Image Credit: asiantribune

ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය විසින් පත් කරනු ලැබූ කමිටුවට මෙරටට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු කිරීම සඳහා අවසර ලබා දිය යුතුද නොයුතුද යන කාරණය පාර්ලිමේන්තුවට යොමු කිරීමට නියමිතය. කාරණය බැලූ බැල්මට බුද්ධිමත් එකක් ලෙස පෙනුණද මින් රටට සිදුවන සුගතියක් නැත.

සුගතියක් වන්නේ නම් සිදුවන්නේ දේශීය දේශපාලනය තුළ මීළඟ මැතිවරණ වලදී පාවිච්චි කිරීම සඳහා සටන් පාටයක් රාජපක්ෂ ජනාධිපතිවරයාට ලැබීම පමණි. එසේම එමඟින් මේ වන විට ආණ්ඩුවට එරෙහිව හඬ නගමින් සිටින ආණ්ඩුව නියෝජනය කරමින් ආණ්ඩුව විසින් සිදුකළ සියලුම අගතීන්ට වගකිව යුතු පිරිස ගල් ඉබ්බන් මෙන් තම කටුව ඇතුළට තල්ලු කිරීමට හැකි වාතාවරණයක් ඇති කිරීමටද හැකි යැයි රාජපක්ෂ සිහින දකිනවා විය හැකිය.

සැබවින්ම අදාළ කාරණය යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන එන්නේ මන්ද? පාර්ලිමේන්තුව වූ කලී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නොව එය රාජපක්ෂගේ පාර්ලිමේන්තුව වේ. එහි ඉහළම පුටුවේ සිට කම්කරුවා දක්වා අයවලුන් ආණ්ඩුවේ නායකයාගේ කේලම් කාරයින්ය. ඔවුහු කිසිවෙක් තම රැකියාවේ ගරුත්වයට හෝ වගකීමට බැඳී නැත. ඔවුන්ගේ වගකීම හෝ ගරුත්වය තීරණය වන්නේ රාජපක්ෂගේ ආසාව මතය. රටේ සමස්ථ පද්ධතිය කෙළසීම සඳහා මෙම සංස්කෘතික ගත පුරුද්ද බලපෑ බව අමතුවෙන් කිව යුතු නොවේ. මින් උපරිම ප්‍රයෝජනය ගනු ලැබුවේ රාජපක්ෂ ජනාධිපතිවරයාය.

ජනාධිපති රාජපක්ෂ අදාළ කාරණය පාර්ලිමේන්තුවට ගෙන විත් එය බහුතර කැමැත්තෙන් සම්මත කරගැනීම පිළිබඳ කිසිඳු සැකයක් නැත. සුපුරුදු පරිදි මෙය රටේ අභ්‍යන්තර ගැටලුවක් ලෙස සලකා ඊට තම සහයෝගය පළ කිරීම හෝ නොකිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය සේම ජනතා විමුක්ති පෙරමුණද ආණ්ඩුවට සහය දීමට හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීමට බොහෝ දුරට ඉඩ ඇත. මන්ද ආණ්ඩුවේ මතයට එදිරිවීම දේශීය දේශපාලනය තුළ තම ඡන්ද බලය අඩුවීමේ හැකියාවක් ඇති බවට අදාළ පක්‍ෂ සතුවන පූර්ව නිගමනයයි. නමුත් ද්‍රවිඩ සන්ධානය සුපුරුදු පරිදි ආණ්ඩුවේ ස්ථාවරයට හාත්පසින්ම විරුද්ධ තීන්දුව ගනිමින් අදාළ කමිටුවට ලංකාවට පැමිණීමට මෙන්ම අදාළ පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවස්ථාව සලසා දිය යුතු බව ප්‍රකාශ කරනු ඇත.

ආණ්ඩුවේ ගුණ්ඩු හඳුනා ගැනීම සහ ඒවා ජනතාවට තේරුම් කර දීමට මෙරට දේශපාලනඥයින් කෙතරම් දුරට සමත් වී සිටින්නේ දැයි නොදනිමු. ඔවුහු දේශපාලන වෙනසක් ඇති කිරීම වෙනුවට බලය මංකොල්ල කෑමට පිරිත් නූල හොයන මට්ටමේ අයවලුන් බවට පත් වී සිටිති. සම්ප්‍රදාය තම කෛරාටක භාවිතයන් සඳහා භාවිතා කරන ප්‍රධාන පෙළේ රටක් වන ශ්‍රී ලංකාවෙන් තර්ක බුද්ධිය අතුගෑවී ඇත. ඒ වෙනුවට වෛරය සහ කුහකකම පැළ පදියම් වී ඇත. එම ලක්ෂණ වලින් දායාද කරණු ලබන්නේ ඒවාට ආවේණික ගති ගුණ මිස රටක අනාගතය වෙනුවෙන් වැදගත් වැඩපිළිවෙලක් නොවේ. ඔබට අනෙකාගේ අදහස් වලට හැකි උපරිම මට්ටමේ කුණුහරප සංග්‍රහ ඉදිරිපත් කොට ඔබේ මුඩුබව පෙන්විය හැකිය. එසේම තම පෞද්ගලික අවුල ප්‍රසිද්ධ වෙදීකාවට ගෙන ආ හැකිය. ඊට විවිධාකාරයේ වේසනිරූපණ ලබා දෙමින් අනෙකා රැවටීම සඳහා භාවිත කළ හැකිය.

නමුත් මේ රටේ නිතී විරෝධීව මරා දැමුණු හැම එකෙකුගේම මළ කුණක් ඉල්ලන යුක්තියක් තිබේ. ඒ වෙනුවෙන් පෙනී සිටීමේ ආත්මාභිමානයක් මෙන්ම ශක්තියක් ජාතියකට නොමැත්තේ නම් හෙට දවසේ ඔබ මෙම ක්‍රියාවලිය තුළ ගොදුරක් බවට පත් වෙන විට පෙනී සිටීමට කිසිවෙක් ඉතුරු නොවනු ඇත. පසුගිය දශක කිහිපය පුරාම සිදු වූයේ එයයි. ගැටලුව විසඳනු වෙනුවට ගැටලුව වෙනුවෙන් කතා කළ සහ ඒ වෙනුවෙන් පෙනී සිටින්නා අතුගා දැමීමේ ක්‍රමය එකම විසඳුම බවට පත් කර ගත්තේය. නමුත් සැබෑ ගැටලුව පද්ධතිය තුළ මෙන්ම ඉන් පිටතද ක්‍රමයෙන් මුහුකුරා වැඩෙන්නට විය. එම සත්‍ය රටේ දේශපාලනයෙන් ඔබ්බට ගමන් කොට ජාත්‍යාන්තරීකරණය වූයේ අනුව දශකයේ මුල් භාගයේ සිටය. සැබවින්ම එය ඒ තත්වයට පත් කරනු ලැබුවේ එල්. ටී. ටී. ඊ. සංවිධානය විසිනි. හරි වැරැද්ද කුමක් වුවත් එල්. ටී. ටී. ඊ. සංවිධානය ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මරා දමන විට අදාළ ගැටලුව සඳහා ඉන්දියාවේ වගකීම අවසන් බව අදාළ ඝාතනයේ සැලසුම් කරුවන් තීරණය කොට බොහෝ කල් ගොස්ය. සැබවින්ම ඉන්දියාව තමන්ට එදිරිව යන බව ප්‍රභාකරන් තේරුම් ගනු ලැබුවේ ඔහු එරට අවි පුහුණුව ලබන අවදියේ සිටය.

කෙසේ වෙතත් රටේ පවතින ගැටලුව සහ ආණ්ඩු විසින් සිදු කළ යුධ අපරාධ වූ කලී මුල් ගැටලුවේ ජාත්‍යන්තර ප්‍රකාශනයයි. මීට විසඳුම් සෙවීම සඳහා පළමුව, අවංක කැපවීමක් මෙන්ම අගතියට පත් පාර්ශවයන් වෙනුවෙන් යුක්තිය ඉටු කරන බවට වූ විස්වාශයක් ඇති කළ යුතුය. නමුත් ඒ වෙනුවට රාජපක්ෂ විසින් සිදු කරනු ලැබුවේ, අදාළ ඝාතන සඳහා ඍජුව වගකිව යුතු “සතුරු” පාර්ශවයේ පිරිසට රටේ ජනතාවගේ බදු මුදලින් රිසි සේ ජීවත් වීමට අවැසි ආරක්ෂාව සැපයීම සහ අදාළ වගකිව යුත්තන් විනාශ කරනු ලැබූ තරුණ ජීවිත බූස්සට සහ අනෙකුත් රැඳවුම් ස්ථාන වලට ගාල් කිරීමය.

අගතියට පත් සැබෑ පාර්ශවය, ආණ්ඩුව විසින්, ජර්මනියේ නාසීන් කළ ආකාරයේ වර්ගීකරණයට ලක් කරනු ලැබුවේය. ජර්මන් භාෂාවේ අන්ටෙර්මෙන්චන් නමින් හැඳින්වෙන නාසී දෘෂ්ටිවාදයේ එන සංකල්පයක් තිබේ. එහි අර්ථය අඩු-මානුෂික හෙවන් මනුෂ්‍ය ලෙස සැලකිය නොහැකිය, යන්නය. රාජපක්ෂ රටට ආදරය කරණ සහ නොකරණ ලෙස රටේ ජාතීන් දෙකක් වර්ගීකරණය කරනු ලබුවේ මේ හා සමාන අර්ථයකින් යුතුවය. ඉන් පසුව බොදු බල සේනා සහ අනෙකුත් වර්ගයේ සේනා ඔස්සේ මෙය වඩාත් පිළිකුල් සහගත “බෞද්ධ” උරුමයක් ලෙස වෙස් ගන්වමින් සතුරාට එදිරිව භාවිතා කරනු ලැබුවේය. ජනාධිපති රාජපක්ෂ පාර්ලිමේන්තුව ඔස්සේ යළිත් ස්ථාවර කර ගැනීමට යන්ත දරන්නේ මෙම උපායයි.

රටේ වාසනාවට නමුත් ඔහුගේ අවාසනාවට මෙන් රාජපක්ෂට බොහෝ කාරණාවලදී පාර්ලිමේන්තුවට යෝජනා ගෙන ගෙන ඒමට අමතක විය. මේ නිසා සොඳුරු ආඥාදායකයාට හිමි ආලය ක්‍රමයෙන් වියැකෙන්නට විය. ජාත්‍යන්තර ප්‍රජාව බලපෑම් කිරීමට පෙර, එල්. එල්. ආර්. සී. වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතුද නැත්ද යන්න පාර්ලිමේන්තු යෝජනාවක් ලෙස ගෙන ආ යුතුව තිබුණි. එසේ වූයේනම් රාජපක්ෂ ඉන් නිසැකවම ජයගනු ඇත.

රටේ අග්‍රවිනිසුරුවරිය එලවා දැමීම සඳහා තම නග්න බලය භාවිතා කළ රාජපක්ෂ ඊට සාදාරණත්වයක් දීමට උත්සහ කළේද පාර්ලිමේන්තුව හරහාය. නමුත් එය ජාත්‍යන්තර වශයෙන් වෙනම තේරුම් ගත් කාරණයක් බවට පත් වී එය රාජපක්‍ෂට බූමරංගයක් විය. එමඟින් රටේ පවතින නීතී ක්‍රමයේ විකෘතිය ගැන පුළුල් අවබෝධයක් ඇතිවිය. එය ජනවාර්ගික අර්බුධයෙන් ඔබ්බට ගොස් රටේ පවතින ව්‍යුහීය ගැටලුව පිළිබඳ අවදානය යොමු කිරීමට සමත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය සම්මත කරනු ලැබූ තෙවැනි යෝජනාවලීය මීට කදිම පිළිතුරය.

තම පෞද්ගලික අභිලාශයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා රටේ විකෘති කරනු ලැබූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය භාවිතා කිරීම ඛේදවාචකයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. අදාළ කමිටුවට පරීක්ෂණ සිදු කිරීමට ඉඩ ලබා දීම හෝ නොදීම යන්න පාර්ලිමේන්තුව සතු වන වැඩ පිළිවෙලක් බවට ගොඩ නගන තර්කය ආණ්ඩුව විසින්ම බිඳ හෙලා ඇත. එනම් ජිනීවා නුවර සිටින ආණ්ඩුවේ නිත්‍ය නියෝජිතයා අදාළ කමිටුවට අවසර නොදෙන බව මේ වන විටත් නිල වශයෙන් ප්‍රකාශ කොට ඇත. එය ආණ්ඩුවේ ස්ථාවරය වේ. එය එසේ නොවේ නම් හෝ ජාත්‍යන්තර දේශපාලනය සමඟ කටයුතු කිරීමේදී අබමල් රේණුවක තරමේ මොළේ ඇති බව පෙන්නුවේ නම් ඔහු එනම් ආණ්ඩුවේ නියෝජිතයා ලවා කියවිය යුතුව තිබුණේ අදාළ කාරණය “ලංකා” පාර්ලිමේන්තුවට ඉදිපත් කිරීමෙන් පසු තීරණයකට එන බවය.

කෙසේ වුවද ආණ්ඩුව අදාළ පරීක්ෂණ සඳහා ඉඩ ලබා දුන්නද නොදුන්නද ඊට මුදල් වෙන් කොට තබේ. සැලසුම් කළ පරිදිම අදාළ පරීක්ෂණය සිදු වනු ඇත. තව දුරටත් රාජපක්ෂට කළ හැක්කේ රට හුදෙකලා කොට ජාත්‍යන්තර නීතියෙන් සැඟවී සිටීමට හැකි උපරිම ආයාසය ගැනීමය. මෙය පාර කපමින් ඇත්තේ ඉරාකයේ සදාම් හුසේන් රිංගු මට්ටමේ මී ගුලකටද, ලිබියාවේ ගඩාෆී තුනට නැමී සැඟවී සිටි බෝක්කුවකටද යන්න ඉදිරි කාලයේදී සිදුවන දෑ මඟින් තීරණය වනු ඇත.

තම බල තණ්හාව නිසා විකෘති කරනු ලැබූ ආයතන ලබා දෙනු ලබන්නේ විකෘති විසඳුම් මිස තත්කාලීන ක්‍රමවේදයන් හෝ ස්ථීරසාර විසඳුම් අත්පත් කරගත හැකි උපායන් නොවේ.

නිලන්ත ඉලංගමුව
| Nilantha Ilangamuwa