ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් කැරෙන වාද විවාද සහ යෝජනා පසු පස ඉන්නේ විදේශ ගත දෙමළ ප්‍රජාව යැයි ආන්ඩුව කියයි. රාජ පාක්ෂික ජනමාධ්‍ය එම පිරිස් හදුන්වන්නේ කොටි සංවිධනයේ ඉතිරි වූ කෑලි බෑලි වශයෙනි. ඔවුන් කියන පරිදි කොටි සංවිධානයේ නටඹුන් වලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම නැටවිය හැකි නම් ඔවුන් කොතරම් බලවත් විය යුතු ද?

ඇත්ත වශයෙන්ම නම් කොටි සංවිධානයේ පිළිවෙත අනුගමනය කරන හෝ ඊට සමාන්තර අදහස් දරන විදේශ ගත දෙමළ කන්ඩායම් ජිනීවා යෝජනා සම්බන්ධයෙන් දක්වන්නේ අවඥා සහගත ආකල්පයකි. ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනයාගේ ස්වයං තීරණ අයිතිය ගැන එක්සත් ජාතීන්ගේ නිරීක්ෂණය යටතේ ජනමත විචාරණයක් පවත්වන ලෙස ය. එමෙන්ම යුද්ධය මගින්, අන්තර් ජාතික නීතිය විසින් අර්ථ ගන්වා ඇති පරිද්දෙන්ම, දෙමළ ජන ඝාතනයක් සිදු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළි ගත යුතු බව ය.

මේ කතාව කෙසේ වෙතත් ජිනීවා යෝජනා සහ ස්වයං තීරණ අයිතිය උදෙසා වන ශ්‍රී ලාංකික දෙමළ දේශපාලන අභිලාෂන් අතර මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන යම් තරමක සම්පාතවීමක් ඇති වීමට බොහෝ දුරට ම ඉඩ තිබේ. එය සිදුවනු ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව දිගින් දිගට ම අන්තර් ජාතික සහ දෙමළ දේශපාලන ඉල්ලීමක් වන යුද්ධ අපරාධ ගනයේ ලා සැළකෙන මානව හිමිකම් කඩවීම් නොසළකා හරින තත්ත්වය යටතේ ය. එමෙන්ම දෙමළ ජාතික ප්‍රශ්ණයට පිළිගත හැකි දේශපාලන විසඳුමක් සෙවීමට රාජපක්ෂ ආන්ඩුව දක්වන නොකැමැත්ත ද හේතු කොට ගෙන ය.

දේශපාලන විසඳුමකට එකඟ වනු පිණිස දෙමළ සන්ධානය සමඟ ආරම්භ කළ සාකච්ජා ආන්ඩුව අතරමඟ නතර කළේ ය. ඒ සඳහා යැයි පත් කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ද කොට උඩ ය. ඒ මදිවාට දැන් කවර හෝ දේශපාලන විසඳුමකට මාරාන්තික විරෝධයක් දක්වන ජාතික හෙළ උරුමයට කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා දේශපාලන නායකත්වය බාර දී තිබේ.

ශ්‍රී ලංකාන්ඩුව විසින් ම පත් කරන ලද උගත් පාලන සහ ප්‍රති සන්ධාන කොමිසම දේශපාලන විසඳුම සම්බන්ධයෙන් නිර්දේශ හතක් ඉදිරිපත් කළ අතර ආන්ඩුව ඉන් එකක් වත් සම්පූර්ණ කර නැත. කරනු ලැබ ඇති එකම කාරිය වන්නේ ඒවා දැන් කොට උඩ ගොස් ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඉදිරිපත් කිරීම පමණි.

ශ්‍රී ලංකාවෙහි යුද්ධය අවසන් නමුත් ජනවාර්ගික ගැටුම/විරසකය/ප්‍රශ්ණය අවසන් නැති බව අපි හැම පිළි ගනිමු. එමෙන්ම ප්‍රශ්ණය විසදීමට රාජපක්ෂ ආන්ඩුව ඇත්ත උවමනාවක් පෙන්වා නැති බව ද අපි දනිමු. දෙමළ ජනයාගේ සිත් දිනා ගැනීමට රාජපක්ෂවරුන් අසමත් වී ඇති තරම උතුරු පළාත් සභා මැතිවරණයේ දී දෙමළ සන්ධානය ජන්ද සියයට 70කටත් වඩා ලබා ගැනීමෙන් සක් සුදක් සේ පෙනී ගියේ ය. එම ජන්ද ප්‍රතිශතය ලබා ගැනුනේ රාජ්‍ය සම්පත් අසීමිත ලෙස යොදා ගනිමින් ආරක්ෂක හමුදා පවා තැන තැන යොදා ගනිමින් රාජපක්ෂවරු ගෙන ගිය ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයකට මුහුණ දෙමිනි.

එළෙස පත් වූ උතුරු පළාත් සභාවට රාජපක්ෂ ආන්ඩුව සළකන්නේ එපා වාහෙට හොදි බෙදන පරිදි ය. මහ ඇමැතිවරයාගේ එකඟත්වයෙන් කළ යුතු ප්‍රධාන පෙළේ පත්වීම් කැරෙන්නේ ජනාධිපති රාජපක්ෂගේ තනි කැමැත්තට ය.

මෙම තත්ත්වය පැහැදිළි කරමින් බීබීසී සන්දේශය සමඟ සාකච්ජාවකට එක්වූ උතුරු මහ ඇමැති විග්නේශ්වරන් මෑතදී කියා සිටියේ ‘ ජනාධිපති මහින්ද රාජපක්ෂ කිහිප වරක්ම තමන් සමඟ ඉතා සුහදව සාකච්ඡා කළත් එම සාකච්ඡාවලදී ඔහු දුන් පොරොන්දු කිසිවක් තවමත් ඉටු කොට නොමැති ‘ බව ය. එමෙන්ම ශ්‍රී ලංකාවේ යුද්ධයේ දී සිදු වූ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් අවශ්‍ය බවට ද පළාත් සභාව තීරණය කර තිබේ. එපමණක් නොවේ. මන්නාරමෙහි හමු වූ සමූහ මිනීවළ සම්බන්ධයෙන් ද එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු යැයි උතුරු පළාත් සභාව තීරණය කර තිබේ.

මෙම වර්ධනයන් විසින් පෙන්නුම් කරන්නේ දේශපාලන විසඳුමක් ලබා ගැනීම අරමුණ වශයෙන් පැවැති දෙමළ ජාතිකවාදී දේශපාලනය දැන් ඉන් එපිටට ගොස් ඇති හැටි ය. දේශපාලන විසඳුමක් මෙන්ම ඊට පාදක විය යුතු ප්‍රති සන්ධානය සාර්ථක වනු ඇත්තේ යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් පිළිබඳ කැරෙන විමර්ශණයක් ද හරහා ය යන්න අද ශ්‍රී ලාංකික දෙමළ දේශපාලනයේ අභේද්‍ය සාධකයක් බවට පත් ව තිබේ. ජිනීවා යෝජනා දෙමළ අභිලාෂ සමඟ පෑහෙන්නේ මෙම වර්ධනයක් සමඟ ය.

පසුගිය දිනයන්හි උතුරු පළාතට ගිය අතුරුදහන් වූ පුද්ගලයින් සොයා බැලීමේ ජනාධිපති කොමිසම හමූයේ දෙමළ ජනයා හඬා වැටෙමින් කියා සිටින්නේ යුද හමුදාවට බාර වූ සිය නෑ සියන් සොයා ගන්නට බැරි බව ය. මෙම ඇසින් දුටු සාක්ෂි විසින් යුද්ධය අතරතුර ලංකාන්ඩුවේ ආරක්ෂක හමුදා විසින් කළැයි කියන අපරාධ යළිත් වරක් වාර්තා ගත වෙයි. කණගාටුවකට මෙන් දෙමළ ජනයාගේ මෙම වේදනාවන් සිංහල ජනයාට දැ‍නෙන්නේ නැත. ඒ විශේෂයෙන්ම සිංහල ජනමාධ්‍ය විසින් පණවා ගෙන සිටින ස්වයං වාරණය නිසා ය. එසේ නමුත් දෙමළ ජනමාධය විසින් ද දෙමළ අන්තර් ජාල පුවත් වෙබ් අඩවි විසින් ද මෙම සාක්ෂි යළි යළි පුනරුච්චාරණය කරමින් එතෙර මෙතෙර දෙමළ ජන මනස තුළ කා වද්දයි.

අනෙක් අතට මෙරට දෙමළ දේශපාලන පක්ෂයන්ට සිය ජනයාට යුක්තිය ලබා ගැනීම පිණිස වන මෙම අරගලය කර ගෙන යාම‍ට සිදුව ඇත්තේ තනිවම ය. එනම් දකුණේ කිසිදු ප්‍රධාන දේශපාලන පක්ෂයක සහායක් නොමැතිව ය‍ . උදාහරණයකට වළ දමා ඇත්තේ ජවිපෙ යැයි සැක කරන ලද තරුණ පිරිස් බවට බොහෝ දුරටම සැක කළ හැකි මාතලේ සමූහ මිනීවළ සහ එල්ටීටීඊ යැයි සැක කරන ලද පිරිස් වළ දමා තිබිය හැකි මන්නාරම සමූහ මිනී වළ ගනිමු. මාත‍ලේ සමූහ මිනී වළ පිළිබඳ පරීක්ෂා කිරීමට යැයි ජනාධිපති රාජපක්ෂ පත් කළ කොමිසම ද අද අතුරුදහන් වී තිබේ. ඉන් ගොඩ ගත් ඇට සැකිළි කොටස් පරීක්ෂා කිරීම පිණිස යවන ලද්දේ රාජපක්ෂ හිතැති චීනයට ය. එසේ නමුත් ජවිපෙ දැන් ඒ ගැන කතාවක් නැත. ව්‍යාජයක් වූ දේශීය පරික්ෂනය වෙනුවට අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලන්නේ ද නැත. එනයින් සමූහ මිනීවල් පිළිබඳ උද්ඝෝෂණය අද දෙමළ උද්ඝෝෂනයක් බවට පත් ව තිබේ.

දකුණේ පැවැති යුද්ධ/කැරළි අතර තුර සිදු වූ දැවැන්ත මානව හිමිකම් කෙ‍ළෙසීම් ගැන උද්ඝෝෂණයක් තබා හරි හැටි සකස් කරන ලද වාර්තාවක් වත් අද මෙරට නැත. අත් අඩංඟුවට ගැනීමෙන් පසු මරා දමන ලද සිය නායකයා ගැන හෝ ජවිපෙ පරීක්ෂණයක් ඉල්ලන්නේ නැත. එනයින් යුද්ධ කාලීන මානව හිමිකම් කෙළෙසීම් ගැන උද්ඝෝෂනය ද දෙමළ උද්ඝෝෂනයක් බවට පත් ව තිබේ. එම උද්ඝෝෂනයට එජාපය හෝ පොන්සේකාගේ පක්ෂය හෝ ජවිපෙ හෝ සහාය දෙන්නේ නැත. එබැවින්ම මෙරට දෙමළ දේශපාලනයේ සගයා බවට විදේශ ගත දෙමළ ප්‍රජාවත් අන්තර් ජාතික ප්‍රජාවත් පත් වෙයි. දැන් සිදුවෙමින් තිබෙන්නේ එය යි. අද අන්තර් ජාතික වශයෙන් මෙරට දෙමළ ජනයාගේ ශක්තිමත්ම සහ ළඟම සටන් සගයා බවට පත්ව ඇත්තේ මිලියන 70 ක ජනගහණයක් ඇති තමිල් නාඩුව ය‍ . (ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 21කි).

ජය ලලිතා මහ ඇමැතිවරියගේ නායකත්වයෙන් යුතු තමිල් නාඩු ප්‍රාන්ත ආන්ඩුව ඉන්දියානු අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන්ට සමාව දී නිදහස් කිරීමට තීරණය කිරීම තමිල්නාඩු දේශපාලනය ගමන් කරන දිශානතිය පෙන්නුම් කරන සාධකයකි. (ලංකාන්ඩුව ඉහළම එල්ටීටීඊ නායකයින් වූ කේපීට සහ කරුණාට සමාව පමණක් නොව තනතුරුද දී තිබේ!)

අප්‍රේල් මාසයට නියමිත ඉන්දියානු මහා මැතිවරණයෙන් ජයලලිතා ගේ පක්ෂය තමිල් නාඩුවෙහි ආසන 30කට වඩා ගනු ඇතැයි කියැවෙන අතර එමගින් මධ්‍යම ආන්ඩුව කෙරෙහි ඇයගේ බලය ඉහළ යනු ඇත. ඉන්දියාවේ ප්‍රබල වාම පක්ෂ සියල්ලම ද ජයලලිතා හා සන්ධාන ගතව සිටී. එම පක්ෂ දරන ස්ථාවරය වන්නේ ද ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

මේ අතරවාරයෙහි ජිනීවා යෝජනා මගින් ඉල්ලා සිටින ලද, යුද අපරාධ හා සමාන අපරාධ සම්බන්ධයෙන් විශ්වසනීය අභ්‍යන්තර පරීක්ෂණයක් පැවැත්වීම රාජපක්ෂවරු විසින් ප්‍රතික්ෂේප කිරීමේ විපාකය වශයෙන් එක්සත් ජාතීන් විසින් කරනු ලබන පරීක්ෂණයක් කරා දැන් අපි ළඟා වෙමින් සිටිමු. එවැනි වාර්තාවක නිගමන ද රාජපක්ෂවරුන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇත.

රාජපක්ෂවරුන්ගේ සිංහල ස්වොත්තමවාදය විසින් දෙමළ ජනයාට සමාන අයිතිවාසිකම් සහිත දේශපාලන විසඳුමක් ලබා දීම වළක්වයි. එමෙන්ම රාජපක්ෂවරුන්ගේ යුදවාදී දේශපාලනය විසින් යුද අපරාධ හා සමාන මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කිරීම වළක්වනු ඇත.

එවැනි තත්ත්වයක විපාකය වනු ඇත්තේ ශ්‍රී ලාංකික දෙමළ ජනයා, විදේශ ගත දෙමළ ප්‍රජාව සහ තමිල් නාඩු ප්‍රාන්ත ආන්ඩුව ද ඉන්දීය වාම දේශපාලන බලවේග සමඟ ද එක්ව ඒ මත බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් සමඟ සන්ධාන ගත වීම විය හැකි ය. එවැනි සන්ධානයක් විසින් මෙරට දෙමළ ජනයාගේ අයිතීන් සපුරාලනු පිණිස පමණක් නොව දශක දෙක තුනකට පසුව හෝ යුද අපරාධ හා සමාන මානව හිමිකම් කෙළෙසීම් වෙනුවෙන් දඩුවම් නියම කිරීමට ද ඉඩ නැතුවා නොවේ.

ජීනීවා යෝජනා ක්‍රියාවට නොනැංවීම මගින් රාජපක්ෂවරු කර ගන්නේ සිය දෙපා යටින් වල් හරා ගැනීමක් වන්නේ අන්න ඒ නිසා ය.

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya