ACF
2006 අපේ‍්‍රල් 4 වන දා මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදි. ඒ පිළිබද දිගු විමර්ෂණයකින් පසු පිටු 28කින් සමන්විත වාර්තාවක් නිකුත් කරමින් ACF International Network (ACF-IN) නම් ආයතනය විසින් නිකුත් කරන ලද වාර්තාව පෙන්වා දෙන්නේ, “සංවිධාන පරිශ‍්‍රයෙහි ආධාර සේවකයන් පෙළ ගස්වා කිසිදු වග විභාගයකින් තොරව ඝාතනය කර තිබිණ. මුතූර් ජන සංහාරය වූ කලි මානුෂීය කාර්ය මාණ්ඩලිකයන්ට එරෙහිව එදා මෙදා තුර කරන ලද වඩාත් ම කුරිරු යුද අපරාධවලින් එකකි‘‘ යනුවෙනි.

ACF International Network (ACF-IN) නම් සංවිධානය නිකුත් කරන ලද වාර්තාවේ විධායක සාරාංශයේ සිංහල පරිවර්තනය පහත පළවන අතර එම සම්පූර්ණ වාර්තාව ද ඒ සමග පහතින් දැක්වේ.

විධායක සාරාංශය

2006 අපේ‍්‍රල් 4 වන දා ශ‍්‍රී ලංකාවේ මුතූර් නගරයේ දී ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සංවිධානයේ මානුෂීය ආධාර සේවකයෝ 17 දෙනෙක් කුරිරු ලෙස මරා දමන ලදහ. සංවිධාන පරිශ‍්‍රයෙහි ආධාර සේවකයන් පෙළ ගස්වා කිසිදු වග විභාගයකින් තොරව ඝාතනය කර තිබිණ. මුතූර් ජන සංහාරය වූ කලි මානුෂීය කාර්ය මාණ්ඩලිකයන්ට එරෙහිව එදා මෙදා තුර කරන ලද වඩාත් ම කුරිරු යුද අපරාධවලින් එකකි.

ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් සමීපව දේශීය පරීක්ෂණය ගැන විපරමින් සිටියේ ශ‍්‍රී ලාංකික අධිකරණ පද්ධතිය සිද්ධිය පරීක්ෂා කිරීමට අසමත් බව ඒත්තු ගැනීමට පමණකි. මුතූර් ජන සංහාරය සම්බන්ධයෙන් කටයුතු කළ දේශීය යන්ත‍්‍රණ කිහිපය, එනම් මහේස්ත‍්‍රාත් උසාවිය (2006 සිට 2008 දක්වා), ජාතික මානව හිමිකම් කොමිසම (2006 සිට 2008 දක්වා), ජනාධිපති පරීක්ෂණ කොමිසම (කොළඹ) (2007 සිට 2010 දක්වා) සහ උගත් පාඩම් සහ ප‍්‍රතිසන්ධානය පිළිබඳ කොමිසම (2010 සිට 2012 දක්වා) කිසිදු නිගමනයකට නො එළඹිණ. මේ අතරවාරයේ, චුදිත ඝාතකයන්ගේ නම් ද ඇතුළු තොරතුරු රැසක් මහජනයා අතරට කාන්දු වී ඇත. ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් ද තොරතුරු රැස් කර ඇති අතර, ඒවායින් අනාවරණය වන්නේ මානුෂීය ආධාර සේවකයන් 17 දෙනා ඝාතනය කිරීමට ඉඩ තිබෙන්නේ ශ‍්‍රී ලංකාවේ ආරක්ෂක හමුදාවල සාමාජිකයන් සහ අපරාධකාරයන් විසින් බවත්, ඉහළ පෙළේ ශ‍්‍රී ලාංකික බලධාරීන් විසින් ඔවුන් කෙරෙහි අවධානය යොමු කර නැති බවත් ය.

මෙම වාර්තාව මුතූර් සිද්ධිය පිළිබඳව ප‍්‍රසිද්ධියේ සපයා ගත හැකි තොරතුරු එක්තැන් කරයි, ඒවා ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් (සාක්ෂිකරුවන්ගෙන්, රාජ්‍ය තාන්ත‍්‍රික සම්බන්ධකම්වලින් සහ කාරණයට සමීප වෙනත් මූලාශ‍්‍රවලින්) සපයා ගත් තොරතුරු සමග සම්බන්ධ කරයි, මෙම චෝදනාවට සහායක වන තර්ක කිහිපයක් ඉදිරිපත් කරයි.

වාර්තාව ඇරඹෙන්නේ ඝාතනවලට යුද හමුදා, නාවික හමුදා සහ පොලිස් කාර්ය මාණ්ඩලිකයන් සම්බන්ධ බව ඇඟවෙන ස්වාධීන පරීක්ෂණ සහ පෞද්ගලික වාචික සාක්ෂි ප‍්‍රතිඵලවලින් වන අතර, ජන සංහාරයෙන් ක්ෂණිකව පසු කාලයේ දී සාක්ෂි විනාශ කිරීම සඳහා ආරක්ෂක හමුදා ප‍්‍රයත්න දැරූ ආකාරය පිළිබඳ විස්තරයක් ද ඉදිරිපත් කරයි. වාර්තාව අනතුරුව ඝාතකයන්ට යුක්තිය මග හැරීමට උදව් වී ඇති නිල පරීක්ෂණවල නානාවිධ අක‍්‍රමිකතාවන් සහ දඬුවම් ගැළවී යාමේ ඉඩ සලසද්දී ඉහළ පෙළේ ශ‍්‍රී ලාංකික බලධාරීන් ඉටු කර ඇති කාර්ය භාරය පිළිබඳව විමසා බලයි.

ප‍්‍රබල පරීක්ෂණයක් ඉල්ලා ජාත්‍යන්තර ප‍්‍රජාවගෙන් එල්ල වන පීඩනය වර්ධනය වන තත්ත්වය තුළ, මුතූර් ජන සංහාරය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් අරඹා ඇතැයි ප‍්‍රකාශ කරමින් ශ‍්‍රී ලාංකික බලධාරීහු මහජන අවධානය වෙනතකට යොමු කිරීමට යත්න දරමින් සිටිති. කෙසේ වුව ද, පසු ගිය 7 වසර තිස්සේ පරීක්ෂණ ක‍්‍රියාවලිය හිතාමතා කඩාකප්පල් කිරීම සහ සිද්ධිය ඉස්මතු කරන සාක්ෂිකරුවන් සහ මාධ්‍යවේදීන් අඛණ්ඩව අඩන්තේට්ටව්ලට ලක් වීම පෙන්නුම් කර ඇත්තේ වත්මන් ශ‍්‍රී ලංකාව තුළ මුතූර් සිද්ධිය සම්බන්ධයෙන් කිසිදු ප‍්‍රබල නීතිමය පියවරක් ගත නොහැකි බව යි. ඝාතකයන්ට එරෙහිව සාර්ථකව චෝදනා ඉදිරිපත් කළ හැක්කේ ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකට පමණක් යැයි ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් විශ්වාස කරයි. අද දවසේ ප‍්‍රබල දේශීය පරීක්ෂණයක් පිළිබඳ කිසිදු අපේක්ෂාවක් තබා ගත නොහැකි තත්ත්වය තුළ මුතූර් ජන සංහාරය පිළිබඳව තමන් දන්නා දෑ ප‍්‍රසිද්ධියේ කියා පෑමට ඇක්ෂන් කොන්ත්‍රෙ ලා ෆෙයිම් තීරණය කර ඇත.

එම සම්පූර්ණ වාර්තාව සදහා පිවිසෙන්න.

ACF 1