පොලීසිය ප්‍රකාශ කරන කිළිනොච්චිය ධර්මපුරම් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු අත් අඩංගුවට ගත් පී.ජෙයකුමාරිව දින 18 ක් රැඳවුම්භාරයේ තබන ලෙසට ආරක්‍ෂක අමාත්‍යංශය විසින් නියෝග කර ඇත.

ඇයව බූස්ස බන්ධනාගාරයට යැවීමට නියමිත බව පොලීසිය විසින් 2014.03.14 දින කිලිනොච්චිය වැඩබලන විනිසුරු එස්.ශිව බාලසුබ්‍රමනියම් වෙත දන්වා ඇත. 13 හැවිරිදි දැරිය ළමා නිවාසයේ ආරක්‍ෂාකාරීව තබා බලාගන්නා ලෙස ළමා ආරක්‍ෂක අධිකාරියේ නිලධාරීන්ට වැඩබලන විනිසුරු නියෝග කර ඇත.

තමන් සැක කටයුතු පුද්ගලයෙකුව සොයා ගමන් කල අවස්ථාවේ ඔහු ජෙයකුමාරිගේ නිවසේ සිට පොලීසියට වෙඩි තබා පලාගිය බවත්, නිවසේ සිටි මවත්, ඇයගේ දියණියත් තමන් අත් අඩංගුවට ගත් බවත් පොලීසය තම ප්‍රථම තොරතුරු වාර්තාවේ සඳහන් කර ඇත.

2014.03.13 දින පස්වරු 4.00 සිට ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ඇයගේ නිවසේදී ප්‍රශ්න කර ජෙයකුමාරිවත්, විබූසිකාවත් රාත්‍රී අත් අඩංගුවට ගෙන වව්නියාවට කැඳවාගෙන යන ලදි. එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර වෛද්‍ය වාර්තාව ලබාගෙන ඇත. ඉන් පසු 2014.03.14 දින රාත්‍රී 9.00 ට පමණ ඔවුන්ව නැවත කිළිනොච්චියට කැඳවාගෙනවිත් ඇත. පස්වරු 3.00 පමණ කිළිනොච්චි දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරන බව ත්‍රස්ත විමර්ශන ඒකකයේ පොලිස් නිලධාරීන් ප්‍රකාශ කර තිබූ නමුත්, රාත්‍රී කාලයේ ඔවුන්ව කැඳවාගෙනවිත් ඇත.

විනිසුරු ඉදිරියේ ජෙයකුමාරි ලබාදුන් වාචික ප්‍රකාශයෙන් අනාවරණය වූ කරුණු:

සිද්ධිය වූ දින පස්වරු 3.30 පමණ මගේ දරුවාට කවමින් සිටියෙමි. ඒ අවස්ථාවේ කළු පැහැති ජැකට්ටුවක් ඇඳගත් උස පුද්ගලයෙකු නිවසේ තාප්පයෙන් පැන ඇතුලට එන ලදි. මා වහාම මගේ දියණියත් රැගෙන නිවසේ ගේට්ටුවෙන් පිටතට පැමිණියෙමි. එම අවස්ථාවේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ පිරිසක් වාහනයකින් පැමිණ පිටත සිටින ලදි. ඔවුන් මගේ නම නොකියා මගේ නමට සමාන වෙනත් නමක් පවසා, ඇයගේ නිවස මෙයද යනුවෙන් විමසන ලදි. එයට මා පිළිතුරදීමට පෙර, මගේ නම පවසා ඇයගේ නිවස මෙයද යනුවෙන් විමසූ අවස්ථාවේ මා ඒ නම මගේ බවත් ප්‍රකාශ කලෙමි. වහාම අපව වාහනය ආසන්නයේ රඳවා ඔවුන් නිවස තුලට යන ලදි. ඔවුන් නිවස තුලට ගොස් ටික වේලාවකින් වෙඩි හඬවල් දෙකක් ඇසුණි. ඉන් පසු පොලීසය සහ හමුදාව විශාල පිරිසක් පැමිණ අපගෙන් ප්‍රශ්න කරන ලදි. තාප්පයෙන් පැන පැමිණි පුද්ගලයා පිළිබඳව මා කිසිවක් නොදන්නා බව ප්‍රකශ කළෙමි.

දැරියත් එම පුද්ගලයාව නොදන්වා බව විනිසුරු ඉදිරියේ ප්‍රකාශ කර ඇත.

ජෙයකුමාරිට විරුද්ධව ත්‍රස්ත විමර්ශන ඒකකය ඉදිපත් කර ඇති බී වාර්තාවේ, අදාල නිවසේ පුපුරණ ද්‍රව්‍ය හඳුනාගැනීමේ උපකරණයක්, අත් පත්‍රිකා යනාදිය තිබූ බවත්, වෙඩි තැබීම එම නිවසේදී සිදුවූ බවත් සඳහන් කර ඇත. ජෙයකුමාරිගේ තෙවන පුතා යුද්ධයේදී, අතුරුදහන් වී ඇත. ඒ හේතුවෙන් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පවත්වන සියළු විරෝධතාවයන්ට ඇය තම දියණිය සමඟ සහභාගී වේ. එම විරෝධතා වලදී එම දැරිය කෑගසා හඬා වැලපෙන බැවින් ඇය කෙරෙහි මාධ්‍යන්ගේ අවධානය වැඩි විය. චැනල් 04 ඇතුළු විදෙස් මාධ්‍යන්ට අතුරුදහන් වූවන්ගේ ඥාතීන්ගේ දුක්පිඩා පිළිබඳව ඔවුන් අනාවරණය කරමින් සිටින ලදි. විබුසිකා දැරිය මෑතකදී, මල්වර විය. පොලිස් වාර්තාවේ එයත් සඳහන් කර ඇත.

@උදයන් වෙබ් අඩවිය
GTMN – GLOBAL TAMIL NEWS

සබැදි සටහන- “මගේ අයියාව දෙන්න“ | තම සොහොයුරාව ඉල්ලා සිටි දැරියවද පැහැරගනී