සිංහල, Colombo, Democracy, Governance, Human Rights

ප්‍රභාකරන් සිනා පහළ කරනු ඇත

සීදි ඉරෝනි
1980 ගණන්වල අග භාගයෙහි, ජේ.ආර් ජයවර්ධන මුල පුරා ආර්. ප්‍රේමදාස අඛණ්ඩව පවත්වා ගෙන ගිය භීෂණ සමයේ දී, 60,000කට ආසන්න සිංහල ජනයා රාජ්‍යයේ වධබන්ධනවලට ද අතුරුදන් කිරීම්වලට ද ඝාතනවලට ද ලක් වූහ. එකල්හි මෙම අපරාධ පිළිබඳ සාක්කි රැස් කර ගත් රාජපක්ෂ ඒවා ජාත්‍යන්තර ප්‍රජාව හමුවට, එනම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හමුවට ගෙන ගියේ ය. මෙසේ කිරීම නිසා එදා ඔහු ‛ද්‍රෝහියෙකු’ ලෙස හැඳින්විණ. දැන් රාජපක්ෂ, එදා ඔහුට සතුරුව ඔහු ද්‍රෝහියෙකු ලෙස හැඳින්වූවන්ගේ තැන ගන්නට යන සේ ය.

සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා වධබන්ධනයට ලක් කිරීම ද අතුරුදන් කිරීම ද ඝාතනය කිරීම ද ගැන දැන් වරදකරු වී සිටින්නේ රාජපක්ෂගේ ම පාලන තන්ත්‍රය යි, ජාත්‍යන්තර ප්‍රජාවට මෙම අපරාධ පිළිබඳ සාක්කි ලබා දීමට සූදානම් වන කවරෙකු වුව ‛ද්‍රෝහියෙකු’ යැයි හඳුන්වන්නේ ඔහු යි.

රාජපක්ෂගේ වඩා මෑත කාලීන එක් සතුරෙකු වූයේ ප්‍රභාකරන් ය. ශ්‍රී ලංකාව තුළ ජීවත් වන දෙමළ ජනයාගේ එක ම නියෝජිතයා තමන් යැයි ප්‍රභාකරන් කියා සිටියේ ය. ඔහුගේ පාලනය යටතේ පැවති ප්‍රදේශ තුළ අදහස් ප්‍රකාශනයේ නිදහස නොපැවතිණ. ඔහුට විරුද්ධ වූ දෙමළ සිවිල් වැසියෝ ‛ද්‍රෝහීන්’ ලෙස හඳුන්වා අත් අඩංගුවට ගැණුනහ, වධබන්ධනයට ලක් කෙරුණහ, නැත් නම් මරා දැමුණහ. තම පරමාධිකාරයට අභියෝගයක් ලෙස මතු වුණු බැවින් ප්‍රභාකරන් ඔහුගේ සමීප සගයෙකු වූ මහත්තයා ද ඝාතනය කළේ ය.

වර්තමානයේ රාජපක්ෂ ක්‍රියා කරන්නේ තමන් ශ්‍රී ලංකාව තුළ ජීවත් වන සිංහල ජනයාගේ එක ම නියෝජිතයා සේ ය. අදහස් ප්‍රකාශනයේ නිදහස මැඩ ලීම පිණිස පුවත්පත් කලාවේදීහු පැහැර ගැනෙති, අත් අඩංගුවට ගැනෙති, පහර කෑමට ලක් වෙති, ඝාතනය කෙරෙති. රාජපක්ෂට විරුද්ධ වන හෝ ඔහුගේ පරමාධිකාරයට අභියෝගයක් ලෙස මතු වන ඕනෑ ම අයෙකු ‛ද්‍රෝහියෙකු’ ලෙස හඳුන්වා ඔහු තාඩන පීඩනවලට ලක් කෙරේ, නැත් නම් මරා දැමේ. සරත් ෆොන්සේකා ද මෙම ද්‍රෝහීන් පිළිබඳ නාම ලේඛනයට ඇතුළත් ය. ඔහුගේ ආධාරකරුවෝ ද තාඩන පීඩනවලට ලක් වෙති, ඔහුට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනයා ද ‛ද්‍රෝහීන්’ ලෙස හැඳින්වෙති. සරත් ෆොන්සේකා නො වී නම් එල්ටීටීඊය පරාජය කළ හැකි වේ ද?

ප්‍රජාතන්ත්‍රවාදය සහ යහපාලනය ගැන සාකච්ඡා කිරීමට සමුළුවක් කැඳවූ මහනායක හිමිවරුන්ට ද දළදා මාළිගාව තුළ දී බෝම්බ ගසන බවට තර්ජනය කෙරිණ! ප්‍රජාතන්ත්‍රවාදයට හිතපක්ෂපාතී භික්ෂූන් සමග ගනුදෙනු කරන සැටි සිය මිතුරු කුරිරු බුරුම ආඥාදායක තාන් ෂ්වේගෙන් රාජපක්ෂ උගෙන ඇතිවා සේ ය. අප මේ කරුණ ද අමතක නොකළ යුතු ය. දළදා මාළිගාවට බෝම්බ ගැසුවේ ප්‍රභාකරන් ය.

බිය ගැන්වීම් ද කූට ප්‍රයෝග ද යොදා ගෙන පාර්ලිමේන්තුවෙහි තුනෙන් දෙකක බලයක් ලබා ගන්නට රාජපක්ෂ සමත් වුවොත්, ඔහු ශ්‍රී ලංකාව තුළ පවත්නා ප්‍රජාතන්ත්‍රවාදයේ අවසන් ඉතිරිපහදු ද වනසා දමනු ඇත. ප්‍රභාකරන්ගේ ෆැසිස්ට් දේශපාලනය උතුර සහ නැගෙනහිර පමණක් නො ව මුළු රට ම විජයග්‍රහණය කරනු ඇත. සැබවින් ම, රාජපක්ෂ පාලනය සියලු ශ්‍රී ලාංකික ජනයාට, දෙමළ ජනයාට ද ව්‍යසනයක් වනු ඇත. දෙමළ ජනයාගේ ගැළවුම්කරු බව කී ප්‍රභාකරන් දෙමළ ජනයාගේ සුභසාධනය ගැන සැලකිලිමත් වුණේ කවර දා ද? ඔහු සිනා පහළ කරනු ඇත!