උතුරේ අරගලය යුදමය ලෙස නන්දිකඩාල් කලපුවෙන් අවසන් කර වසර 5ක් ගෙවී යාමට ආසන්නය. ඒ 2009 මැයි 19 වනදාය.(ආණ්ඩුවේ ප්‍රකාශයට ඇනුව) එය යුද්ධය අවසන් කළ දිනය ලෙසත් ‘විජයග්‍රහණයේ‘ දිනය ලෙසත් දකුණ විසින් තව නොබෝ දිනකින් සමරනු ඇති.

අධිපති පාලකයින් ද, ආශ්චර්ය කියමින් හිරිවට්ටා ඇති දකුණේ බොහෝ මිනිසුන් ද සිංහ කොඩි ළෙලදවමින් ඒ ජය පැන් සාදයට එක්රොක් වීමට නියමිතය. කිසිදු පාඩමක් නැති උගත් පාඩම් යැයි හදුන්වාගත් වාර්තාව ද පසෙක දමා, දෙමළුන් නැසූ යුද්ධයට යොදා ගත් බර අවි පෙරටුකොට ගෙන දකුණේ විජයග්‍රහණය යැයි නම් කරන ලද ‘ව්‍යසනය‘ සමරයි.

එසේම මේ සියලු දෙනාමත්, 2009 මැයි 19 වනදායින් පසු අවදිය ‘පශ්චාත් යුද අවදිය‘ ලෙසත් නම් කරගනිමින් ව්‍යසනය සැමරීමට හවුල් වන්නේ පංසිල් පද 5ත්, ඊනියා දේශප්‍රේමීත්වයත් කරපින්නා ගෙනය. නමුත්, වසර 30කට ආසන්න කාලයක් ඉතා බිහිසුණු තත්ත්වයකට මුහුණ දුන් සමාජයක් දැන් වන විට එසේ බිහිසුණු තත්ත්වයකට මුහුණ දුන්නා ද යන්න පවා අමතක කිරීමේ ඉතා සරල නිමේශයකට ගමන් කරමින් ඇත. ලංකාවේ පාලකයින් ද, දේශපාලන ව්‍යාපාර ද, බොහොමයක් සමාජ සංවිධාන ද, තවදුරටත් මෙම ‘අමතක කිරීම‘ නම් හැසීරීමෙන් පෙන්නුම් කරන්නේ පශ්චාත් යුදමය තත්ත්වය තුළ දේශපාලන ගැටලුවකට යුදමය විසදුමක් ලබා දීමෙන් සෑහීමකට පත්ව බිල්ලන් සේ කිසිදු දේශපාලන ඉදිරි දැක්මක් නැතිව අයාලේ ගමන් කිරීමකි. උතුර ලේ විලක් කල ‘මානුෂික මෙහෙයුම‘ නම් ‘ජන ඝාතනය‘ පිළිබදව මේ කිසිවෙක් නොතැවෙයි. එහි වින්දිතයන් බවට පත් වූ දෙමළ මිනිසාට යුක්තිය ඉටු කිරීමට තබා ඔවුන්ගේ නිදහසටත් පාලකයන් සහ ඔවුන්ගේ මිලිටරිය විසින් පහර දෙනු ලබන්නේ ගෝත්‍රික ජන සමාජයක හැඩරැව පෙන්වමින්ය.

එපමණක් ද නොවේ, දෙමළ ජනයාගේ දේශපාලන ප්‍රශ්ණය ප්‍රජාතන්ත්‍රීය සහ යුක්තිසහගත ආකාරයෙන් විසදීමට අවසන් කෙරැනු යුද්ධයට හැකියාවක් තිබූ බවට ලෝකයාට පෙන්වීමට, රාජපක්ෂ පාලනය කොයි තරම් වීරිය ගත්ත ද, එය එසේ නොවන බව අදද උතුර විසින් නැවත නැවතත් පසක් කරනු ලබයි.

එහි ආසන්නතම උදාහරණය නම්, යුද්ධයෙන් මිය ගිය වූවන් සැමරීමටවත් වත්මන් පාලකයින් සහ ඔවුන්ගේ මිලිටරිය ඉඩ දෙන්නේ නැත. ජනයා සතු ඉඩම් තවමත් හමුදා සන්තකයේ ය. නිදහසේ කිසිදු දෙයක් කිරීමට ඔවුන්ට නිදහස නැත. සෑම තැනකම ආරක්ෂක ඔත්තුකරුවන්ය. යුද සමයේ ඉදිකල හමුදා කදවුරැ අද ස්ථිර කදවුරැ වී අවසන්ය. සිවිල් නිළධාරීන් වෙනුවට ඕනැම දෙයකට හමුදාවය. දහස් ගණනක් මරා දමා, 2009 මැයි මාසෙන් පසුව අවතැන් කළ ජනයා, අවතැන් කදවුරැ වලින් මුදා හැරියත් ඔවුනට සාමාන්‍ය ජීවිතයක් තවමත් සිහිනයකි. අදද අතුරැදහන් කිරීම්, පහරදීම් සහ තර්ජනය කිරීම් විසින් මරණයේ සෙවණැලි විශේෂයෙන් උතුරේ ජනයා කෙරෙහි කැදවමින් ඇත්තේ යුද්ධයෙන් වසර 5කට පසුත් පාලකයින් විසින් පවසන ‘සාමයේ‘ තරම මනාවට කියා පාමිනි. ජනජීවිතය යළි සාමන්‍ය තත්ත්වයකට පත්කරනවා වෙනුවට අදද කරමින් ඇත්තේ මිලිටරීකරනය වූ පොළවකට ඔවුන්ව ගාල් කිරීමය.

එයට දකුණේ පාලකයින් කියන්නේ ‘උතුරැ වසන්තය‘ කියා ය.

දෙමළ ජනයාට වත්මන් පාලකයන් විසින් ලබා දුන්නා යැයි කියන එම ‘වසන්තය‘ ගැන තේරැම් ගැනීමට, දහස් ගණනක් ඝාතනය කර ලබා ගත් ‘ඊනියා ජයග‍්‍රහණයේ‘ වාසිය ලබා ගෙන සිංහල ජනයාට මේ පාලකයන් වසන්තය කැන්දන්නේ කෙසේද යන්න සොයා බැලීමෙන්, අපට තේරැම් ගත හැකිය. 2005 දී බලයට පත් වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා නන්දිකඩාල් ව්‍යසනය දක්වා ජේ.ආර්. ජයවර්ධනගේ ව්‍යවස්ථාව තව තවත් තියුණු කිරීමට හදිසි වූයේ නැත. නමුත් යුද්ධය අවසන් කළ වහාම ඔහු, 17වන සංශෝධනය හකුලා දමා, පූර්ණ බලය සහිත 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගත්තේය. ඒ දකුණේ වාමංශිකයන් කියා ගන්නා අයගේ මෙන්ම දෙමළාව මෙල්ල කිරීමට ‘පසු නොම හැරෙමු, කොටි බල බිදිමු‘ යැයි කිවූ ජවිපෙත්, හෙළ උරුමයේත් පූර්ණ ආශිර්වාදය යටතේය. මෙයින් පෙනී යන්නේ ඊනියා යුද ජයග‍්‍රහණයේ මුවාවෙන්, දෙමළාට පමණක් නොව සිංහලයාට ද නන්දිකඩාල් පෙන්වීමට රාජපක්ෂලා පසුබට නොවන බවය. එහි ප්‍රතිවිපාක මේ වන විට දෙමළා සුනු විසුනු කිරීමට පෙරමුණ ගත් විමල්, චම්පික වැනි ඊනියා දේශප්‍රේමීන්ගේ පේමන්ට් ටෝක් වලින් එළියට පනින්නේ දෛවයේ සරදමක් මෙනි. එසේම හලාවත ධීවරයින් ඝාතනය, කටුනායක කම්කරැවන් ඝාතනය සහ රතුපස්වල දක්වාත් එය ආපසු හැරවී ඇත්තේ සිංහලයා දෙසටය.

අනෙක් පසින් යුද්ධය දීනිමෙන් ආරෑඩකරගත් බලය ද භාවිතයට ගනිමින් අගවිනිසුරුවරියගේ දෝෂාභියෝගය තුළ නීතියේ ආධිපත්‍යය දියකර හැරියේ අධිකරණයන් ඉදිරිපිට හූ කියමින්, චන්ඩීන් ලවා තර්ජනය කරමින්ය. එය, නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් පමණක් නොව, මානව හිමිකම් සහ වගවීම සහ යුක්ති සහගත සාමයක් කෙරෙහි ද බලපා ඇත්තේ නරක අන්දමටය. එපමණක් ද නොව ආගම් අතර ගැටුම්කාරී තත්වයන්ට ද රාජපක්ෂ පාලනයේ පාර්ශවයන් විසින් සරැ පසක් නිර්මානය කර දීමට ද කිසිදු හිරිකිතයකින් තොරව ක්‍රියාකරමින් ඇත.

කෙසේ නමුත්, යුද්ධයෙන් වසර 5ක් ගෙවෙන මේ මොහොතේ, සාමන්‍ය ජන ජීවිතයක් යනු යුද්ධයෙන් වසර 5කට පසුවද උතුරට සිහිනයකි. ඒ සිහිනයත්, ඔවුන්ට යුක්තියත්, සාධාරණත්වයත් ලගා කර දිය හැක්කේ කිනම් ව්‍යාපාරයකටද, කිනම් දේශපාලනයකට ද යන්න අද ලංකාවේ දේශපාලනය ඉදිරියේ ඇති ප්‍රභල අභියෝගයයි.

රාජපක්ෂලාගේ සහජීවනයෙන් මෙන්ම ඔවුන්ගේ මිලිටරි ආධිපත්‍යයෙන් තවතවත් අන්ධකාරයට ඇද දමන දෙමළ ජන ජීවිතය පමණක් නොව දකුණේ පීඩිතයින්ගේ ජනජීවිතය ද මුදවාලන ‘අලුත්‘ කෙසේවෙතත් ‘නිවැරදි‘ දේශපාලනයක් අද ලංකාව ඉල්ලා සිටී. එය නන්දිකඩාල් කලපුවෙන් මිලිටරි ලෙස අවසන් කල ක්‍රියාවලිය විසින් නැවත නැවතත් සිහිපත් කරමින්, ඉල්ලා සිටිනු ලබන දේශපාලනයයි.

##

මෙවැනි සංදර්භයක් තුළ විකල්ප වෙබි අඩවිය විසින් යුද්ධයෙන් වසර 5කට පසු විශේෂ සංස්කරණය අද සිට මෙසේ එළි දක්වන්නේ විකල්ප වෙබ් අඩවිය හා බැදි 35කට වඩා වූ ලේඛකයන්ගේ තෝරාගත් ලිපිවල එකතුවක් ලෙසය.

විශේෂයෙන් පශ්චාත් යුද ලංකාව තුල මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිසහග සාමය, වගවීම, සාධාරණත්වය සහ ආර්ථික තත්ත්වයන් වැනි දිශානතීන් ඔස්සේ ඒ ඒ ලේඛකයන්ගේ අදහස් මෙම විශේෂ සංස්කරණයට එක්වෙයි.

මුල්වටයේ ලිපි එකතුව සදහා පිවිසෙන්න

සම්පත් සමරකෝන් | Sampath Samarakoon
සංස්කාරක, විකල්ප