ප්‍රේම සම්බන්ධතාවක් පිළිබද ඇති වු සිත්තැවුලක් හේතුවෙන් හලාවත ප්‍රදේශයේ ‘*ගැහැණු‘ ළමයෙකු සියදිවි හානි කරගෙන තිබෙන බව ඊයේ(04) මාධ්‍ය වාර්තා කළේය. 17 හැවිරිදි දැරියක් වන ඇය, සිය සිරැරට ‘*ගිණි තබාගැනීම‘ හේතුවෙන් ඇති වූ බරපතල තුවාල තත්ත්වය නිසා මිය ගොස් ඇති බවද එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සදහන් විය.

දැන් මෙම දැරිය මිය යාමට හේතුව ගින්දර යැයි අයෙක් කියන්නට පුලුවන. නැතහොත් ප්‍රේමය යැයි තවත් අයෙක් කියන්නට පුලුවන. එය එසේ වන්නේ විශේෂයෙන් නැවත නැවතත් ෆෙස්බුක් අපරාධයක් වැනි දේ කියන මාධ්‍ය ප්‍රකාශකලා වැනි අය මේ දූපතේ ඕනෑ තරම් අහුලා ගන්නට සිටින බැවිනි. ඒ නිසා ගින්දර ද, ප්‍රේමය ද, තහණම් කරපල්ලා යැයි හෙට අනිද්දා කවුරැන් හෝ කීවත් පුදුම විය යුතු නොවේ.(අයුක්ති සහගත යුද්ධය විසින් ලාංකීය සමාජයට හුරැකරන ලද්දේ අනෙකාව හැම විටම අවිශ්වාස කරපන්, සැකයෙන් බලපන්, කියාය. එයින් ඇති වූයේ ආදරය වැනි මිනිස් සම්බන්ධතා සීග්‍රයෙන් හැකි ලී ගොස් හිස් ජීවිත ගොඩකින් මේ දූපත පිරී යාමය. එබැවින් සත්‍ය ලෙසම මිනිසාට මිනිසා හමුවීමට දැන් මේ සමාජය එක් පැත්තකින් බිය වී ඇති බවක් පෙනේ. එබැවින් ඒ පිළිබදව ගැඹුරැ සාකච්ඡාවක් ලංකාවේ ඇති විය යුතුය.)

සැබෑ හේතුව වසන් කර ඵලය උඩදැමීම

පසුගිය මාස ගණනාවක් ෆේස්බුක් සමාජ ජාලය පටලවා ගෙන මේ දූපතේ ඇතැම් මුද්‍රිත මාධ්‍යත්, දේශපාලකයනුත්, හැකි සෑම සෙල්ලමක්ම දැම්මේ ෆේස්බුක් තහණම් කරවා ගන්නටය. ඒ තිබෙන අභෙෘතික වස්තුවක් හෝ පරම සතුරා බවට පත්කර ගෙන ෆෙස්බුක් තියා ජංගම දුරකතනය පිළිබදවවත් හරිහමන් තේරැමක් නැති දුප්පත් දෙමාපියන් ඇන්දවීමටය. එම සතුරා පෙන්වා ඉදිරි ඡන්දය දිනා ගන්නටය. නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සිය සුපුරැදු සෙල්ලම දැමුවේ නැත. ඔහුට මතක් වූයේ ජිනීවා ය. රාජපක්ෂ ජනාධිපතිවරයා ලහි ලිහියේම ‘අපි ෆේස්බුක් තහණම් කරන්නේ නෑ‘ යනුවෙන් සිය ට්වීටය හරහා ලොවටම කියා පෑවේය. එසේම සමාජ ජාල වෙබ් අඩවි භාවිතය ගැන පුහුණු වීම් පවා සිදුකරන්නට පියවර ගත්තේය.(එය ඉතා වැදගත් පියවරක් ලෙස සැලකිය හැකිය. එසේම බොහෝ සමාජ ජාල අවකාශයකම එයට පිවිසීමේ දී ආරක්ෂිත ක්‍රමවේදයන් හදුන්වා දී තිබේ. නමුත් බොහෝ විට ඒවා ගැන නිසි අවධානයක් සිදු කරන්නේ නැති තරම්ය. අනෙක නම් පුහුණුවත් සමගම විශේෂයෙන් ඒවායේ මනෝවිද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක වැනි කරැණු පිළිබදවත් අප වැනි සමාජයන් අවධානයට ලක් කළ යුතුය.) කෙසේ නමුත් ඒ, රාජපක්ෂ දේශපාලනයේ හැටිය. එය තේරැම් ගැනීම ෆෙස්බුක්වලට වඩා අපහසු වන්නට පිළිවන. කේසේ නමුත් ජනාධිපතිවරයාටත් ඉහලින් ගොස් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින්, කිසියම් ඝාතනයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන විට කීවේ ‘‘Facebook සමාජ ජාල වෙබ් අඩවිය මේ වනවිට අපරාධ ඇති කරන ප‍්‍රධානතම මෙවලම බවට පත්වී ඇති බවය‘‘ නමුත් පොලිස් දේපාර්තමේන්තුවත්, රටේ ජනාධිපතිවරයා ඇතුලු බොහෝ දේශපාලකයනුත් ඒ අපරාධය රස විදින බවත්, එයින් වැඩ ගන්නා බවත් ඔහුට අමතක විය. කෙසේ නමුත් ෆේස්බුක් හා සියදිවි නසා ගැනීම් සම්බන්ධව මේ වන විටත් විශාල සංවාදයක් ඇති වී ඇති බැවින් ඒ පිළිබදව දිගු අදහසක් මෙම ලියමනේ ඇතුලත් කිරීමට අවශ්‍ය වන්නේ නැත.

එම සංවාදය ලියලමින් අැති අවස්ථාවක ඉතා වැදගත් පුවතක් ඊයේ(04) මාධ්‍ය වාර්තා කර තිබිණි. එය නම් මහත් කතාබහට ලක් වූනු කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහ‍ලේ සිසුවියගේ මරණය සම්බන්ධවය. එය ලක්බිම පුවත්පත වාර්තා කර තිබුණේ මෙසේ ය. ‘‘ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවලවිදුහ‍ලේ විදුහල්පති කාර්යාලයේ ඇති අභිරහස් කාමරයක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් විමර්ශනයක් ආරම්භකර තිබේ. එම කාමරය සම්බන්ධයෙන් තොරතුරු පාස‍ලේ සිසුන්ගෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ලැබි ඇත. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන් එම කාමරය සඳුදා(03) පරීක්ෂාවට ලක්කර තිබේ. ඇතිරිලි දැමූ ඇඳකින් සමන්විත එම කාමරයේ ජනෙල් පවා නැති බවත් එය අදුරු කාමරයයක් බවත් එහිදී ජාතික ළමා ආරක්ෂක අධීකාරියේ නිලධාරීන්ට පෙනී ගොස් ඇත.‘‘

එහි වැඩිදුරටත් සදහන් වන්නේ..‘‘එම කාමරය ළමුන්ට දඩුවම් දෙන්නට තැනූවක් නම් කොට්ට මෙට්ට දැමූ ඇදක් එහි ඇත්තේ කුමකට දැයි ගැටළුවක් බවට මේ වන විට පත්ව තිබේ. විදුහල්පති නිල කාර්යාලයේ ඇති ඒ කාමරය රහස් කාමරයක් ලෙස භාවිතා කරන්නක් බව දැනට කෙරී ඇති විමර්ශන වලින් පෙනී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වයඹ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගෙන්ද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් තොරතුරු විමසා ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ආරංචි මාර්ග අනාවරණය කළේය.‘‘ යනුවෙනි.

බලන්න. සිය දිවි හානිකර ගැනීමට ෆේස්බුක් යන මාධ්‍ය අවකාශය හා සම්බන්ධයක් නැති බවට ඒ පිළිබද විචාරකයින් මෙන්ම සෙසු විද්වතුන්ද බොහා් කරැණු පැහැදිලි කරමින් සිටියත්, මේ පුවතේ ද සදහන් වන්නේ ‘‘ෆේස් බුක් සිද්ධියක් මුල්කරගෙන සිසුවියක් සියදිවි හානි කරගත්…‘‘ යනුවෙනි. මෙහි දී ද මතුපිටින් පෙනෙන ‘දෙය‘ ඉස්මතු කර පෙන්වීමට උනන්දු වී අැති සේම අන්තර්ජාලය හා බැදි මාධ්‍ය සම්බන්ධයෙන් තිබෙන ‘භිතිකාව‘ නැවතත් මේ තුලින් පෙන්නුම් කර ඇත.(එසේම පසුගිය දිනවල සියදිවි නසා ගැනීම් මාධ්‍ය වාර්තා කළ අයුරැ නිරීක්ෂණ ය කිරීමේ දී ද පෙනී යන්නේ ඒ පිළිබදව වාර්තාකරණය සම්බන්ධව තිබෙන දැනුමේ ප්‍රමාණයේ තරමය! **විශේෂයෙන් සියදිවි හානිකර ගැනීම් පිළිබද වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් සැලකිලිමත් විය යුතු ආචාරධර්ම/මගපෙන්වීම් පිළිබදව තවමත් ලංකාවේ ඇත්තේ අඩු අවදානයකි. එය ලංකාවේ සියදිවි නසා ගැනීම් වාර්තාකරණය නීර්ක්ෂණය කළහොත් මනාවට පෙන්නුම් කරයි)

කෙසේ නමුත් කුරැණැගල පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් දැන්, ‘ඇද ඇතිරිලි දැමූ‘ දඩුවම් කාමරයක් පිළිබදව කතාවක් එම සිදුවීමට ඈදී ඇත. නිවැරදිව විමර්ශණය කළහොත් එම සියදිවි නසා ගැනීම පිළිබදව නිවැරදි තොරතුරැ හෙළිවනු ඇති සේම, ෆෙස්බුක් පතුරැ ගසමින්, ඝාතකයා ෆේස්බුක් කරමින්, එයට වරද පටවා ඒ මුවාවෙන් සිදු වී ඇති සත්‍ය ‘දේ‘ පැහැදිලි වනු ඇත.

එදාටත් කරැවල කාමරයත්, කාමරයේ ඇඳ තැබූ ‘අශිෂ්ඨ ශරීර‘ ගැනත් කිසිවක් නොකීමට පරෙස්සම් වී, ‘ඇඳවල් තහණම් කරනු!‘ කියන්නටත් පිරිසක් බලා සිටින්නට බැරිකමක් නැත්තේ ය.

නමුත් කොමමණ දේ සිදු කළත්, මේ සියදිවි නසා ගැනීම්වලට මූලික වන හේතූන් සොයා බලා ඒවාට පිළියම් සොයාගැනීමට නොහැකි වන තාක්කල් ෆේස්බුක්, ප්‍රේමය, ජංගම දුරකතන ආදී සියලු දේවල්වලට දෙස්දෙවොල් තබමින් සිටිය හැකිය. එය ලංකාවේ පාලකයින්ට ද සරැ ඉල්ලමක් වන්නේ ය. ඒ මේ වන විට සමාජයේ සෑම ක්ෂේත්‍රයක් තුළම පවතින ආතතිය, පිඩනය සහ මර්දනය හමුවේ එය වසාලමින්, වෙනත් සතුරෙකු ජනතාවට අබිමුඛ කර තවත් චිරාත් කාලයක් ආශ්චර්ය පෙන්වමින් සිටිය හැකි යැයි ඔවුන් කල්පනා කරන බැවිනි.

එසේම විශේෂයෙන් ලංකාව මේ වන විට මුහුණ දි තිබෙන අර්බුදවලට ද හේතුවන සමාජ, දේශපාලනික හේතුන් පිළිබදව ජනතාව සවිඥ්ඥාණික වුවහොත් පාලකයින්ගේ ආයුෂ අඩු බව පාලකයින් දන්නා බැවින්, සිදුකරන ඕනෑම මර්දනයකට, ව්‍යසනයකට ‘හේතුව‘ සෙවීමේ අභ්‍යාසයකට මෙවන් පාලකයින් විසින් ජනතාව යොමු නොකරන්නට පරෙස්සම් වන්නේ ය. එය ‘මර්දනය‘ සහ ‘වසගය‘ එකම උපකරණය කර ගනිමින් පාලනය කරන ඕනෑම පාලකයෙක් ගේ ප්‍රමුඛ ලක්ෂණයකි. එය ලංකාවේ රාජපක්ෂ පාලනයටත් එකසේ අදාලය. එය ජනතාව තේරැම් ගත යුතුම වන්නේ ය.

*NOTE:
පහත තිබෙන්නේ, ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කරන ලද ට්වීටර් පණිවිඩත්, ෆේස්බුක් අපරාධයක් වැනි දේවල් කියූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ පොලිස් දෙපාර්තමේන්තුවට අයත් යැයි සදහන්ව තිබෙන ෆේස්බුක් පිටුවත්, ඇමතිවරැන් කිහිපදෙනකුටම අයත් ෆේස්බුක් ගිණුම් ය.

Facebook@ Sri Lanka Police

Police FB

මේ ෆෙස්බුක් සමාජ ජාලය වාරණය කල යුතු/ තහණම් කළ යුතු වැනි අදහස් කියූ ඇමතිවරැන් දෙදෙනෙකුගේ ‘පමණක්‘ ෆේස්බුක් ගිණුම්ය.

Facebook @Tissa Karalliyadda

Thiss Karalliyadda

Facebook @WimalWeerawansa
Wimal

*සැලකිය යුතුයි.

මේ ෆේස්බුක් ගිණුම් ඕනෑම අයෙකුට ප්‍රසිද්ධියේ නැරඹිය හැකි අතර අදාල ගිණුම් හිමියාට මේවා තමන්ගේ නොව ව්‍යාජ ඒවා යැයි පවසන්නට පුලුවන. එබැවින් විකල්ප වෙබ් අඩවිය ඒ පිළිබදව වගකීම දරන්නේ නැති බවත්, ඒවා ව්‍යාජ ඒවා නම් ෆේස්බුක් අඩවිය ලබා දී ඇති ව්‍යාජ ගිණුම් අත්හිටුවීම ඇති පහසුකමින් එය අත්හිටුවීමට හැකි බවත් දන්වා සිටිමු.