරැ කතාවක් අසන්නට ලැබුණි. එම කතාව සිදුකලේ එහි අදහස් දැක්වීමක් කළ ජාතික හෙල උරැමයේ, මාධ්‍ය ප්‍රකාශක නිශාන්ත වර්ණසිංහ මහතා විසිනි. ඔහු ප්‍රකාශ කළේ, ‘‘අපි බලන්න ඕන දේශපාලන විද්‍යාව විතරක් නෙවෙයි, සමාජ විද්‍යාවෙත් සංකල්පයක් තියනවා, ‘දම්වැලක් තියෙන්න ඕන, ඒ වගේම වේවැලක් තියෙන්න ඔන‘, ‘බැදලා තියාගන්න දම්වැල ඕන නේ. නේද? දම්වැල තිබුනට දගලන්න ගත්තොත් ඊට පස්සේ මොකද වෙන්නේ, වේවැලෙන් තරවටු කරන්න ඕන.‘‘ යනුවෙන් ඔහු ප්‍රකාශ කළේ ය.

z_p06-The-Jathika

දැගලුවොත් ගහනවා

දැන් හෙළ උරැමය කියන්නේ. අපි කියන විදිහට හිටපල්ලා නැතිනම් ගහන්න වෙනවා කියාය. වෙනවා නොවෙයි එසේ උනාය. උනා නොවෙයි එසේ කලාය. මෙවැනි උරැමවවල් වල ආශීර්වාදයෙන් දෙමළාව කුඩු පට්ටම් කර දමූ පසුත්, මෙවැනි උරැමවල් අත් නොහරින්නට මැලි වන තමන්ගේ මුග්ධ භාවයේ නිරැවත් කමින් තවමත් දකුණ ගද ගහන බව මෙයින් මනාවට පැහැදිලි වෙයි.

ඒක් පැත්තකින් සිංහල බෞද්ධකම පමණක් උත්කෘෂ්ඨයට නංවමින් ව්‍යවස්ථාවන් නිර්මානය කල වරදින් සිය දහස් ගණන් ලාංකීය මිනිසුන් මැරී වැටෙද්දී ඒ මත හිද සාජ්ජ දැමූ මෙවැනි සංවිධාන අද ද සිදු කිරීමට යන්නේ එවැනි අතීතයකට දෙමළාව නැවත තල්ලු කිරීමය. සිංහලයා සංඛ්‍යාවෙන් වැඩි වූ පමණින් ඔවුන් සිතන්නේ රාජ්‍යෙය් සියලු දෑ තීරණය කළ යුත්තේ ඒ සිංහල බහුතරය කියා ය. එපමණක් ද නොවේ ඒ බහුතරය තීරණය කරන පිළිවෙලට අනෙක් ජාතීන් ජීවත් විය යුතු බවය. ‘අපි කියන විදිහට හිටපල්ලා, නැතිනම් ගහන්න වෙනවා‘ යැයි කියන්නේ ද තමන් තුළ තවමත් මෝරමින් ඇති අධිපතිවාදී සහ අනෙකා මර්දනය කිරීමේ මුග්ධ අභිලාශය ය. පසුගිය 2012 ඔක්තෝබර් 05 දා පැවති විරෝධතාවයකදී, තවත් ෆැසිස්ට් සංවිධානයක් වන බොදුබල සේනාවේ ඥාණසාර භික්ෂුව කීවේ ද ‘අපි කියන විදිහට හිටපල්ලා, නැතිනම් පළයල්ලා‘ කියාය. ඒ බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටය. හෙළ උරැමයේ නිශාන්ත මහතා කියන්නේද එවැනිම අදහසකි. එබැවින් මෙම ප්‍රකාශණ සහ මෙවන් ක්‍රියාත්මක වීම් තුළ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් ගෑවිලාවත් තිබේද? බුද්ධ රාජ්‍ය යනු මෙයද? නමුත් මොවුන් සමග හිටගන්නා ඇතැම් බෞද්ධයන් ද මෙසේ කියා අවසන් වන විට සාධු කාර දෙයි. ‘සාධු‘ බවේ ඇති ‘යහපත‘ පිළිබදවත් අඹමල් රේනුවකවත් අර්ථය නොදන්නා මොවුන් අනෙකා මර්දනය කිරීම ‘පිනක්‘ සේ දකියි. නමුත් මෙහි ඇත්තේ කුමක්ද? ඇත්තේ, අනෙකා මර්දනය කර පාලනය කිරීමට ගන්නා මුග්ධ උත්සහයයි. නමුත් කිසියම් ජාතියක් විසින්, තවත් ජාතියක් යටපත්කර පාලනය කිරීමට, ගන්නා සෑම උත්සහයකදීම, එය කෙලවර වන්නේ බිහිසුනු ව්‍යසනයකින් බව මේ හෙලඋරැම කරැවන් නොදන්නවා නොවේ. නමුත් එය සාකච්ඡාවට නොගන්නේ ඔවුන් රදා පවතින්නේ, තමන්ගේ ජාතිය පදනම්ව අනෙකා මර්දනය කරමින් ගෙන යන ව්‍යාපෘතිය පෝෂණය කලහොත් පමණය යන්න පිළිබදව ඔවුන් හොදින් දන්නා නිසාය. එසේම මෙම ජාතිවාදයට තවමත් ලංකාව තුළ ඇති පදම් මාර්කට් එකක් තිබෙන බව දන්නා නිසාය.

අනිත් ප්‍රධානම දෙය නම් සිංහල බෞද්ධ බහුතරයේ ආධිපත්‍ය පිළි අරගෙන එයට අවනත වී යටත්ව ජීවත් වෙයල්ලා යැයි අනෙකාට කීමේ මුග්ධ අධිපතිභාවයයි. මෙය අතිශයින් ෆැසිස්ට් ලක්ෂණයක් නොවේද? අනෙක් පසින් ඔවුන් කියන්නේ එසේ අකමැති වුනොත් දංවැලෙන් බදිනවා. දැගලුවොත් ගහනවා… කියා ය. මේ ප්‍රකාශයෙන් ඔප්පුවන බරපතලම කරැණ නම් ‘අපි විතරයි, වෙන එකෙක් වත් බෑ‘ යන්න නොවේ ද? එසේ නම් අනෙක් ජාතීන්ට කරන්නට තිබෙන්නේ කුමක් ද? දංවැල්වලින් බැද, වේවැලෙන් ගහන්න උත්සහ කරන රටක ඔවුන් සමග එකට ඉන්න හැකි වේද? හෙළඋරැමයට, නිශාන්තට අනුව අනෙක් මිනිසා නිශාන්තලාගේ යටත්වැසියෝ ද?

මේ දේවල්වලට පිළිතුරැ මේ වනවිටත්, හෙළ උරැමයට, දකුණෙනුත්, උතුරෙනුත් ලැබෙමින් තිබෙන නිසා මෙයට වඩා යමක් දැනට නොලියමි. නමුත් මේ සටහන ලිවීමේදී සිහියට නැගුනු, නීලාර් කාසීම්ගේ, ‘සහෝදර පියාපත්‘ කාව්‍ය සංග්‍රහයේ, උ. චේරන් කවියා ලියු කවියක් සටහන් කර තබමින් මෙය අවසන් කරමි.

කවියේ මාතෘකාව ‘අවදියෙන් සිටිමු‘

අවදියෙන් සිටිමු අපි
මිතුරනි
ශෝකයෙන් වටවූ
ලංකා සිතියම
රතු රැහිරැ හෙළුවේ
මෙතෙක් කල්…….
බොහෝ දෑ පිදුවේ
මේ තරම්…..

වෙනත් කෙනෙකුගේ වහලෙකු වන්නද?

කුලී හමුදාවක් සමග
විප්ලවයක් කුමකටද?

අපේ මිහිබිමේ
අපේ සවිබලෙන්
අපේ දෙපයින්
ඉතින් නැගිටමු

දිනුවත් දිවි ගෙවමු
පැරදුනත් දිවි ගෙවමු
අපේ පරපුර
අරගලය කළාදෙන්