[Image: Vikalpa File]

2013 වසරෙහි ශ්‍රී ලාංකික සමාජ දේශපාලන ක්ෂේත්‍රයෙහි තීරණාත්මක සහ දීර්ඝ කාලීන බලපෑමක් ඇති කළ පුද්ගලයා කවරෙක්ද? ඒ වනාහී හිටපු ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වත්මන් උතුරු පළාත් සභා මහ ඇමැති කනගසභාපති විස්වලිංගම් විග්නේශ්වරන් ය. වත්මන් දේශපාලන සන්දර්භය යටතේ උතුරු පළාත් සභා මහ ඇමති ධුරය රටට ඇති කරන බලපෑම අතින් සමහර විට දෙවැනි වන්නේ ජනාධිපති ධුරයට පමණ ය.

විග්නේශ්වරන් වනාහි මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්, අරක්කු ජාවාරම් කරුවන්, කැසිනෝ කරුවන්, සහ ඇමති මෛත්‍රීපාල සිරිසේනගේ වචනයෙන් බොයිලර් වර්ගයේ දේශපාලන නාම්බන් යනාදීන් විසින් අරක් ගනිමින් සිටින දේශපාලන කරළියට 2013 වසරෙහි දී එළඹී විදග්ධයෙකි. ඒ හේතු කොට ගෙන ද ඔහු සුවිශේෂී වෙයි.

දේශපාලන වශයෙන් 2013 වසරෙහි ශ්‍රී ලංකාවෙහි සිදු වූ තීරණාත්මක ම සිදුවීම නැත්නම් ඉන් එකක් වන්නේ ද උතුරු පළාත් සභා මැතිවරණ යි. තව ද විග්නේශ්වරන් විසින් සංකේතවත් කෙරෙන උතුරු පළාත් දෙමළ ජනයාගේ දේශපාලන අපේක්ෂාවන් ඉදිරි වසර ගණනාව තුළ ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක ම සාධකය වීමට ඇති ඉඩ කඩ බොහෝ ය‍.

මන්ද යත් ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීම අද හුදෙක් ජාතික මට්ටමේ පමණක් නොව අන්තර් ජාතික මට්ටමේ ද ව්‍යායාමයක් බවට පත් ව ඇති නිසා ය.

මෙම සන්දර්භය තුළ යුක්තිය සහ සමානතාව මත පදනම් වූ දේශපාලන විදග්ධබාවයෙන් යුතු ව මධ්‍යම ආණ්ඩුව විසින් මෙහෙය වූයේ නැත්නම් ශ්‍රී ලංකාව දෙකඩ වීම ආසන්නයට ගෙන යා හැකි දාම ප්‍රතික්‍රියාවක ආරම්භය විග්නේශ්වරන් සහ උතුරු පළාත් සභාව සනිටුහන් කරයි.

උතුරු පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සන්ධානයට විශිෂ්ඨ ජයක් අත් කර දීමට සමත් වූ විග්නේශ්වරන් දැනටමත් එම ජයග්‍රහණයේ පදනම මත දෙමළ ජනයාගේ අයිතිවාසිකම් සඳහා වන ව්‍යාපාරය අලුත් අදියරකට ඔසවා තිබේ. ඒ දෙමළ ජනයා දෙවැනි ඝනයේ ලා සලකන සිංහල අධිපතිවාදී රාජපක්ෂවාදී රාජ්‍යය සමඟ දුර දිග යන සටනකට ඇති අභිලාෂය ආරම්භයේ සිටීම පෙන්නුම් කිරීම මගිනි.

දෙමළ සන්ධානයෙහි නායකත්වය පා.ම. ආර්. සම්බන්දන් සතු වුවද 2013 වසරෙහි විග්නේශ්වරන් වඩා තීරණාත්මක සාධකය වශයෙන් මතු වන්නේ ඔහු උතුරු පළාත් සභාවෙහි මහ ඇමති බවට පත් වූ ඉතිහාසීය මොහොත සහ ඔහුගේ වෘත්තීය ම සහ දේශපාලන පසුබිම ද නිසාත් ය.

අද සිංහල අධිපතිවාදී රාජපක්ෂ ආණ්ඩුවේ අධිකාර බලයට එරෙහිව අභියෝග කරන පශ්චාත් යුද්ධ දෙමළ පළාත් ආණ්ඩුවේ මහ ඇමතිවරයා විග්නේශ්වරන් ය. එමගින් ඔහු වර්තමානයෙහි ශ්‍රී ලංකාව සම්බන්ධ අන්තර් ජාතික තලයෙහි මතු ව ඇති මානව හිමිකම් කතිකාවතෙහි හරි මැදට ගමන් කරයි.

විග්නේශ්වරන්ගේ ප්‍රතිරූපයෙහි ලේ ගැවී නැත. ඒ ඔහුට එල්ටීටීඊ ය හෝ වෙනත් සටන්කාමී දෙමළ සංවිධානයක් සමඟ කටයුතු කළ ඉතිහාසයක් නැති නිසා ය. දේශපාලනඥයකු වී නො සිටි බැවින් දූෂණ හෝ භීෂණකාරී අතීතයක් ද නැත. ඔහු මෙරට නීතිය පසිඳු ලූ ඉහළ ම පෙළේ වෘත්තිකයෙකි. ඔහු ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින් අතර නැති වී යමින් තිබෙන වටිනාකමක් වන ත්‍රි භාෂා හැකියාවෙන් යුතු ය. අන්තර් ජාතික ක්ෂේත්‍රෙයේ දේශපාලන මතවාදී ක්‍රියාකාරකම් සඳහා අවැසි ඉංග්‍රීසි බසෙහි චතුර ය. සියල්ලටමත් වඩා මහජන ජන්දයෙන් දිනා ගත් ප්‍රබල දේශපාලන බලයකින් යුතු ය.

අනෙක් අතට මේ සියලු සාධක සක්‍රීය වී 2013 වසරේ ලාංකික මිනිසා බවට විග්නේශ්වරන් පත් වන්නේ රාජපක්ෂ පාලනය දෙමළ ජනයාගේ දේශපාලන අභිලාෂ ඉටු කිරීම වෙනුවට ඒවා මැඬලීමට ක්‍රියා කරන නිසා ය. අද දේශපාලන අර්ථයෙන් ජනාධිපති රාජපක්ෂගේ අනෙකා මහ ඇමති විග්නේශ්වරන් ය. මන්ද යත් ජනාධිපති රාජපක්ෂ මුහුණ දෙන ප්‍රධානතම අභියෝග වන දෙමළ ජාතික ප්‍රශ්නය සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ ක්ෂේත්‍රයෙහි අනෙක් පාර්ශවය උතුරු පළාත් සභාව සහ එහි මහ ඇමති විග්නේශ්වරන් වන නිසා ය.

නිදහස් ශ්‍රී ලංකාවේ තීරණාත්මක ම දේශපාලන ප්‍රශ්නය වශයෙන් පැවතී ඇත්තේ ජනවාර්ගික ප්‍රශ්නය යි. දැන් එම ප්‍රශ්නයෙහි පීඩාවට පත් පාර්ශවය වූ දෙමළ ජනයාගේ අපේක්ෂාවන් සාමකාමී සහ අවිහිසංවාදී ප්‍රවිශ්ඨයකින් යුතුව ඉදිරියට ගෙන යන වත්මන් සංකේතාත්මක පුද්ගලයා විග්නේශ්වරන් ය. උතුරු පළාත් සභාව සතු බලතල යාපනයේ හිටපු යුද අඥාපති වත්මන් ආණ්ඩුකාර මේජර් ජෙනරල් ජී.ඒ. වන්ද්‍රසිරි විසින් ඩැහැගෙන ඇතැයි ද ඔහු වෙනුවට සිවිල් ආණ්ඩුකාරවරයකු පත් කළ යුතුව ඇතැයි ද පළාත් සභාවෙහි යෝජනා සම්මත කළ විග්නේශ්වරන් සිය මංගල අයවැය කතාව මගින් කියා සිටියේ 13 වන සංශෝධනය දේශපාලන විසඳුමක් වශයෙන් අප්‍රමාණවත් බවයි.

ශ්‍රී ලංකාවට වැඩිම බලපෑමක් කළ හැක්කේ අන් කිසි රටකට නොව ඉන්දියාවට යි. එය අපේ කැමැත්තට හෝ අකමැත්තට බාහිර ව ඇති භූ-දේශපාලන යථාර්ථයකි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇති දේශපාලන සබඳතාවයෙහි මධ්‍යය බවට දැන් මෙරට උතුරු නැගෙනහිර දෙමළ ජනයාගේ ප්‍රශ්ණය පැමිණ තිබේ. තමිල් නාඩු ප්‍රන්තයේ දේශපාලන පක්ෂ සියල්ලම යුද්ධයේ අවසන් සමයේ සිදු වූ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටිති. ඉන්දියාවෙහි සියලු ම ජාතික දේශපාලන පක්ෂ උතුරු නැගෙනහිර දෙමළ ජනයාට පිළිගත හැකි සහ පුළුල් බලතල සහිත දේශපාලන විසඳුමක් ඉල්ලා සිටිති. බලයේ සිටින ඉන්දීය කොන්ග්‍රස් පක්ෂයට මහත් අභියෝගයක් බවට පත් වෙමින් ඇති භාරතීය ජනතා පක්ෂය පසු දිනක කියා සිටියේ ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට අවශ්‍ය නම් වෙනම රටක් ලබා ගැනීමට අයිතිය ඇති බවයි.

දේශපාලන විසඳුම සහ යුද්ධ කාලීන වග වීම යන කරුණු දෙක ම සම්බන්ධයෙන් මෙරට දෙමළ ජනයාගේ පළාත් පාලන ප්‍රධානියා වශයෙන් විග්නේශ්වරන් දරන මතය ද ඉන්දියානු දේශපාලන මතවාද හා සමාන ය. එනයින් ඔහු විසින්, පෙර කී පරිදි යුද්ධයේ අවසාන සමයෙහි සිදු වූ මානව හිමිකම් සම්බන්ධයෙන් වග වීම නොහොත් වරදකරුවන්ට දඬුවම් පැමිණ වීම සම්බන්ධයෙන් ඇති බලපෑම ජාතික සහ අන්තර් ජාතික වශයෙන් ඒකාබද්ධ කරයි.

ඉදිරි වසර ගණනාව තුළ ශ්‍රී ලංකාව මුහුණ දෙනු ඇති තීරණාත්මක ම දේශපාලන වර්ධන මැද සිටින දෙමළ පළාත් සභා මහ ඇමතිවරයා වන විග්නේශ්වරන් 2013 වසරෙහි, විශාලතම සහ දීර්ඝ කාලීන බලපෑමක් සහිත ශ්‍රී ලාංකිකයා වන්නේ ඉහත කී සියලු සාධක නිසා ය. ඇත්ත වශයෙන් ම නම් විග්නේශ්වරන් විසින් සංකේතවත් කරන්නේ ජනවාර්ගික ප්‍රශ්නයට සෑම පාර්ශවයකට ම පිළිගත විසඳුමක් නො සැපයුණ හොත් ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත දේශීය සහ අන්තර් ජාතික අර්බුදයේ මුහුණුවරයි.

sd 120
සුනන්ද දේශප්‍රිය
| Sunanda Deshapriya