ලංකාව ආසියාවේ ආශ්චර්ය වූ දිනයේ සිට බොහෝ දෑ සේම ස්වභාවික ඍතුද පෙර කාලසටහනට අනුව සිදු වූ ආකාරයෙන් වර්තමානයේදී සිදු නොවේ. සමකාසන්න රටක් ලෙස ලංකාවේ මුලික ඍතු වෙනසක් නොතිබුණද, මුලික වශයෙන් දේශගුණික වෙනස්කම් සිදුවීම සඳහා කාලසටහන් තිබුණි. මේ නිසා අතීතයේ සිටම ග්‍රෝත්‍රික දඩයම් යුගයෙන් කෘෂිකාර්මික යුගයට හැඩගැසීමේදී ප්‍රභල දුෂකරතාවලට මුහුණ නොදී තම හැඩගැසීම නඩත්තු කිරීමට මෙහි විසූ අයවලුන් සමත් වූහ. නමුත් මේ වන විට කාලගුණයට මෙන්ම දේශගුණයට තිබු ක්‍රමික චලනය ඉවත්ව ගොස් ඇති අතර ඒ වෙනුවට පැවති රටාව අසමතුලිත වී තිබේ. මෙය නව ආකාරයක අභියෝග මෙන්ම නව ආකාරයක වෙළඳ පොලක් නිර්මාණය කිරීමට සමත් වී තිබේ.

රටේ දේශපාලනයද මේ ආකාරයේම හැඩයක් ගෙන ඇත. සමකයේ පිහිටි රටක්, සමාජ ක්‍රමය කුණු කිරීම මඟින් ධ්‍රැවීය රටක් බවට පත් වී තිබේ. තම පැවැත්ම වෙනුවෙන් දේශපාලන සංකල්ප සහ න්‍යායන් තෝරාගත් අයවලුන්ගේ ඍතුද මේ ආකාරයෙන්ම වෙනස් වී ඇති බව නොරහසකි. මේ නිසා වැස්ස වැටෙන්නේ කුමන මොහොතේද කියා සිතා ගැනීමට මිනිසුන්ට තබා ගෙම්බන්ටවත් හැකිවාක් නොමැත. මේ නිසා ගෙම්බන්ට වැස්සේදී සතුටු වීමට වඩා සිදුවී ඇත්තේ කෙසේ හෝ තම පැවැත්ම වෙනුවෙන් අරගල කිරීමටය.

මෙම අරගලය දේශපාලනය තුළ මාක්ස්වාදී න්‍යායික හැඩරුවක් ගන්නා නමුත් එය වත්මන් භූමිකාව සමඟ අතිපිහිත වීමෙන් ඉතිහාස සිදුවීම් වර්තමානයට ඇද දමා වර්තමානය තුළ ඊට නව කියවීමක් ලබා දී තිබේ. ඉතිහාසය යළි යළිත් සිදුවේ, පළමුව ඛේදවාචකයක් ලෙස පසුව විකාරයක් ලෙසය. මෙය බොහොමයක් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද මුහුණ දී සිටින මුලික දේශපාලන ප්‍රවණතාවයකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ තම දේශපාලනය සාර්ථක කරගැනීම සඳහා තම සාක්කුවට දමාගත් ගෙම්බන් මේ වන විට බක බක ගෑම පටන් ගෙන තිබේ. ඒ වෙන කිසිවක් නිසා නොව ඔවුන්ගේ පෞද්ගලික පැවැත්ම අරම්භයා ඇති වී මුලික අභියෝග නිසා යැයි බොහෝ දෙනෙකුට සරලව අවබෝධ වන කාරණයය. නමුත් යථාර්තය ඊට හාත්පසින්ම වෙනස්ය.

ආණ්ඩුවේ සිටි ප්‍රධාන ගෙඹි පාර්ශව දෙක වූයේ ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමයය. මෙම බලවේග බොදු බල සේනාවේ සහ අනෙකුත් ඊට සමාන කල්ලිවල හැසිරීම මඟින් බරපතල තත්වයකට මුහුණ දී සිටිති. ඒ තම පැවැත්මට වඩා ප්‍රසිද්ධිය සම්බන්ධයෙනි. මේ නිසා මෙම ගෙම්බන්, රාජපක්ෂ වරිගය තුළ නොව ප්‍රසිද්ධ වේදිකාවේ ක්‍ෂය වී යන කොට්ඨාශයක් බවට පත් වෙමින් සිටියහ. මෙය අවබෝධ වූ විගස, රාජපක්ෂගේ පොකට්ටුවේ සිටම තම ගෙඹි ගීතය ගායනා කිරීම ආරම්භ කොට තිබේ. මෙය හුදෙක් රටේ මහජන අවබෝධය පිටත පෙරළීම සහ රටට අත්‍යවශය වී ඇති රාජපක්ෂ විරෝධී ශක්ති සම්පන්න, ආත්මය පාවා නොදෙන දේශපාලන බලවේගයකට මතුවීමට ඇති ඉඩකඩ තවදුරටත් අනාගතයට ඇද දැමීමට උත්සහ කිරීමකි.

අදාළ ගෙඹි ගීතයට අනුව රාජපක්ෂ ආණ්ඩුව, රනිල් වික්‍රමසිංහ ක්‍රියාත්මක කිරීමට ගිය යළිපුපුදමු ශ්‍රීලංකා වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට යන්නේය. එබැවින් මෙය ගෙම්බන්ගේ ජාතික බලවේග වලට මහත් පහරකි. එය වහාම නැවැත්විය යුතුවා පමණක් නොව, ගෙම්බන් ආරක්ෂා කිරීමට නම් රාජපක්ෂ ජනාධිපතිවරයා ඔවුන්ට කීකරු විය යුත්තේය. මෙය අදාළ ගෙඹි පාර්ශවයන් මතුපිටින් ඉදිරිපත් කරන අදහසය. නමුත් මෙය සැබෑ සත්‍ය නොවේ. මොවුහු ඉවත් වූ පමණින් රාජපක්ෂට ඔවුන් පොළවේ ගසනු ලැබූ ගෙම්බන් මෙන් නිහඬ කිරීමට හැකි සාක්ෂි නැත්තේ නැත. රාජපක්ෂ තමා වටා සිටින සියලුම අයවලුන් ඉන් ඉවත් වූ විට මට්ටු කරන ආකාරය ගැන වඩාත් නිවැරදිව දන්නා අයෙකි. මේ නිසා මෙම ගෙඹි ගායනා අසා රාජපක්ෂ සතුටු වනවා පමණක් නොව, එම සියල්ල පිටුපස සිටින්නේද රාජපක්ෂ වුවහොත් පුදුම විය යුතු නැත.

මෙම ගෙවී යන මාස කිහිපය වූ කලී රාජපක්ෂට තෙවැනි වරටත් ජනාධිපති වීමට ඉඩ ලබා දෙන්නේද නොදෙන්නේද යන්න තීරණය කරන අතිශය තීරණාත්මක කාලයකි. කුමන හෝ ආකාරයකින් මෙම කාලය මහජනතාව සහ අනෙකුත් දේශපාලන පක්ෂ මහුණ දීමට සිදුවන අතවශ්‍ය සාධකය අමතක කිරීමට සැලැස්වීම සහ ඊට විවිධාකාරයේ රැඟුම් ඉදිරියට ගෙන ඒම අතිශය වැදගත්ය. එමඟින් ඉතිහාසයේ ප්‍රථම වතාවට රටේ ජනතාව “ආදරණීය නායකයා” තෙවැනි වරටත් නායකයා කළ බව ප්‍රකාශ කළ හැකිය. එමඟින් ඔහු සිදු කළ අසමජ්ජාති කටයුත්ත වන 18 වන ව්‍යවස්ථා සංශෝධනයට සධාරණයක් ලබා දිය හැකිය. එය රටේ දේශපාලනික පමණක් නොව සෑම පැත්තකින්ම සිදුවන බරපතල හැරවුම් ලක්ෂයක් බවට පත් කළ හැකිය.

මෙම කටයුත්ත සිදුකර ගැනීම සඳහා රාජපක්ෂ, රාජපක්ෂට විරෝධය පෙන්වන කණ්ඩායමක් ඇතුළතින්ම නිර්මාණය කළ යුත්තේය. මෙය බොහෝ තැන්වල සිදුකරනු ලැබූ දේශපාලන උපායකි. එබැවින් මෙය නිවැරදිව තේරුම් ගැනීම සහ එය මහජනතාවට කැලෑ පත්‍ර මාර්ගයෙන් හෝ දැනුවත් කිරීමට ඉඩ සැලසීම තීරණාත්මක වැඩ පිළිවෙලකි. මන්ද රටේ බහුතරයකට අන්තර්ජාල පහසුකම් නැත. තිබෙන සුළු පිරිසෙන් බහුතරයද තම ලිංගික ආසාවන් තෘප්තිමත් කිරීම සඳහා එය භාවිතා කරනු ලබයි. එය ඔවුන්ගේ අයිතියකි. ඊට වැරදි හෝ නිවැරදි යැයි කීමට වඩා වැදගත් වන්නේ වෙනස් කළ යුතු මූලයන් සහ උපාය මාර්ග වෙනස් කිරීමය. එසේම රටේ ප්‍රධානපෙළේ මාධ්‍යන් සියල්ලම ඍජුව හෝ වක්‍රව රාජපක්ෂගේ දිරපු ලණු කැරලි පිටින් අනුබව කරනු ලබති. එය සැබවින්ම පාර්ශවයන් අතර පවතින වෙළඳ ගනුදෙනුවකි. එම ගනුදෙනුවට සාමාන්‍ය ජනජීවිතය අදාළ වන්නේ විෂයක් ලෙස පාවිච්චි කිරීමට පමණි.

ඉදිරි දින කිහිපයේදී රාජපක්ෂගේ සාක්කුවෙන් එලියට පැන මෙම ගෙම්බන් තම ගෙඹි ගීතය ගයනු ඇත. දේශ හිතෛෂී වීර කාව්‍යයන් කියමින් තම “ජාතික බලවේගයේ” සුසුම හෙලනු ඇත. මෙය කිසිඳු සැකයකින් තොරව මොවුන් සුපුරු ලෙස සිදුකරන වංචාවයි. ඊට හසුවන්නේද නොවන්නේද යන්න තේරුම් ගැනීම මත රටේ ජනතාවට අවශ්‍ය දේශපාලන තත්වය සකස් වනු ඇත. මෙම ගෙඹි ගීත, ඔවුන්ට ඍජුව හෝ වක්‍රව මුල් ගුරු හරුකම් ලබාදුන් නලින් ද සිලවා කෙසේ කියවන්නේ දැයි නොදනිමි.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa