බටහිර නොවන රටවල් බොහොමයක මෑතක දී ආර්ථික වර්ධනයක් සිදුව ඇතත්, පසුගිය දශක කිහිපය තුළ ධනපති ක‍්‍රමයේ ඇති වූ ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා තවදුරටත් අසමාන සංවර්ධනයක් වර්ධනය වී තිබේ. මිනිසුන්ගෙන් බහුතරයකගේ ජීවන තත්වයන් නගා සිටුවීම කෙරෙහි උපස්ථම්භක විය යුතු සංවර්ධනය, ලෝකය පුරා පොදුවේ දක්නට තිබිය යුතු සාමාන්‍ය තත්වයක් වෙනවා වෙනුවට, ව්‍යතිරේකයක් (ඉඳහිට) බවට පත්ව ඇත. කාර්මීකරණය වූ බටහිර රටවල්වලින් පිටස්තර ඇතැම් රටවල් තම රටවල අඩු ආදායම් ලැබූ සමාජ කොටස්, ආර්ථික සංවර්ධනය හරහා දරිද්‍රතාවයෙන් ගලවාගෙන ඇති බව සැබෑව. එය, එම රටවල්වල රාජ්‍යයන් මැදිහත් වී සිදුකරන ලද උත්පේ‍්‍රරක ක‍්‍රියාකාරකම් නිසා අත්පත් කරගෙන ඇති තත්වයකි: පළමුව, මිනිස් සම්පත් වර්ධනය කරමින්, පර්යේෂණ සහ සංවර්ධනය හරහා වෙනත් දේශීය නිෂ්පාදන ශක්‍යතා නගා සිටුවීමත්, දෙවැනුව, දේශීය ප‍්‍රාග්ධන ගොඩනැංවීම් පහසු කැරැවීමත්, තෙවැනුව, විදේශීය ආයෝජකයන් ආකර්ශනය කරගත හැකි පරිසරයක් බිහි කිරීමත්, ඊට හේතු වී ඇත.

මිනිස් ජීවිත කෙරෙහි මෙතෙක් අභ්‍යාස නොකළ බලයක්, විදේශීය ප‍්‍රාග්ධන හිමිකරුවන්ට අද හිමිව තිබේ. ප‍්‍රාග්ධනයේ ගෝලීය සංසරණය කෙරෙහි ජාතික රාජ්‍යයන් සතුව වැඩි බලයක් නැති තත්වය තුළ, එම ප‍්‍රාග්ධනය වෙනත් රටවල් වෙත ඇදී යාමට නොදී, ලාභය සහ ආරක්ෂාව පිළිබඳ විශ්වාසයක් ආයෝජකයන් තුළ ඇති කරමින්, එම ප‍්‍රාග්ධනය තමන්ගේ රටවලම ආයෝජනය කරවා ගැනීම සඳහා, දේශීය සහ විදේශීය ප‍්‍රාග්ධනය ඉදිරියේ යටහත් පහත් වීමට දිළිඳු රටවලට සිදුව තිබේ. දෙවැනි ලෝක යුද්ධයෙන් පසු බොහෝ කාර්මික රටවල් තුළ හඳුන්වා දෙනු ලැබූ ප‍්‍රගතිශීලී සහ සමානාත්මතා ප‍්‍රතිපත්ති මත පදනම් වූ කමකරු නීතිරීති සහ පුළුල් සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලවල්, අද වන විට ගෝලීය ප‍්‍රාග්ධනයේ පීඩනයට එන්න එන්නම යටවෙමින් තිබේ. ලෝකය පුරා අද වඩාත් ප‍්‍රචලිතව ඇත්තේ අපනයනය සඳහා කරන වෙළඳ භාණ්ඩ නිෂ්පාදනයන් වන හෙයින්, අවම වැටුප් සීමාවන් නියම කොට ඇති සහ සමාජ ආරක්ෂණ ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන රටවල ශ‍්‍රමය සඳහා දැරිය යුතු වියදම අධික වන නිසා, එවැනි රටවල්වලට, අඩු වැටුප් සහිත රටවල්වල ව්‍යාපාර සමග තවදුරටත් තරග කිරීම අපහසු වී තිබේ. උදාහරණයක් වශයෙන්, අඩු ආදායම් සහිත ආසියානු රටවල් සමග තරග කිරීමට, ඔස්ටේ‍්‍රලියාවේ භාණ්ඩ නිෂ්පාදනයට සහ සේවා කර්මාන්තවලට පවා, බෙහෙවින් අපහසු වෙමින් ඇති බව ඔස්ටේ‍්‍රලියානු බලධාරීන් තේරුම්ගෙන ඇත.

වැඩි ලාභ සොයමින් ප‍්‍රාග්ධනය රටරටවල් අතරේ සංසරණය වීම හේතු කොටගෙන, රටවල් අතර පැවති පැරණි වෙනස්කම් බොඳ වී ගොස් තිබේ. රුසියාව සහ චීනය වැනි පැරණි සමාජවාදී රටවල්වල සමාජවාදය අද වචනයට පමණක් සීමා වී ඇති නිසා, ධනපති සහ සමාජවාදී කඳවුරු වශයෙන් ලෝකය වෙන් කර ගැනීමේ අරුතක් නැතිව ගොස් තිබේ. එසේම, කලින් කාර්මික රටවල් වශයෙන් නොපැවති බොහෝ රටවල් අද වන විට ප‍්‍රධාන පෙළේ කාර්මික රටවල් බවට පත්ව ඇති හෙයින් කාර්මික රටවල් සහ කාර්මික නොවන රටවල් වශයෙන් ඉස්සර තිබූ වර්ගීකරණය ද අද අර්ථ විරහිත වී ඇත.

පැරණි ධනපති රටවල්වල සිට ලෝකයේ තවත් බොහෝ තැන්වලට ගෝලීය ධනවාදය පැතිර ගොස් තිබුණත්, බටහිර ලිබරල්වාදය එවැනි යුරෝපීය නොවන රටවල්වලට පැතිර ගොස් නැත. පැරණි සමාජවාදී රටවල්වල තිබූ සමාජවාදය පැහැදිළිවම මැකී ගොස් ඇතත්, ඒ වෙනුවට එම රටවල් තුළ ලිබරල්වාදය මුල් ඇද ඇති බවක් පෙනෙන්ට නැත. ඇත්ත වශයෙන්ම, යුරෝපීය නොවන බොහෝ රටවල් තුළ දක්නට ඇත්තේ, ලිබරල්වාදයට තදින් එදිරිවාදී වීමකි. ඊට යම්තාක් දුරකට බලපා ඇත්තේ, බටහිර-විරෝධය, සංස්කෘතිකමය ජාතිකවාදය, තරගකාරී ආර්ථික ජාතිකවාදය සහ වාර්ගික-ජාතිකවාදය වැනි, ජාතිකවාදයේ විවිධ ප‍්‍රභේදයන් ය. මේ අවසානයට කී කාරණය, බොහෝ විට නතරව ඇත්තේ, ජාතිවාදය සහ ගෝත‍්‍රිකවාදයේ ඉවුරුවල ය. ඒ තත්වය තුළ, රටවල් අතර ආර්ථික සහ දේශපාලනික මිත‍්‍ර සන්ධාන බොහෝ විට ගොඩනැගෙන්නේ, ඉහත කී වෙනස්කම් පදනම් කරගෙන බව පෙනේ. ඒ නිසා, මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය සහ වෙනත් තැන්වලින් පෙන්නුම් කරන පරිදි, ගෝලීය දේශපාලනික භූසිතියම අවබෝධ කර ගැනීම වඩාත් සංකීර්ණ කාරණයක් බවට පත්ව තිබේ.

ස්ථාවර ජීවන තත්වය සහ සමාජ ආරක්ෂණයට අදාළ පුරවැසියන්ගේ සුභසාධනය සම්බන්ධයෙන් රාජ්‍යයන් සතුව පැවති හැකියාව, ප‍්‍රාග්ධනයේ සහ ශ‍්‍රමයේ ජාත්‍යන්තර සංසරණය හේතු කොටගෙන දුර්වල වී තිබෙතත්, පුරවැසියන්ගේ භෞතික ආරක්ෂාව ඇතුළු පැවැත්ම පිළිබඳ ගැටළු සාමූහිකව කළමණාකරණය කර ගැනීම සඳහා රාජ්‍යයට තවමත් පැවරෙන්නේ වැදගත් ස්ථානයකි. එහෙත්, ඔවුන්ගේ අදහස් උදහස් නිදහසේ ගොනුකර ගැනීමත්, ඔවුන්ගේ ඉරණම සාමූහිකව නිශ්චය කර ගැනීමත් පදනම් වන්නේ, ඔවුන් සතුව ඇති දේශපාලනික සහ සමාජ අවකාශයේ තරමට ය. රටක පවතින දේශපාලන ක‍්‍රමයේ ස්වභාවය තීරණාත්මක් වැදගත් කමක් ගන්නේ එහි දී ය.

කවුරුත් දන්නා පරිදි, 80 දශකයේ සමාජවාදයේ කඩා වැටීමෙන් පසු, බටහිර ලිබරල්වාදය ලෝකයේ අධිපති දේශපාලනික දෘෂ්ටිවාදය වශයෙන් මතු විය. ඇමරිකාවේ නායකත්වයෙන් ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය ආක‍්‍රමණය කිරීම පවා, එම රටවල අධිකාරීවාදි පාලන තන්ත‍්‍රයන් පෙරලා දමා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදයට පාර හෙලිපෙහෙලි කරගත හැකිය යන තර්කය යටතේ යුක්තිසහගත කෙරුණි. එම තර්කයම යටතේ, තවත් උතුරු අප‍්‍රිකානු සහ මැද පෙරදිග ඇති වූ ප‍්‍රචණ්ඩකාරී නැගිටීම් සඳහා බටහිර රටවල් සහයෝගය සපයනු ලැබීමත්, යුක්ති සහගත කෙරුණි. එසේ වතුදු, ලෝකය පුරා බොහෝ රටවල, නීතියේ ආධිපත්‍යය සුරකින සහ පුරවැසියන්ගේ දේශපාලනික සහ සමාජ අයිතීන් සහතික කෙරෙන ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන තන්ත‍්‍ර ඇති වී නැත. එවැනි බොහෝ රටවල්වල තිබෙන සමාජ ගැටුම් නිසා, විවිධ ප‍්‍රජාවන් අතරේ සාමකාමී සහජීවනය නැති වී තිබෙන අතර, සමාජ සහ ආර්ථික ස්ථාවරත්වයත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහසත් එම රටවල වැසියන්ට අහිමි කෙරී තිබේ.

බටහිර නායකයන් සහ ගෝලීය සිවිල් සමාජ සංවිධාන, බටහිර නොවන ලෝකය තුළ ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සාරධර්ම ප‍්‍රචාරය කිරීමට උත්සුක වන බව පෙනේ. එසේ වෙතත්, බටහිර රටවල්ම මුහුණදෙන බරපතල ආර්ථික ප‍්‍රශ්න හමුවේ, තමන්ගේ ගෝලීය ව්‍යායාමයන් දියත් කිරීමටත්, ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී ආණ්ඩුවලින් එල්ල වන විරෝධතාවන් ජය ගැනීමටත් නොහැකි ප‍්‍රශ්නයකට ඔවුන් මුහුණදී සිටී. ඊටත් වඩා, බොහෝ බටහිර රටවල්වල විශ්වසනීයත්වය සහ සදාචාර අධිකාරය ගැන විවේචකයෝ බොහෝ විට ප‍්‍රශ්න කරති. එම තත්වය තුළ, බටහිරට එරෙහි එවැනි විවේචන, ඔවුන්ගේ බාහිර මැදිහත්වීම් ඇහිරවීමට තර්කයක් වශයෙන් අත්තනෝමතික රටවල් පාවිච්චි කරයිි. අනිත් අතට, ලිබරල් සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට වෙනත් සාර්ථක දේශපාලනික විකල්පයක් ඇත් ද යන ප‍්‍රශ්නයත් මෙහි දී මතු වෙයි. වෙනත් වචනවලින් කිවහොත්, පණිවිඩය පණිවිඩකරුවාගෙන් වෙන් කොට හඳුනා ගැනීමේ අවශ්‍යතාව පැන නගී.

මෑතක දී එළිදක්වන ලද සී.එන්.එන්. වාර්තාවකට අනුව, ඇමරිකානු හමුදා කඳවුරක් පිහිටුවා ගැනීම සඳහා, ඉන්දියානු සාගරයේ කුඩා දිවයිනක් වන දියෙගෝ ගාර්සියාහි පදිංචිව සිටි මුල් පදිංචිකරුවන්ව එතැනින් බලහත්කාරයෙන් ඉවත් කිරීමට බි‍්‍රතාන්‍යය සමග ඇමරිකාව රහසින් සැලසුම් කොට තිබුණු බව හෙළිවිය. මේ රටවල් දෙකේම පවතින මාධ්‍ය නිදහස නිසා එකී පුවත සැළවීම වැළැක්වීමට එයින් එක රටකටවත් නොහැකි විය. එම වාර්තාවටම අනුව, මෙසේ ඉවත් කරන ලද ඇතැමෙක් තමන්ට සිදු වූ අසාධාරණයට වන්දි ඉල්ලා බි‍්‍රතාන්‍ය අධිකරණය ඉදිරියට ගොස් සිටිති. මෙහි දී සැළකිල්ලට ගත යුතු වැදගත් කාරණය වන්නේ, බටහිර බලවතුන් අතින් යටත්විජිතවාදී යුගය තුළ දී මෙන්ම ඉන් පසුවත් අසාධාරණ කම් සිදුව ඇතත්. එවැනි දියුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි රටවල පවතින උසස් සමාජ සහ දේශපාලනික නිදහස සහ අයිතිවාසිකම් නිසා, එසේ සිදුවූ අසාධාරණයන්ට ප‍්‍රතිකර්ම ද සලසා ගත හැකි හැකියාවකුත් ඇති බවයි. උදාහරණයක් වශයෙන්, ඔස්ටේ‍්‍රලියාවේ ආදිවාසීන්ට ඉස්සර සැළකූ මර්දනකාරී ආකාරය ගැන හිතන විට, අද එම සැළකීම වෙනස් වී ඇති ස්වභාවය සැලකිල්ලට ගත හැකිය. ඇත්ත වශයෙන්ම, අතීතයේ සිදු වූ වැරදිවලට හිටපු ඔස්ටේ‍්‍රලියානු අගමැතිවරයා ප‍්‍රසිද්ධියේ සමාව ඉල්ලා සිටි බවත් මතක් කළ යුතුය.

නව-ලිබරල්වාදය යටතේ සිදුවන ප‍්‍රාග්ධනයේ ගෝලීය ව්‍යාප්තිය තුළ, ලෝකය පුරා ඇති කෙරෙමින් තිබෙන පරිවර්තන අපමණයි. ප‍්‍රාග්ධනය සහ ශ‍්‍රමය රටවල් අතරේ මෙන්ම භූගෝලීය කලාප අතරේ ද, අවස්ථාවාදි ආකාරයකින් සංසරණය වීම හේතු කොටගෙන, විශේෂයෙන් දියුණු වෙමින් පවතින ලෝකයේ දසලක්ෂ ගණන් මිනිසුන්ගේ ජීවිතවලට හානි කෙරේ. එවැනි දුප්පත් රටවල් පැත්තකින් තිබ්බත්, වඩාත් දියුණු ලෝකයේ පවා දිනෙන් දින වැඩි වන ආර්ථික පීඩනය ඇතුළු හදිසි රැුකියා අහිමි වීම් සහ සමාජ අස්ථාවරත්වයන් නිසා බොහෝ මිනිසුන්ගේ ජීවිත කාලකණ්ණි කෙරේ. දුප්පත් රටවල සිට වඩාත් සශ‍්‍රීක රටවලට කෙරෙන ශ‍්‍රම සංක‍්‍රමණය හේතුවෙන් ඊටත් වඩා නරක ප‍්‍රතිවිපාක ඇති කෙරේ.

ප‍්‍රායෝගික වශයෙන් වඩාත් ප‍්‍රයෝජනවත් දෘෂ්ටිවාදි විකල්පයක් පේන තෙක් මානයක පෙනෙන්ට නැත. එසේ වෙතත්, අඩු වශයෙන් අනාගතයේ දී එවැනි විකල්පයක් සොයා ගැනීම සඳහා දොරටු විවර කරගෙන සිටිය හැක්කේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළම පමණි. මන්ද යත්, සෑම ඒකාධිපති ප‍්‍රවණතාවකින්ම කෙරෙන්නේ එවැනි දොරටු වසා දැමීමම වන බැවිනි.

මහාචාර්ය සිරි හෙට්ටිගේ

2014 මැයි 12 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ පළවූ Global Capitalism, Nation State & Political Ideology නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්