යළිත් පොලිසිය වැඩ ඇරඹුවේය. ඒ ඊයේ(16) පෝය දිනයේදීය. මෙවර ඔවුන්ට තම පාදඩ ව්‍යාපෘතිය සාධාරනීකරණය කිරීම සඳහා සිදුවීමක් වී ඇත. ඒ ගසකට යට වී බොරැල්ල පොලිසියේ ස්ථානාධිපතිවරයා මිය යාමය. එම කණගාටුදායක සිද්ධිය පොලිසියට තම අශිෂ්ඨ කර්තව්‍ය සාධාරනීකරණය කරගැනීමට ඉඩ සලසා දී තිබේ. නීතීඥයෙකු වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා, තම නිතී අධ්‍යාපනය සියලුම දෙනාගේම සැකයට භාජනය කරමින්, මේල් ගුණසේකර මිනී මැරුමේදී කතාකළ ආකාරයටම තුන්නාන සිද්ධිය ගැනද කතා කළේය. ඔහුට අනුව, තුන්නානේ ඇති වී ඇත්තේ ජිනීවා මානව හිමිකම් කවුන්සලය මූලික කරගනිමින් එයට පසුබිම සකස් කිරීම සඳහා හිතා මතාම සිදුකරනු ලැබූ කුමන්ත්‍රණයකි. අහෝ ඛේදයකි. එම කුමන්ත්‍රණකරුවන් අල්ලා ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් රැසක් ප්‍රදේශය පීරමින් සිටින බව ඔහුගේ අදහසය. අහෝ වාසනාවකි, කුමන්ත්‍රණ කරුවන් හසුවීමට නියමිතය. ඉන් පසු ජිනීවාහී සම්මත කිරීමට නියමිත යෝජනාවලීයද පරාජය වනු ඇත.

අදාළ ප්‍රදේශයේ කුමන්ත්‍රණයක් සිදු වූයේනම් අදාළ කුමන්ත්‍රණය සිදු වීමෙන් පසු එම කුමන්ත්‍රණකරුවන් එම ප්‍රදේශයේම ලැඟුම් ගෙන සිටින්නේද යන්න ඕනෑම අයෙකුට තේරෙන නමුත් මෙම නීතීඥ පොලිස් ප්‍රකාශකයාට නොතේරෙණ තුනේ පන්තියේ පාඩමකි. එසේම මෙම පොලිස් ප්‍රකාශකයාට ප්‍රදේශයේ සිදු වූ සිද්ධියට වඩා වැදගත් කුමන්ත්‍රණය ගැන කතා කිරීමය. ඇත්ත සිදුවීම වසා ගැනීම සඳහා රටේ ඇති සියලුම කතා ඕපා දූප වලට ඇලුම් කරන ස්ත්‍රීයක් මෙන් විඩාව හෝ තම කෝපය නිදහස් කිරීම සඳහා වචන නිදහස් කිරීම හෙතමගේ පුරුද්ද වී ඇති සැටියෙකි. මෙය සරලව, හතර වරං ගැසීම ලෙස හැඳින්වේ.

අදාළ සිදු වීම ගැන විමසා බැලීමට පෙර වැදගත් වන්නේ, මෙම නීතීඥ පොලිස් ප්‍රකාශකයා ද, නිතී විද්‍යාලයේ අහවලාගේ පුත්‍රයා මෙන් හොරට විභාගය සමත් වූවෙක්ද යන්න ඔහුටම සිතාබැලීම සඳහා අවදානය යොමුකිරීමය. දෙවැන්න, රටේ වගකිව යුතු ක්ෂේත්‍රවල නිලධාරීන්, රටටම පිළිකුලක් සහ ශාපයක් වී ඇති “දේශ හිතෛෂී දේශපාලඥයින්” මෙන් හැසිරීම ගැන දශමයක හෝ පෞද්ගලික විලිලැජ්ජාවක් නොමැත්තේද යන්න ඔහුට සිතීමට කාලය පැමිණ තිබේ.

තුන්නානේ ඇති වූ සිද්ධියද වැලිවේරියේ සිද්ධිය සහ සාමානය. වාසනාවට සිවිල් වැසියන් මිය ගිය බවක් තවමත් වාර්තා වී නැත. එහිදී හටගෙන ඇත්තේ බීමට ඇති ජලයට එක්තරා කර්මාන්ත ශාලාවක වැරදි භාවිතය නිසා අම්ල එකතු වීම නිසා ඊට එරෙහි උද්ඝෝෂනයකි. එම සිද්ධිය කාලාන්තරයක් තිස්සේ පැවති අර්බුධයකි. එය නිවැරදිව විසඳනු වෙනුවට වැලිවේරියේ වැනි සිද්ධියක් ඇති වේ යන බිය අදාළ කර්මාන්තශාලාව කළමනාකරණයට ඇති වූවා විය හැකිය. ඊට පිළියම වූයේ තම දේශපාලන සම්බන්ධතා නිරුවත් ලෙස ප්‍රයෝජනයට ගනිමින් අදාළ කර්මාන්ත ශාලාව ඉදිරියේ උද්ගෝෂණ පැවැත්වීම වැලැක්වීම සඳහා “අධිකරණ නියෝගයක්” ගැනීමය. මෙය කිසිඳු ප්‍රජාතන්ත්‍රවාදය ඇතැයි පිළිගැනෙන ක්‍රමයක් හෝ නීතීය පසිඳලීමක් නොවේ. රටේ පුරවැසියන්ට උද්ඝෝෂණ කිරීමට ඇති නිදහස වූකලී මුලික අයිතියකි. ජනතාවගේ කැමැත්තෙන් රටේ පාලකයින් තෝරාගන්නා තෙක් එම අයිතිය පැහැරගැනීම කිසිවෙකුට කළ නොහැකිය.

නමුත් පසුගිය කාලය පුරාවටම, ලංකාවේ පොලිසිය විසින් අසාධාරණයට එරෙහිව සාමකාමී උද්ගෝෂණ පවත්වනු ලැබූ සෑම විටම ඒවාහී නිරත වූවනට වෙඩි තබා මහ මඟ මරා දමා, ඔහුන්ගේ මළගම සිදු කෙරුණ දිනයට “උසාවියෙන්” වාරණ නියෝගයක් ගෙන විරෝධය පෑමට ඇති නිදහස නැති කළේය. නීතීඥ පොලිස් ප්‍රකාශකයා ඇදබාන මුසාවන් අභ්‍යන්තරයේ ඇති සත්‍ය කුමන්ත්‍රණය වන්නේ මෙයයි. මෙය පොලිසිය අහිංසක සිවිල් වැසියන් මරා දැමූ සියලුම අවස්ථාවලදී භාවිතා කළ ක්‍රමෝපායයි. කටුනායකදීත්, හලාවතදීත්, මෙන්ම වැලිවේරියේදීත් මෙය මේ ආකාරයෙන්ම දක්නට ලැබුණි.

තුන්නානේ ඇති වූ සිද්ධියද මේ දක්වා සිදු වූ සිදුවීම් වල තවත් එක් සිදු වීමක් පමණි. පොලිස් ප්‍රකාශකයාට අනුව සිදු වී ඇත්තේ කුමන්ත්‍රණයක් නම්, පොලිස් නිල ඇඳුමින් සැරසී ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මාස තුනක් වයසැති බිලිඳාට බැටන් පොලු පහරදී, ඔහුව රැක බලාගත් මහලු කන්තාවටද පහරදුන් එම කුමන්ත්‍රණ කරුවා ගැන රෙදි ඇඳගෙන නොහැකි නම් නිරුවතින් හෝ මාධ්‍ය ඉදිරියට විත් පොලිස් ප්‍රකාශකයා හෙළි කළ යුතුය. එසේම සිදුවීමට පෙර එම ප්‍රදේශයේම සිටි තරුණයින් සමඟ මිත්‍රශීලීව කතා කොට පිරිස අඩුවන තෙක් බලා සිට එම තරුණයින්ට පහරදුන් අශිෂ්ඨ වානරයින් ගැන හෙළි කළ යුත්තේය. එපමණක් නොව, පෝය දිනයක් වූ ඊයේ දිනයේදී ප්‍රදේශයේ පන්සලට වී සිල් සමාදන් වූ උපාසිකාවන්ට බැටන් පොලු පහර දුන් අමනුෂ්‍යයින් ගැන මෙම කුමන්ත්‍රණ ගැන හිස්බස් දොඩවන නීතීඥ පොලීස් ප්‍රකාශකයා මුනිවත රකින්නේ මන්ද?

මෙහිදී පැන නගින ගැටලුව, කැරලි මර්ධනයට යැයි කියමින් යොදවන මෙම මෙගලමේනියානුවන් පිරිස එක්කෝ බේබද්දන් විය යුතුය. නැත්තම් මානසික රෝගීන් විය යුතුය. එය එසේ නොවන්නේ නම්ෙ, මාස තුනක් වයසැති බිළිඳෙකුට තඩි බෑමට නොහැකිය. සැබවින්ම තුන්නානේ මිනිසුන් පිටුපස තිබෙනවා යැයි කියන කුමන්ත්‍රණයට පෙර මෙම පොලිස් ප්‍රකාශකයා ඇතුළු ඉහළ පෙළේ අයවලුන් කළ යුත්තේ, අමනුෂ්‍යයින් ලෙස හැසිරෙන මෙම බේබදු නිලධාරීන් පිටුපස කුමන හෝ කුමන්ත්‍රණයක් තිබෙන්නේද යන්න සොයා බැලීමය.

කෙසේ වෙතත් අදාළ කාරණය සම්බන්ධයෙන් වැදගත් වන්නේ, ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි නිවැරදි වැඩපිළිවෙලක් වෙතට යොමු වීමය. එය එසේ නොවන තාක් දුරට, නීතියෙන් මෙන්ම සමාජයෙන් කිසිඳු සරණක් නැති ජනතාවට සිදු වන්නේ උද්ඝෝෂණය කිරීමට සහ තම විරෝධය පෑම සඳහා නව ක්‍රම සොයා ගැනීමටය. පොලිසියට මෙන්ම රටේ ‘‘දේශප්‍රේමී කල්ලියට” තේරෙන බාසවෙන් කතා කිරීමටය.

තම පෞද්ගලික දේශපාලන අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට ජිනීවාහී පැවැත්වෙන මානව හිමිකම් සැසිය ආයුධයක් කරගැනීමට උත්සහ කළ රාජපක්ෂ එය නොහැකි තැන රටේ සියලුම සැබෑ ප්‍රශ්න ජිනීවා වලට බැර කිරීම කදිම විහිළුවකි. තුන්නානේ මිනිසුන් තම දරුවන් සමඟ පාරට බැස සටන් කරනු ලබන්නේ බීමට ඇති ජල අයිතිය වෙනුවෙනි. එම අයිතිය ගැන කතා කිරීමට ගොස් වැලිවේරියේදී නිරායුධ වැසියන් මරා දමා පොලු පහර දී බරපතල තුවාල සිදුකළ අයවලුන් ගැන මේ දකවා කිසිඳු වැඩපිළිවෙලක් නොගත්තේය. එම පර්යේෂණ වාර්තාවද හමුදාපතිවරයාට භාරදීමෙන් පසු කිසිඳු ආරංචියක් නැත. රටේ දැවෙන ප්‍රශ්න රාජපක්ෂ විසින් විසඳනු ලබන්නේ මෙසේය. මොළය වැඩකිරීම සඳහා එක සෛලයක් පමණක් ඇති මිනිසෙකුට හෝ තේරෙන සත්‍යනම්, ජිනීවා සහ මෙම කාරණා අතර කිසිඳු සම්බන්ධයක් නැති බව මෙන්ම රාජ්‍ය පාලනයේ ඇති අසමත් භාවය සහ රටේ සැබෑ ප්‍රශ්න ඔහුන්ට වැදගත් නොවීමයි.

මෙය සමාජ අසමත් භාවය හමුවේ තවත් පැය කිහිපයකින්, පොලිස් ප්‍රකාශකයා මාධ්‍ය ඉදිරියට පැමිණ , තුන්නානේ කුමන්ත්‍රණ කරුවන් ඇල්ලු බවත්, ඔවුහු අහවල් දෙය කියූබවත්, ප්‍රකාශ කළහොත් පුදුම විය යුතු නොවේ. එසේම ඔහුන් ගොතනු ලැබූ කුමන්ත්‍රණයට සම්බන්ධ යැයි, උද්ඝෝෂණයට හවුල් වූ පිරිසෙන් කිහිපදෙනෙකු කුදලාගෙන ගොස් ඔවුන්ගේ ඇටකටු කැඩෙන තෙක් පහර දුන්නොත් ඒ ගැනද පුදුම විය යුතු නොවේ. ආයුධ පෙන්වීමට ගොස් ඔහු අත තිබූ අත්බෝම්බයකින් දමා ගැසීමට උත්සහ කිරීමේදී අහවල් පාතාල නායකයා පොලිස් වෙඩිපහරින් මියගියේය, නමැති පොලිස් බොරුවේ තවත් දිගුවක් ලෙස පමණක් මෙම පොලිස් ප්‍රකාශකයාගේ කුමන්ත්‍රණය විස්තර කළ නොහැකිය. මේ ආකාරයෙන්, ඇත්ත වසා දැමීම සඳහා සිදුකරන මවාපෑම්, “දේශහිතෛශී” මතින් බීමත් වී මත්වී සිටින විට දකින සිහිනයේම කොටස් පමණි. තුන්නානේ ජනතාවගේ ගැටලුව බීමට ඇති ජලය මිස වෙන කිසිවක් නොවේ.

නිලන්ත ඉලංගමුව | Nilantha Illangamuwa

[Image Credit: Lankadeepa]