අතුරලියේ රතන හාමුදුරුවන්වහන්සේ මහත් පරිශ්‍රමයක් දරා රචනාවක් ලියා ඇත්තාහ. ඊට ‘රට ගත යුතු මඟ’ යැයි නමක් දී ඇත. එය, ලෙනින්ගේ කළ යුත්තේ කුමක්ද සහ වක්ලාව් හවෙල්ගේ 77 වන ප්‍රඥප්තිය අතර දෝලනය වන එකක් නොවන නමුත් මංගලගේ ‘සිහිනයේ අභියෝගය’ සහ මහින්ද රාජපක්ෂගේ “මහින්ද චින්තනය” අතර ඇති පරතරය තුළ දෝලනය වන රචනාවකි. එසේම මේ හා තරමක සමාන රචනාවක් රනිල් වික්‍රමසිංහ විසින්ද මීට කළට පෙර කළේය.

“සැමට එකඟ විය හැකි පොදු කරුණු පමණක් සටහන් කළෙමි,” යැයි සටහන් කරමින් අදාළ රචනාවේ ඇති සිදුරු වලට සාධාරණත්වයක් ලබා දී ඇත. අදාළ රචනාව අඩුපාඩු වලින් පිරිණු සිංහලයින්ගේ අසමගිය පෙන්වන එකක් බව උන්වහන්සේ ඍජුව කියවන අයෙකුට තේරුම් කර ගැනීමට ඉඩ හැර ඇත. මෙම රචනාව මහින්ද චින්තනයට නව දත්ත සැපයීමක් පමණි. යක්ෂයාට දින කිහිපයක සිල් සමාදම් වීම සඳහා සටහන් කළ “ලංකික බෞද්ධාගමේ” බණකි.

කෙසේ හෝ වේවා රතන නාහිමියෝ සිහිනයක් දැක ඇත්තාහ. ඒ සිහිනය ලංකාව ගැනද එසේ නොමැතිනම් ලංකාව වැනි වෙනත් දූපතක් ගැනදැයි නොදන්නෙමු. දේශපාලන රචනාවක්ද හුදු රටේ ඇති තත්වය මතුපිටින් අත පත ගෑමක්ද යන්න එය කියවන ඔබ සැමට භාර විනිශ්චයකි. පිටු දහසයක රචනාවක් වන බැවින් එය කියවීම සඳහා එතරම් කාලයක් අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් අදාළ රචනාව ගැන “ජනාධිපති මහින්ද රාජපක්ෂ බිය වී ඇත,” ඒ සති අන්ත ඉංග්‍රීසී පුවත් පතක දේශපාලන තීරු රචකයා පසුගිය සතියේ ඉදිරිපත් කළ අදහසය. ඔහු හෝ ඇය අදාළ අදහස නිර්මාණය කළ එකක්ද නොඑසේනම් රාජපක්ෂ සැබෑවටම ඊට බිය වී ඇත්තේද යන්න දන්නේ රාජපක්ෂ පමණි. නමුත් බැලූ බැල්මට අදාළ රචනාවේ කිසිඳු කාරණයක් බියට හේතු නොවේ. සැබවින්ම එය රාජපක්ෂ බිය ගන්වා අත්තේ නම් රාජපක්ෂ සිටින්නේ සැබෑම නොවැදගත් අවුලකය. එය එසේනම් විපක්ෂය කිසිඳු ආකරයකින් බිය විය යුතේද නැත. මන්ද, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රතන හිමිගේ රචනාව කිසිඳු වැඩකට නැති පල් හෑල්ලකි.

රාජපක්ෂ තේරුම් ගැනීමට සහ රටේ ඇති සැබෑ ගැටලුව විසඳීමට තබා හඳුනා ගැනීමට හෝ අවශ්‍ය නම් රතන හිමිට තවත් සැතපුම් දහස් ගණනක් ගමන් කළ යුතුව ඇත (වැඩම කළ යුතුව ඇත්තාහ). නොඑසේනම් ජනතාවගේ මනස හැඟීම් වලින් අවුස්සා යළිත් වරක් බලය මංකොල්ල නොකා දැන්වත් රටට කරුමයක් වී ඇති ඔවුන්ගේ දේශපාලනයෙන් ඉවත්වන්නේ නම් උන් වහන්සේ විශ්වාස කරන මෙලොවදී මෙන්ම පරලොවදීත් සැනසීම ලැබෙනු ඇත. එසේම එය රටේ ජනතාව වෙනුවෙන් කරන මහඟු සේවාවක්ද වේ.

කෙසේ හෝ වේවා! ලංකාවට වැදගත් දේශපාලන රචනාවක් අවශ්‍යය. ඒ ගැන විවාදයක් නැත. ස්වාධීන මෙන්ම ජනතාවගේ සැබෑ ගැටලු විසඳිය හැකි ක්‍රමවේදය ගැඹුරින් විස්තර කරණ රචානාවක් රටට අවශ්‍ය කර තිබේ. එවැන්නක් කොහේ හෝ ප්‍රසිද්ධ වී ඇත්තේනම් එය යළිත් ප්‍රසිද්ධ කළ යුතුව ඇත. ඒ ගැන ජනතාව දැනුවත් කළ යුතුව ඇත. නමුත් ලංකාවේ දේශපාලනික තත්වය ජාත්‍යන්තර වශයෙන් පවා වෙනස් වී ඇති බැවින් සහ රට තව දුරටත් ලෝකයට ණයකාරයෙකු වී සිටින හෙයින් රට මුහුණ දී සිටින සැබෑ ගැටලු විස්තර කරණ නව රචනාවක් අවශ්‍යය.

පසුගිය සති කිහිපය තුළදී ඒ සඳහා උත්සහ කළ දෙපාර්ශවයම තම මෝහය කෙතරම් පළල් එකක්ද යන්න පමණක් පෙන්වා දී ඇත. එනම් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණේ යෝජනා 12 මෙන්ම රතන හිමිගේ පිටු දහසයේ රචනාව මතුපිට අතපත ගාමින් ඔවුන් මෙරටට කළ අපරාධයට සිල්වත් කමක් දීමට යන්ත දරා ඇත. මොවුහු කිසිවෙකුට මේ රටේ සැබෑ ගැටලු විසඳීමේ වුවනාවක් නැත. සිංහල ජාතියට හෙණ වැදී ඇත්තේ මොවුහු මෙම ජාතියම මෝහය නමැති ඇසිඩ් වලින් පුරවනු ලැබූ පොකුණක ගිල්වා දැමු හෙයිනි. ජාතියට ඇති ගරුත්වය ඉන් අහිමි වී ගිය අතර, ආණ්ඩුකරණය දූෂණය, අක්‍රමිකතාවය, ඥාති සංග්‍රහය සහ අවිධිමත්බාවය මත තීරණය වන්නක් බවට පත් විය. මෙම සන්දර්භය තුළ ත්‍රස්තවාදයට මෙන්ම නොයෙකුත් බෙදුම්වාදී සංවිධාන වලට පමණක් නොව ජාත්‍යන්තර හොරුන්ට රටේ ආර්ථිකය ඇතුළු අතිශය සංවේදී ක්ෂේත්‍ර අල්ලේ නැටවීමට හැකි විය. මීට මුලික හේතුව කුමක්ද?

මීට මුලික හේතුව, මෙම කිසිඳු දේශ හිතෛශියෙකුට තබා බෞද්ධකම ආයුධයක් කරගත් කිසිවෙකුට, රටේ විධිමත් නීති ක්‍රමයක් ඇතිකළ යුතුය, එය සෑම අයෙකුටම පොදු විය යුතුය, යන බරපතළ වුවමනාව නොතිබීමය. ඒ නිසා එය අධිකරණ ක්ෂේත්‍රය අතුලු මුළු රටේම පාලන ක්‍රමවේදය කුණු ගොඩක් බවට පත්වීමට හේතු විය. අධිකරණ ක්ෂේත්‍රයේ සිටින වෘත්තිකයින් පවා මෙම අවිධිමත්භාවය ප්‍රයෝජනයට ගත් අවස්ථාවාදීන් බවට පත් වූහ. රටක පාලන ක්‍රමය විකෘති කළ විට ඉන් ප්‍රයෝජනය ගැනීමට ඕනෑතරම් පිරිස් සොයා ගත හැකිය. නමුත් රටක පිළිවෙල පවත්වා ගැනීම වූ කලි මහත් පරිශ්‍රමයක් දැරිය යුතු සංකීරණ වැඩපිළිවෙලකි. එය කළ හැක්කේ ඒ පිළිබඳව අවබෝධයක් මෙන්ම පෞද්ගලික ගරුත්වයක් ඇති අයවලුන්ට පමණි. මෙය ලංකාවේ දේශපාලනයේ පමණක් නොව තානාපති සේවාවේ සිට කිසිඳු ක්ෂේත්‍රයක නැති, තිබේ නම් අතිශය සීමා සහිත වී ඇති ගති ගුණයකි. මෙය ඇති කළ හැකි එකම ක්‍රමය වූ කලී රටේ පිළිගත් නිතී ක්‍රමයක් ඇති කිරීම සහ ඊට වගකියන ආයතනය වගකීම දැරිය හැකි ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමය. එසේම එහි ස්වාධීනත්වය පරික්ෂා කිරීම සඳහා තම වෘත්තීය ගරුත්වය රැකගෙන විශ්‍රාම ගිය විෂයෙහි පරිණත ස්වෙච්ඡාවෙන් සේවය කළ හැකි මණ්ඩලයක් පත් කිරීමය. මෙය ලංකාව කාබාසිනියා කොට ඇති වංචා දූෂණ මැඩලීම සඳහා ද කළ හැකි විධිමත් ක්‍රමවේදයකි. නමුත් දේශපාලනය නාමයෙන් ලංකාවේ සිදුවන්නේ රජෙක් ලෙස හොරෙක් හෝ මිනීමරුවෙක් පත් කොට එම රජාගේ දරුවන් පවා හොරකමට හෝ වංචාවට ඇබ්බැහි කිරීමය. මෙය දාමයක් ලෙස සිදුවන ක්‍රමවේදයක් වන අතර එමඟින් යුක්තිය ආරක්ෂා කිරීමට වඩා ප්‍රමුඛ ඉඩ ලැබෙන්නේ මෙම සම්ප්‍රදාය ආරක්ෂා කිරීමටය. මන්ද යුක්තිය පසිඳලීමේ විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුවහොත් මොවුන්ටද වන්දි ගෙවීමට සිදුවන බැවිනි.

ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති වැදගත්කම වන්නේ මෙයයි. ප්‍රජාතන්ත්‍රවාදය වූ කලී බහුතර කැමැත්තෙන් තම පාලකයා තෝරා ගැනීමය. රටේ බහුතරයක් හොරුන් නොවේ. නමුත් මුළු රටම මර්ධනය කරන්නේ හෝ පාලනය කරන්නේ සුළුතරයක් වන හොරුන් විසිනි. මෙය වන්නේ කෙසේද? තම දේශපාලන රචනාවල ගැඹුරින් විමසිය යුත්තේ මෙම කාරණයයි. අතුරලියේ රතන හිමි තම පල් හෑල්ලෙන් අමතක කොට දමන්නේ මෙම යථාර්තය කතා කිරීමයි. උන්වහන්සේ දේශපාලනය තබා රටක පැවතිය යුතු මුලික ආයතන ගැනවත් නොදන්නා සැටියෙකි. එය එක්කෝ මොවුන් හිතා මතාම කරණ කටයුත්තකි. මන්ද රටේ ජනතාවගේ මොළය හැදීම මොවුන්ගේ පැවැත්මට ගැටලුවක් වන හෙයිනි. මේ නිසා පෙනෙන සත්‍ය අමතක කොට බොරු මිත්‍යාවන් සහ ඉතිහාසය ගැන වමාරා තම හෙළුව වසා ගනිමින් පැවැත්ම තහවුරු කර ගත යුතුය. මොවුන්ගේ දේශපාලනය වූ කලී මෙයයි. මේ සැබෑ තත්වය තේරුම් ගෙන රටේ මිනිසුන් දැන්වත් තම පංචස්කන්ධය මෙවැනි බොරු කාරයින්ට පාවා නොදිය යුතුව ඇත.

ජීවිතය වූ කලී දායාදයකි. එය ජාතිවාදීන්ට, ආගම්වාදීන්ට හෝ වෙනයම් ආකාරයේ අවස්ථාවාදීන්ට පවා දිය යුතු නොවටිනා දෙයක් නොවේ. එහි පියවර තැබිය යුත්තේ ආත්මගරුවයක් ඇතුවය. එය සෙවිය යුත්තේ පුද්ගලික නිදහසය. සටන් වැදිය යුත්තේ නිදහස් සහ සාධාරණ සමාජයක් වෙනුවෙනි. එය රැකගත යුත්තේ මීළඟ පරම්පරාව තම ජීවිත වලට ශාප නොකරන තත්වයය.

රතන හිමි ලියූ රචනාව එනම් රාජපක්ෂ බයගුල්ලෙකු කරපු (සභාවේ කොක් හඬලා සිනහ) රචනාව අවසානයේ ඇසිය හැකි එක ගැටලුවක් තිබේ. අනේ අපේ හාමුදුරුවනේ; වෙන එකක් ලියන්න තිබ්බෙම නැද්ද? යන්නයි.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa