Photo courtesy: Contribute Magazine

හපොයි!!! ජනාධිපති මහින්ද රාජපක්ෂ එළඹෙන 15 වැනිදා පැවැත්වෙන නොබැඳී ජාතීන්ගේ සමුළුවෙන් පසු ඉදිරි වර්ෂ දෙක සඳහා එහි නායකත්වය උසුලනු ඇත. කතාවක් අවශ්‍ය නැත. විවාද කළ යුතුද නැත . නොබැඳී ජාතීන්ගේ සමුළුවෙහි නායකත්වය ඉසිලීම සඳහා ඔහුට අයිතියක් තිබේ, කවුරු කෙසේ කිව්වත් “දේශ හිතෛෂීභාවයේ” මුදුන් මල්කඩ බඳු හෙතමයෝ මෙහි නායකත්වය දැරිය යුතු මැයැ. අහෝ… වැරදුනි… නොබැඳී ජාතීන්ට විච්ච ඉලව්වක් ගැන ආරංචියක්වත් නැත. සිරිමාවෝ මෙන්ම, ටීටෝ, නේරු, සුකර්ණෝ , නසාර් මෙන්ම ක්රූමාද මියගිය පසු වැලලූ හෝ භශ්මාවශේෂ පාකොට යැවූ තැන් වල එක්කෝ ගස් පැළවී ඇත; එක්කෝ බශ්මාවශේෂ මුදාහල ගංගා සිඳී ගොස් ඇත. ලංකාවේ අතුරුදන්වීම් හා සමානව නොබැඳී ජාතීන්ගේ නොබැදීම් අතුරුදන්වී බැඳීම්ගේ ජාතීන් වී ඇත. යාන්තමට මෙන් මියගිය අයවලුන්ගේ නාමයෙන් හෝ පවත්වා ගැනීමට අවැසි නිසා එහි නම තබාගෙන ඇත. දේශපාලනික වශයෙන් කෙරෙන කිසිඳු වැඩපිළිවෙලක් නොමැති ඊට සියලුම බැඳීම අවසානයේ සිදුවන අමාමහ නිර්වාණ සම්පත්තිය ලබා යළිත් මෙම විශ්වයේ කිසිඳු තැනක නොයිපැදෙනු ඇත. චුත වනු නියතය.

එය එසේ සිදුවෙදී, මෙහි සිදුවන්නේ කිමෙක්ද? රාජපක්ෂ මීළඟ නොවැම්බර් 15න් පසු නායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන්නේ පොදු රාජ්‍යමණ්ඩල රාජ්‍ය නායකත්වයටය. කදිමය! අදහාගත නොහැකි දෙයක් ඇත, රටේ ස්වෛරීභාවය ආරක්ෂා කොට රට ත්‍රස්ත්වාදීන්ගෙන් මුදාගෙන මෙරට එක්සේසත් කළ දේශහිතෛෂී නායකයා, වසර ගණනක් තිස්සේ මෙරට කොටස් කාබාසිනියා කොට, 1918 ඩොයිලීගේ ඔත්තුවෙන් හැදූ උඩරට ගිවිසුම හරහා මුළු රටම කාබාසිනියා කිරීමට පටන් ගත්; 1948 දමාගිය; විකා හප ටින උන් වැනිම නමුත් අනගාරික ‘ධර්ම’පාලගේ වචනයෙන්, කළු සුද්දන්ට ලබා දී ගිය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය විසින් තම ආධිපතය පවත්වාගැනීම සඳහා නිර්මාණය කළ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය සමුළුවේ නායකයා බවට පත් වීමට අකැමැත්ත පලකිරීමට බෑ…. යැයි තම සිංහ වෙස්ගත් නරි නාදයෙන් පැවසීම දේශහිතෛශී පුරවැසියන් වන අපට ඉවසිය හැක්කේද? ‘පුර’ වැසියන්ට කෙසේ වෙතත් දහන්ගැට එකදාහස් එකක් අමුණ අමුණා අඹුඩ මෙන් ගැට ගසා කෝපි යැයි වැරදී අතීසාරයට ගත යුතු මැ බෙහෙත් බී, බෑන් කී මූන්ට එරෙහිව මාරාන්තික උපවාස කළ, එසේම කොටි සැතපුම් ගානක් සැඟවී සිටිද්දී කොටින් යැවූ අහස් කූරක් මොර්ටාරයක් යැයි සිතා භිය වී සරම උස්සාගෙන කොටින්ට එරෙහිව ගිය පෙළපාලිය මඟ දමා ආ හෙළ අරුමේ අයවලුන් නොහොත් මෙරට දේශ හිතෛෂීභාවය භාවය තොගපිටින් බේරේ වැවේ අඩියේ ගබඩාකොට ඇති සහ එය විකුණන අයවලුන්ට ඔවුන්ගේ නායකයා ඔටුනු පැලඳීමට යන නව නායකත්වය උහුලා ගත හැකිද? නැට්ටට අනුව බල්ලා වැනීම හෝ වේවා! බල්ලාට අනුව නැට්ට වැනීම හෝ වේවා !! මෙය කෙසේ වෙතත් නවආරක ආශ්චර්යක් මැයැ.

ආසියාවේ ආශ්චර්ය නම් හුදී ජනයාගේ පහන් සංවේගය උදෙසා තැනූ සටන් පාටයත්, ආදරණීය නායකයා විසින් යළි නැති නොවන සේ අනාගතය වර්තමානයට ඇද දමා තිබ්බ අනාගතයත් නැතිකොට දමා අභයගිරියමෙන් හැදු සුභ අනාගතයේ රැස් වලල්ල පුරා විහිදී යන එලිය තුළින් එලියට පනින විවිධ වර්ණයෙන් යුත් තීන්ත තවරාගත් නරියෙකුගේ හැඩරුව කිසිවෙකුට හෝ නොපෙනේනම් එය වඩාත් සෞඛ්‍යට හොඳය. එම නරියා වරක් එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ රිංගාගෙන ඉන්නා මෙම දේශ හිතෛෂීමාතෘභූමිට නෑකම් කියන්න තටබන ගැටයින්ගේ ලණුවක් අනුභවකොට, උදනැක්කෙම හයිඩ්පාක් මුල්ලක් සෙව්වේ තම වියෝව හිතූසේ සුළුදිය පහකරන්නාක්මෙන් මුදාහැරීම සඳහාය. එයද හකුලාගනීමට සිදු වූයේ වෙන කිසිවක් නිසා නොව, කවුරුන්දො අයෙක් ඔවුහුට අහවලා විසින් මාංචු දැමීමට ලක ලෑස්ති වන බව සැලකළ නිසාය. රාජ්‍ය නායකයෙකු ඔහු බලයේ සිටිනවිට හිමි “ඉමියුනිටිය” හනික අමතක වූ ඔහු භ්‍රාන්තවී පෙරලා දේශහිතෛශීගේ පුරවරයට ඔලුවේ අත තබාගෙන පිරිවෙර සමඟ පැමිණියාහුය. මෙම තත්වය යටතේ ඔහු මුළු පොදුරාජ්‍ය මණ්ඩලයට නායකත්වය අතෙන් වියදම් කොට හෝ දොඩංගොඩ බදාගත්තා සේ බදාගැනීම කිනම් නම් ආශ්චර්යක්‌දැයි සිතීමට අපි වැනි දෙශහිතෛශීන්ට බුද්ධිය පහළ විය යුතු මැයැ.

සිංහ වෙස් ගෙන ඇති නරියා මේ ලක ලස්තිවෙන්නේ මුළු; ලොවෙන්ම ත්‍රස්තවාදය එනම් ගුවන්තනාමෝ බොක්කේ සිට දමස්කස් නුවර හරහා වැටී ඇති වැලි තීරුව ඔස්සේ ගොස් චෙච්නියාවේ උතුරු කෙලවර දක්වා ඇති “රාජ්‍ය ද්‍රෝහීන්” රටවල් දෙකඩ කිරීමට කැසකවන අයවලුන් මුළුමනින්ම නැති කොට මෙම මුළු ලෝකයම එක්සේසත් කිරීමට මැයැ. මැග්නා කාර්ටා ගැන ඇසූවිට ඇමෙරිකාවේ ප්‍රකට රූපවාහිනී නාලිකාවකදී පච වුනු ඩේවිඩ් කැමරන් සියලුම වර්ගයේ එනම් චැනල් ෆෝ සිට අනෙක් හැම චැනලෙකම හෝ වේවා මුවඛම හෝ වේවා නැගෙන විරෝධය, කේන්තිය පසෙකලා මෙම ආදරණීය මිනිසාට කටු ඔටුනු පැළඳීමට එන්නේ ඒ නිසාම විය යුතු මැයැ. එසේම මෙම, අනාගතය වර්තමානයට ඇදදමා තිබ්බ අනාගතයත් නැති කළ මෙම ආදරණීය නායකයා නොහොත් කිසිඳු ආඩම්බරයක් නැති බාප්පා තම අගමැතිට මුට්ටිය පෙන්නා තම අය වැය කෝටි ගණනකින් වැඩි කරගත්තේද හුදී ලොවැසියාගේ හිතසුව පිණිසම වෙම් යැයි. උන්දෑ දහදිය මහන්සියෙන් හම්බකරගත්ත සල්ලි නොවැ. අහෝ දේශහිතෛශී සහෝදරවරුනි! සහෝදරියිනි සැරසියව්, අපේ මව්වරුන් , බිරින්දෑවරුන් මුදලාලි හාල් කිලෝ එකක් කීයදැයි අසද්දී, මෙම අනාගත මිනිසා සමඟ එක්ව අදෝ ප්‍රදේශයෙන් වාත පිටවෙන මට්ටමේම හයියෙන් කීමට, නොබැඳි ජාතීන් බංගවේවා! පොදු රාජ්‍ය මණ්ඩලීය ජාතීන් දිනේවා!!! මහිමය වෙන කිසිවක නොව, එය වූකලී මෙම උත්තමයා දෑතේ හොවාගෙන සිටින හූනියම් නොහොත් වශී යන්ත්‍රයම වෙම් යැයි.

indexනිලන්ත ඉලංගමුව | Nillantha illangamuwa