Image Credit: twitter/ Azzam Ameen

වටරැක විජිත හිමිනමගේ ජීවිතය බේරි ඇත්තේ අනූනමයෙනි. කහසිවුරක් ඇදි භික්ෂුවක් නිරැවත්කර අත්පා ගැට ගසා, පහර දී, බ්ලේඩ්තල වලින් කපා මගමග දමා ගොස් තිබුණේ තිරිසන් අකාරයකට ය. ජාතික බල සේනාවේ කැඳවුම්කරු සහ මහියංගන ප්‍රාදේශීය සභා මන්ත්‍රී වූ වටරැක විජිත හිමියන් සිහිසුන්ව පානදුර හිරණ පාලම අසලට ගෙනවිත් දමා තිබියදී පසුව රෝහල් ගත කෙරැනි. පසුව වටරැක විජිත හිමියන් පවසා තිබුණේ තමන්ට පහර දුන්නේ භික්ෂු කණ්ඩායමක් බව නීතිඥවරයෙකු උපුටා දක්වමින් බීබීසී ය වාර්තා කළේ ය..

කෙසේ නමුත් වටරැක විජිත හිමියන් පසුගිය කාලයේ බොදු බල සේනා නම් කල්ලියේ ක්‍රියා පිළිවෙත් ප්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටි ප්‍රධානතම හිමිනමකි. ඒ නිසාම බොදු බල සේනා සංවිධානයේ ප්‍රචණ්ඩ හැසීරීම් වලින් නිරතුරැවම බැට කෑමට වටරැක විජිත හිමියන්ට සිදු විය. එහි ආසන්නම සිදුවීම වාර්තා වූයේ පසුගිය අප්‍රේල් 09වනදාය. ජාතික බල සේනාවේ වටරැක විජිත හිමියන් සහ අනිකුත් ආගමික නායකයන් කැදවු මාධ්‍ය සාකච්ඡාවකට බලෙන් කඩා වැදුනු බොදු බල සේනාවේ ඥාණසාර භික්ෂුව ඇතුලු කණ්ඩායමක් විජිත හිමියන්ට සහ අනිකුත් පූජක පක්ෂයට බැණ වදිමින් තර්ජනය කරමින් සිය මෘග භාවය පෙන්වීය. එහෙත් ඒ කිසිදු අවස්ථාවක වටරැක විජිත හිමියන්, ඥානසාර තැනට වැටී ප්‍රචණ්ඩ නොවීම ද විශේෂයකි.(මෙහිදී වටරැක විජිත හිමිගේ භාවිතාව නිවැරදි හෝ වැරදි වුවත් ඔහුට ඒ වෙනුවෙන් පෙනී සටීමට අයිතියක් ඇති අතර ප්‍රචණ්ඩත්වය යොදාගෙන එය මර්දනය කිරිමට කිසිවෙකුට අයිතියක් නැත)

ආණ්ඩුවේ කිරීවලින් පෝෂනය වී, වෛරය වපුරමින් මැරයෙක් මෙන් හැසිරෙන ඥානසාරට එරෙහිව කිසිදු ප්‍රතික්‍රියාවක් නොදක්වන පාලකයින් සිටින රටක ඒ මැරකමට ප්‍රසිද්ධියේ විරැද්ධව වූ එකම භික්ෂුව වන්නේ ද වටරැක විජිත හිමි ය.

බොදුබල සේනා සහ වටරැක විජිත හිමි

අලුත්ගම ගිනි තැබීමට පාදක වූයේ බෞද්ධ හිමිනමක් සහ මුස්ලිම් තරැණයන් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් යැයි පැවසේ . එයට විරැද්ධව බොදුබල සේනාව අලුත්ගමදී රැළියක් පවත්වා මුසල්මානුවාට එරෙහිව තමන්ගේ අන්තවාදය එළිදැක්වීය. පසුව එම සිදුවීම මහා විනාශයක් බවට පත් කරවීය. එයට සෘජුවම වගකිව යුත්තේ ඥාණසාර ඇතුලු බොදුබල සේනාවය. ඉන් ගැලවිමට ඔවුන්ට කිසිසේත් නොහැකිය. ජනයා ප්‍රකෝප කරමින් පසුව සාමකාමී වන්නැයි පුස් පාටී දැමීමෙන් එය වැසිය නොහැකිය. ඒ බව දැන් දැන් බොදුබල සේනාවේ සභාපති හිමිනම ගෙන් ද ප්‍රකාශ වීමට පටන් ගෙන තිබේ.

දැන් තවත් භික්ෂුවකට පහර දී ඇත. විරැද්ධ මතයක් දරණ භික්ෂුවකට එරෙහිව තවත් භික්ෂුන් පිරිසක් විසින් එල්ල කළ (වටරැක හිමියන්ම පවසන පරිදි) මේ භික්ෂු ප්‍රචණ්ඩත්වය පිළිබදව මේ වන විටත් භික්ෂූන්ගේ ප්‍රධානීන් වන මල්වතු සහ අස්ගිරි මහා නායක හිමියන් වචනයක් හෝ කියා නැත. ආණ්ඩුවේ කිසිවෙක් ද කටක් ඇර නැත. ඒ තරමටම අවුරැදු 2500ක්, බුද්ධ රාජ්‍යක් වැනි දේවල් ගැන කයිවාරැ ගහන රටේ හැටිය.

මේ සම්බන්ධයෙන් බොදුබල සේනාවේ ප්‍රධානියෙක් වන ඩිලන්ත විතානගේ කට ඉස්සර කර ගනිමින් පවසා ඇත්තේ බොදු බල සේනාව අපකිර්තිමත් කිරීමට වෙනත් කණ්ඩායම් විසින් මෙවැනි දේ සිදු කරනා බවය.

නමුත් ඩිලන්තලා මේ ටික මතක තබා ගත යුතුය. මේ වෛරී භාවිතාව සමාජ ගත කළේ නුඹලාය. මිනිසුන්, මිනිසුන්ට එරෙහිව පාරට දැමූවේ නුඹලාය. දැන් වෙන එවුන්ට ඇගිල්ල දිගු කර ඒ පාපයෙන් ගැලවීමට නුඹලාට නොහැකිය. තමන්ගේ විෂ වසා ගැනීමට වෙනත් විෂ පෙන්වීමට අවශ්‍ය නැත. එය නුඹලාගේ කටින්ම පිට වූ විෂ/ ගද දැන් මුලු ලෝකයාම දන්නේ ය. එබැවින් ඒ පාපයෙන් ගැලවිමට නුඹලාට නොහැකිය.!

එසේම වටරැක විජිත හිමිනමට එල්ල කරන ලද ප්‍රහාරය කවුරැ සිදු කළත්, ඒ නුඹළා විසින් සමාජගත කළ වෛරී භාවිතාවේ ප්‍රතිඵලයකිනි. එයින් නුඹලාට ගැලවීමට නොහැකිය.

වසන්ත බංඩාර