Image: Vikalpa File

[ශී‍්‍ර ලංකාව තුළ ප‍්‍රායෝගික දේශපාලන සංහිඳියාවක් ඇති කරලීම උදෙසා…]

ද්‍රවිඩ ගැටළුව පිළිබඳ කෙලින් කතා කිරීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද්‍රවිඩ ජාතික සන්ධානයේ (ටී. එන්. ඒ) නායකයාට ආරාධනා කර සිටි බැව් පසුගිය දා මාධ්‍ය මඟින් දැනගන්නට ලැබිණි. එවැනි පියවරක් තැබීම අගය කළ යුතු වුවත් , බොහෝ සේ සාකච්ඡාවට ලක් වෙමින් පවතින රටේ සංහිඳියා කි‍්‍රයාවලිය නම් වූ සන්දර්භය මත පිහිටා ඒ දෙස බැලීම අත්‍යවශ්‍යය. සංහිඳියාව කි‍්‍රයාවට නැංවීමේ දී, සිද්ධාන්ත වලට එපිටින් බලා, ලංකා පොළවට ඔබින අන්දමේ වඩාත් ප‍්‍රායෝගික සහ විනිවිදභාවයෙන් යුත් ක‍්‍රමවේදයක් සකස් කිරීම ඉතා වැදගත්ය. මෙම තර්කයට පූර්විකාවක් ලෙස අපි ටිබෙට් ජනතාවගේ අධ්‍යාත්මික නායක දලයි ලාමාගේ කියමනක් පිළිබඳ අවධානය යොමු කරමු.

”අප සමාජයේ පවතින ප‍්‍රචණ්ඩත්වය දුර්වල කළ යුතු යයි අද බොහෝ දෙනෙක් කියති. අප ඒ පිළිබඳව අවංකව සිතන්නේ නම් අප කළ යුත්තේ ප‍්‍රචණ්ඩත්වයේ මූලයන් – විශේෂයෙන් ම අප අතර ම පවත්නා මූලයන් පිළිබඳ සොයා බැලීමය. අප කළ යුත්තේ, අපගේ සහෝදර- සහෝදරියන් පිළිබඳ අප තුළ ම ගොඩ නැගී ඇති සැකය, වෛරය සහ එදිරිවාදිකම් පසෙක ලා පළමුව ”ස්වයං නිරායුධකරණය” වැළඳ ගැනීමය.”
-දලයි ලාමා ඞෂඪ –

සංහිඳියාව නියමාකාරයෙන් උපදිනුයේ මිනිස් සිත් සතන් තුළ ය. එබැවින් එය භාවාතිෂය කර්තව්‍යයකි. න්‍යායාත්මකව ගත් කළ, සංහිඳියාව යනු දේශපාලනික, මානසික සහ අපරාධවලට ගොදුරු වූවන් සම්බන්ධ බහුවිධවූත්, ආවරණිත වූත් අංගයන්ය. කෙසේ වෙතත්, ප‍්‍රායෝගික තලයේදී විවිධ රටවල් යොදාගන්නේ තම රටට ඔබින ආකාරයේ විවිධ වූ උපක‍්‍රමයන්ය. දකුණු අපි‍්‍රකානු සංහිඳියා කි‍්‍රයාවලිය සහ නෙල්සන් මැන්ඩෙලාගේ භූමිකාව සංහිඳියාව පිළිබඳ ලබාදිය හැකි කදිම උදාහරණ ලෙස සැලකේ. තම ජනතාවගේ මනස සහ අධ්‍යාත්මය යළි පණ ගැන්වීම උදෙසා මෙවැනි ප‍්‍රතිසංධාන කි‍්‍රයාවලීන් අත්හදා බැලූ තවත් රාජ්‍යයන් රැසක් පිළිබඳ අපි දනිමු. සමහර රාජ්‍යයන් ඉන් සාර්ථක ඵල නෙලා ගන්නා අතරේ තවත් රාජ්‍යයන් එම කි‍්‍රයාවලිය තුළ අසාර්ථක වී තිබේ. ප‍්‍රතිසංධානයෙන් සාර්ථකත්වය ළඟා කර ගත් රාජ්‍යයන්ගේ කි‍්‍රයාවලිය තුළින් ම ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස් පිළිබඳ වැදගත් සාධක රැුසක් හෙළි වේ. පළමු වැන්න නම්, වෙනසක් වෙනුවෙන් සමාජ සන්දර්භය තුළ පැවති සුදානමයි. එවැනි සමාජයක ජනනායකයන්ගේ දේශපාලනික අභිප‍්‍රාය දෙවැනි සාධකයයි. බියෙන් තොර දේශපාලනික වටපිටාවක් මෙම කරුණ සම්බන්ධයෙන් ඇතිකරන තීරණාත්මක බලපෑම තෙවනුව සලකා බැලීම වටී.

උගත් පාඩම් මත යැපෙන ශී‍්‍ර ලංකාවේ සංහිඳියා කි‍්‍රයාවලිය තවමත් තිබෙන්නේ මූලික අදියරයේය. උගත් පාඩම් හා ප‍්‍රතිසංධාන කොමිසම් (එල්. එල්. ආර්. සී.) වාර්තාව ඉදිරිපත් කිරීම මෙම කි‍්‍රයාවලිය තුළ වැදගත් සංධිස්ථානයකි. එල්. එල්. ආර්. සී. වාර්තාව හා එල්. එල්. ආර්. සී. වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක වීම පිළිබඳ ප‍්‍රගතිය දැක්වෙන ජාතික සැලැස්ම යන දෙකම ශී‍්‍ර ලංකාවේ සංහිඳියා ප‍්‍රයත්නයන්හි මුරගල් වේ. කෙසේ වෙතත් අතීත ප‍්‍රචණ්ඩත්වයේ මූලයන් තුළ නිධන්ගත වුණු සංහිඳියාව පිළිබඳ භාවාතිෂය පැතිකඩ ආමන්ත‍්‍රණය කිරීමට මින් එකඳු වාර්තාවක් හෝ සමත් වී නොමැත.

අප සංහිඳියා සංකල්පය ගැලපීමට උත්සාහ කරන ශී‍්‍ර ලාංකේය මනෝ මූලික සමාජයත්, දේශපාලනික වටපිටාවටත් සම්ප‍්‍රදායික සංකල්පය තුළ හැඬගැසුණු වටපිටාවට වඩා වෙනස් ය. සංහිඳියාව පිළිබඳ සම්ප‍්‍රදායික විග‍්‍රහයේදී, කි‍්‍රයාවලීන් ගොඩනැගෙනුයේ පශ්චාත් යුධමය කාලවකවානුවක් තුළය. සාමාන්‍ය විග‍්‍රහය තුළ පශ්චාත් යුද සමය හඳුනාගෙන ඇති ආකාරය, අප පශ්චාත් යුද සමය යනුවෙන් තේරුම්ගෙන ඇති ආකාරයට වඩා වෙනස් යයි කෙනෙකුට තර්ක කළ හැකිය. ශී‍්‍ර ලංකාවේ පශ්චාත් යුද සමයේ සමාජ ආකල්පය ගොඩ නඟන්නේත්, එයට බලපෑම් එල්ල කරන්නේත් යුද්ධයෙන් ජය ලැබූවන් සහ ඉන් පරාජය වූවන් නියෝජනය කරන පිරිස්ය. එවැනි පසුබිමක් තුළ අවෛරයෙන් වෛරය සංහිඳවීමට ඇති ඉඩ ඉතා සීමාසහිතය. එබැවින්, ශී‍්‍ර ලංකාව පියවරෙන් පියවර ඉදිරියට යමින් විසඳුම් සෙවීම සඳහා මඟ පෙන්විය හැකි ආකාරයේ නවමු සැලැස්මක් ගොඩනැඟීම සඳහා සියලූ වගකිව යුතු පාර්ශ්ව එකමුතු වීම වඩාත් යෝග්‍යය. මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳ හඬ නැඟීම මෙම කි‍්‍රයාවලියේ එක් පියවරක් වුවත් එය පළමු පියවර නොවේ.

උත්සාහක පියවර විය යුත්තේ ශී‍්‍ර ලංකාවේ දේශපාලනික සංහිඳියාවට එල්ල වී ඇති අභියෝග හඳුනා ගැනීමය. සිවිල් ගැටුම් සඳහා මුල්වන අනේක විධ හේතුන් අතර දේශපාලනික හේතුන් ප‍්‍රමුඛස්ථානයක් ගන්නා බැව් නො රහසකි. ශී‍්‍ර ලංකාවේ ද්‍රවිඩ ජනතාවගේ දේශපාලනික අභිලාෂයන් හඳුනා නොගැනීමත්, එම අභිලාෂයන් උකහා ගැනීමට තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය අපොහොසත් වීමත් මෙරට අර්බුදයේ හදවතෙහි තැන්පත්ව ඇත. මෙය ලාංකීය සමාජය ජාතීන් අනුව බෙදී යාමටත්, සිවිල් යුද්ධයක් රට මත පතිත වීමටත් බලපෑ ප‍්‍රධානතම සාධකයකි.

දිගු කාලීන දේශපාලනික සංහිඳියා කි‍්‍රයාවලියක් මෙන්ම දේශපාලනික වශයෙන් සංහිඳියාවක් ඇති කෙරෙන ව්‍යවස්ථානුකූල ආකෘතියක් සොයා ගැනීම මනෝ මූලික සමාජය තුළ ඇති බෙදීම් සංහිඳවීමට පමණක් නොව; අතීතයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ බුද්ධිමය ක‍්‍රමවේදයකට අනුව සොයා බැලීමට ද මඟ පෙන්වනු ඇත. එහෙත් අවාසනාවට මෙන් අද සිදුවන්නේ මෙරට සංහිඳියාව ළඟා කරගැනීමේ මුවාවෙන් අප අශ්වයාට ඉදිරියෙන් කරත්තය බැඳ, යහපත් ප‍්‍රතිඵල බලාපොරොත්තුවෙන් හිඳ එය ඉටු නොවූ කල අපගේ අසමත්කම මත හඬා වැළපීමයි. ශී‍්‍ර ලංකාව, ජාතියක් වසයෙන් වැටී ඇති තත්ත්වයට ඇද දැමූ පටු මති – මතාන්තර වලින් මෙරට සමාජය මුදවාලිය යුතුය. මෙය සිංහලයන්ට පමණක් නොව; ද්‍රවිඩ ජනතාවටත්; මුස්ලිම් ජනතාවටත් එක සේ අදාළය. නිදහස් සමාජයක් යනු හුදු ජාතියක තත්ත්වය නිර්මාණය කරන්නක් පමණක් නොවේ. එය සර්ව සාධාරණත්වය සහ විවිධත්වයට ගරු කිරීම පිළිබඳ අවබෝධයක් ඇති ජනතාවක්ද පිළිබිඹු කරන්නකි. එහෙත් මෙම අවශ්‍යතාවය ඉටුකිරීමට තරම් වත්මන් ව්‍යවස්ථාවත්, තීරණ ගැනීමේ කි‍්‍රයාවලියත් ප‍්‍රමාණවත් නොවීම අවාසනාවකි. සමාජය මෙවැනි පරිවර්තනයක් සඳහා සුදානම් වන තුරු අවශ්‍ය වන්නේ, නියමාකාරයේ උපදේශන කි‍්‍රයාවලියක් සහ ක‍්‍රමික පරිවර්තනයක් ළඟා කරගැනීම සඳහා වන ප‍්‍රායෝගික කි‍්‍රයාමාර්ගයන්ය.

මෙහිදී වඩාත් යෝග්‍ය විකල්පය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය සහ ද්‍රවිඩ ජාතික සන්ධානය අතර දේශපාලනික එකඟතාවයකට පැමිණීමය. පළාත් සභාවලට ලබාදී ඇති වැදගත් බලතල පිළිබඳ අවධානය යොමු නොකර දැනට පවත්නා උතුරු සහ නැගෙනහිර පළාත් සභාවල කටයුතු පිළිබඳ ඔවුන්ට සාකච්ඡුා කළ හැකිය. තීරණය කෙසේ කරළියට පැමිණියද, උතුරු පළාත් සභාව පිහිටුවීම මඟින් ආණ්ඩුව දැනටමත් පළමු පියවර ඉදිරියට තබා ඇත. එබැවින් එක් අතකට කල්පනා කර බලන විට අපි වත්මන් ආණ්ඩුවට ප‍්‍රශංසා කළ යුතු වෙමු. අනෙක් අතට අන්තගාමී බවින් තොරව උතුරු මහ ඇමතිවරයාට උතුරු පළාත් සභාවේ කටයුතු කිරීමට අවශ්‍ය සහාය ලබාදීම පිළිබඳ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායකයා ද පැසසුමට ලක් විය යුතුය.

එබැවින් දැන් ඉදිරියේ ඇති අභියෝගය වන්නේ ප‍්‍රධාන පාර්ශවකරුවන් දෙපළ එක්ව උතුරු පළාත් සභාවේ කටයුතු බාධාවකින් තොරව කි‍්‍රයාවට නැංවිය හැකි ආකාරයේ අවිධිමත් එකඟතාවක් ඇති කර ගැනීමය. දේශපාලන පක්ෂ අතර එවැනි අවබෝධයක් ඇති වූ පසුව ගොඩනැගෙන විශ්වාසය මත පදනම්ව වැදගත් දේශපාලන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ද්‍රවිඩ ජාතික සන්ධානයට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගී වන ලෙස ආරාධනා කිරීමට ආණ්ඩුවට හැකිය. එහි ප‍්‍රතිඵලයක් ලෙස අර්ථවත් දේශපාලනික සංහිඳියාවක් ගොඩනඟා ගැනීමට දෙපාර්ශ්වයට ම ඉඩ ලැබෙනු ඇත. මෙම ලිපිය තුළින් මා වඩාත් අවධානය යොමු කරනුයේ, ඕනෑම ඵලදායි සංහිඳියා කි‍්‍රයාවලියක මූලික පියවර වන දේශපාලනික සංහිඳියාව පිළිබඳවය. එනම්, පළාත් සභා ක‍්‍රමය බාධාවකින් තොරව කි‍්‍රයාවට නැංවිය හැකි ආකාරයේ අවිධිමත් එකඟතාවක් ඇති කර ගැනීම පිළිබඳවය.

මධ්‍යම ආණ්ඩුව සහ පළාත් සභා අතර බලතල මධ්‍යගතකරණයේ සහ විමධ්‍යගතකරණයේ තුලනයක් නොමැති බැව් 13 වන ව්‍යවස්ථා සංශෝධනය විශ්ලේෂණය කරන්නෙකුට පෙනී යයි. රටේ විධායක ජනාධිපතිවරයාගේ පළාත් පාලනය ලෙස පළාත් සභා පහසුවෙන් හඳුනා ගැනීමට හැකි විය යුතුය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය සහ පළාත් සභා පනත යටතේ බලතල බෙදීම පිළිබඳ යම් – යම් කරුණු ඇතුලත් වුවද, පළාත් ආණ්ඩුකාරවරයා විසින් නියෝජනය කරනු ලබන විධායක ජනාධිපතිවරයාත්, පළාත් සහාවේ මහජන මතය නියෝජනය කරන මහඇමතිවරයාත් අතර විධිමත් දේශපාලනික එකඟතාවකට පැමිණීමට නොහැකි වී තිබේ. පළාත් සභා තුළ තීරණ ගැනීමේ කි‍්‍රයාවලියේ පවතින තිත්ත යථාර්ථය මෙයයි. ඒ සඳහා යොමු විය යුත්තේ උපදෙස් සාකච්ඡාවකින් පසුවය. එවැනි එකඟතාවකට යොමු නොවීම මඟින් ශී‍්‍ර ලංකාවේ දේශපාලනික සංහිඳියාව අඳුරු අගාධයකට ඇද වැටෙනු ඇතැයි කෙනෙකුට තර්ක කළ හැකිය. දැනටමත් මෙම බිඳ වැටීම ආරම්භ වී හමාරය. ආණ්ඩුකාරවරයා සහ මහ ඇමතිවරයා අතර පවතින මතභේද මෙන් ම මහඇමතිවරයා සහ මහලේකම්වරයා අතර පවතින මතභේද ද අපට භයානක රෝගයක පෙර නිමිති පෙන්නුම් කරයි.

පක්ෂ අතර අවබෝධයක් සහ එකඟතාවක් ඇති කරලීම සඳහා වැදගත්වන කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡුා කිරීම ද මෙහිදී වැදගත් ය. මේ වන විටත් පාර්ලිමේන්තුවේ නිර්දේශ ලබා ගැනීම සඳහා යොමු වී ඇති ඉඩම් සහ පොලිස් බලතල වැනි කරුණු පක්ෂ විසින් පසෙක තැබිය යුතු යැයි මෙම ලිපිය මඟින් යෝජනා කර සිටී.

මෙහිදී උපදේශනය සහ අවිධිමත් එකඟතාවය යොමු විය යුතු මූලීකම අංශය ලෙස සමගාමී ලැයිස්තුව යටතේ පළාත් සභා සඳහා ලබා දී ඇති බලතල සම්බන්ධ අණපනත් සකස් කිරීමේදී ඊට පදනම් වන ව්‍යවස්ථාපිත බලතල හඳුන්වා දිය හැකිය. පළාත්බද රෝහල් ශික්ෂණ රෝහල් බවට පත් කිරීම, පළාත්බද මාර්ග ශ්‍රේණියේ මාර්ග බවට පත් කිරීම හෝ පළාත්බද පාසල් ජාතික පාසල් බවට පත් කිරීම මඟින් පසුගිය වසර විසි පහක කාලය තුළ මධ්‍යම රජයන් පළාත් සභා දුර්වල කිරීමටත් සඳහාත්, පළාත් සභා නොසලකා හැරීමටත් කටයුතු කර ඇත. රටේ අනාගත ස්ථාවරත්වයේ නාමයෙන් මෙම අංශය ක‍්‍රමිකව ආක‍්‍රමණය කිරීමෙන් වැළැකෙන බවට මධ්‍යම රජය විසින් ඒකපාර්ශ්වික සහතිකයක් ලබාදීම ඉතා වැදගත්ය.

අවධානය යොමු විය යුතු දෙවැනි කාරණය නම්, පළාත් සභා බලතල වලට ජාතික ප‍්‍රතිපත්ති අදාල කිරීමයි. මෙම කරුණ සම්බන්ධයෙන් ද මධ්‍යම රජය හා පළාත් සභා අතර එකඟතාවක් අපේක්ෂා කළ යුතුය. මෙවැනි එකඟතාවක් මඟින් රටේ දැනට පවතින තරඟකාරී පාලන ක‍්‍රමය වෙනුවට සහයෝගී බලය බෙදීමේ ක‍්‍රමවේදයක් ස්ථාපනය කළ හැකිය. පළාත් සභා අණපනත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියට යටත් වීම ගැටුම් ඇති වීමේ තවත් සාධකයක. පනත් කෙටුම්පත් අවධියේ දී පළාත් සභා ඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරයා එම කෙටුම්පත පිළිබඳ පූර්ව සාකච්ඡාවකට එළඹීම මඟින් එම ගැටළු බොහෝ දුරට මඟ හරවා ගත හැකිය.

නියමාකාරයේ අවබෝධයක් ඇති කර ගත යුතු තෙවැනි ගැටළුව පහත පරිදි ගොනු කළ හැකිය.

(1) මහඇමතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය හරහා ආණුඩුකාරවරයා විසින් සෘජුවම බලපවත්වනු ලබන විධායක බලතල
(2) මහඇමතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය හරහා බලපවත්වනු ලබන විධායක බලතල
(3) ආණ්ඩුකාරවරයාට යටත් නිලධාරීන් හරහා බලපවත්වනු ලබන විධායක බලතල

ඉහත කරුණු ති‍්‍රත්ත්වයම ආණ්ඩුකාරවරයා සහ මහඇමතිවරයා ප‍්‍රමුඛ පළාත් පාලනය අතර සිරස් සහ තිරස් ආකාරයට සම්බන්ධ වී තිබේ. මහඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරුන් මධ්‍යම රජයේ බලපවත්නා පක්ෂය විසින් මෙහෙයවීම ඇරඹෙන තුරු මෙම බලතල සම්බන්ධව කිසිදා මතභේද හට ගත්තේ නැත. කෙසේ වෙතත් මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව අතර ඇති වී තිබෙන වෙනම ආරක් ගත් දේශපාලනික වතාවරණය තුළ, පළාත් සභා පනතේ 25 වන වගන්ති ප‍්‍රකාරව පළාත් සභා අයවැය වාර්තාව සකස් කිරීම සහ එය ඉදිරිපත් කිරීම ආදී කරුණු ද ගැටළු සහගත වී තිබේ. අනෙකුත් පළාත් සභාවල මහඇමතිවරු ආණ්ඩුකාරවරයා වෙනුවෙන් අයවැය පළාත් සභාවට ඉදිරිපත් කිරීම සාමාන්‍ය සිරිත වුවත්, ආණ්ඩුකාරවරයාට අයවැය සම්බන්ධව පවතින නෛතික බැඳීම උතුරු පළාත් සභාවට ගැටළුවක් වී තිබේ. දෙපාර්ශ්වය අතර මතභේද ඇති කරවන තවත් කරුණක් නම් පළාත් මහඇමතිවරයා විසින් කි‍්‍රයාත්මක කළ යුතු කටයුතු සඳහා පළාත් සභා ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන්කරවා ගැනීමය. මේ අනුව මෙම බලතල සම්බන්ධයෙන් ඒකමතික බවක් ඇතිකර ගැනීමත්, උතුරු පළාත් සභාවේ කටයුතු බාධාවකින් තොරව සිදු කිරීමට ඉඩ ලැබෙන්නේ එවැනි අවබෝධයක් පමණක් බවත් තේරුම් ගැනීම වැදගත්ය.

එමෙන්ම රාජ්‍ය දේපළ අයිතිය පිළිබඳ සාකච්ඡා නොකර අර්ථවත් බලය බෙදීමක් පිළිබඳ සාකච්ඡා කිරීම නිෂ්ඵලය. එහෙත් අනෙක් අතට, මධ්‍යගත රාජ්‍ය දේපළ පිළිබඳ සම්බන්ධය බොහෝ විට පදනම් වන්නේ ආර්ථිකමය නොවන දේශපාලනික සමාජයීය සහ සංස්කෘතිකමය කරුණු මතය. එය ආර්ථිකමය කරුණු තරමට ම ප‍්‍රබල බලපෑමක් සිදු කරයි. බෙදා වෙන් කරන ලද කාර්යක්ෂමතාව, ආදායම් පුනර්ව්‍යාප්තිය සහ සාර්ව ආර්ථික කළමනාකරණය ආදී ක්‍ෂේත‍්‍ර ඔස්සේ ඉහත දක්වන ලද ආර්ථිකමය සාධක වර්ග කළ හැකිය. උතුරු පළාත් සභාවේ සුමට ගමන පිළිබඳ සාකච්ඡාවේදී සංකල්ප භාවිතයට ගැනෙන අතරතුර ඉහත අරමුණ ද සමබර කර ගැනීම කෙරෙහි යථාවත් අවධානයක් ලබා දිය යුතුය. එබැවින් මෙය ආණ්ඩුව සහ උතුරු පළාත් සභාව සාකච්ඡා මාර්ගයෙන් විසඳුමකට එළඹ තිරසාර අවබෝධයක් ඇතිකර ගත යුතු තීරණාත්මක සාධකයකි. වියදම් පැවරීම, ආදායම් වැඩිකර ගැනීමේ වගකීම, අන්තර් – පාලන පැවරීම් සහ ප‍්‍රතිපාදන, ආදායම් බෙදා හැරීමේ ක‍්‍රමවේද, බදු පරිපාලනය සහ මහජන වියදම් කළමනාකරණය ආදී කරුණු සාකච්ඡා මේසය මත දිග හැරිය හැක්තේ අන්‍යොන්‍ය අවබෝධයකින් පමණි. පළාත් සභා සතුව ඇති සීමිත බදු පිළිබඳ බලයද 2011 වසරේදී හඳුන්වා දුන් ජාතිය ගොඩනැගීමේ බද්ද ද සමඟ තවදුරටත් බෙලහීන වූ බැව් නො රහසකි. එවැනි පසුබිමක් තුළ බදු ප‍්‍රමාණය සහ බදු මට්ටම් පිළිබඳ දෙපාර්ශ්වය අතර එකඟතාවකට පැමිණීම අවශ්‍යයෙන් ම කළ යුත්තකි. පළාත් අනුව පවත්නා රජය විසින් මුදල් වෙන්කිරීමේ ප‍්‍රතිපත්තිය මත පිහිටා පළාත් සභාවලට ලබා දෙන ප‍්‍රතිපාදන ප‍්‍රමාණය පිළිබඳ සාකච්ඡා කිරීම ද වැදගත්ය. මෙය උතුරු පළාත් සභාව පළාත් පාලන ආයතන සඳහා වෙන්කර ඇති ප‍්‍රතිපාදන මගින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමේ පදනම මත පිහිටා මූදල් කොමිෂන් සභාව සමඟ අවබෝධයක් ඇතිකර ගත යුතු තවත් අංශයකි. මේ වන විට මුදල් කොමිෂන් සභාව විසින් මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කරනු ලබන්නේ පහත දැක්වෙන ආකාරයේ නිර්ණායක මත පිහිටාය.

(1) පළාතේ ජනගහණය
(2) පළාතේ ඒක පුද්ගල ආදායම
(3) පළාත තුළ සමාජයීය සහ ආර්ථිකමය විෂමතාවය නොනැවතී සීමා කීරීමට ඇති අවශ්‍යතාවයේ මට්ටම
(4) පළාත් අතර ඉහළ ඒක පුද්ගල ආදායම් මට්ටම් සහ අදාළ පළාත තුළ ඒක පුද්ගල ආදායම අතර විෂමතාව නොනැවතී සීමා කිරීමට ඇති අවශ්‍යතාවේ මට්ටම

එසේ වුවත්, මුදල් කොමිෂන් සභාව මුදල් වෙන්කිරීමේදී පළමු නිර්ණායකය පමණක් සලකා බලන බවත්, අනෙකුත් නිර්නායක තුන පිළිබඳ සැලකිලිමත් වන්නේ කලාතුරකින් බවත් පළාත් සභා නිතර චෝදනා කරති. එබැවින් මෙය උතුරු පළාත් සභාව විිසින් මධ්‍යම රජය සමඟ එකඟතාවකට පැමිණිය යුතු ප‍්‍රතිපත්තිමය අංශයක් ලෙස හඳුනා ගත හැකිය. ඔවුන් විසින් බේරුම් කරගත යුතු අනෙක් කරුණ නම් පළාත් සභා සඳහා ඒකාබද්ධ අරමුදල මඟින් ලබාදෙන ණය ප‍්‍රමාණය සහ ණය ලබා දෙන වාර ගණනයි.

අවසානයේදී, පළාත්බද ප‍්‍රදේශ සංවර්ධනය සඳහා මනා පරිපාලන අධිකාරියක් ගොඩ නඟා ගැනීමද ඉතා ප‍්‍රවේසමෙන් කළ යුතුය. පරිපාලන ව්‍යුහයේ මුලිකත්වය දරණ මහලේකම්වරයා විධායක ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබේ. එබැවින්, මහලේකම්වරයා සහ මහඇමතිවරයා මෙන් ම අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන් අතර පවතින සහ – සම්බන්ධය ද පළාත් පාලන ක‍්‍රමවේදයේ විධිමත් භාවය පිළිබඳ සාකච්ඡාවේදී සලකා බැලිය යුතු අංශයකි.

ඉහත දක්වන ලද බලතල සහ කි‍්‍රයාමාර්ග බොහෝමයක් පාලන ක‍්‍රමවේදය තුළ පවතින ඒවාය. එහි ප‍්‍රතිඵලයක් වසයෙන් එම බලතල සහ කි‍්‍රයාමාර්ග කි‍්‍රයාත්මක වීමේදී කිසිදු ව්‍යවස්ථාපිත හෝ නෛතික අනුමැතියකට යටත් වන්නේ නැත. කෙසේ වෙතත් අවශ්‍ය වන්නේ මධ්‍යම රජය සහ පළාත් සභා අතර සහයෝගී බලය බෙදීමේ සැලැස්මක් ඇති කිරීම සඳහා අවශ්‍ය වන බලතල සහ කි‍්‍රයාමාර්ග මොනවාදැයි හඳුනා ගැනීමය. එය හඳුනා ගැනීමෙන් පසුව දෙපසක සිටින පක්ෂ දෙකට අවිධිමත් එකඟතාවකට පැමිණීම සඳහා පාර කැපෙනු ඇත.

එබැවින් ශී‍්‍ර ලංකාවේ පවතින මෙම අසාමාන්‍ය තත්ත්වය මත සම්ප‍්‍රදායික සංහිඳියා කි‍්‍රයාවලියක් අත්හදා බැලීමට හෝ හැකියාවක් නොමැත. පළමුව සිදුවිය යුත්තේ සංහිඳියාවට සුදුසු වටපිටාවක් වෙනුවෙන් අඟුළු විවර කිරීමට අවශ්‍ය දේශපාලනික සංහිඳියාවක් ගොඩනඟා ගැනීමය. මෙම ලිපියේ දිගින් දිගටම පෙන්වා දී ඇති ආකාරය පරිදි, මධ්‍යම රජය සහ උතුරු පළාත් සභාව අතර සංවාදයක් ගොඩ නැඟීම තුළින් මෙරට තත්ත්වය තුළ දේශපාලනික සංහිඳියාවක් ගොඩ නැඟිය හැකිය. එවැනි සංවාදයක් තුළින් වර්තමානයේ පවතින සහ අනාගතයේදී ඇති විය හැකි පරිපාලනමය සහ ප‍්‍රතිපත්තිමය ගැටළු අතු ගා දැමීමට ඉඩ හසර ලැබෙනු ඇත. පළාත් පරිපාලනයේ ගමනට බාධා පමුණුවන කරුණු පිළිබඳ දේශපාලනික සහ පරිපාලනමය වසයෙන් මූලික අවබෝධයකට එළඹිය හැකි නම් එය පක්ෂයක කැපවීම පමණක් නොව; ශී‍්‍ර ලංකාව උදක් ප‍්‍රාර්ථනා කරන පෘථුල දේශපාලනික සංහිඳියා කි‍්‍රයාවලියක් වෙනුවෙන් තබන ලද ප‍්‍රථම පියවර ලෙස ද පිළිබිඹු වනවාට සැක නැත.

Shiral
ශිරාල් ලක්තිලක
| Shiral Lakthilaka