සිංහල, Democracy, Features, Human Rights, Jaffna, Life quips, Puravasi Katha

අපි යුද්ධ කලේ වෙනම රටක් ඉල්ලල එහෙත් අපිට ඉතිරි වුනේ අහිමිවීම් පමණයි


අඩක් නිමකළ ගෙයි ඉදිරිපස පෙහොර උර ආවරණයේ හිඩැසින් නිමක් නොමැති අහස් දෙස බලා හිදින ජෙනදාගේ මුහුණේ ඇත්තේ අවිනිශ්චිත බවකි. තවමත් 21 වන වියෙහි පසුවන ඇයට තම ඉදිරි ජීවිතය පිළිබඳව ඇත්තේ අවිනිශ්චිත බවකි.
‛‛ අපි කිලිනොච්චියට ගියේ අපේ ඥාතියෙකුගේ මංගල උත්සවයකට සහභාගී වෙන්නයි. අපි එහේ ඉන්නකොට යුද්දේ උත්සන්න උනා. ඒක නිසා පාර වැහුව අපිට ආපහු යාපනයට එන්න බැරි උනා. යුද්දේ වැඩි වෙනකොට එල්ටීටීඊ එක අපිවත් අරගෙන පසුබැස්සේ. මේ කාලය තුළ අපි තැන් හතකට විතර අවතැන් වුනා. අන්තිමට මාතලන් වල හිටියේ ඉතා තදින් ෂෙල් ගහන නිසා අපිට ඉන්න සිද්ධ වුනේ බංකර ඇතුලේ මේ සිද්ධිය වෙන කොට මගේ අම්මයි, තාත්තයි අක්කයි හිටියේ එක බංකරයක මායි නැන්දයි එයාගේ පුතයි හිටියේ තව බංකරයක. අපි හිටපු බංකරයට ෂෙල් වැටුන නැන්දගේ පුතා ඒකෙන් මැරන මගේ කකුල් දෙකම නැති වුනා. ඇත්තටම ෂෙල් එකෙන් මගේ එක කකුලක් කැඩිල අනෙක් කකුල තුවාල උනා. එහෙත් මාතලන් ඉස්පිරිතාලේ බෙහෙත් තිබුනේ නැහැ. දවස් හතරක් කිසිම බෙහෙතක් නැතිව ඉන්න වුනා. පස්සේ මගේ ජීවිතේ බේරන්න ඕන නිසා තුවාල වෙච්ච කකුලත් කපන්න දොස්තරල තීරණය කළා. බංකරේට ෂෙල් වැටිල මාව තුවාල උනාට පස්සේ තමයි එල්ටීටීඊ එක අපිට යන්න දුන්නේ. කකුල් දෙක කපල ඉස්ලිරිතාලේ ඉන්නකොට අයි.සී.ආර්.සී එකේ නැවෙන් මාවයි අම්මවයි පුලුමුඩේට ගෙනාව. එතැනින් මන්නාරමටත් පස්සේ වව්නියාවේ සරණාගත කඳවුරටත් ගෙනාව. යුද්දේ ඉවර වුනාම පස්සේ තමයි ආපහු යාපනයට එන්න ලැබුනේ.’’ රවින්ද්‍රන් ජෙනදා තමන්ට වේච්ච දේ කියාගෙන ගියා.
ඇය දරුවෝ 5 දෙනෙකුගෙන් යුතු පවුලක දෙවැනියා. ඇයට බාල මල්ලි කෙනෙක් හා නංගිලා දෙන්නෙක් ඉන්නව. ‛‛ මගේ දරුව මොන වරදක් කලාට මෙහෙම උනාද කියල මං දන්නේ නැහැ. මම නැතිවුන දවසට ඇයට මොකක්ද වෙන්නේ. හොද මගුලක් කාල අනෙක් අය වගේම මගේ දුවවත් යවන්නයි මං බලන් හිටියේ ඒත් දැන් එයාට එයාගේ ඇහැකුයි කකුල් දෙකයි නැතිවුනා.’’ ජෙනදගේ මව වැළපෙන්නේ ඇයගේ තරුණ දියනියට සිදුවෙච්චි අපරාදය ගැනයි. මවක් ලෙස ඇයට මේ සිදුවීම දරාගත නොහැකි බව අමුතුවෙන් කිව යුතු නැහැ.
මේ සියල්ල සිදුවෙද්දි ජෙනදගේ මුහුණේ ඇත්තේ කණගාටුවකට වඩා උපෙක්ෂා සහගත සියුම් හිනාවක් .මෙච්චර දෙයක් වෙලත් ඔයා හිනාවෙල ඉන්නේ කොහොමද? මමත් දුකෙන් තමයි හිටියේ ඒත් මට කකුල් දෙකක් බලන්න මන්නාරමට ගියවේලේ මම වගේම කකුල් අත් අහිමි වෙච්ච තව ගොඩක් අය ඉන්නව දැක්ක.එතකොට මට හිතුන ඇයි දුක්වෙන්නේ කියල.
‛‛අපි වෙනම රටක් ඉල්ලල යුද්ධ කලා. ඒත් අවසානයේ අපිට ලැබුනේ අහමිවීම් විතරයි. අත් කකුල් ඇස් හිත් අහිමි වෙච්ච මිනිස්සු ගොඩක් විතරයි.