[Image Credit : www.33000.co]

මම අපරාධ කාරයෙක් නොවෙමි. සාහිත්‍ය කලාකරුවන්ගේ කාර්ය අර්ධවශයෙන් හෝ සහතික කරනු ලැබූ වාතාවරණයක් හැදෙන තෙක් වගේම අපේ සාහිත්‍යයේ ඇති ශ්‍රේෂ්ඨ අදහස් කුඩා මිනිසුන් ඉදිරියේ නොහැකිලෙන සහ රටට එමඟින් සේවයක් කිරීමට සුදුසු වාතාවරණයක් පැමිණි වහාම යළි පැමිණීමට ඇති අයිතිය මත මා ඔබෙන් අඩුතරමින් වසරක කාලයකටවත් මා හට මාගේ බිරිඳ සමඟ විදේශ ගතවීමට ඉඩ සලසන ලෙස කරුණාවෙන් ආයාචනය කරමි. – යෙව්ජෙනි ජම්යාටින් ( 1884 – 1937 ) – (උපුටාගැනීම ස්ටාලින්ට යැවූ ලිපියෙන් කොටසකි )

ඇසිය යුතු, සවන්දිය යුතු කතාවක් සහ වැදගත් දේශපාලන නාටකයක් ලෙස එය හැඳින්විය හැකිය. එය කලකට පසුව විපක්ෂය එනම් එක්සත් ජාතික පක්ෂයෙන් දක්නට ලැබුණු දේශපාලනඥයාගේ වගකීම යැයි හඳුනා ගත හැකි දෙයකි. සිදුවීම ගලාගිය ආකාරය කටුකය; නීරසය. නමුත් කිසිවක් නැති තැනට යමක් ක්‍රමෝපායිකව ලැබී ඇති සැටියෙකි.

කෙසේ වෙතත්, ආඥාදායකයා විසින් අදාළ ගොදුර කෙසේ හෝ මට්ටු කොට තමා වෙතට අවනත කරගැනීමට හෝ මර්ධනය කිරීමට ඇති ඉඩ ඉදිරියේදී සලකා බලනු ඇත. එය ආඥාදායකයාට කිරීමට පහසුය.ඉන් ගැලවීමට අදාළ විෂයට මහත් කැපවීමක් අවශ්‍යය. මන්ද අදාළ විෂයෙයි දේශපාලන නාට්‍ය දේශද්‍රෝහී කඳවුරේ නිෂ්පාදනයක් ලෙස හුවා දක්වා එය සාමාන්‍ය සමාජය හමුවේ අර්ථ ශූන්‍ය කළ හැකිය. එක්කෝ මිලිටරිය දමා බියට පත් කළ හැකිය. විශ්ව විද්‍යාල සිසුන් තම අධ්‍යාපනයට ඇති අයිතිය වෙනුවෙන් සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ සිට ස්වභාවික ජලය බීමට ඇති අයිතිය වෙනුවෙන් නිරායුධ සිවිල් වැසියන් සටන් කිරීම දක්වා වූ ලංකාවේ පශ්චාත් යුධමය පරිසරය තුළ අඥාදායකයා තම මිලිටරිය යොදා සිදුකළ මර්ධනය ඉතා පැහැදිලිව දක්නට ලැබුණි. සෑම සිදුවීමකම අවසානය බලය හසුරුවන්නාට වාසිදායක විය. එමඟින් විරෝධයට ඇති බිය තව දුරටත් වැඩි විය.

තමාගේ රෝගය තමාට නොතේරෙන, එම රෝගය ප්‍රමෝදයේ මෙවලම යයි සිතා එමඟින් වින්ධනය ලබන පොදු “සිංහල බෞද්ධ” ලෙස තමා විසින්ම වර්ගීකරණය කරගෙන සිටින කුලකය වෙලී සිටින පීඩිත-උන්මාන්දයේ ගැඹුර, අඥාදායකයාට තම මෙහෙයුම සාර්ථකව කරගැනීම සඳහා ඉවහල් විය. මෙය කොටි සංවිධානය යුධමය වශයෙන් පරාජය කොට අතුගා දැමීමෙන් පසු ඇති කළ ප්‍රචාරණය හේතුවෙන් ඇති වූ සීමා රහිත තෘප්තියේ බහුතරය මුහුණ දුන් මානසික අපිළිවෙලෙහි ( ඩ්ස්ඔර්ඩර්) සමාජ ප්‍රවණතාවයයි. එය එසේ වීම සඳහා බලපෑ හේතු ගණනාවක් තිබෙන අතර ඒ ගැන ඉදිරියේදී අදහස් දැක්වීමට බලාපොරොත්තු වෙමි.

මෙය පිටතින් සිදුකරන තේරුම් කරදීමකින් වෙනස් නොවන ස්වයං-විකුර්තියක් වන අතර එය සෑම විටම තමා දෙස බැලීම අමතක කොට දමා තමා වටා ඇති දෑ සාධාරනීකරණය කරමින් හෝ ඒවාට ශාප කරමින් තමාගේ ජීවිතය ගැන විනිශ්චයකට පිවිසෙයි. මෙම විනිශ්චය මඟින් නැතිකරමින් සිටින්නේ තම ශරීරයට/ ජීවිතයට හිමි විමුක්තිය පමණක් නොව ඉපදීමට සිටින පරම්පරාවල විමුක්තියයි.

මෙයට එරෙහිව නැගී සිටීම අතිශය අසීරු කටයුත්තක් වන අතර එය සිදුවීම ඔස්සේම පෙළගස්වමින් බරපතල සංකීරණයක් නිර්මාණය කොට ඇත. මෙම පරිසරය තුළ සාර්ථක විරෝධයක් අනුන්ගේ තබා තමන්ගේ අයිතියක් වෙනුවෙන් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම අතිශය දුලභය. පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම කළ මාරාන්තික උපවාසය වැදගත් වන්නේ මෙම පසුබිම ඔස්සේ නිරීක්ෂණය කිරීමෙනි.

කලකට පසු දැක ගත හැකි වූ සේම අඥාදායකයාට එරෙහිව කළ බොහොමයක් උද්ඝෝෂණ එක්තරා සීමාවකදී නැවත් වූ ආකාරයෙන් මෙය නැවැත්විය නොහැකි විය. ඒ සඳහා තෙවරප්පෙරුම සතු වූ ක්‍රමෝපායික හැකියාවත්, තම වීර්යෙන් ඒ සඳහා කැපවීමත් සිද්ධියෙදී අතිශය තීරණාත්මක විය. විපක්ෂයක දේශපාලනය යනු මෙයයි. වගකීම වන්නේද මෙයයි. විපක්ෂයක සැබෑ මෙහෙය වූ කලී මෙයයි.

පසුගිය කාලය පුරාම තෙවරප්පෙරුම යමක් වෙනුවෙන් කටයුතු කරන බව දකින්නට ලැබුණි. එය හුදු පෞද්ගලික දේශපාලන වාසි ලබාගැනීමෙන් ඔබ්බට ගිය කටයුත්තක් ලෙස මනාව දක්නට ලැබුණි. මෙවැනි කටයුතු දීර්ඝ කාලීනව සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරගැනීම සහ ඒ සඳහා මහජන සහෝයාගය ලබාගැනීම වෙනුවෙන් කටයුතු කිරීම විපක්ෂයේ ප්‍රධාන කටයුතු වලින් එකකි. එය කෙතරම් දුරට විපක්ෂයට කළ හැකිද යන්න ස්ථීරවම ප්‍රකශ කළ නොහැකිය. නමුත් විටින් විට හටගන්නා තෙවරප්පෙරුම සාධකය වැනි දුර්ලභ නමුත් අත්‍යවශය විෂයයන් වලට එහිදී මුහුණ දීමට සිදුවන අභියෝග අතිශය පළල්ය. එය තම ප්‍රමුඛ සතුරාගෙන් පමණක් නොව තම පක්ෂ අභ්‍යන්තරයෙන් වුවද වඩාත් තියුණු ලෙස හට ගත හැකිය.

index නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa