‘‘කටුගෙයක් කරනවලු මත්තල ගුවන්තොටුපල. කටුගේ මොනවද දාන්නේ? රනිල් වික්‍රමසිංහගේ ඇටකටු දාන්නද? ඒ රටේ, ප්‍රදේශයේ මිනිසුන්ට දාස් ගනන් රස්සා ලැබිලා, ඒ ප්‍රදේශයේ දියුණුව ඇතිවෙලා තියනවා. බොහොම ලස්සනට සංවර්ධනය වෙනවා. ගුවන්තොටුපල හැදිලා තියනවා. ඒ මිනිස්සුන්ටයි ඒකේ අගය. මේ පිටින් යන, යූඑන්පී මංත්‍රීවරැන්ට නෙවෙයි මේකෙ අගය තියෙන්නේ. ඒ වාසිය, ඒක භුක්ති විදින්නේ ඒ ජනතාවයි. ඒ නිසා ඒ ජනතාවට මේ අය සමච්චල් කරන්න, කොලොප්පං කරන්න, ඕන් නැතුව බනින්ඩ යනකොට ප්‍රදේශයේ මිනිසුන්ට කේන්ති එනවා. මගේ කල්පනාව නම් ඔයිට වඩා ගහයි කියලා මම හිතාගෙන හිටියේ.‘‘ අතාවුද ඇමතිවරයා ප්‍රකාශ කරයි. (බලන්න වීඩියෝව |Video Credit: Derana)

රාජපක්ෂ සහ රාජපක්ෂ ඇමතිවරැ

මත්තල ගුවන් තොටුපලත් හම්බන්තොට වරාය නිරීක්ෂණයට පසුගිය දා ගිය එජාප මංත්‍රී පිරිසට, පිස්තෝල රැගෙන පැමිණි එහි නගරාධිපතිවරයාත්, සරම් කැහැපොට ගහගෙන පැමිණි මැරයින් පිරිසක් විසින් තර්ජනය කර, බිත්තර, තක්කාලි වලින් පහර දී ඔවුන් පැමිනි වාහනයටත් අලාභානි කලේ ය. ඉන්පසු පහර දුන් මැරයින් වෙනුවට ජනාධිපතිවරයාගේ සිට දැන් ඇමතිවරැ මෙන්ම මොවුන්ගේ කටු ලෙවකන කුක්කන් පවා එය සලකන ලද්දේ තමන්ගේ නිවසට බලෙන් පැමිණි හොරෙකුට පහරදුන් ලෙස එය සාධාරණය කරනය කිරීමෙනි.

දැන් අලුත්ම කතාව කියන්නේ අතාවුද ඇමතිවරයාය. ඔහුට අනුව පහර දෙන්න තිබුණේ ඔය ප්‍රමාණයට නොවෙයි. ඔහු මෙසේ කියයි ‘‘මගේ කල්පනාව නම් ඔයිට වඩා ගහයි කියලා මම හිතාගෙන හිටියේ.‘‘ මේ කියන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයෙකි. ඔවුන්ට අනුව ප්‍රභාකරන් නම් මිනිසා නිසා නැතිවී තිබූ, නීතියේ පාලනය, මානව හිමිකම්, නිදහස වැනි ගුණාංගයන් රාජපක්ෂ නැමති රජු නිසා ඇති වී තිබෙනවා යැයි ලෝකයට කියන ආණ්ඩුවේ ඇමතිවරයෙකි.

මහජනතාවගේ මුදල් වලින් තැනූ සංවර්ධන ව්‍යාපෘතී නිරීක්ෂණය කිරීමට, පාර්ලිමේන්තු මංත්‍රීවරයෙකුටවත් යාමට නොදී පිස්තෝල රැගෙන විත් පහර දුන් විට නෑ ඔයිට වඩා ගහන්නයි තිබුනේ යැයි හැගවුමෙන් කියන්නට තරම් රාජපක්ෂලාගේ ඇමතිවරැ පාර්ලිමේන්තුවත්, නීතියත් තමන් ලෙස වටහා ගනිමින් ඇති රටක කිනම් යහපාලනයක්ද?

පරීක්ෂණ කරනවා වෙනුවට තවමත් චන්ඩිපාට්

ඇති තරම් රෑපමය සාක්ෂි තිබියදී පවා පහර දීමට පැමිණි මැරයින්ගෙන් 4දෙනෙක් පමණක් අත්අඩංගුවට ගෙන යුහුසුලුව ඇපමත මුදා හැරියේය. නමුත් පිස්‍තෝලයක් සමග පැමිණි මැර නගරාධිපති තවමත් නිදැල්ලේය. ලෝකයට පෙනෙන්ට 4දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහරිමින්, රාජපක්ෂ ආණ්ඩුව තවමත් සිදු කරමින් සිටින්නේ ‘පිස්තෝල නගරාධිපතිගේ‘ චන්ඩිපාට්වලට නොදෙවෙනි චන්ඩිපාට් ය. එය තවදුරටත් තහවරැ වූයේ පසුගිය 03වනදා එක්සත් ජාතික පක්ෂ මංත්‍රීන් පිරිසක් විසින් පහරදීමට එරෙහිව හම්බන්තොට නගරයේදී විරෝධතාවයක නිරත ව සිටි අවස්ථාවේදී කුලී චන්ඩින් ලවා මංත්‍රීවරැන්ට ‘හූ‘ කීමෙන්ය. දැන් මේ සියලු දේවල් සිදු කරන්නේ ලංකාවේ පාර්ලිමේන්තු මංත්‍රීවරැන්ටය. ඔවුන්ට නීතියෙන් ඇති අවසරය ද නොතකාය. එහෙව් රටක පුරවැසියෙකුගේ අයිතීන් ගැන කුමන කතාවක්ද?

එබැවින් රාජපක්ෂ පාලනය තුළ සියලු ස්ථරයන්ගෙන් මේ සනාථ කරමින් ඇත්තේ ‘රාජපක්ෂලාට නැමෙන්නේ නැති නම් ගුටි‘ කියා නොවේද?

නමුත්, අනෙක් අතට එක්සත් ජාතික පක්ෂය විසින් මේ ඇතිවී ඇති තත්ත්වය මනාවට දේශපාලනිකව කලමණාකරණය කර ගෙන මේ පවතින ‘අවනීතියට එරෙහිව‘ ශක්තිමත් දේශපාලන පෙරමුණක්වත් ගොඩනැගීමට සූදානමක්වත් පෙනෙන්නට නැති වීම ‘පුරවැසියාට‘ කෙසේ වෙතත් රාජපක්ෂලාගේ චණ්ඩින්ට නම් තවත් රසයක් බව නම් කිව යුතුමය. නමුත් මේ සිදුවීමම කේන්ද්‍ර කර ගනිමින් ම එවැනි පෙරමුණක් ගොඩනගා ගත හැකි නම් රාජපක්ෂ රෙජීමය කෙරෙහි ඇතිකළ හැකි බලපෑමත්, එමගින් විපක්ෂයේ පක්ෂ වලට මෙන්ම එහි ජනයාටත් එමගින් ඇති කරන දේශපාලන ආශ්වාදය ගැනත් අමුතුවෙන් කිව යුතු නොවේ.