[පෙරවදන – මෙය කිසි පිළිවෙළක් නැති ලිපියකි. ඕනෑවට වැඩිය දිගය. කරුණු තැනින් තැනින් මතුව ඇත. වටේ දුවයි. එහෙත් මේ ගැන මීට වඩා වෙනස් ලෙසකින් කියන්නට මට නොහැකිය. එසේම මෙය ඔබට ඉදිරිපත් නොකර සිටීම ද මා කරන බරපතල අකටයුත්තක් බවත් මම කල්පනා කරමි. ]

බෞද්ධකම හරහා රණවිරුවා රැවටීම

යුද සමයේ දී රණවිරුවන්ට පින් දී කෙරුණ බෝධි පූජාවකට සහභාගි නොවූ කෙනෙක් නොමැති තරම් ය. බුදු දහමේ ‘පින්’ යනු දෙන්නට හෝ ගන්නට හැකි දෙයක් ද යන්න විවාදාත්මක කාරණයකි. විශේෂයෙන්ම පින් දීමට හැකි නම් පව් ද එලෙස දිය හැකි විය යුතුය.

පන්සිල් පද පහෙන් පළමු වන පදය වන පාණාතිපාතා ශික්ෂා පදය කැඩීමක් යුද්ධයේ දී සතුරන් මරණ සොල්දාදුවන් අතින් සිදු නොවන්නේ ද? සොල්දාදුවන් එසේ ‘පව්’ කරන විට, බෝ ගස්වලට යාඥා කිරීමෙන් එම ‘පව්’ නිදහස් කර ගත හැකි ද?

ගාමණී, යම් ඒ යෝධාජීවයෙක්(යුද්ධයෙන් ජීවත් වන්නෙක්) යුද්ධයෙහි මේ සත්ත්වයෝ “නැසෙත්වා හෝ බැඳෙත්වා හෝ සිඳෙත්වා හෝ වැනසෙත්වා හෝ නොවෙත්වා හෝ”යි උත්සාහ කෙරේද, වෑයම් කෙරේද ඔහුගේ එම සිත පළමුම ළාමකය. නපුරු කොට කරන ලද්දේය. වරදවා පිහිටුවන ලද්දේය. (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත නම් නිරයෙක් වේ නම් එහි උපදී. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැ”යි මෙබඳු දිටෙක් වේ නම් ඒ ඔහු මිස දිටු වෙයි. ගාමණී මිසදිටු ගත් පුරිසපුඟුල් හට නිරය හෝ තිරිසන් යෝනිය හෝ දෙගති අතුරෙන් එක්තරා එකක් යැයි කියමි.

මෙය වදාළ කල්හි යෝධාජීව ගාමණී තෙමේ හැඬීය. කඳුළු හෙළීය. වහන්ස, භාග්‍යවතුන් වහන්සේ මට යමක් මෙසේ වදාළ සේක් නම් මේ ගැන මම නොහඬමි. වහන්ස, වැලිදු “යම් ඒ යෝධාජීවයෙක් යුද්ධයෙක් උත්සාහ කෙරේද, වෑයම් කෙරේ ද, (එසේ) උත්සාහ කරන වෑයම් කරන ඒ මොහු සතුරෝ නසත්. මරණයට පමුණුවත්. හෙතෙමේ කාබුන් මරණින් මතු සරඤ්ජිත දෙවියන්ගේ සහභාවයට පැමිණේ යැ”යි පෙර විසූ ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කලක් මුළුල්ලෙහි මම මුළා කරන ලද්දෙමි. රවටන ලද්දෙමි. වරද්දන ලද්දෙමි. (යෝධාජීව සූත්‍රය, ගාමිණී සංයුක්ත- ප්‍රථම වර්ගය, සංයුක්ත නිකාය චතුර්ථ භාගය, බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලා 16, පිටුව 564-565)

දකුණේ සිංහල බෞද්ධයෝ වන අපි ඕනෑම කෙනෙක් මිය ගිය විට නිවන් සුව ප්‍රාර්ථනා කරමු. එහෙත් ප්‍රභාකරන් මිය ගිය දවසේ අපිට එසේ කරන්නට මතක් වුනේ නැත. අපි කිරිබත් උයා කෑවෙමු. රණවිරුවන්ගේ නම් සහ දේශපාලනඥයන් ගේ නම් දෙවියන්ගේ නම් මෙන් සිහිපත් කළෙමු. ‘රණවිරුවන්’ මුරදේවතාවුන් ලෙස හැඳින්වූයෙමු. නමුත් දැන් ඒ යුගය අවසන්ය. යුද සමයේ මුර දෙවියන්, රණ විරුවන් ලෙස හැඳින්වුණු ඔවුන්ම දැන් නැවත ඉපදීමක් නැතුවම නිරය හෝ තිරිසන් යෝනිය හෝ යන දෙගති අතරින් එකක ඉපිදෙමින් සිටිති. ‘පෙර විසූ (සහ වර්තමානයේ වෙසෙන) ඇජර පැජර යෝධාජීවයන් විසින් දිගු කළක් මුළුල්ලේ මුළා කරන ලද්දා වූ’ සොල්දාදුවන් තවදුරටත් වීරයන් ද යන්න ප්‍රශ්න කළ යුත්තෙමු. ‘ඇජර පැජර දේශපාලනඥයෝ’ හැරුණු විට කිසිවෙක් මේ යුගයේ ශ්‍රී ලංකාව තුළ වීරයන් නොවෙති. සැබවින්ම අපි රණවිරුවන් ගැන කිව්වේ බණ බවත්, දැන් ඇත්ත කියන්නට කාලය හරි බවත්, සංස්කෘතියක් ලෙසම රණවිරුවා මුළා කිරීම සම්බන්ධයෙන් අප සමාව ගත යුතු බවත් මම කල්පනා කරමි.

රණවිරුවාගේ සමලිංගිකත්වය කතා කිරීම

එහෙත් මට කතා කරන්නට අවශ්‍ය වන්නේ එය නොවේ. රණවිරුවාගේ සමලිංගිකත්වය ගැනයි.
සමලිංගිකත්වය ගැන කතා කරතොත් ශ්‍රී ලංකාව තුළ සමලිංගිකත්වයට ඉඩ නොදිය යුතු බවට සිතන බොහෝ දෙනෙක් සිටිති. එය බටහිර සංකල්පයක් බවත්, ලංකාවේ එවැනි දෑ පෙර කාලයේ නොතිබුණු බවත් සිතීම සාමාන්‍ය දෙයකි. ඉතින් රණවිරුවන් වැනි ගෞරවනීය පිරිසක් සම්බන්ධයෙන් සමලිංගිකත්වය ගැන කතා කිරීම පැහැදිලිවම අපහාසයකි. එසේත් නැත්නම් රටේ දේශීයත්වයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධානවල කුමන්ත්‍රණයකි. 2011 සැප්තැම්බර් 25 වන දින ‘සමලිංගිකත්වය පිළිබඳ චෝදනා එල්ල කරමින්, යුද හමුදාව අපකීර්තියට ලක් කිරීමට එන්ජීඕ වෑයමක්’ නමින් රිවිර පුවත්පතේ පළවූ ලිපිය මෙම දැක්මේ ප්‍රබල උදාහරණයකි.

මෙම දැක්ම තුළින් ප්‍රචාරය කරන්නට තතනන මතවාදය කුමක්ද? නිහඬතාවයේ මතවාදයයි. ලිංගිකත්වය අපි කතා නොකරන තරමට අපි සංස්කෘතිකමය වශයෙන් උසස්ය, උසස් සංස්කෘතියෙන් යුතු අප අතර එවැනි දෑ නොවන්නේය වැනි අදහස් බරපතල මිථ්‍යාවන් වන අතර, ඒ හේතුවෙන් තවමත් මේ රට තුළ සිදුවන අපරාධ ගණනාවක් අඳුරේම සිදුවන කතන්දර බවට පත් කර ඇති අතර, කිසිදු සාධාරණයක්, නීතියක් ඉෂ්ට වීමෙන් තොරව එම කතන්දර අඳුරේම වැළළී යාමට සලසනු ලබයි. එසේ අඳුරේ වැළළෙන්නට නොව පුරවැසියකු ලෙස මේ රටේ ජීවත්වන්නට සෑම මනුෂ්‍යයකුටම ඇති අයිතිය තහවුරු කිරීම දියුණු සංස්කෘතියක ලක්ෂණය විය යුතු නොවේ ද?

‘සමලිංගික ලිංගික හැසිරීම’ අනෙකුත් ලිංගික චර්යාවන් මෙන්ම තවත් එක් ලිංගික චර්යාවක් විනා, එය චෝදනාවක් විය යුත්තේ ඇයි? ඕනෑම ජනගහනයක සමලිංගික හැසිරීම්වල යෙදෙන කිසියම් පිරිසක් සිටිති. ශ්‍රී ලංකාව යුද හමුදාව ගත්ත ද එයින් වෙනස් එකක් නොවේ. එහෙත් ‘සමලිංගික චෝදනා’ එල්ල කරමින් හමුදාව අපකීර්තියට ලක්වෙන බවට ප්‍රකාශ කරන්නේ ඇයි? මා ඉහත සඳහන් කළ ලිපිය පළ වන විට යුද හමුදාව විසින් සිදු කළේ යැයි ප්‍රකාශ කරන ලිංගික අපරාධ සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත් වී නොතිබුණි. එහි සඳහන් කරන්නේ හමුදාව විසින් අනුරාධපුර පූජා නගරය තුළ සමලිංගික ලිංගික වෘත්තිකයන්ගේ සේවය ලබා ගන්නා බවට වූ කිසියම් පර්යේෂණ වාර්තාවකින් හමුදාවට අපහාස වන බවයි. 2008-2009 එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ එච්අයිවී ඒඩ්ස් සම්බන්ධ විශේෂ සැසිවාරය වෙනුවෙන් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකා වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ 35,000-47,000 ක ලිංගික වෘත්තිකයෝ ප්‍රමාණයක් සිටින අතර, වැඩිහිටි පිරිමි ජනගහණයෙන් 3.5%ක් එම ලිංගික වෘත්තිකයන්ගේ පාරිභෝගිකයෝ වෙති. එම පාරිභෝගිකයන් අතරින් කිසියම් පිරිසක් හමුදා සෙබළුන් වීම අරුමයක් නොවේ. එසේම අනුරාධපුරය යනු ගම්බිම්වල සිට පැමිණෙන හමුදා සෙබළුවන් උතුරට යෑමටත්, උතුරේ සිට පැමිණ ගම්බිම් බලා යාමටත් භාවිතා කළ කිසියම් මධ්‍ය ස්ථානයක් වන අතර එවන් ස්ථානයක ලිංගික වෘත්තිකයන් සඳහා හොඳ ඉල්ලුමක් තිබීම ද අරුමයක් නොවේ. එලෙසම මාස ගණනක් තිස්සේ යුද්ධයේ නියැලෙන සෙබළුන්ට ගම්බිම් බලා යාමට පෙර මාස ගණනක් හිරවී තිබුණු ලිංගික හැඟීම් මුදා හැරීමත්, උතුරට ගොස් මාස ගණනකට හැඟීම් හිර කර ගන්නට පෙර හොඳ ලිංගික අත්දැකීමක් ලබා යාමත් ඉතා හොඳ කටයුත්තකි. සමලිංගිකව හැසිරීමට කැමති හමුදා සෙබළුන් සමලිංගික ලිංගික ශ්‍රමිකයන් යොදා ගැනීම අරුමයක් ද නොවන අතර, එවැනි චර්යාවක් පැවතීම සාමාන්‍ය දෙයක් ලෙසින් දකින්නට අපට ඇති නොහැකියාව අප සංස්කෘතියේ පවතින අර්බුදයේ කොටසකි. ‘සමලිංගික චෝදනා’ ගෙනැවිත් යුද හමුදාව අපකීර්තියට පත් කරන බව කියවෙන්නේ ඒ අර්බුදයේ කොටසක් ලෙසය.

යුද හමුදාවට එරෙහි සමලිංගික යුද අපචාර චෝදනා

එහෙත් සැබෑ ‘සමලිංගික චෝදනා’ ගැන අප කතා නොකර සිටිමු. යුද හමුදාව විසින් එල්ටීටීඊ සැකකරුවන්ට සිදු කරන ලද සමලිංගික ලිංගික හිංසනයන් ගැන දකුණේ කිසිදු පුවත්පතක යන්තමින් හෝ පළ වූ බවක් මා දුටුවේ නැත. යුද හමුදාවට අපහාස වන නිසා හෝ ජිනීවා යෝජනා ගැන මිථ්‍යා මත පැතිර වීමේ කොන්ත්‍රාත්තුවේ කොටස්කරුවන් ලෙස ජනමාධ්‍යයට ද සුවිශේෂී තැනක් හිමි වන නිසා අපි ඒ ගැන කතා නොකර සිටිමු.

“මට හොඳටම පහර දුන් අතර, පයින් ගසනු ලැබිණි, මිට මොලවා පහර දෙනු ලැබිණි. නිලධාරිහු මට හමුදා සපත්තු වලින් ද, බෙල්ට්වලින් ද පහර දුන්හ. එක් නිලධාරියෙක් මට ඔහුගේ රයිෆලයේ පිටුපස කොටසින් පහර දුන්නේය. දිගටම ඔවුහු මගෙන් ප්‍රශ්න ඇසුවහ.

රාත්‍රියේ මා කුඩා කුටියක තනි කෙරිණි. සිවිල් ඇඳුමෙන් සැරසුණු එක් නිලධාරියෙක් මගේ කුටියට පැමිණියේය. ඔහු මට සිංහලෙන් කතා කළ අතර මගේ ඇඳුම් ඉවත් කිරීමට බල කළේය. ඔහු ඔහුගේ කලිසම ගැලවූ අතර මා සමග මුඛ ලිංගික ඇසුරක හැසිරෙන්නට උත්සාහ කළේය. මා මෙයට අකැමැති නම් ඔහු මට වද දෙන බව ඔහු ප්‍රකාශ කළේය. ඔහු මට “බල්ලා” යැයි කියමින් බැන වැදුනු අතර, මා දූෂණය කළේය. මා වේදනාවෙන් කෑ ගැසූ නමුත් කිසිවෙක් මගේ උදව්වට නොපැමිණියහ. ඔහු මගේ තට්ටමට ද මගේ කලවාවලටද පහර දුන්නේය. අනතුරුව ඔහු මගේ ඇඳුම් ද රැගෙන කාමරයෙන් නික්ම ගියේය. මා මුළු රාත්‍රියම සිටියේ නිරුවතිනි.”

හියුමන් රයිට්ස් වොච් ආයතනය ඩීබී සමග සාකච්ඡාව 2011, දෙසැම්බර් 28, උපුටා ගැනීම ‘අපි ඔබට පාඩමක් උගන්වන්නෙමු’ ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් සිදුකළ ලිංගික හිංසනයන්’ පිටුව 77)

කිසියම් හමුදා සෙබළකු විසින් මෙවැනි යුද අපරාධ සම්බන්ධයෙන් වැරැදිකරුවකු නම් ඒ ගැන නිසි සොයා බැලීම් සිදු කර දඬුවම් කිරීම අවශ්‍යයෙන්ම සිදු කළ යුතු නොවේද? යුද සිරකරුවන්ට සමලිංගික හෝ විෂම ලිංගික අපචාර සිදුකිරීම යනු සමලිංගිකත්වයෙන් බොහෝ සෙයින් වෙනස් එකක් වන අතර එවැනි ක්‍රියා හිංසනයේ සහ අමානුෂිත්වයේ බරපතලම ස්වරූපයන් ලෙසින් අප එය සැලකිය යුතුය.

ශ්‍රී ලංකා හමුදාවේ ලිංගික හැසිරීම් ගැන වරින් වර මාධ්‍යයේ සාකච්ඡාවට බඳුන් විණි. අනුරාධපුර පූජා නගරයේ වාණිජ ලිංගික වෘත්තිකයන් පැවැති සම්බන්ධකම්, සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්බන්ධව ඔවුනට ඇති අවදානම සම්බන්ධව මෙන්ම, මෑත දී යුද්ධයේ අවසාන සමයේ සිදු වූ ලිංගික අතවර, යුද්ධයෙන් පසුව අල්ලාගත් එල්ටීටීඊ සැකකරුවන්ට සිදු වූ ලිංගික අතවර සම්බන්ධව කිසියම් සාකච්ඡාවක් ජනමාධ්‍ය තුළ වරින් වර ඇති විය. යුද්ධයත් සමග සම්බන්ධ වූ මේ ලිංගික අතවර බොහෝ සෙයින් මාධ්‍යයේ වාර්තා වූයේ තරුණියන්ට, සහ බාල වයස්කාර දැරියන්ට සිදු වූ ලිංගික අතවර වශයෙනි. එහෙත් මෑත දී හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිකුත් කළ ‘අපි ඔබට පාඩමක් උගන්වන්නෙමු’ ලංකාවේ දෙමළ ජාතිකයන්ට එරෙහිව ආරක්ෂක හමුදා විසින් සිදු කළ ලිංගික හිංසනයන්’ යන වාර්තාවේ කාන්තාවන් 41දෙනෙකුට, පිරිමි 31දෙනෙකුට, අවුරුදු 18ට අඩු පිරිමි ළමයි තිදෙනකුට සිදු වූ ලිංගික අතවර ගැන සඳහන් කරයි.

යුද්ධය තුළ සමලිංගික ලිංගික අපචාර න්‍යායගත කිරීම

යුද්ධයේදී විෂමලිංගික අතවර සේම සමලිංගික අතවර වැදගත් වන්නේ කෙසේද? සන්දේශ් සිවකුමාරන් (2007) ‘සන්නද්ධ ගැටුම්වල දී පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය’ යන ලිපියේ සඳහන් කරන පරිදි යුද්ධය යනු යම් ලෙසකින් පිරිමිබවේ ප්‍රකාශනයක් වන අතර ලිංගික හිංසනයන් යනු බලය සහ ආධිපත්‍යය පෙන්වන ක්‍රම වේ. අප ජීවත් වන පුරුෂ මූලික සමාජය තුළ කාන්තාවන් ආරක්ෂා කර ගැනීම පැවරී ඇත්තේ පිරිමියාටය. කාන්තාවට ලිංගික අතවර කිරීම, පුරුෂයන්ට ඔවුන්ට තමන්ගේ කාන්තාවන් ආරක්ෂා කර ගැනීමට ඇති නොහැකියාව සම්බන්ධ වක්‍ර සන්නිවේදනයක් වන අතර, පිරිමින්ට ලිංගික අතවර කිරීම ඔවුන්ගේ පිරිමිකම සෘජුවම ප්‍රශ්න කරන සන්නිවේදනයකි. මෙසේ බලන කල්හි ලිංගික අපචාර යනු යුද්ධයේ දී ආයුදයකි. විශේෂයෙන්ම අල්ලා ගත් සැකකරුවකු මානසිකව වැට්ටවීමට ඇති ප්‍රබලම අවියක් ලෙස ලිංගික අපචාර ප්‍රයෝජනවත් විය හැකිය. හියුමන් රයිට්ස් වොච් ආයතනයෙන් නිකුත් කළ මා ඉහත සඳහන් කළ වාර්තාවේ බොහෝ පිරිමි තමන් එල්ටීටීඊ සංවිධානයට සම්බන්ධව වැඩ කළ බවට පාපොච්චාරණය කර ඇත්තේ එලෙස කිහිප වරක් ලිංගිකව දූෂණය කිරීමෙන් අනතුරුවයි.

මෙම ලිංගික අපයෝජනයන් එම බලය සහ ආධිපත්‍යය පිළිබඳ පවතින සන්නිවේදනයක් ලෙස සේම, එය අපේ සංස්කෘතික පසුබිම හා සම්බන්ධ වන කාරණාවක් ලෙස ද අධ්‍යනය කළ යුතු වේ. මන්ද යත් බලය සහ ආධිපත්‍යය බිහිවන්නේ සංස්කෘතිය තුළින් වන බැවිනි.

එසේම දුබලයා තම ලිංගික අවශ්‍යතා සඳහා බලෙන් යොදවා ගන්නේ ද තවත් එක් දුබලයෙක් මිස වෙනකෙක් නොවන බවත්, දුබල මිනිසකුට හිරිහැර කිරීම හරහා තමාට බොහෝ තැන්වලින් අහිමි වන බලය නැවත මොහොතකට හෝ ප්‍රතිස්ථාපනය කර ගැනීමේ ස්වයං වින්දනාත්මක අවිඥානික මිථ්‍යාව මෙවැනි අපචාර තුළින් තවත් අතකට ප්‍රකට වන මෙහිදී ප්‍රකාශ කළ යුතු අතර, සංස්කෘතියක් වශයෙන් අපට ඇති දුබලතාවයන් ගණනාවක් මේ යට තිබේ.

විශේෂයෙන්ම සිංහල බෞද්ධකම තුළට අප යටත් විජිත සමයේ එක් කර ගත් වික්ටෝරියානු වටිනාකම්වල ප්‍රතිඵලයක් ලෙස අප අපේ ලිංගිකත්වය සම්බන්ධ හැඟීම් මැඩ පවත්වා ගෙන සිටින බව බොරුවට ප්‍රකාශ කිරීමටත්, රඟ පෑමටත් පුරුදුව සිටිමු. ලිංගික අවශ්‍යතාවයන් සහ ලිංගිකත්වයන් ගැන විවෘතව කතා කිරීමට සමාජයක් ලෙස බය වන අපි, බලය අයුතු ලෙස යොදා ගනිමින් ලිංගික අවශ්‍යතා ඉටු කර ගැනීමට සංස්කෘතියක් ලෙසම පුරුදුව සිටිමු. විවාහය තුළ බිරිඳ දූෂණය කරන, බිරිඳ නොමැති විට දියණිය දූෂණය කිරීම සිදු කරන පියවරු සිටින, සිය දරුවා පාසැලට ඇතුළත් කර ගැනීමට විදුහල්පති ට ලිංගික අල්ලස් දීමට සිදුවන මව්වරු සිටින සංස්කෘතියක, සතුරා දූෂණය කරන සොල්දාදුවෙකු යන්න සාමාන්‍ය කාරණයක් බව පැහැදිලිව හඳුනා ගත යුතුය. තම බිරිඳ හැර දා යුද පිටියට යන සොල්දාදුවාට රටේ ආරක්ෂාව තබා බිරිඳගේ ආරක්ෂාව ගැන ඇත්තේ කුමන නම් හැඟීමක් ද? යුද්ධ කරන සොල්දාදුවාට බෝධි පූජා තැබූ පමණින් ‘පින්’ ලැබෙන බව ප්‍රකාශ කරමින්, රණවිරු ගීත ගයමින්, මිථ්‍යාවන් සමාජගත කරන්නට තැතනුව ද, රණවිරුවාට යුද්ධය පවතින සමයේ ද, ඉන් අනතුරුව ද මුළු මහත් සමාජයෙන්ම ලැබුනේ කුඩම්මාගේ සැලකිලි බව මතක් කළ යුතුය.

යුද්ධය පවතින සමයේ රණවිරුවෝ රස්සාවක් නැති නිසා, රට වෙනුවෙන් නොව, පඩිය වෙනුවෙන් මැරෙන්නට වුවත් යන, සමාජයේ පහළම පන්තියේ පුද්ගලයන් බවට පත් වූ අතර, යුද්ධය අවසන් වූවාට පසු උයන්වතු පිරිසිදු කරන, ගොඩනැගිලි හදන, නිළධාරිවාදයේ සහ දේශපාලනයේ නිරන්තර ගොදුරු බවට පත් වුනු සිතන්නට මොළයක් නැති, හුදෙක් අණ පිළිපදින පිරිසක් බවට පත් වූහ. බොහොමයක් රණවිරු සෙබළුනට එල්ටීටීඊ සැකකරුවා හමුවේ මිස ඉහළ බලයක්, තමන්ගේ ගෙදරවත් තිබුනේ ද, තිබෙන්නේ ද යන්න සැබවින්ම ප්‍රශ්න කළ යුතුය.

සෑම විටම අඩු බලයක් ඇති තැනැත්තා වැඩි බලයක් ඇති තැනැත්තාගේ ලිංගික හිංසනයේ මෙන්ම වෙනත් ආකාරයන්හි විවිධ සූරා කෑම්වල ද ගොදුරක් බවට පත් වීම සාමාන්‍යයෙන් අප සමාජයේ පිළිගත් ක්‍රමය වේ. සමලිංගිකයන් ගත් කළ ඔවුන් විරුද්ධලිංගිකයන් ඉදිරියේ අඩු බලයක් ඇති පිරිසකි. ඔවුන්වද හිංසනයට ලක් කිරීම එල්ටීටීඊ සැකකරුවන් හිංසනයට ලක් කිරීම මෙන්ම අපට සංස්කෘතිකව, සහ නීත්‍යානුකූලව සාධාරණීකරණය කළ හැකිය.

සමලිංගික රණවිරුවන් සාමයෙන් අවතැන් කිරීම

ඒ කාලයේ අපි රණවිරුවාට සිංහල බෞද්ධ රාමුවක් හැදුවෙමු. ඒ සිංහල බෞද්ධ රාමුවට රණවිරුවා විසින් ‘සතුරන් මැරීමෙන් ප්‍රාණඝාතය සිදු කරන’ බව ඇතුළත් කිරීමට අපිට නොහැකි වූවා සේම, විවිධත්වයකින් යුත් රණවිරුවාගේ ලිංගිකත්වය ද ඇතුළත් කිරීමට ද අපට නොහැකි විය. ඇතැම් විට එසේ අප සිදු කළේ රණවිරුවාගේ ලිංගිකත්වය යුද්ධය සඳහා වැදගත් නොවී නිසාය යන්න ද අපට ප්‍රකාශ කළ හැකිය. එහෙත් ඇත්තෙන්ම එය එසේ වීද?

හමුදා විනය විසින් ලිංගික අපරාධ ලෙස සලකන්නේ මොනවාද? බොහෝ විට හමුදා නිලධාරීන් අතර කැමැත්තෙන් සිදු කෙරුනු ලිංගික හැසිරීම්ය. තිස්ස අත්තනායක මහතාගේ නිල වෙබ් අඩවියේ 2014 මැයි 20 දින පළ වූ ප්‍රකාශයකට අනුව “සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටින අවධියේ වත්මන් යුද හමුදාපතිවරයාට එරෙහිව සමලිංගික සේවනය පිළිබඳ චෝදනා එල්ල වූයෙන් ඔහු සහ ඔහුගේ පෞද්ගලික සහකාරවරයා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්වීමට සිදු විය. මෙම පරීක්ෂණ ආරම්භ වී කෙටි කලකින් හමුදාවේ තවත් නිලධාරීන් ගණනාවක් අභිභවා හමුදාපති ධූරය ලබා ගැනීමට වත්මන් යුද හමුදාපතිවරයා සමත් විය. ඒ අනුව ඔහුට පැවැති පරීක්ෂණ අවසන් වූයේය.” ඇත්ත වශයෙන්ම මේ කාරණයේදී හමුදා විනය පරීක්ෂණයක් අවශ්‍ය වන්නේ අදාළ නිලධාරියා තම නිල බලය අයුතු ලෙස යොදා ගනිමින් පහළ පෙළේ නිලධාරියා සමලිංගික කටයුතු සඳහා පොළඹවා ගත්තේ ද යන කාරණය සොයා බැලීමට විනා, වැඩිහිටියන් අතර කැමැත්තෙන් සිදුවන ලිංගික කටයුත්තක් නැවැත්වීමට නොවිය යුතුය. අදාළ නිලධාරියා සේම, ඔහුගේ පෞද්ගලික සහකාරවරයාට ද යන දෙදෙනාටම විරුද්ධව චෝදනා ගොනු කිරීමෙන් පෙනී යන්නේ අදාළ විනය පරීක්ෂණයේ අරමුණ වූයේ සමලිංගික කටයුත්ත සඳහා දඬුවම් කිරීම විනා තම නිල බලය වැරැදි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් දඬුවම් කිරීම නොවන බවයි. යටත් විජිත සමයේ පැවතුණු බ්‍රිතාන්‍ය හමුදා විනය පද්ධතියේ සමලිංගික හැසිරීම් සලකන ලද ආකාරයෙන් වර්තමාන ලංකාවේ හමුදා නීතිය සැලකිය යුතු මට්ටමින් වෙනස් වන්නේ නිල බලය හා දේශපාලන සම්බන්ධකම් මත නීතිය හරවා ගත හැකි වීම සම්බන්ධ කාරණයේ දී පමණි. වික්ටෝරියානු වටිනාකම් මත පදනම් වූ නීති අද ද ලාංකීය හමුදා පද්ධතිය තුළ පවතින බවට කදිම උදාහරණයකි මෙය. සමලිංගිකත්වය ගැන වික්ටෝරියානු යුගයේ බ්‍රිතාන්‍ය හමුදාව තුළ පැවැති අන්තගාමීත්වය ගැන හොඳම උදාහරණය වන්නේ ලංකාවේ සේවයේ යෙදවුණු විශිෂ්ට බ්‍රිතාන්‍ය යුද නිලධාරියකු වන මේජර් ජෙනරාල් සර් හෙක්ටර් ආචිබෝල්ඩ් මැක්ඩොනල්ඩ් මහතා 1903 වසරේ දී කළ සිය දිවි නසා ගැනීමයි. ඔහුට තිබුණු චෝදනාවන් ළමා අපයෝජනයන් ලෙස සලකා නිසි පරීක්ෂණ පවත්වනු වෙනුවට ඔහු සමලිංගිකයකු බව කරුණු ඔප්පු වීමටත් පෙර ප්‍රකාශ කරමින් ඔහුගේ සිය දිවි නසා ගැනීමට බ්‍රිතාන්‍ය රජය මං පෑදූ අතර, ඔහුගේ නිරවද්‍යතාවය සම්බන්ධ කරුණු ඔහුගේ මරණයින් පසුව අනාවරණය විය.

ලාංකීය දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ අස්වාභාවික හා බරපතල අශෝභන ක්‍රියා ලෙසින් හඳුන්වන සමලිංගික ක්‍රියාවන් තවමත් ලංකාව තුළ සැලකෙන්නේ අපරාධයක් වශයෙනි. එක් දහස් අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය යටත් විජිතවලට හඳුන්වා දුන් මෙම නීතියෙන් අද බ්‍රිතාන්‍යය නිදහස්ව සිටින අතර, අප එම බටහිර නීති දේශීයකරණය කර ගෙන සිටිමු.

තවමත් සමලිංගික සම්බන්ධකම් සමාජයෙන් අනුමත නො කිරීම නිසා ආරක්ෂක අංශ නිලධාරීන් අතර සිය දිවි නසා ගැනීම් සිදු වන බවට 2013 මාර්තු මාසයේ මහියංගණ ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වන පොලිස් නිලධාරියකුගේ සහ හමුදා සොල්දාදුවකුගේ ද්විත්ව සිය දිවි නසා ගැනීම් සම්බන්ධ සිද්ධියෙන් පැහැදිලිව පෙනේ. මෙම සිද්ධියේ දී අදාළ ආරක්ෂක හමුදා සොල්දාදුවාගේ සහ පොලිස් නිලධාරියාගේ නම, ලිපිනය, වයස ඇතුළු සියලු විස්තර එක්තරා බ්ලොග් ප්‍රවෘත්තියක් හරහා එළි දක්වා ඇති අතර, ඔවුන් සමලිංගික සේවනයට ඇබ්බැහි වූවන් ලෙස දක්වමින් මියගිය ඔවුනට සහ ඔවුනගේ පවුලේ අයට ඇති පෞද්ගලිකත්වයට ඇති අයිතිය සම්පූර්ණයෙන් නැති කර තිබේ.

එසේම 2013 දෙසැම්බර් 08 වැනිදා මව්බිම පුවත්පතේ හමුදාවෙන් පැන ගොස් එකට පවුල් කෑ හමුදා සෙබළියන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමක් ගැන ද සඳහන් වේ. ඔවුන් අත් අඩංගුවට ගැනෙන්නේ හමුදාව හැර යාම සම්බන්ධ චෝදනා යටතේ වුව ද ඔවුනට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සමලිංගිකත්වයට ඇති සමාජ විරෝධයයි. සමලිංගිකභීතිකාවයි. මෙම සිද්ධීන් සැලකුවහොත් ඒවා මා පෙර සඳහන් කළ ලිංගික බලහත්කාරකම් නොවන අතර, හමුදා සෙබළ සෙබළියන් අතර ඇති වූ සමලිංගික ආදර සම්බන්ධකම් සම්බන්ධ සිද්ධි බව පැහැදිලිව පෙනේ.

තම සමලිංගික ප්‍රේමය අනුමත නොකිරීම හේතුවෙන් සිය හමුදා සෙබළ පෙම්වතියගේ මවට තවත් හමුදා සෙබළියක් විසින් ඇසිඩ් ගැසීමේ සිද්ධියක් ද 2013 දෙසැම්බර් 29 වැනි දින දිවයින පුවත්පත විසින් වාර්තා කොට ඇත. ඇසිඩ් ගැසීම හෝ එවැනි කිසිදු හිංසාකාරී ක්‍රියාවක් අපට අනුමත කළ නොහැකි වුවද, ඒ කාරණය පිටුපස අනෙකුත් හේතු සාධක සම්බන්ධයෙන් අවධානය යොමු කළ හොත් අපට පැහැදිලිව පෙනෙන කාරණයක් වන්නේ ලිංගික නිදහසින් තොර සමාජයේ අහිතකර ප්‍රතිවිපාකයන්ම මිස වෙනකක් නොවේ.

මිලිටරිකරණය කළ ලංකාව තුළ ලිංගික නිදහස ප්‍රශ්න කිරීම

සතුරාට එරෙහිව යුද්ධය මෙහෙයවද්දී සමලිංගික සොල්දාදුවා තැබූ වෙඩි උණ්ඩය විෂමලිංගික සොල්දාදුවා තැබූ වෙඩි උණ්ඩයෙන් වෙනස් වූයේ නැත. එහෙත් යුද්ධය දිනූ පසු සමලිංගික සොල්දාදුවා යනු සමාජයේ පහළම ස්ථරයට වැටුණු කෙනෙකි. සමාජයේ කොන් කිරීමට ලක් වූවෙකි. දේශපාලන සම්බන්ධතා මත, බල පුළුවන්කාරකම් මත ඇතැමෙකුට සිය ඉරණම වෙනස් කර ගත හැකි වුව ද බොහෝ දෙනෙකුට තවමත් එය කළ නොහැකිය.

එහෙත් එල්ටීටීඊ සැකකරුවෙකුට වැනි පුද්ගලයෙකුට සමලිංගික අතවර කරමින්, පහර දෙමින් විනෝද වෙන ලිංගික හිංසකයා හමුදා සංස්කෘතිය තුළ ආරක්ෂිතය. හිංසකයා ආරක්ෂා කරමින්, ආදරය කරන්නාට හිරිහැර කිරීම මිලිටරි සංස්කෘතියේ පමණක් නොව වත්මන් ශ්‍රී ලාංකීය සංස්කෘතියේම කොටසක් වේ. ලිංගික නිදහස ගැන කතා කිරීම සැබවින්ම, නිදහස ගැන කතා කිරීමකි. ‘නිදහස’ ගැන නොදන්නා ජනතාවකට, ‘නිදහස්’ සංස්කෘතියක් නොමැති රටකට සමලිංගිකත්වය වැනි දෙයක් නිදහසේ පිළිගන්නට නොහැකියාවක් පවතී. ඒ නොහැකියාව නිසා ඇති වන්නේ සංස්කෘතික සංවර්ධනයක් නොව, සංස්කෘතියේ මෙන්ම සංවර්ධනයේ ද බරපතල පසු බැසීමකි. කම්කරුවන් මෙන් හමුදාව යොදා උයන්වතු අතු ගෑම, ගොවිපළ කර වීම, ආපනශාලා පවත්වා ගෙන යාමට වඩා පශ්චාත් යුද සමයක හමුදාවේ යහපත වෙනුවෙන් ගත යුතු ක්‍රියා මාර්ග රැසක් තිබෙන තවදුරටත් මතක් කළ යුත්තේ ය. පශ්චාත් යුද සමයේ ‘ලිංගිකත්වය’ සම්බන්ධ කතිකාවතක් ඇති කළ යුතු බවට මා ගෙනෙන යෝජනාව බොහෝ දෙනෙකුට විකාරයක් ලෙස පෙනිය හැකි නමුදු යුද සමයේ නිර්මාණය කළ බොහෝ බැමි, බාධක හරහා සිර කළ සොල්දාදුවන්ගේ සිර වුණු මනස එළියට ගෙන වුත් මිලිටරීකරණය වෙනුවට නිදහස පිළිබඳ සාකච්ඡාවක් ඇති කිරීම අතිශය වැදගත් පියවරක් වනු ඇත.

එහෙත් ඒ අතරම එවන් සාකච්ඡාවක් අවසන් වශයෙන් වාරණය වන්නේ කොතනින්ද යන්නත් අප පැහැදිලිව අවබෝධ කර ගත යුතුය. ලංකාවේ මානව හිමිකම් සම්බන්ධ මානව හිමිකම් කොමිසමේ ක්‍රියා සැලැස්ම තුළට සමලිංගිකත්වය අපරාධහරණය (අපරාධ නීති පොතින් ඉවත් කිරීම) කිරීම මුලින් ඇතුළත් වී තිබූ නමුදු, 2011 වසරේ සැප්තැම්බර් මස ජනාධිපතිතුමාගේ අණින් කුණු කූඩයට විසි වුනේ ය. බැලූ බැල්මට මෙය ඉතා හොඳ යැයි ද ලංකාවේ සංස්කෘතිය ආරක්ෂා කිරීමට ජනපතිතුමා කැප වී සිටින සෙයක් ද යමෙකුට පෙනෙනු ඇත. කුහක වික්ටෝරියානු වටිනාකම් දේශියත්වය සහ සංස්කෘතිය යන ලේබලය යටතේ අලවා සමලිංගිකභීතිකාව ද මිලිටරිකරණය ද සමග මිශ්‍ර කොට ජනතාව වෙත ඉදිරිපත් කරන්නේ ඉහළම තැනින් බවත්, රාජ්‍ය මාධ්‍ය සහ සිංහල බෞද්ධ කියා ගන්න මිථ්‍යා දෘෂ්ටිකයන් විසින් පෙන්වන මායාවෙන් එහා දකින්නට අද ලංකාවේ සිටින බොහෝ දෙනෙකුට සවියක් නොමැති බවත් අප තේරුම් ගත යුතුය.

ෆූකෝ මෙසේ ප්‍රකාශ කරයි “පුරාණ කාලයේ පටන්ම මැඩ පැවැත්වීම යන්න ඇත්ත වශයෙන්ම බලය, දැනුම සහ ලිංගිකත්වය අතර පැවතුනු මූලිකම සම්බන්ධය වූයේ නම්, ලොකු කැපකිරීමක් කිරීමකින් මිස අපට අපව නිදහස් කර ගැනීමට ඇති නොහැකියාවේ හේතුව ද එයම වේ: නීති පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් සිදු කිරීම, වාරණය කළ දෑ ඉවත් කිරීම, කතාබහේ හදිසි විප්ලවයක් ඇති කිරීම, යථාර්ථය තුළ සතුට නැවත පිහිටුවීමෙන්, සහ බලයේ යාන්ත්‍රණයන් තුළ පවතින සම්පූර්ණ නව ආර්ථිකයම ඒ සඳහා අවශ්‍යවේ. (මිෂෙල් ෆූකෝ, ලිංගිකත්වයේ ඉතිහාසය, පළමු වෙළුම)”

යුද්ධයෙන් අනතුරුව අපට ‘නිදහස’ යැයි යමක් ලබා දුන් බව දේශපාලනඥයන් විසින් ප්‍රකාශ කළ ආකාරය අපට මතක ඇති අතර, අප ඒ වෙනුවෙන් රණවිරුවන්ට තුති පුදා සංගීත සංදර්ශන හා බෝධි පූජා කළෙමු. එහෙත් අද වන විට අපට එවන් ‘නිදහසක්’ ලැබී නොමැති බව ප්‍රත්‍යක්ෂයෙන්ම පෙනෙන අතර ‘රණවිරුවන්’ කළේ එල්ටීටීඊය සමග යුද්ධය අවසන් කිරීම පමණක් බවත්, අපට දිනා දුන් ‘නිදහසක්, හෝ සාමයක්’ නොමැති බවත් පැහැදිලිව පෙනේ. අපගේ ‘නිදහස’ පවතින රෙජීමයේ ඕනෑ එපාකම් පරිදි පහසුවෙන්ම සීමා කළ හැක්කකි. එහෙත් අපගේ ‘නිදහස’ ලබා නොදීම සම්බන්ධව, රෙජීමයට විරුද්ධව විවේචනයක් ගෙන එන අතරම, අප සංස්කෘතිය සම්බන්ධ විවේචනයක් ද ඒ අතරම ගෙන ආ යුතුය. අප පැහැදිලිවම හඳුනා ගත යුත්තේ, දීර්ඝ කාලයක් බටහිර ජාතීන්ට යටත්ව සිටීමෙන්ද, අනතුරුව දිගු කලක් එක්තරා පන්තියක සහ පවුල් කිහිපයක මිනිසුනට යටත්ව සිටීමෙන් ද, නිදහසට එරෙහිව ඇතිවූ කැරළි දිගු කාලයක් ඉතා බිහිසුණු ලෙස මැඩ පැවැත්වීම නිසා ද ජනතාවට සැබෑ නිදහස යනු කුමක් දැ‘යි අමතකව තිබෙන බවයි. සංස්කෘතියක් වශයෙන් සියවස් ගණනාවක් නිදහස අත් නොවින්ද, මැඩපැවැත්වීම පමණක් තමන්ගේ ඇතුළාන්තයෙන් ද, සමාජ පද්ධතීන් තුළින් ද අත් වින්ද ජනතාවකට ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් වෙනුවට ඒකාධිපතියකු විසින් ඉදිරිපත් කරන ඊනියා නිදහසක් කිසිදු බරපතල විරෝධයකින් තොරව විඳ දරා ගත හැකි විය හැකි වන්නේ එබැවිනි. එවැනි ඊනියා නිදහසක් තුළ, ලිංගික නිදහසක් අවශ්‍ය නොවන බවට පාලකයා කියන විට එයට ‘එහෙයි’ කීමේ සංස්කෘතියක අප සිටින අතර, මාධ්‍ය, සිනමාව, කලාව සහ අදහස් ප්‍රකාශනයේ නිදහස වාරණය වන්නට පටන් ගන්නේත්, සියල්ලටමත් වඩා දරුණු ස්වයං වාරණය ඇරඹෙන්නේත් එතැනින් බව ඇඟිල්ලෙන් ඇන මතක් කළ යුතුය.

දමිත් චන්දිමාල් | Damith Chandimal