දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සහ රජයේ හමුදා අතර දශක තුනක් තිස්සේ දිග් ගැස්සුණු යුද්ධය අතරතුරේවත්, මේ අවාසනාවන්ත කාලයේ තරම්, ආණ්ඩුවේ රැකවරණය ඇති සිවුරු හැඳගත් පිරිසක් විසින් ජාතිවාදය සහ ජාති වෛරය, මෙතරම් ප‍්‍රසිද්ධියේ වපුරා නැත.

බෝතලයක සිටි බහිරවයෙකු සේ බොදුබල සේනාව එළියට මුදාහැරීම

ඒ කියන කාලයේ පල්ලිවලට ගැහැව්වේ නැත. කෝවිල් කොල්ලකෑවේ නැත. මුස්ලිම් සහ ක‍්‍රිස්තියානි ආගමිකයන්ට එරෙහිව බොදුබල සේනාව වැනි උමතු කල්ලි ප‍්‍රසිද්ධියේ බෙරිහන් දුන්නේ නැත. උත්ප‍්‍රාසය වන්නේ, එවැනි පිස්සන් සහ පිස්සු කෙළි එළියට බැස්සේ යුද්ධයේ නිමාවෙන් පසුව වීමයි. දැන් මෙවැනි පිස්සන්ට විරුද්ධ වන සැබෑ බෞද්ධ භික්ෂූන්ට පවා ඔවුන්ගෙන් ගැලවීමක් නැත. ජිනීවා ඡන්දය ආසන්නයේ යම් කාලයක් නිහඬව සිටි බොදුබල සේනාව, මේ සතියේ බහිරවයෙකු සේ බෝතලයෙන් මුදා හැර ඇති බව පැහැදිළියි.

ශ‍්‍රී ලංකාවේ බහු-වාර්ගික ක‍්‍රිකට් කණ්ඩායමේ 20-20 ජයග‍්‍රහණයේ ප‍්‍රමෝදය බැස යන්නටවත් කාලයක් නොතිබුණි. බොදුබල සේනා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාරගේ නායකත්වයෙන් මෙහෙයැවුණු භික්ෂූ කණ්ඩායමක්, මහියංගන විහාරවාසී වටරැක විජිත හිමියන්ගේ මූලිකත්වයෙන් කොම්පඤ්ඤවීදියේ නිපොන් හෝටලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකට බලහත්කාරයෙන් කඩා වැදුනහ. එම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවා තිබුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානය මගින් ඒ කාලයේ පලවා හරින ලද මුස්ලිම් ජාතිකයන්ව විල්පත්තු අභයභූමි ප‍්‍රදේශයේ අනවසරයෙන් පදිංචි කරවතැ යි යන හාහෝව බොරුවක් බව කියා සිටීම ය.

පව් කන්දරාවක් වසා ගැනීම

එහෙත්, ජිනීවා නුවර දී ආණ්ඩුව කට පුරා කියා සිටියේ, රටේ වෙසෙන ආගමික සුළුතරයන්ට අන්තවාදීගෙන් කිසි තර්ජනයක් එල්ල නොවන බවයි. ආගමික නිදහසට ඇති අයිතිය අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සපයා තිබෙති යි ආණ්ඩුව එහි දී කියා සිටීම, ලෝකයා හිනා ගස්සන්නක් විය. පුරාජේරුවේ සහ බොරුවේ ආවරණයෙන් පව් කන්දරාවක් වසා ගැනීමට සමත් වූ ආණ්ඩුවේ දැවැන්ත මාධ්‍ය යන්ත‍්‍රය, දැන් දැන්, සෙමින් වුවත්, ස්ථිරවම, එම කාර්යයේ අසමත් වෙමින් තිබේ.

බොදුබල සේනාවේ සැහැසි භික්ෂූන් නීතියේ කිසි දඬුවමකට යට නොවී, සුළුතර ආගමිකයන්ට එරෙහිව නොසන්ඩාලකම් කරන විට, රටේ සෑම ආගමකටම නිදහසක් ඇතැ යි කීම විහිළුවකි. මේ සතියේ බොදුබල සේනාවේ ප‍්‍රචණ්ඩ භික්ෂුව තවත් භික්ෂුවකට තර්ජනය කරන අවස්ථාවේ පවා, දෙවැනුව කී භික්ෂුවගේ ආරක්ෂාව සහතික කිරීමට, පොලීසිය එම ස්ථානයේම සිටියදීත් අසමත් විය. එම සිද්ධියේ දී මහත් සේ තැතිගත් විජිත හිමියන් පසුව කරන ලද පැමිණිල්ලක් අනුව, ප‍්‍රකාශයක් ලබා දීම සඳහා බොදුබල සේනාවේ ලේකම් භික්ෂුව කොම්පඤ්ඤවීදිය පොලීසියට ගෙන්නීම හුදෙක් රංගනයක් පමණි. එසේ ලබාගන්නා ප‍්‍රකාශයනයන් අනුව කෙරෙන පරීක්ෂණවලට සිදුවන්නේ කුමක් දැ යි අපි හොඳින්ම දනිමු.

මේවා අතරින්පතර සිදුවන දේවල් නොවේ

ජිනීවා නුවර දී ප‍්‍රතිචාර දක්වමින් ආණ්ඩුව ඉදිරිපත් කළ විත්තිවාචකය වුණේ, ‘සුළුතර ආගමිකයන්ට එරෙහිව කෙරෙන ප‍්‍රහාරයන් අතරින්පතර සිදුවීම් පමණක්’ බවත්, ‘එම සිදුවීම්වලට අදාළ තොරතුරු ලැබුණු හැම අවස්ථාවකම ඒවා ගැන විභාග කොට සුදුසු පියවර ගෙන ඇති’ බවත් ය. තවදුරටත් එහි දී කරුණු දැක්වූ ලංකා ආණ්ඩුව, එවැනි ‘අතරින්පතර සිදුවීම්’, බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-සංස්කෘතික ඕනෑම රටක සිදුවිය හැකි බවත්, එවැනි රටක් වන ලංකාව සම්බන්ධයෙන් එම කරුණ මත අසාධාරණ සේ නිගමනයකට පැමිණීම නොකළ යුතු බවත් ය.

එහෙත් නීතියේ මූලික ශික්ෂාවන් අමතක කොට ඇති බවක් පෙනෙන විදේශ අමාත්‍ය ජී. ඇල්. පීරිස්ටත්, ඉතා අසාර්ථක අන්දමින් ඔහු නියෝජනය සපයන ලංකා ආණ්ඩුවටත් මතක් කර දිය යුතු, මේ කරුණ අරභයා ලංකාව නරක අඩියකට හෙලන මූලික දේවල් කිහිපයක් තිබේ. මුලින්ම, ඉහත කී සිදුවීම්, ‘අතරින්පතර’ සිදුවූ දේවල් නොවේ. මෙකී සිදුවීම් පසුපස, වඩ වඩාත් පැහැදිළිව දකින්ට ලැබෙන ඉතා භයානක දේශපාලනික කූටෝපායක් තිබේ. ඉතා උචිත අවස්ථාවක හිටිහැටියේ මතුවන මෙම ප‍්‍රවණතාව, නැවතත් හිටිහැටියේම යටපත්ව යයි.

එසේම, මේ සිදුවීම් ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නේ කිහිප දෙනෙකු පමණක් වන නිසා, අදාළ පරීක්ෂණ නිසියාකාරයෙන් අවසන් කිරීමට අවස්ථාවක් නොලැබෙන බව කීමත්, ප‍්‍රශ්නයට සුදුසු පිළිතුරක් නොවේ. සත්‍ය වසං කිරීමේ එවැනි ළාමක සෙල්ලම් නිසා සිදුවන්නේ අසන්නා තුළ විශ්වාසය පළුදු වීම පමණි. නීතිය උල්ලංඝනය කරන ඕනෑම තැනැත්තෙකු සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක විය යුතු බව, නීතියේ ප‍්‍රථම නියාමයයි. බොදුබල සේනා නායකකාරකාදීන් විසින් කරන ලද තර්ජන සහ ඔවුන්ගේ නොසණ්ඩාල හැසිරීම්, ආණ්ඩුවට පැහැදිළිව දැක බලා ගත හැකි පරිදි, රූපගතව තිබේ. සමහර අවස්ථාවල දී, නිර්භීත පුද්ගලයන් කිහිප දෙනෙකු, ඉදිරියට පැමිණ සාක්ෂි දුන් අවස්ථා ද තිබේ.

දඬුවම් කවරේ ද?

පරීක්ෂණ තවමත් පැවැත්වෙමින් තිබෙන බව හෝ ඇතැම් පරීක්ෂණ අවසන්ව ඇති බව හෝ කීම පමණක්, ප‍්‍රශ්නයට පිළිතුරක් නොවේ. ප‍්‍රශ්නය වන්නේ, නීතිය උල්ලංඝණය කළ මේ පුද්ගලයන්ට මෙතෙක් දී ඇති දඬුවම් කවරේ ද යන්නයි. මෙවැනි සිදුවීම්වලට අදාළව දැනට පවතින නීතිය පවා පාලකයන් විසින් නොතකන තත්වයක් තුළ, සැබෑ විකටයෙකු බවට රූපාන්තරණය වී සිටින වාසුදේව නානායක්කාර වැන්නෙකු, වෛරී භාෂණයට එරෙහි අලූත් නීතිරීති ගෙන ඒමේ සුරංගනා කතා කීම ඇත්තෙන්ම විකාරයකි.

මෙවැනි ආගමික අන්තවාදයන් පිළිබඳ සිදුවීම් වාර්තා වන්නේ අතිශයෝක්තියට නැගෙමින් යැයි කියන තවත් පිරිසක් ද සිටිති. එවැනි ඇත්තන් කළ යුත්තේ, වෙබ් අඩවි කිහිපයක් උඩින්පල්ලෙන්වත් කියවා බැලීමයි: ආගමික සුළුතරයන්ට එරෙහිව බොදුබල සේනාව කර ඇති අඩන්තේට්ටම් සහ ඒ සඳහා ඔවුන් පාවිච්චි කර ඇති බේබදු, මුඩුක්කු භාෂාව ගැනත් එවිට ඔවුන්ට දැකගත හැකි වනු ඇත. මේ කල්ලිය අද කෙතරම් ප‍්‍රබල ද යත්, කැබිනට් ඇමතිවරුන්ට පවා ශාරීරික හානි පමුණුවන බවට ප‍්‍රසිද්ධියේ තර්ජනය කිරීමට තරම් ඔවුන් නිර්භයව සිටීම, තවත් ප‍්‍රශ්නයකි.

කණගාටුදායක යථාර්ථයක්

මේ තර්ජන පටිගතව ඇති බවත්, මුළු ලෝකයාටම ඒවා දැක බලාගත හැකි වන සේ ප‍්‍රචාරය කෙරී ඇති බවත්, වැදගත් නැත. ඇත්ත වශයෙන්ම, අද පවතින තත්වය යටතේ, ඉතා සීමිත ආකාරයකින් ඔවුන්ගේ නායකයන්ව හෙළිදරව් කරන රූපවාහිනී නාලිකා නිෂ්පාදකවරුන්ටත් තර්ජනය කිරීමට බොදුබල සේනාවට හැකියාව තිබේ. තමන්ගේ සම්ප‍්‍රදායික ඇඳුමෙන් සැරසෙන මුස්ලිම් කාන්තාවන්ට තර්ජනය කිරීමටත් ඔවුන්ට හැකි ය. තමන්ට විරුද්ධව සිටින මධ්‍යස්ථ බෞද්ධ භික්ෂූන්ගේ සිවුරු ගැලවීමට තර්ජනය කිරීමට පවා ඔවුන්ට පුලූවන. මීට මාස කිහිපයකට පෙර, වටරැක විජිත හිමියෝ අගනා ප‍්‍රශ්නයක් මතු කළෝය: ‘‘හැමෝගෙම රෙදි ගලවන්න මේ උන්නාන්සේලා මෙච්චර වලිකන්නේ ඇයි කියලා මට තේරෙන්නේ නැහැ.’’

සත්‍යය වන්නේ, නීතියේ බාධාවකින් තොරව, එවැනි අවකල් ක‍්‍රියාවන්හි යෙදීමට බොදුබල සේනාවට හැකියාවක් ලැබී තිබෙන බව ය. ඔවුන්ගේ තර්ජනයට ලක්වන කැබිනට් ඇමතිවරුන්ට පවා හැකි වන්නේ, විරිත්තලකින් කරබාගෙන එය බාර ගැනීම පමණි.

අද අපේ ආණ්ඩුකරණයේ ශෝචනීය තත්වය එබඳු ය.

කිෂාලි පින්තු ජයවර්ධන

| 2014 අපේ‍්‍රල් 13 වැනි දා ‘සන්ඬේ ටයිම්ස්’ පුවත්පතේ පළවූ Our Fairy Tales & An Explosion of Religious Hatred නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ | Image Credit: mffcoexist