මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී ප්‍රනාන්දු සහ ප්‍රවීන් මහසෙන් පියතුමා අත්අඩංගුවට ගෙන, පසුව කිසිදු චෝදනාවක් නැතිව නිදහස් කර සතියක් පසුවෙමින් තිබේ.

රැකී සහ ප්‍රවීන් පියතුමා නිදහස් කළ පසුත් බළධාරීන් ප්‍රකාශ කලේ ඔවුන් සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම පැවැත්වෙන බවත් ය. එසේම ඔවුන්ට දේශීයව හෝ ජාත්‍යන්තරව කිසිවෙකුත් සමග මේ සම්බන්ධයෙන් කතා නොකරන ලෙසත් දන්වා ඇති අතර ඔවුන් භාවිතා කරන සංනිවේදන උපකරණ සහ විදේශ ගමන් බලපත්‍ර ද සිය බාරයට ගැනීම සදහා ත්‍රස්ත විමර්ෂන ඒකකය විසින් අධිකරණයෙන් අවසර ඉල්ලූ බවත් වාර්තා විය.

අත්අඩංගුවට ගත් රැකී සහ ප්‍රවීන් පියතුමා රාජපක්ෂ ආණ්ඩුවේ බළධාරීන් විසින් නිදහස් කලා ‍වෙනුවට නිදහස් කිරීමට සිදු වූවා යැයි කීම නිවැරදිය. එසේ වන්නේ ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු දේශීයව සහ ජාත්‍යන්තරයෙන් ඔවුන් ව නිදහස් කිරීමට බල කරන ලෙස කරන ලද බලපෑම් නිසාය.

නමුත් අතීත අත්දැකීම්වලින් ‘උගත් පාඩම්‘ අභ්‍යාස කර සිටි ආණ්ඩුව ඔවුන් නිදහස් කළේය. නිදහස් කළ පසු විවිද කලාප වලින් ආණඩුව වෙත එල්ල කරමින් සිටි පීඩනය අවම වී ගියේය. ලංකාව් මානව හිමිකම් සම්බන්ධයෙන් ජිනීවා සංවාදයන් යන බැවින් රාජපක්ෂ පාලනයටත් අවශ්‍ය වූයේ ද එයම විය හැකිය.

දේශීයවත් ජාත්‍යන්තරවත් ඉල්ලා සිටියේ ඔවුන් ව නිදහස් කරන ලෙසයි. රාජපක්ෂ ආණ්ඩුව එය එසේම සිදු කලේය. නමුත් කෛරාටික මෙන්ම වෛරී දේශපාලනයේ පළල කියාපමින් වෙනත් තුරුම්පුවක් රාජපක්ෂ පාලනය විසින් ගැසුවේ ය. එනම් ඔවුන් නිදහස් කළත් පරීක්ෂණ දිගටම සිදු කරනවා යැයි කීමත්, රැකිගේ සහ ප්‍රවීන් පියතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමටත් එකිනෙකා සමග සම්බන්ධතා පැවිත්වීමේ අයිතියත් මර්දනය කිරීමය.(නමුත් කරනවා යැයි කියන පරීක්ෂණ තවමත් දන්නේ බලධාරීන් පමණක් බවත ද වාර්තා වෙයි)

මෙය රාජපක්ෂගේ නිදහස් කිරීමේ අලුත්ම ගැටයයි. මෙය එක් පසකින් බන්ධනාගාර ගත කිරීමට ද සමාන ය. වෙනස ඇත්තේ භෞතිකව ඔවුන් සිටින ස්ථානය බන්ධනාගාරය තුළ නොවීමය.

දැන් නැවතත් රාජපක්ෂ පාලනයට අවශ්‍ය ‘දෙය‘ සිදු කර ගෙන හමාරය. රැකී සහ ප්‍රවින් පියතුමන් ගේ ‘නිදහස‘ සම්බන්ධයෙන් රාජපක්ෂ පාලනයට විරැද්ධව චෝදනාවක් මේ වන විට සෘජුවම නොනැගෙන තරම්ය. එබැවින් එතරම් පීඩනයත් බලධාරින්ට සහ ආණ්ඩුවට නැත.

දැන් රැකී සහ ප්‍රවීන් පියතුමන් නිදහස් කිරීම යන්න පමණක් සිදු වී ඇති මුත් සත්‍ය ලෙසම ඔවුන් අභ්‍යන්තරයෙන් සිරකරැවන්ය. මේ සිරකරැවන් පාලනය කිරීමට දැන් ආණ්ඩුවට සතයක් හෝ වැයවන්නේ නැත. රාජපක්ෂ පාලනයට කිසිදු දෝෂාරෝපනයක් එල්ල වන්නේ ද නැති තරම්ය. රැකී සහ ප්‍රවීන් පියතුමාට කිසිවක් පැවසීමට ද නොහැකි නිසා ඔවුන්ගෙන් ගෙන් කිසිදු චෝදනාවක් රාජපක්ෂ පාලනයට එල්ලවිමද වලක්වා ඇත්තේ සිය කෛරාටික දේශපාලනයේ නිපුණත්වය පෙන්වමිනි. ඔවුන්ට කිසිදු ස්ථානයකට ගොස් සිය සමීපතමයින් සමග රැදෙන්නට ද බැරි ගානය. නිරන්තරයෙන් ආරක්ෂකයින් ඔවුන් පසු පස ආරක්ෂාවට මෙන් ලුහුබදියි. දැන් මොවුන් සහ බන්ධනාගාර සිරකරැවන් අතර ඇත්තේ ඉතා කුඩා වෙනසක් නොවේ ද?

එබැවින් දැන් රාජපක්ෂ පාලනයේ අලුත්ම භාවිතාව මෙවන් නිදහස් කිරීම්ය. නිදහස් කලත් සියලු දේවල් වාරණයකල නිදහසක්ය. ඒ නිසා දැන් ලංකාව තුළ නිදහසට අලුත්ම අර්තකතනයක් රාජපක්ෂ පාලනය විසින් ලබා දී එය අත්හදා බලමින් ඇත්තේ මානව හිමිකම් ආරක්ෂකයින් වන රැකී සහ ප්‍රවීන් පියතුමා හරහාය. එය සිරකර තබනවාට වඩා බිහිසුනුය. එම නිසා ඒ බිහිසුනු බව අද ලංකාව තුළ වෙනත් මත දරන්නන් සියල්ලම ඉදිරියේ දිග හැරෙමින් පවතී.