[Image : Vikalpa File | පට්නි රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ දිනයේ එක් අවස්ථාවක්]

පට්නි රාසික් නම් මානව හිමිකම් ආරක්ෂකයා පැහැරගෙන ගොස් ඝාතනය කර, 2014 පෙබරවාරි 11වනදාට වසර 4ක් ඉක්ම යමින් ඇත. 2010 පෙබරවාරි 11 වනදා පොලොන්නරැවේදී පට්නි රාසික් අතුරැදහන් කළ අතර පසුව ඔහුගේ මළ සිරුර 2011 ජූලි 28 දා වාලච්චේන, ඕටමාවඩි ප්‍රදේශයේ අඩක් නිමැවූ නිවසක පොළව යට වළ දමා තිබී සොයා ගැනුනි. මානව හිමිකම් ආරක්ෂකයකු වූ පට්නි රාසික්(55), පුත්තලම දිස්ත්‍රික්කය මූලික කරගත් ප්‍රජා භාරකාර අරමුදල නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියකු ලෙස ක්‍රියාකාරී විය.(රාසික් අතුරැදහන් කිරීමෙන් පසු, රිෂාඩ් ඇමතිවරයාගේ මැදිහත් වීමෙන්, රාජ්‍ය නොවන ලේකම් කාර්යාලය විසින් මෙම සංවිධානයේ පාලනය පවරා ගත් අතර හමුදා මේජර්වරයෙක් යටතේ මෙය පාලනය වූ බව එවකට වාර්තා විය.) එසේම මානව හිමිකම් සහ සංවර්ධනය සදහා වන ආසියානු පදනමේ ද (FORUM-ASIA) (www.forum-asia.org) රාසික්, ප්‍රභල ක්‍රියාකාරිකයෙක් ද විය.

3

කෙසේ නමුත් රාසික් ඝාතනය කර වසර 4ක් ඉක්ම යමින් තිබියදී ද පට්නි රාසික් ඝාතනය කළ ඝාතකයින් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබේ. ඒ පිළිබදව තවමත් අධිකරණය තුල නඩුවක් සුපුරැදු පරිදි කල් දමමින්, කල් දමමින් ඉදිරියට ඇදෙයි. මේ සම්බන්ධයෙන් පට්නි රාසික්ගේ පුත් රසික් රිස්කාන් මොහොමඩ් ‘විකල්ප‘ වෙබ් අඩවිය හා සම්බන්ධ වෙමින් පවසා සිටියේ, නඩුව මේ මාසේ 10 වෙනිදා තිබු බවත්, නැවතත් එය කල් ගිය බවත් ය. එසේම නඩුවට අදාල දෙදෙනාටම ඇප ලබා දී ඇති බවත් එක්කෙනෙක් සාක්ෂිවලට දමා ඇති බවත්, තවත් එක්කෙනෙක් රට ඉන්නා බවත් ඒ පුද්ගලයා පැමිණි පසු අත්අඩංගුවට ගත යුතු බවත් එහි දී පවසා ඇති බව ඔහු පවසයි. (රාසික් ගේ පුත්‍රයාගේ අදහස් ඇතුලත් පහත දැක්වෙන හඩපටයට සවන් දෙන්න.)

රවුෆ් හකීම්ගේ ප්‍රකාශයට දින 1000කට කිට්ටුයි. කෝ.. අත්අඩංගුවට ගත් ‘හස්තයෝ‘?

රවුෆ් හකීම් අමාත්‍යවරයා
රවුෆ් හකීම් අමාත්‍යවරයා

‘‘මම ඒ සම්බන්ධයෙන් ගත්ත උත්සහයන් හැම දෙයක්ම අසාර්ථක උනා. නමුත් මේ පිටුපස ඉන්න ඕනෑම හස්තයෙක් අත්අඩංගුවට ගන්නවා.‘‘ යැයි August 3, 2011 දින පට්නි රාසික් ගේ අවසන් කටයුතු සදහා සහභාගී වී සිටි අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ‘විකල්ප‘ වෙබ් අඩවියට පවසා සිටියේ ය. ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් තියන්න පුලුවන් දැයි අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් විමසා සිටි විට ඔහු පවසා සිටියේ, ‘‘මට මේ පිලිබදව මට සහතික වෙන්න පුලුවන්, මොකද යුද්ධ කාල සීමාවන් වලදී වෙච්ච නොයෙකුත් අතුරැදහන් වීම් පිළිබදව හෙළි නොවිච්ච කාරණා කිහිපයක් තියෙන්න පුලුවන්.‘‘ යනුවෙන් ය. නමුත් ඔහුගේ මේ ප්‍රකාශයට අදට දින 900කට වඩා ගත වී ඇත. පට්නි රාසික් ඝාතනයට ලක්වී දින 1440කට වඩා ගත වී තිබේ. නමුත් රවුෆ් හකීම් ඇමතිවරයාට හෝ ඔහුගේ ආණ්ඩුවට රාසික් මරා දැමූ ඝාතකයින් සොයා ගැනීමට තවමත් නොහැකි වී තිබේ.(ඇමතිවරයාගේ ප්‍රකාශය බලන්න, වීඩියෝ සටහනේ 09.01 සිට 10.31 දක්වා)

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධ බව,

කේ.ඒ.බායිස්
කේ.ඒ.බායිස්

‘‘අපි කවුරැත් රිෂාඩ් ඇමතිතුමා තමයි මේකට පිටුපස්සේ ඉන්නේ කියලා කියන්න ඉස්සරහම එතුමා මාධ්‍ය සාකච්ඡාවක් දාලා කිව්වා, ‘‘මම නෙවෙයි මේකෙ පිටි පස්සේ ඉන්නෙ කියලා‘‘ ඒක නිසාම අපේ ජනතාවට වැඩි සැකයක් ඇති උනේ ඇයි මේක එයාට දාගන්න ඕන කියලා.‘‘ යනුවෙන් රාසික් ගේ අවසන් කටයුතු නිම වී පැවති රැස්වීමේදී(August 3, 2011) පුත්තලම නගර සභාවේ, සභාපති, කේ.ඒ.බායිස් පැවසූවේ ය.(බලන්න, වීඩියෝ සටහනේ 07.05 සිට 08.18 දක්වා) එපමණක් ද නොවේ රාසික් ගේ අවමගුල් දිනයේදී රිෂාඩ් අමැතිවරයාත් ඔහුට සම්බන්ධ පුද්ගලයන් ගැනත් රැස්ව සිටි ජනතාව සිය ප්‍රභල විරෝධයක් පෑවේ ප්‍රසිද්ධියේම ඔවුන්ගේ නම් ප්‍රකාශ කරමින්ය. නමුත් කවමත් රිෂාඩ් බදියුඩීන් නම් ඇමතිවරයා රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙක් ය. පට්නි රාසික් නම් මානව හිමිකම් ක්‍රියාකාරිකයා ඝාතනය කර වසර 4ක් යන මොහොතේත් සියලු තැන්හි ඔහු හොදින් සැරිසරන්නේ ය.

ආරක්ෂක ලේකම්වරයා සහ රිෂාඩ් ඇමතිවරයා
6

‘‘ඒ ගොල්ලෝ ඔක්කොම ටෙලිෆෝන් වලින් මෙයා තමයි කියලා කියලත්, ඊට පස්සේ පොලීසිය අපිට කිව්වා ‘අපිට අතගහන්න බෑ’ ලොකු තැන්වලින් මේක නතර කරන්න කියලා කියලා තියනවා කියලා’ ඒ ගොල්ලෝ ඒකට පැටලෙන්න කැමති නැ කියලා. නමුත් පුත්තලං ජනතාව ඔකකෝටම දන්නේ රිෂාඩ් අැමතිතුමා, ආරක්ෂක ලේකම්තුමාට කියලා මේක නතර කලා කියලා තමයි පුත්තලම් ජනතාව සේරමලා දන්නේ.‘‘ යැයි එයටම සහභාගී වූ ගම් වැසියෙක් ප්‍රකාශ කලේත් එදිනමය.(බලන්න, වීඩියෝ සටහනේ 08.35 සිට 09.01 දක්වා)

ඇමති සහ ලේකම්

පට්නි රාසික්, මානව හිමිකම් ආරක්ෂකයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි මීට දින 900කට පෙර මෙසේ දිග හැරෙද්දී වසර 4ක් ගත වුවත් රාසික් පැහැරගෙන ගොස් මරා දැමූ ඝාතකයින් සොයා ගැනීමට නොහැකි වන්නේ ඇයි.? අනෙක, මෙයට ඇමතිවරයෙකුත්, රාජපක්ෂ ආණ්ඩුවේ ලේකම්වරයෙකුත් කිසියම් ලෙසකින් සම්බන්ධ ද යන සැකය පුත්තලමේ දේශපාලකයින්ට මෙන්ම සාමාන්‍ය ජනයාටත් ඇති වී ඇති විටෙක ඇමතිවරැන් සහ ඔවුන්ගේ ගෝලබාලයන් සහ ලේකම්වරැන් සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවරයන් කවරේ ද? ලංකාවේ මෙතෙක් සිදුකල සියලු අතුරැදහන් කිරීම්, ඝාතනය කිරීම් අතුලු එවැනි සියලු සිදුවීම් සම්බන්ධයෙන් තත්ත්වය ද මෙයට වෙනස් නොවේ. නමුත් ජනාධිපතිවරයාගේ සිට පහළම සිටින දේශපාලකයා දක්වා පවසන්නේ නීතියේ ආධිපත්‍ය සහ මානව හිමිකම්වල තත්ත්වයෙන් අපට දෙවෙනි වන්නට ලෝකයේ කිසිදු රටක් නැතිවා සේය. ඒ කියුම්වල තත්ත්වය රෙද්දපල්ලෙන් බෙරෙන්නේ අඩුම තරමින් පට්නි රාසික් ඝාතනය කර වසර 4ක් ඉක්ම යන මෙහොතේ පවා රාසික් ගේ ඝාතනයට අදාළ මරණ සහතිකයවත්, රාසික්ගේ සමීපතමයින්ට ලබා දීමට, රාජපක්ෂ පාලනය අපොහොසත් වීමෙන්ය.

මානව හිමිකම් කොමිසම සහ රාසික්ගේ ඝාතනය

රාසික් පැහැර ගැනීමෙන් දින 4ට පසු ඔහුගේ පවුලේ අය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළේ ය. නමුත් වසරක් ගත වන තුරුම මානව හිමිකම් කොමිසම සිටියේ සුපුරැදු පරිදි සුව නින්දේය. 2011 ජුලි 04 දා එනම් එම පැමිණිල්ලෙන් මාස 14කට පසු මානව හිමිකම් කොමිසම රසික්ගේ පුත්‍රයා වූ රික්ෂාන් පරීක්ෂණයක් සදහා කැදවන ලදී. පුරවැසියෙක් ගේ අතුරුදහන්වීමක් පිළිබද පරීක්ෂණයක් සිදු කිරීම සදහා මානව හිමිකම් කොමිසම මාස 14ක් කල් ගත්තේ ය. නමුත් අද දක්වාම එම පරීක්ෂණයේ ප්‍රතිඵලයක්, හෝ එැවැනි දෙයක් සොයා ගැනීමට නොහැකි ය.

අවසානයේ…

කෙසේ නමුත් මෙම සියලු තත්ත්වයන් හමුවේ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනේත්, ඉන් පසු අධිකරණ ක්‍රියාවන් සමග පරීක්ෂනයන් ආරම්භ වූයේත් පුත්තලම ප්‍රජා නායකයින් සහ සංවිධාන, දේශීය සහ අන්තර් ජාතික සිවිල් සමාජ සංවිධාන විසින් ඉදිරියට ගෙන එන ලද ව්‍යාපාරයන් සහ හඩනැගීම් වල බලපෑමෙිනි. නමුත් පට්නි රාසික් ඝාතනයෙන් වසර 4ක් ඉක්ම ගොස් තිබිය දී පවා සිදුකරනවා යැයි කියන පරීක්ෂනයන් විශ්වාසවන්ත ලෙසකින් ඉදිරියට යන්නේ ද යන්න තවම පෙනෙන්නට නැත. ඒ රාජපක්ෂ පාලනයේ නීතියේ ආධිපත්‍ය රජකරන තරමය. එසේම මානව හිමිකම් ආරක්ෂකයෙකු, පුරවැසියෙකු මහමගදී පැහැරගෙන ගොස් ඝාතනය කිරීමෙන් වසර 4කට පසුත් යුක්තිය ඉෂ්ඨ කර ගැනීමට නොහැකි වීමෙන් පෙන්නුම් කරන්නේ වත්මන් ලංකාවේ තිබෙන රාජපක්ෂවරැන්ගේ පාලනයේ ‘තරම‘ නොවේද?

Video | පට්නි රාසික්ගේ ඝාතනය පිළිබදව දේශපාලකයන් සහ පුත්තලමේ ජනතාව දැක්වූ අදහස් සමග රාසික්ගේ අවසන් කටයුතු සිදු වූ ආකාරය පිළිබදව ‘විකල්ප‘ වෙබ් අඩවිය සැකසූ වීඩියෝ සටහනක් පහත දැක්වේ.

* පට්නි රාසික් පිලිබදව විකල්ප වෙබ් අඩවියේ පළවු සටහන් කිහිපයක් පහතින් දැක්වේ.
1මානව හිමිකම් ක්‍රියාකාරී රාසික්ගේ මළසිරුර සොයා ගනී. පුත්තලමේදී සිදුකළ අවසන් කටයුතු උණූසුම් වෙයි.

##

2 පට්නි රසීක් පැහැරගැනීම, මරණය සහ නීතියේ පාලනය