Image Credit : PresRajapaksa
යුද්ධය අවසන් අදියරේදී සිදුවූ යුධ අපරාධයන් හෙළිකරනු ලැබූ NO FIRE ZONE සිනමා පටය පැරිස් නුවර පිහිටි ප්‍රංශ පාර්ලිමේන්තු සංකීර්ණයේ වික්ටර් හියුගෝ ශාලාවේදී පසුගියදා තිරගත කෙරිණි. ප්‍රංශයේ දෙමළ ඊළාම් නිවහන නම් සංවිධානය හා ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂය එක්ව සංවිධානය කල මේ ප්‍රදර්ශනයට ප්‍රංශයේ දෙමළ දේශපාලන ක්‍රියාධරයන්, ප්‍රංශ ජාතික දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක් එක්විය. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නියෝජනය කරමින් එහි හමුදා බුද්ධි අංශ ප්‍රධානියා ඇතුළු තිදෙනෙකු සහභාගිවිය. එක් අයෙක් ශ්‍රී ලංකා සිංහල සංස්කෘතික සංගමයේ ප්‍රධානියෙකි. චිත්‍රපට ප්‍රදර්ශනයෙන් පසු NO FIRE ZONE නිෂ්පාදක channel 4 හි කැලම් මැක්රේ විසින් කරුණු දැක්වීමක් කෙරිණි. සභාවෙන් ප්‍රශ්න රැසක්ම ඔවු වෙත යොමුවිණි. පහත දැක්වෙන්නේ කැලම් මැක්රේ දැක්වූ අදහස්වල සම්පිණ්ඩනයකි.

“ලබන මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියේ දී ශ්‍රි ලංකාවේ මනුෂත්වයට එරෙහිව සිදුවූ අපරාධ සම්භන්ධයෙන් විමර්ශනයට ශ්‍රී ලංකාවට තවත් කාලයක් ලබාදෙනු ඇති බව මගේ විශ්වාසයයි. ශ්‍රී ලංකාව ඔවුන්ගේ විසදුම ලෙස පෙන්වන LLRC ක්‍රියාත්මක කිරීමට තවත් කාලයක් ලබා දෙන මෙන් දැනටමත් ඉල්ලුම් කර තිබෙනවා.

යුද්ධය අවසන් කාලයේදී සිදුවූ ජන ඝාතනයන් වලක්වා ගැනීමට ද එක්සත් ජාතීන්ගේ සංවිධානයට හැකි වුණේ නැහැ. දැන් මොකද වෙන්නේ කියල බලන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් මුකුත් කරන්න දෙයක් නැහැ .අවසන් යුද්ධයේදී බටහිර රටවල්-ඇමෙරිකාව-චීනය, ඉරානය – ඊශ්‍රලය, ඉන්දියාව – පකිස්ථානය ඔක්කොම රාජපක්ෂට සහයෝගය දුන්නා.

ඒවගේම යුද්ධය අවසන් කිරීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගීවෙමින් දක්ෂ ලෙස ජනාධිපති රාජපක්ෂ කල කතාව ගැන අවධානය යොමු කරන්න, ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයට මුහුණදී එය අවසන් කල බවත්, රටවල අභ්‍යන්තර දේවල්වලට අතපෙවීම් බලවත් රටවල් නොකළයුතු බව, ඇමෙරිකාවට ඉගි කරමින් කියා සිටියා. මේ විහිළු හා බොරු අධිරාජ්‍ය විරෝධීයක්. මේ කතාව අප්‍රිකාව, ලතින් ඇමෙරිකානු රටවල් විශවාස කළා. විශේෂයෙන් මානව හිමිකම් ගැන ප්‍රශ්න කිරීම. නමුත් මේකේ ඇත්ත කතාව රාජපක්ෂට මේ අධිරාජ්‍ය විරෝධී කතාව සකස් කරන්නේ බෙල් පොන්ජර් කියන බ්‍රිතාන්‍ය සමාගම විසින්. ඒ ගොල්ලෝ මාග්‍රට් තැචර් එක්කත් වැඩ කරපු අය.

ඕස්ට්‍රේලියානු ආණ්ඩුව දෙමළ සරණාගතයන්ට රැකවරණය ලබා නොදෙන්නේ රාජපක්ෂ රෙජීමය සමග මිතු දමක් ගොඩනගා ගන්න. එත් අපි අපේක්ෂා සහගතවයි ඉන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය යුධ අපරාධ ගැන ජාත්‍යන්තර ස්වාධින විමර්ශනයකට අවස්ථාව ලබා දෙවි කියලා. ඒවගේම අපි බලපොරොත්තු වෙනවා අගමැති කැමරන් මෙහිදී ඔහු පැවසු පරිදිම ශක්තිමත්ව කටයුතු කරයි කියලත්. අපි හිතනවා අපි කොහොමද මේකට උදව් කරන්නේ කියලා, අපේ ඊළඟ සිනමා පටය මාර්තු වෙනකොට විශේෂයෙන් අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල පෙන්වනවා. මේ රටවල ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය සමග ගැටුමක් තියෙනවා ඒක තමා රාජපක්ෂගේ “අධිරාජ්‍ය විරෝධයට“ හේතු වුණේ, කොහොම නමුත් අපේ සිනමා පට හරහා රාජපක්ෂගේ බොරු අධිරාජ්්‍ය විරෝධය ඔවුන් තේරුම් ගනී. ඉරාකයට පස්සේ අතුරුදන්වීම් වැඩිම රට වෙන්නේ ආජන්ටිනාව. අතුරුදන් වීම් හරහා ඔවුන්ට තේරුම් ගන්න පුළුවන් වේවි ශ්‍රි ලංකාවේ තත්වය. ඒ ගැන කතිකාවක් ඇති වේවි.

මට තියෙන තොරතුරු එකතු කරලා කතාවක් කියන්න පුළුවන් යුද්ධයේදී මොකද වුණේ කියලා. දෙමළ ජනසංහාරය පිළිබඳව විශේෂයෙන් නීතිමය පැත්තෙන් කට යුතු කෙරෙන්න ඔනී. මම විශ්වාස කරනවා උතුරේ සිදුවන දේවලින් විශේෂයෙන් දෙමළ කාන්තාවන්ට සිදුවන හිරිහැර, සිංහල සොල්දාදුවන් උතුරු පළාතේ හැමතැනම අරක්ගෙන සිටීම, සිංහල පවුල් පදිංචි කිරීම මගින් වේගයෙන් ක්‍රියාත්මක වන සිංහලකරණය, බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම්, සැලසුම් සහගතව සිදුකෙරෙන ලිංගික අතවර. මේ සියල්ලටම ආණ්ඩුවේ මැදිහත් වීමක් තියෙනවා.

මිට දින කීපයකට පෙර ගෝඨාභය රාජපක්ෂ විසින් රෝහලක් විවෘත කරන උත්සවකදී වන්නි හමුදා අණදෙන නිලධාරී කියනවා සිංහල සොල්දාදුවෝ විශාල වශයෙන් දෙමළ ජනයාට ලේ පරිත්‍යාග කර ඇති බව, මේවා හරිම විහිළු කතා.

ශ්‍රී ලංකාව ගැන සිනමා විශේෂාංග නිපදවනු ලබුවේ අහම්බයෙන්, මම අප්‍රිකාව/ ඉරාකයේ යුධ ගැටුම් ගැන නිර්මාණ කර තිබෙනවා. ඒත් වසර කිහිපයකට පස්සේ මේ රූපරාමු මාව තිගැස්මකට පත් කළා, ඇත්තටම ලංකාවේ ආණ්ඩුව කියන බොරුවලට හරිම කේන්තියි. ඔවුන් කියපු කිසිම දෙයක් කරලා නැහැ. හැම දෙයක් ගැනම ඔවුන් කියන සංඛ්‍යාලේඛන පරස්පරයි. හැමදාම පැටලෙනවා.

NO FIRE ZONE කිසිම රුප රාමුවක් බොරු ඒවා නෙමේ. මේවා සත්‍ය ඒවා බවට ජාත්‍යන්තර සංවිධාන විසින් විද්‍යාත්මකව ඔප්පු කරලා තියෙන්නේ. මේවා අපිට ලැබුන ගමන් අපි හැම තැනකින්ම සනාථ කරගත්ත සත්‍ය ඒවා බවට, අපිට ඒ ගැන විශ්වාසයි. මේවා ගැන ලංකාවේ ආණ්ඩුව එක එක වෙලාවට නොයෙක් දේ කියනවා. බොරු ඒවා කියනවා, නිර්මාණය කරපුව කියනවා. ඇත්තටම ශ්‍රි ලංකාවේ මිනිස්සු නම් ඉන්නේ භයානක තත්වයක.”

මෙම අවස්ථාවට ශ්‍රි ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් තිදෙනා ගෙන් කිසිවෙකු මැක්රේ ගේ අදහස්වලට විරෝධය පෑමක් හෝ ප්‍රශ්න කිරීමක් නොකළේය .

සටහන : අතුල විතානගේ | Athula Vithanage