ජිනීවා සහ දෙමළ දේශපාලන අභිලාෂ

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කැරෙන වාද විවාද සහ යෝජනා පසු පස ඉන්නේ විදේශ ගත දෙමළ ප්‍රජාව යැයි ආන්ඩුව කියයි. රාජ පාක්ෂික ජනමාධ්‍ය එම පිරිස් හදුන්වන්නේ කොටි සංවිධනයේ ඉතිරි වූ කෑලි බෑලි වශයෙනි. ඔවුන් කියන පරිදි කොටි සංවිධානයේ නටඹුන් වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නැටවිය හැකි නම් ඔවුන් කොතරම් බලවත් විය යුතු ද?

ඇත්ත වශයෙන්ම නම් කොටි සංවිධානයේ පිළිවෙත අනුගමනය කරන හෝ ඊට සමාන්තර අදහස් දරන විදේශ ගත දෙමළ කන්ඩායම් ජිනීවා යෝජනා සම්බන්ධයෙන් දක්වන්නේ අවඥා සහගත ආකල්පයකි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය ගැන එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය යටතේ ජනමත විචාරණයක් පවත්වන ලෙස ය. එමෙන්ම යුද්ධය මගින්, අන්තර් ජාතික නීතිය විසින් අර්ථ ගන්වා ඇති පරිද්දෙන්ම, දෙමළ ජන ඝාතනයක් සිදු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළි ගත යුතු බව ය.

මේ කතාව කෙසේ වෙතත් ජිනීවා යෝජනා සහ ස්වයං තීරණ අයිතිය උදෙසා වන ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන අභිලාෂන් අතර මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන යම් තරමක සම්පාතවීමක් ඇති වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ. එය සිදුවනු ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව දිගින් දිගට ම අන්තර් ජාතික සහ දෙමළ දේශපාලන ඉල්ලීමක් වන යුද්ධ අපරාධ ගනයේ ලා සැළකෙන මානව හිමිකම් කඩවීම් නොසළකා හරින තත්ත්වය යටතේ ය. එමෙන්ම දෙමළ ජාතික ප්‍රශ්ණයට පිළිගත හැකි දේශපාලන විසඳුමක් සෙවීමට රාජපක්ෂ ආන්ඩුව දක්වන නොකැමැත්ත ද හේතු කොට ගෙන ය.

දේශපාලන විසඳුමකට එකඟ වනු පිණිස දෙමළ සන්ධානය සමඟ ආරම්භ කළ සාකච්ජා ආන්ඩුව අතරමඟ නතර කළේ ය. ඒ සඳහා යැයි පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද කොට උඩ ය. ඒ මදිවාට දැන් කවර හෝ දේශපාලන විසඳුමකට මාරාන්තික විරෝධයක් දක්වන ජාතික හෙළ උරුමයට කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා දේශපාලන නායකත්වය බාර දී තිබේ.

ශ්‍රී ලංකාන්ඩුව විසින් ම පත් කරන ලද උගත් පාලන සහ ප්‍රති සන්ධාන කොමිසම දේශපාලන විසඳුම සම්බන්ධයෙන් නිර්දේශ හතක් ඉදිරිපත් කළ අතර ආන්ඩුව ඉන් එකක් වත් සම්පූර්ණ කර නැත. කරනු ලැබ ඇති එකම කාරිය වන්නේ ඒවා දැන් කොට උඩ ගොස් ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීම පමණි.

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් නමුත් ජනවාර්ගික ගැටුම/විරසකය/ප්‍රශ්ණය අවසන් නැති බව අපි හැම පිළි ගනිමු. එමෙන්ම ප්‍රශ්ණය විසදීමට රාජපක්ෂ ආන්ඩුව ඇත්ත උවමනාවක් පෙන්වා නැති බව ද අපි දනිමු. දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට රාජපක්ෂවරුන් අසමත් වී ඇති තරම උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ සන්ධානය ජන්ද සියයට 70කටත් වඩා ලබා ගැනීමෙන් සක් සුදක් සේ පෙනී ගියේ ය. එම ජන්ද ප්‍රතිශතය ලබා ගැනුනේ රාජ්‍ය සම්පත් අසීමිත ලෙස යොදා ගනිමින් ආරක්ෂක හමුදා පවා තැන තැන යොදා ගනිමින් රාජපක්ෂවරු ගෙන ගිය ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයකට මුහුණ දෙමිනි.

එළෙස පත් වූ උතුරු පළාත් සභාවට රාජපක්ෂ ආන්ඩුව සළකන්නේ එපා වාහෙට හොදි බෙදන පරිදි ය. මහ ඇමැතිවරයාගේ එකඟත්වයෙන් කළ යුතු ප්‍රධාන පෙළේ පත්වීම් කැරෙන්නේ ජනාධිපති රාජපක්ෂගේ තනි කැමැත්තට ය.

මෙම තත්ත්වය පැහැදිළි කරමින් බීබීසී සන්දේශය සමඟ සාකච්ජාවකට එක්වූ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් මෑතදී කියා සිටියේ ‘ ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප වරක්ම තමන් සමඟ ඉතා සුහදව සාකච්ඡා කළත් එම සාකච්ඡාවලදී ඔහු දුන් පොරොන්දු කිසිවක් තවමත් ඉටු කොට නොමැති ‘ බව ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවට ද පළාත් සභාව තීරණය කර තිබේ. එපමණක් නොවේ. මන්නාරමෙහි හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි උතුරු පළාත් සභාව තීරණය කර තිබේ.

මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කරන්නේ දේශපාලන විසඳුමක් ලබා ගැනීම අරමුණ වශයෙන් පැවැති දෙමළ ජාතිකවාදී දේශපාලනය දැන් ඉන් එපිටට ගොස් ඇති හැටි ය. දේශපාලන විසඳුමක් මෙන්ම ඊට පාදක විය යුතු ප්‍රති සන්ධානය සාර්ථක වනු ඇත්තේ යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ කැරෙන විමර්ශණයක් ද හරහා ය යන්න අද ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනයේ අභේද්‍ය සාධකයක් බවට පත් ව තිබේ. ජිනීවා යෝජනා දෙමළ අභිලාෂ සමඟ පෑහෙන්නේ මෙම වර්ධනයක් සමඟ ය.

පසුගිය දිනයන්හි උතුරු පළාතට ගිය අතුරුදහන් වූ පුද්ගලයින් සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමූයේ දෙමළ ජනයා හඬා වැටෙමින් කියා සිටින්නේ යුද හමුදාවට බාර වූ සිය නෑ සියන් සොයා ගන්නට බැරි බව ය. මෙම ඇසින් දුටු සාක්ෂි විසින් යුද්ධය අතරතුර ලංකාන්ඩුවේ ආරක්ෂක හමුදා විසින් කළැයි කියන අපරාධ යළිත් වරක් වාර්තා ගත වෙයි. කණගාටුවකට මෙන් දෙමළ ජනයාගේ මෙම වේදනාවන් සිංහල ජනයාට දැ‍නෙන්නේ නැත. ඒ විශේෂයෙන්ම සිංහල ජනමාධ්‍ය විසින් පණවා ගෙන සිටින ස්වයං වාරණය නිසා ය. එසේ නමුත් දෙමළ ජනමාධය විසින් ද දෙමළ අන්තර් ජාල පුවත් වෙබ් අඩවි විසින් ද මෙම සාක්ෂි යළි යළි පුනරුච්චාරණය කරමින් එතෙර මෙතෙර දෙමළ ජන මනස තුළ කා වද්දයි.

අනෙක් අතට මෙරට දෙමළ දේශපාලන පක්ෂයන්ට සිය ජනයාට යුක්තිය ලබා ගැනීම පිණිස වන මෙම අරගලය කර ගෙන යාම‍ට සිදුව ඇත්තේ තනිවම ය. එනම් දකුණේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක සහායක් නොමැතිව ය‍ . උදාහරණයකට වළ දමා ඇත්තේ ජවිපෙ යැයි සැක කරන ලද තරුණ පිරිස් බවට බොහෝ දුරටම සැක කළ හැකි මාතලේ සමූහ මිනීවළ සහ එල්ටීටීඊ යැයි සැක කරන ලද පිරිස් වළ දමා තිබිය හැකි මන්නාරම සමූහ මිනී වළ ගනිමු. මාත‍ලේ සමූහ මිනී වළ පිළිබඳ පරීක්ෂා කිරීමට යැයි ජනාධිපති රාජපක්ෂ පත් කළ කොමිසම ද අද අතුරුදහන් වී තිබේ. ඉන් ගොඩ ගත් ඇට සැකිළි කොටස් පරීක්ෂා කිරීම පිණිස යවන ලද්දේ රාජපක්ෂ හිතැති චීනයට ය. එසේ නමුත් ජවිපෙ දැන් ඒ ගැන කතාවක් නැත. ව්‍යාජයක් වූ දේශීය පරික්ෂනය වෙනුවට අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලන්නේ ද නැත. එනයින් සමූහ මිනීවල් පිළිබඳ උද්ඝෝෂණය අද දෙමළ උද්ඝෝෂනයක් බවට පත් ව තිබේ.

දකුණේ පැවැති යුද්ධ/කැරළි අතර තුර සිදු වූ දැවැන්ත මානව හිමිකම් කෙ‍ළෙසීම් ගැන උද්ඝෝෂණයක් තබා හරි හැටි සකස් කරන ලද වාර්තාවක් වත් අද මෙරට නැත. අත් අඩංඟුවට ගැනීමෙන් පසු මරා දමන ලද සිය නායකයා ගැන හෝ ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත. එනයින් යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් ගැන උද්ඝෝෂනය ද දෙමළ උද්ඝෝෂනයක් බවට පත් ව තිබේ. එම උද්ඝෝෂනයට එජාපය හෝ පොන්සේකාගේ පක්ෂය හෝ ජවිපෙ හෝ සහාය දෙන්නේ නැත. එබැවින්ම මෙරට දෙමළ දේශපාලනයේ සගයා බවට විදේශ ගත දෙමළ ප්‍රජාවත් අන්තර් ජාතික ප්‍රජාවත් පත් වෙයි. දැන් සිදුවෙමින් තිබෙන්නේ එය යි. අද අන්තර් ජාතික වශයෙන් මෙරට දෙමළ ජනයාගේ ශක්තිමත්ම සහ ළඟම සටන් සගයා බවට පත්ව ඇත්තේ මිලියන 70 ක ජනගහණයක් ඇති තමිල් නාඩුව ය‍ . (ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21කි).

ජය ලලිතා මහ ඇමැතිවරියගේ නායකත්වයෙන් යුතු තමිල් නාඩු ප්‍රාන්ත ආන්ඩුව ඉන්දියානු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන්ට සමාව දී නිදහස් කිරීමට තීරණය කිරීම තමිල්නාඩු දේශපාලනය ගමන් කරන දිශානතිය පෙන්නුම් කරන සාධකයකි. (ලංකාන්ඩුව ඉහළම එල්ටීටීඊ නායකයින් වූ කේපීට සහ කරුණාට සමාව පමණක් නොව තනතුරුද දී තිබේ!)

අප්‍රේල් මාසයට නියමිත ඉන්දියානු මහා මැතිවරණයෙන් ජයලලිතා ගේ පක්ෂය තමිල් නාඩුවෙහි ආසන 30කට වඩා ගනු ඇතැයි කියැවෙන අතර එමගින් මධ්‍යම ආන්ඩුව කෙරෙහි ඇයගේ බලය ඉහළ යනු ඇත. ඉන්දියාවේ ප්‍රබල වාම පක්ෂ සියල්ලම ද ජයලලිතා හා සන්ධාන ගතව සිටී. එම පක්ෂ දරන ස්ථාවරය වන්නේ ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

මේ අතරවාරයෙහි ජිනීවා යෝජනා මගින් ඉල්ලා සිටින ලද, යුද අපරාධ හා සමාන අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම රාජපක්ෂවරු විසින් ප්‍රතික්ෂේප කිරීමේ විපාකය වශයෙන් එක්සත් ජාතීන් විසින් කරනු ලබන පරීක්ෂණයක් කරා දැන් අපි ළඟා වෙමින් සිටිමු. එවැනි වාර්තාවක නිගමන ද රාජපක්ෂවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.

රාජපක්ෂවරුන්ගේ සිංහල ස්වොත්තමවාදය විසින් දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුමක් ලබා දීම වළක්වයි. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ යුදවාදී දේශපාලනය විසින් යුද අපරාධ හා සමාන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කිරීම වළක්වනු ඇත.

එවැනි තත්ත්වයක විපාකය වනු ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විදේශ ගත දෙමළ ප්‍රජාව සහ තමිල් නාඩු ප්‍රාන්ත ආන්ඩුව ද ඉන්දීය වාම දේශපාලන බලවේග සමඟ ද එක්ව ඒ මත බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ සන්ධාන ගත වීම විය හැකි ය. එවැනි සන්ධානයක් විසින් මෙරට දෙමළ ජනයාගේ අයිතීන් සපුරාලනු පිණිස පමණක් නොව දශක දෙක තුනකට පසුව හෝ යුද අපරාධ හා සමාන මානව හිමිකම් කෙළෙසීම් වෙනුවෙන් දඩුවම් නියම කිරීමට ද ඉඩ නැතුවා නොවේ.

ජීනීවා යෝජනා ක්‍රියාවට නොනැංවීම මගින් රාජපක්ෂවරු කර ගන්නේ සිය දෙපා යටින් වල් හරා ගැනීමක් වන්නේ අන්න ඒ නිසා ය.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya


  • Wishwa

    යාපනයේ පලාලි සහ ත්‍රිකුණාමලයේ චීන වරාය ගුවන්තොටුපළවල සිට ඉන්දියාවට සෘජු ගුවන් ගමන් ඇරැඹිය යුතු බවටත් තලෙයිමන්නාරමේ සිට දකුණු ඉන්දියාවේ රාමේශ්වරම් දක්‌වා නැව් සේවයක්‌ ඇරැඹිය යුතු බවටත් උතුරු පළාත් සභාව විසින් සම්මත කරගනු ලැබූ යෝජනාව දෙමළ ජාතික සන්ධානය ආණ්‌ඩුවට ඇටවූ උගුලක්‌ බව ජිනීවා හි එක්‌සත් ජාතීන්ගේ හිටපු නිත්‍ය නියෝජිත හා ප්‍රවීණ දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

    ඒ හැර උතුරේ ආණ්‌ඩුකාරවරයා ඉවත් කරන ලෙසත්, ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරන ලෙසත්, උතුරේ හමුදා කඳවුරු ඉවත් කරන ලෙසත් ඉල්ලා සිටීමේ යෝජනා ද ඔවුන් සම්මත කරගෙන තිබුණා.

    මෙයින් පෙනී යන්නේ දෙමළ ජාතික සන්ධානය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරමින් කටයුතු කරන බවයි. මීට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානයත් ගුවන් බලයක්‌ ඇතිකර ගැනීමට උත්සාහය කළත් රජය එය ව්‍යර්ථ කළා. දැන් දෙමළ ජාතික සන්ධානය උතුරු පළාත් සභාව මගින් උත්සාහ ගන්නේ උතුරට ගුවන් බලයක්‌ ඇතිකර ගැනීමටයි.

  • Piyal

    සිංහල ජාතිකවාදීන් බොහෝ දෙනකුට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය නොතේරීම ජෙනීවා පැරදවීමට ඇති ප්‍රධාන බාධාව බවට පත් වී ඇත. මේ බොහෝ දෙනකු අප ඉදිරිපත් කරන මතයට විරුද්ධ වන්නේ ඉතිහාසය හා සමස්‌තය ගැන හැදෑරීමකින් තොරව ය. ප්‍රශ්නය ඊනියා නිජභූමි ප්‍රශ්නයක්‌ බවට මතයක්‌ ඉදිරිපත් කිරීමේ වෑයමක්‌ ප්‍රබුද්ධයන් යෑයි කියාගන්නා අතර වෙයි. එක්‌ ප්‍රබුද්ධයකුට අනුව දෙමළ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කර ඇති නිවැරදි මතය නිජභූමිය පිළිබඳ ප්‍රශ්නය ය. මොවුහු දෙමළ ජාතිවාදය පිටුපස ඇත්තේත් එය මෙහෙයවන්නේත් එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් බවත් දෙමළ ජාතිවාදය යොදා ගැනෙන්නේ බෞද්ධ සංස්‌කෘතීන් හා චින්තන නැති කිරීමට බවත් නො පිළිගනිති. ජෙනීවාහි දී ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රධාන යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රීලංකාව, මියන්මාරය හා උතුරු කොරියාවට විරුද්ධව ය. ඒ රටවල් කිනම් අර්ථයකින් වුව ද බෞද්ධ රටවල් ය. උතුරු කොරියාව බෞද්ධ නොවේ යෑයි ප්‍රබුද්ධයකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අප දන්නා කරුණක්‌ නම් පසුගිය දශක කිහිපය තුළ දකුණු කොරියාව සංස්‌කෘතික හා ආගමික වශයෙන් ක්‍රිස්‌තියානි/කතෝලික වී ඇති බවත් උතුරු කොරියාව එසේ වී නොමැති බවත් ය. ඉහත කී රටවල් තුන අතරෙන් මියන්මාරයට විරුද්ධව ගෙනෙන යෝජනාව සැර බාල කර ඒ රටේ ද අනුමැතියෙන් ගෙනෙන එකඟතා යෝජනාවක්‌ බවට පත්කර ඇත. අවුන් සාං සු කී යොදා ගැනීමෙන් බටහිර රටවලට මියන්මාරය යම් ප්‍රමාණයකට මෙල්ල කිරීමට හැකි විය. එහිදී බටහිරයෝ ආර්ථික සම්බාධක ද යොදාගත්හ. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක්‌ නැත. සු කී වෙනුවට බටහිරයන් ලංකාවේදී යොදා ගැනීමට උත්සාහ කළේ චන්ද්‍රිකා කුමාරතුංග ව ය. එහෙත් එය අසාර්ථක විය. අද බටහිරයන්ට සුදුසු නායකයකු ලංකාවෙන් සොයා ගැනීමට නො හැකිය. එබැවින් ඔවුහුම ලංකාවට එරෙහි ව සෘජුව ම ක්‍රියාත්මක වෙති. කැමරන් විය යුතු පරිදි ම එහි නායකත්වය දරන අතර ඔහුට ඔබාමාගේ හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය නොමඳ ව ලැබෙයි.

    දෙමළ ජාතිවාදය ඇතිකිරීම පිළිබඳ කතාව ලන්දේසීන් කරා දිව යන අතර වත්මන් ස්‌වරූපයෙන් එය පවතින්නේ දහනවවැනි සියවසේ මුල් දශකවල ඉංගිරිසින් විසින් ඇතිකරන ලද ව්‍යවස්‌ථාදායක මණ්‌ඩල කාලයේ සිට ය. එහෙත් අවාසනාවකට බොහෝ සිංහලයන්ට වියුක්‌ත ව (ඉංගිරිසියෙන් නම් ඇබ්ස්‌ට්‍රැක්‌ට්‌) සිතන්නට බැරි ය. (නො) දත් දොස්‌තරලාට වියුක්‌තය යන වචනයවත් නො තේරෙයි. බොහෝ දෙනාට සමස්‌තය දැකිය නො හැකි ය. වියුක්‌තව නොසිතා සාධාරණීකරණයට (පොදු බව දැකීමට) ඉඩක්‌ නැත. මේ සියල්ල ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි අංග ය. අපට ඒ නුහුරු ය. එසේ වුවත් පෘතුගීසීන්ට විරුද්ධ ව අප ඔවුන්ගේ කාලතුවක්‌කු නිෂ්පාදනය කර ඔවුන්ට එරෙහි ව යොදාගත් අයුරෙන් අද දවසේ අපට ඔවුන්ගේ වියුක්‌ත චින්තනය යම් ප්‍රමාණයකට වුව ද යොදාගත යුතුව ඇත. අප දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස බටහිරයන් දකින්නේ වියුක්‌ත ව සිතීමෙනි. බටහිරයන් ලංකාවේ පමණක්‌ නොව ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය අපට විරුද්ධව යොදාගන්නා බව පසුගිය දා රජිව් ඝාතනයේ වැරදිකරුවන් නිදහස්‌ කිරීමට තමිල්නාඩු ආණ්‌ඩුව ගත් තීරණයෙන් ද පැහැදිලි විය. එහි දී බටහිරයෝ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පමණක්‌ නොව ගාන්ධි පවුල ද යම් ප්‍රමාණයකට යොදාගත්හ. ඔවුහු සමාවදීමට (ඔවුහු කිසි විටෙකත් සමාව නො දෙති. එහෙත් අනෙක්‌ අය ලවා ඒ දේවගතියක්‌ යෑයි කියන්න කරවති) ගාන්ධි පවුල ද යොදාගත්හ. රජිව් ගාන්ධිගේ දුව ප්‍රියංකා තම පියාගේ ඝාතකයා වූ නාලිනී බැලීමට හිරගෙදරට ගියා ය. ඉතාලි කතෝලික සම්භවයක්‌ ඇති සෝනියා ද ඝාතකයන් කෙරෙහි අනුකම්පාවක්‌ දැක්‌වී ය. ඝාතකයන්ගේ අභියාචනයක්‌ සලකා බැලීමට අධිකරණය බොහෝ කලක්‌ ගත්තේ ය යන පරිසිද්ධිය (ඉංගිරිසියෙන් නම් ෆැක්‌ට්‌) මත පදනම් ව ඉන්දීය ශේ්‍රෂ්ඨාධිකරණය වැරදිකරුවන්ගේ මරණීය දණ්‌ඩනය ලිහිල් කර ජීවිතාන්තය දක්‌වා සිරදඬුවමක්‌ බවට පත්කළේ ඔවුන් නිදහස්‌ කළ හැකි බවට තමිල්නාඩු ආණ්‌ඩුවට ඉඟියක්‌ ද කරමිනි. ඉහත සඳහන් කළ ප්‍රසිද්ධිය කිසි බරක්‌ නැති විහිළුවක්‌ පමණක්‌ වුවත් සමාව දීම සඳහා මතයක්‌ දේවගති ඇති ඉන්දිය ජනකොටසක්‌ අතර ඇතිකර තිබිණි. ඝාතකයන් නිදහස්‌ කිරීම පිළිබඳ ව තමන් සතුටු වන බව මෙරට හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමැති වූ ද විග්නේෂ්වරන් ප්‍රකාශ කිරීමෙන් විනිසුරුවන්ගේ තීන්දු ගැන ද අපට යම් අවබෝධයක්‌ ලබාගැනීමට හැකි ය. මොන ප්‍රකාශ කළත් විග්නේෂ්වරන්ට ආනන්දී සමග තරග කළ නො හැකි බව ඔහු තේරුම් ගත යුතු ය.

    කෙසේ වෙතත් ඉන්දීය ආණ්‌ඩුව පමා වී හෝ මෙහි බරපතළකම තේරුම් ගෙන ඇත. එහි දී රාහුල් ගාන්ධි තමිල්නාඩුවේ තීරණය පිළිබඳ තම කෝපය ද පළකර ඇත. තමිල්නාඩුවේ ක්‍රියාකලාපය හා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ම ක්‍රියා ලෙස අපි නොසලකමු. අප මෙහි දී තළියේ කිඹුලන් දකින්නේ යෑයි කිසිවකු කියනු ඇත. තළියේ කිඹුලන් නැතිවුවත් පොළඟුන් ඇත. නන්දිකඩාල් කලපුවේ දී කොටින් පරාජය කිරීමෙන් පසුව ද දෙමළ ජාතිවාදයට මෙතරම් ශක්‌තියක්‌ ඇත්තේ නිජභූමි සංකල්පයක්‌ නිසා නොව බටහිරයන් දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස ඇති බැවින් ය. එහෙත් නිජභූමි සංකල්පයට එරෙහිව අප සටන් නොකළා නො වේ. ඒ බව ගුණමකුවන් හැරෙන්නට සෙස්‌සෝ දනිති. යාපනයේ ඉතිහාසය ගැන අධ්‍යනය කිරීමට ඒ ඇතැමුන් යොමු වූයේ කෙසේ ද යන්න පවා ඔවුන්ට අද වන විට අමතක වී ඇත. ගුණමකුවන්ට කෙසේ වුවත් සමස්‌ත ප්‍රශ්නය දැකීමට අපට හැකිවිය යුතු ය. අපට ජෙනීවා පැරදවිය හැක්‌කේ සමස්‌ත ප්‍රශ්නය දැකීමෙන් පමණකි. අප රට සම්බන්ධයෙන් ගත්කල අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්‌කෘතිය හා චින්තනයත් ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයත් යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියත් අතර සටනකි. එහිදී බටහිරයෝ විසිරුණු දෙමළ ජනයාට, පඬියන්ට, රාජ්‍ය නොවන ගැත්තන්ට, ජඩමාධ්‍යවේදීන්ට අමතරව මෙරට ඇතැම් කතෝලික හා ක්‍රිස්‌තියානි පූජකයන් පල්ලි නිකාය හා පස්‌ගව (පස්‌වග නොවේ) මහණුන් ද යොදා ගනිති. අප ඉදිරියේ ඇත්තේ ජෙනීවා යෝජනාව පරාජය කිරීම පිළිබඳ ප්‍රශ්නය පමණක්‌ නො වේ. අපට ජෙනීවා සම්ප්‍රදාය පරාජය කිරීමේ කාර්යභාරය ද වෙයි. ජෙනීවා යෝජනාවට කුමක්‌ වේ දැයි නිශ්චිත ව කිව හැකි නො වේ. යෝජනාව පරාජය කිරීමට අප බටහිර නොවන රටවල සහාය පැතිය යුතු ය. එහෙත් එයටත් වඩා ජෙනීවා පරාජය කිරීමට අප උත්සාහ දැරිය යුතු ය.

  • Dilshan.

    සුනන්දගේ තවත් එක් තුට්ටු දෙකේ ලිපියක්. ඔහු මේ ලියන්නේ ඔහුගේ ස්වාදීන මත නොවේ. බටහිරයන් ඔහුව තබාගේන සිටින්නේ ලංකාවට විරුද්දවයි. එසේ නොලියන්නේ නම් ඔහුට පැවැත්මක් නොමැත.

  • Nihal

    දිල්ෂාන්. රිදිලා වගේ. ඕකට සුනන්දටවත්, අධිරාජ්‍යවාදීන්ටවත් බැනලා වැඩක් නෑ. ඕක ලෙඩක්. බෙහෙත් ගන්න. ඔබ ඇතුලු බොහෝ දෙනෙක් දෙමළා මරපු පවු තමයි ඔය පස්සෙන් එන්නේ. අඩුම ගානේ ඔබලාට අනුව බෝධිපූජාවක් වත් තියන්න. නැතිනම්. රාජපක්ෂ වගේ බලි පූජාවක් වත් තියන්න.

  • Sampath

    මෙන්න තවත් එක මහා පණ්ඩිතයෙක් අදහස් දක්වල.

    මට පෙන්නේ ඩිල්ශාන්ට වඩා නිහල්ට රිදිලා වගේ. හමුදාව දෙමලා මැරුවා කියන ඔය බොලද තර්කය කියන්නේ ඔබලා වගේ තුට්ටු දෙකේ ඩොලර් මත යැපෙන අහිගුන්ටකයන් පමණ්යි.

    ඔය කියන විදියට දෙමලාව මැරුවා නම් රටේ සමස්ත ද්‍රවිඩ ජනගහනයෙන් 50% වැඩිය උතුරු නැගේනහිරින් පිටත වාසය කරන්නේ කෙසේද ? ඔය තුට්ටු දෙකේ තර්ක ලාංකීය බුද්දිමත් ජනතාව අලුයම ලූ කෙල පිඩක් සේ බැහැර කරයි.

    හමුදාව යුද අපරාද කලා නම් එම හමුදාවට නායකත්වය දුන් සරත් ෆොන්සේකාව පොදු අපේකශකයා ලෙස පිලිගෙන ඔහුට සහාය දීමට TNA ඉදිරිපත් වූයේ ඇයි. ? ඔය කියන යුද අපරාද අදිකරනයට සරත් ෆොන්සේකා යැවිමට බෙදුම් වාදි ද්‍රවිඩ සංදානය ජිනීවා නොයන්නේ ඇයි ?

    අපිට කෙසේ වෙතත් ඔබ තුමාට පිරිත් කියලා තොවිලයකුත් කර ගන්න වෙයි.