නොබොන්නට තීරණය කළ දවසක අවසාන හෝරාව නික්ම යමින් තිබේ. මම හාවකු සේ සළාද කොළ පත්‍ර පළඟානක්ම ගිල දමා කෙට්ටු කෙසඟ පොත් රාක්කයට එබෙමි. පොතක් අතට ගන්නට ය. පොත් දෙකක් අත රැඳේ. කියැවූ වාර ගණන පවා අමතක පොත් දෙකකි. එකක් සේකරයන්ගේ ය. ‘‘ප්‍රබුද්ධ ය.‘‘ අනික ගම්ලතුන්ගේ ය. ‘‘ශෝකයත් රසයක්ද?‘‘

ජංගම දුරකතකයෙන් මානව ගෝරියක හඬ නැඟෙයි. කෙටි පණිවුඩයකි. ‘‘පුළුවන්නම්, විනාඩියකට ස්කයිප් වරෙන්.‘‘ ඇමෙරිකාවෙනි. චාමින්දයාගෙනි.

අන්තර් ජංජාලයට නොපිවිසී ඉන්නට තීරණය කළ දිනයක් නොවෙතැයි සිහිපත් වන බැවින් උත්තරයක් නොයවා තිරය අරිමි. කවුළුව හැරපියා අනන්ත අවකාශයට එබෙමි. ස්කයිපයට යාමට පෙර විනාඩි කිහිපයක රස්තියාදුවක් ගැසිය යුතු ය.
සිනහවෙන් සැරසුණ සුමිතුරු මුහුණකි. දන්න හඳුනන වේදනාවෙකි. සමු අරන් ගිය ලකුණකුදු ඒ නිස්කලංක සිනහවේ නම් නැති. ඒ වේදනාව සජීවී ය. ඒත් හේ තෙමේ නික්ම ගිය බව සටහන්ව ඇත. මේ කවර විපතක්ද?

සැක නැත. චාමින්දයාගේ කෙටි පණිවුඩය ඒ ගැන ය. අශෝක අයියා ගැන ය. අශෝක පද්මසිරි නික්ම ගොස් ඇත. දැන් ඉතින් ඔහුට ආයුබෝවන් කියන්නේ කෙසේද?

##

අප දෙදෙනා එකට එකතුව කළ පිටු සිය ගණනිකි. ගතකළ හෝරා දහස් ගණනකි. හිස් කළ වීදුරු…..?

##

බදාදා දවසකි. අපි අතුලයාගේ පැලැලි බාර් එකට ගොඩ වෙමු. වෙලාව රෑ අටට පමණ වන්නට ඉඩ තිබේ. පිරිස හතරකි. අශෝක අයියාත්, තිඹිරිත්, දිසානායක මහත්තයාත්, ‘මම‘ත් ය. පීරිස් අයියාගෙන් ණයට ගත් සීය සීය සාක්කු වලය. එත් සීය සීය දමා මක්කරන්නද? බත් කන්නටවත් කට හදා ගත නොහැකි ය. ඉතිරිය බැලන්ස් කළ හැකි ය. අනතුරක් නැත. ජීවිතය අතුරේ යාමක් වන බැවිනි.

වට දෙකක් ගිය තැන හිත නිදහස් වේ. තිඹිරි ‘කර්මසෝ සහෝදරයෝ‘‘ කැඳවන්නට පෙර සභාව විහිළුවකින් සන්සුන් කළ යුතු ය.

‘‘අශෝකයියෙ, උඹ දන්නවද ලෝකෙ ජීවත් වෙන පැරණිම සතා.‘‘ මම අසමි. ඔහු කල්පනා කරයි. ‘‘උඹට ලොකු සමබන්ධයක් තියෙනවා ඒකයි අහන්නෙ‘‘ ඔහු කල්පනා කරයි. ‘‘ හැඩයි. ගාම්බීරයි. ආඩම්බරයි. ලතාවට අඩිය තියන්නෙ. මෙන්න සමාන කම්‘‘ ඔහු කල්පනා කරයි.

උත්තරයක් නැත. ඔහු අඩියක් ගසමින් කල්පනා කරයි. ‘‘යකෝ සීබ්‍රා.‘‘ මම කියමි.

‘‘සීබ්‍රා? ලොකේ පැරණිම සතා? ඒ කොහොමද?‘‘ ඔහුගේ නළල රැලි ගැන්වී ඇත.

‘‘ඇයි බං ඌ සදාකාලිකව බ්ලැක් ඇන්ඩ් වයිට්. උඹත් සදාකාලිකව බ්ලැක් ඇන්ඩ් වයිට්..‘‘

ඔහුගේ වෛවර්ණ හිනාව දැන් උණත් දැක ගන්නට අතීත මිත්‍රයන් කිසිවෙකුටත් බාධාවත් නැත. හිනාවෙන් ඉකිබිති අශෝකයියාගේ මුහුණ හැඟීම්බර ය. ඔහුගේ වචන නිෂ්චිත ය. තීරණාත්මක ය. ‘‘මං මේක දාලා යන්නෑ බං. යනවනම් චන්ද්‍රිකා ආව හැටියෙ මං ලේක් හවුස් යනවා. මං මේකට ආදරෙයි බං.‘‘ ඔහු තරමක් දොඩමළු ය. ‘‘අපි ඔක්කොම වැඩ කරලා, සඟරාව ආවම ෆුට් බයික් එකේ ගිහින් ඒවා පත්තර ලෑලි වලට දැලා තියෙන මිනිස්සු.‘‘ ඔහු කඩල ඇටයක් උගුරට විසිකර ගනී.

අපි දන්නවා, බොලා රාවයෙ සෙටුත් ගහලා, ඇටුත් කරපු මිනිස්සු.‘ එය ඇත්තකි. අතීතය යනු පාර ප්‍රබන්ධයක් නොවේ. නමුත් අතීතය මත තබා විග්‍රහ කර බැලූ විට ජීවිතය යනු කුමක්ද?

‘‘අපි යන්න ඕනෙ‘‘. අශෝක අයියා කියයි. ගෙදර යාමට පෙර ඔහුට තව පිටු දෙකක් අවසන් කිරීමට තිබේ. අශෝක අයියා අශෝකා වීදුරුව උගුරට හළා ගනී. මූණ ජනයාගේ කාටුනයක් සේ ඇදවී යයි.

‘‘මොකෝ, ඇරියා නේද අමුවෙන්?‘‘ මම අසමි.

ඔහු කිසිත් නොකියා අඛන්ඩව උගුරට කඩට ඇට විදිමින් සිටී.

‘‘උඹට වර්ණ අන්ධතාව තියෙනවා..‘‘ මම කීයමි.

‘‘ඒ මොකෝ? ඇයි උඹ එහෙම කියන්නෙ?‘‘ උගුර පාදා ඔහු අසයි.

‘‘කලිං උත්තරේම තමයි බං.‘‘ මම කියමි. ‘‘යකෝ කළු සුදු පිටුම හදලා.‘‘

ඔහුගේ ඇස් ඉරටු වන්නේ ය. ඒත් අවසන මම මුල් විහිළුවෙන් වදනක් ඉල්ලා අස්කර ගනිමි. ‘‘ආඩම්බරයි‘‘. ඔහු ආඩම්බර නැත. ඔහු ආඩම්බර වූයේ ආඩම්බර නොවීම ගැන ය. සැබැවින්ම අශෝක වනාහී දසබලධාරී අහිංසකයෙකි.

##

මම මට හැකි විටෙක රාජකාරී වැඩ සඳහා ඔහු කැටුව ගියෙමි. පිටු වල බර අදින ඔහුට සෙසු වැඩ සඳහා කාල අවකාශයක් හොයා ගැනීම උගහට ය. ඒත් ඔහු වැඩට කැමති ය. සහශ්‍රකය ලබද්දී කසිප්පු විස වීමෙන් මිය ගිය මිනිසුන් පිළිබඳ ලියන්නට මා එක්ක ගියේ අශෝකව ය. පුනර්ජීවණයේ නගරය වූ පානදුර ය. මම මිනිසුන් සමඟ කරන සංවාද ඔහුගේ කනින් නම් අතෑරෙන්නේ නැත. ඒත් අවශ්‍ය පින්තූර ගන්නට, ඔහුන්ගේ නම් ලියා ගන්නට මතක් කළ යුතු වන්නේ නැත. එදා උදෑසන සිට සන්ධ්‍යව එළඹෙන තුරුම මිය ගියවුන්ගේ ගෙවල්දොරවල් අතර සැරිසැරුවෙමු.

අවසන එළැඹුණේ කිරිබේරිය හන්දියෙනි. එය රබර් වතු කම්කරුවරුවකු වූ දෙමළ මිනිසෙකු දිවි ගෙවූ කුටියකි. කිරිබේරිය මහා රබර් වතු යාය ඔබ්බේ ය. අපි ඒ දුගඳ කුටියට පිවිසුණෙමු. එහි මොහොතක් ගත කළෙමු. අඳුරු ය. මම අගුළු නොලෑ කවුළු පියන්පතට අත තැබූයෙමි. එය ‘හායි ගාගෙන‘‘ ස්වයංක්‍රීයව මෙන් තල්ලු වී ගියේ ය. රබර් අතු අතරින් පෙරී ආ ආලෝකය වහා කුටිය කඩා පැන්නේ ය. මම අශෝක දෙස බැලීමි. මරණ අතරේ ඇවිද හෙම්බත්ව සිටි ඔහුගේ මුවග හිනාවකි.

‘‘මං දැක්කා‘‘ ඔහු කීවේ ය.

‘‘මොකද්ද?‘ මම ඇසුවෙමි.

‘‘පින්තූරෙ. ඒක තමයි මේන් ෆොටෝ එක.‘‘ මා හිතූ දෙය ඒ මොහොතේම ඔහුගේ මුවින් පිටවිණ. තවම පින්තූරය නාභිගත කරවත් නැත. දෙමළ වතු කම්කරුවාගේ අවසන් දින අවසාන රාජකාරියෙන් ඉකිබිති ඊට අදාල සියලු දෑ රාමුවේ විය. ඇණයක එල්ලු කැප් කොප්පිය ය. කවුළු කණ්ඩිය මත රබර් පිහිය ය. තුන්වැනි පිටුවේ වූ ලිපියේ ප්‍රධාන සේයාරුව වූයේ සැබැවින්ම එයම ය.

එදා දවල් බත කෑවේ අපේ ගෙදරිනි. අපේ අම්මාගේ බත් වේල ගිල දමන්නට අපි පෙර අපි ළිඳ ළඟ පිහිඹියා ගස මුලට වී දඩි දඩි ගා දෙකක් වනා ගතිමු.

‘‘මට මතක් වෙන්නෙම අර ගෑණි කියපු දේ‘‘

‘‘මොන ගෑණිද බං, ගෑණු කී දෙනෙක් කතා කළාද?‘‘

‘‘නෑ බං, අර එකියක් කිව්වෙ…“ ඔහු බත් කට ගිල දමා නිෂ්චිත කියමනට සැරිසේ.‘‘අනේ දෙයියනේ මේ පානදුර පොලිසියට කොටිවත් ගහනවනම්‘‘

මගේ බත් කට ‘හිස් මොළේ‘‘ යන්නට වන. බත් පත පැත්තකින් තබා වහා නැගිටගත් අශෝකයා වතුර කෝප්පය මගේ මුවගට ළං කළේ ය. පිටට තට්ටු තරමිනි. මගේම ගෙදරදී ඔහුගේ අතින් බිව් ඒ වතුර උගුරේ තෙතමනය තාම උගුරට දැනේ.

##

‘‘ඉතාම මිත්‍රශීලී අවිහිංසක මිනිසකු වූ ඔහු, සිය ප්‍රතිපත්ති ‍පාවා නොදී කටුක දුක් අනුභව කළ දුලබ මිනිසෙකු ලෙස බොහෝ දෙනා හදුනති.‘‘

ඔහුගේ මරණය දැනුම් දෙනුවස් සයිබරයේ සැරිසැරූ පුවතක වැකියකි. මට අනුව, ලියන්නා බරපතල ලෙස නොසිතූවද මෙකී වැකියෙන් අනියමින් ගම්‍ය වූයේ, බොහෝ දෙනා එසේ හැඳිනුවද, ඇත්ත එසේ නොවන්නේ ය යන්නයි. එබැවින් මම අනවසරයෙන් ඒ වැකිය වෙනස් කළෙමි. අනියමාර්ථය ආපස්සට හරවා නිෂ්චිතාතාර්ථයක ඔහු පිහිටුවාලූයෙමි.

මෙලෙසිනි. ‘‘නිහඬවම නික්ම ගොස් සිටින්නේ ඉතාම මිත්‍රශීලී අවිහිංසක මිනිසකු වූවා සේම සිය ප්‍රතිපත්ති ‍පාවා නොදුන් බැවින් කටුක දුක් අනුභව කළ දුලබ මිනිසෙකි.‘‘

බස හරි වෙනස් ය. බරපතල ලෙස සිතිය යුතු ය. වෙනස් වෙනස් අරුත් නැඟෙන බැවිනි.

##

මමත්, චාමින්ද නාගොඩවිතානයාත් බූවැලි ආරට යමින් සිටියෙමු. විශේෂ මිනිසුන් සිටිනා සම්බෝධියේ ගවේශනයක් පිණිස ය. පෝය දවසකි. බොන්නට දෙයක් නැත. අනාථ ය. බූවැලි ආරට යාමට පාර මාරු කළ යුත්තේ හුංගමිනි. අශෝක අයියාගේ උපන් ගමිනි. හුංගම හන්දියේදී වසා තිබූ අවන්හලකට අපි ඔහුගේ නම උගස් කළෙමු. අවන්හල්කරුවාගේ ඇස් නළලේ රැදුණී. ටක්කෙටම වැඩේ පත්තු විය.

‘‘එන්න ඇතුළට‘‘ දොරේ අගුළු පන්නමින් ඔහු පැවසී ය.

‘‘දැන් බෑ, වැඩකට යන්නෙ. එන ගමන් එන්නම්‘‘ අපි කීවෙමු.

ගල් ගෙඩිය ලැබිණ. පෝ දා බද්දෙන් නිදහස්ව ය.

අශෝක ගමට ප්‍රභූවරයෙකි. අපට සහෝදරයෙකි.

##

සහෝදරත්වය දැනෙන්නේ රාජකාරිය තුළ නොව ජීවිතය තුළදී යැයි මම අදහමි. රාජකාරිය පරම කර ගත්තෝ ජීවිතයට පයින් ගසති. සහෝදරත්වය ඈතට විසිවේ.

කූඨප්‍රාප්තිය ගීතයක් වන මොහොතක සියල්ලන්ගේම ගීතවලට තාලය අල්ලන අශෝක අයියා අවසන තමන්ගේ ගීතයට පිවිසේ. මම මෙය බොහෝ වර අද්දැක ඇත්තෙමි. එසේම මම ඊට ඇලුම් කරමි. ඔහු තුළ තුළ අනුකරණ සේයාවක් නැත. ඔහු විකට නළුවකු නොවනා බැවිනි.
අමුතු ඇඳුම් ඇඳ
හඬවන රබානකි අතේ
පොළොවෙ ඉඳන්
අඩි දහයක් විතර උස ඇතේ
ආකාසෙ ඔලුව වදියි
කියලා බය හිතේ
බොරු කකුල් කාරයෙක් එනවා
අන්න අර පුතේ.

උණ බම්බු දෙකක් උඩ මිනිහා ඉන්නෙ කොහොමද?
එයා අපි වාගේ මහ පොළොවේ පයින් යනවද?
මට තේරෙන්නෙ නෑ තාත්තෙ කියල දෙනවද?
එයා උඩින් යන්නෙ ඇයි පහළින් යන්න බැරුවද?

බොරු අහංකාරකම් කෙනෙකුගෙ නැති වුණොත් හිතේ
එයා උඩින් නෙමෙයි බිමින් ගියත් වැරැද්දක් නැතේ
පොරු කකුල් මෙයි වාගේ බැඳලා නැති නමුත් පුතේ
ඔය වාගෙ උඩින් යන ඈයො හුඟක් ලොව ඇතේ

ඔහුගේ හඬන් නික්ම එන මේ ගීතය නොදන්නා කිසිසේත්ම මිත්‍රයෙක් වන්නේ නොවේ. එය එතරම්ම අශෝකයන්ට අනන්‍ය ය. ඒත් කිසිවෙකුත් නොදන්නා දෙයක් තිබේ. ඔහු මේ ගයන්නේ කවරකු අරබයාද යන්නයි. පරමාදර්ශී පියෙකු ඔහු තුළ සිටියේ යයි මම විශ්වාස කරමි. ඒත් පරමාදර්ශ යනු කුමක්දැයි මම නොදනිමි.

##

දෙවසරකට පෙර ජිනීවා නගරයේ වීදි අතර සැරිසරමින් සිටි රාත්‍රී මොහොතකද මම සුනිලාගෙන් මෙසේ ඇසුවෙමි.

‘‘අශෝකයා මොකද කරන්නෙ.‘‘

‘‘එහෙමට විශේෂයක් නෑ. හැබැයි හැන්දෑවට දෝණිත් එක්ක ස්කීම් එක වටේ රවුමක් ඇවිදිනවා. ගොඩක් වෙලාවට අපේ ගෙදෙට්ටත් ගොඩ වෙනවා.‘‘

සුනිල් ජයසේකර එසේ කීයේ ඉවත බලාගෙන ය.

ඔහු රස්සාවෙන් නික්ම ගිය විට තමන් කළේ කැපවීමක් යැයි සිතා සතුටින් සිටියේ ය. අභිමානයෙන් සිටියේ ය. ඔහු එතරම්ම රාවයට ඇලුම් කළේ ය. රාවය යනු ජීවිතයට පර්යාය වූ වචනයක් විය. නමුත් ඉල්ලා අස්වීමට තල්ලු කිරීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි දැන ගන්නට ලැබී ඔහු මානසික පීඩාවට ගොදුරුව සිටියේ ය. අවසන ඔහුම එය මට කීවේ ය. ‘‘වැඩක් නෑ මචං, අපිව අන්දලා‘‘.

ආර්ථික පීඩාවෙන් මිදීම සඳහා බොහෝ දෑ කල ද එතනින් එහා ට ඔහු නිශ්චිත රස්සාවක් නොකළේ ය. රස්සාවක් කරන්නේ කුමකටදැයි ඔහු සිතනන්ට ඇත. රස්සාව ජීවිතයට පරියාය විය. ජීවිතය යනු අත පිසදා කුණු බක්කියට ඔබන කරදහියක් නොවේ.

##

මම පසෙකින් තැබූ පොත් දෙක දෙස බලමි. ප්‍රබුද්ධ හිනාවෙන්නේ මට ය. මම පාදඩයෙකු බැවිනි.

“වික්ටර්!
බතක් – වතක් – ගෙයක් – දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකි ද?
අසහනයෙන් මිදිය හැකි ද?
සංසාරේ නිරන්තර ව තැවරී ඇති
දුක එතනින් නිමා වේ ද?

“නෑ වික්ටර්!……..“

ප්‍රබුද්ධ කියවන්නට තරම් හෘදය ස්පන්ධනය කාව්‍යාත්මක නැත. ඉදින් ‘ප්‍රබුද්ධත්වය‘‘ වසා පැත්තක තබමි. පාදඩයකු නිසා වන්නට පිළිවන.

කම් නැත. මම දෑත පටලා ඇට බිඳ දමමි. එහි රාවය කණට අමිහිරි ය. ඒත් ඉන් ජනිත වන හැඟීම හදවතට ඉමිහිරි ය. ඇතැම් විට මොළයේ පවා හිරි අරින්නට පුළුවන. ඒත් ඇල්කොහොල් නම් වන ඖෂධය ඊට පරහට හිටී. මේ එවැනි මොහොතකි. සුදු රම් මනරම් බව දනිමි. ඒත් දැන් බෝතලයේ අඩිය මත අලෝකය වැටී ඇත. ඉදින් එහි පතුළත ඇත්තේ ආලෝකයම පමණක් බව දනිමි.

අතට ගෙන පැත්තකින් තැබූ අනිත් පොත නම් අත්හරින්නට බැරි ය. එය යළි අතට ගත යුතු ය. ඊට පෙර මම කළු-සුදු පිටු අතර සැරි සැරූ මගේ අනතීත මිත්‍රයාගෙන් මෙසේ අසමි.

අශෝක ! කියාපන් ශෝකයත් රසයක්ද?

manjula-wediwardhanaමංජුල වෙඩිවර්ධන | Manjula Wediwardhana
2014 මාර්තු 05