[Video Interview]
“අද වෙනකොට ජාත්‍යන්තර සම්මේලනයක් ලංකාවේ පැවැත්වීම ප්‍රශ්ණ සහගත දෙයක්. මොකද ලංකාවේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පාගන්න තියන අන්තිම තිතටම පාගලා තියන අවධියක. විශේෂයෙන් ලංකාවට නිදහස දෙනකොට, එහෙමත් නැතිනම් නිදහස අපි ලබා ගන්න අවස්ථාව වෙනකොට එංගලන්තයේ සිවිල් බලවේග වල උවමනාවල් නිසා ලංකාවට විශාල ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය ක්‍රමයක ලක්ෂණ දීලා යනවා. නීති ක්‍රමයක්, අධ්‍යාපන ක්‍රමයක්, රාජ්‍ය පද්ධතියක් ඇති කරලා යනවා. බලය තිබෙන කෙනෙකුට අනෙක් මිනිසුන්ව යටපත් කිරීමට තිබෙන සීමාවන් අඩු කරපු නීති පද්ධතියක් එක්ක තමයි අපිට රාජ්‍ය බාරදීලා යන්නේ. නමුත් ලංකාව එදා ඉදන්ම කළේ ඒවා එකින් එක කප්පාදු කරපු එක. අද වෙනකොට රාජ්‍ය නන්නත්තාර කණ්ඩායමක් අතට පත්වෙලා තිබෙන අවධියක්. ඒකෙත් පවුලක් මුල් වුණු කණ්ඩායමක්. විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් අද රට තුළ නැති නිසා තමයි මෙවැනි සමුලුවක් ලංකාව තුළ පැවැත්වීම නුසුදුසු වන්නේ. මෙකෙන් රටට කිසියම්ම ප්‍රයෝජනයක් නැහැ. නමුත් රටේ කූට පාලකයින් ජනතාවට පෙන්නන්න හදනවා අපිව පිළිගන්නවා ලෝකේ කියලා. ඇත්තටම ලංකාව ලෝකය විසින් පිළිගන්නේ නෑ.” යැයි, මෙම සතියේ 15වනදා නිළ වශයෙන් ආරම්භ කිරීමට සූදානම් වන CHOGM හෙවත් පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල නායකයින්ගේ සමුලුව පිළිබදව, ලේඛකයෙක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක් වන රංජිත් හෙන්නායකආරච්චි ‘විකල්ප‘ පුරවැසි වෙබ් අඩවිය සමග සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය. (රංජිත් හෙන්නායකආරච්චි දැනට ලංකාවෙන් බැහැරව දිවි ගෙවයි)

ඔහු සමග පැවැත්වූ සාකච්ඡාවේ සම්පූර්ණ වීඩියෝ සටහන පහතින් දැක්වේ.

සැලකිය යුතුයි | මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කරන ලද්දේ 2013 නොවැම්බර් 05වන අගහරැවාදා බව සලකන්න