Ministry of Defence | NGOs by Sampath Samarakoon

ජූලි 01 දා දාතමින් ගෝඨාභය රාජපක්ෂ යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය අරුම පුදුම නීතියක් පනවා තිබේ. මේ නීතියෙන් කියැවෙන්නේ රාජ්‍ය නොවන සංවිධානවලට පුවත් පත් සාකච්ජා පැවැත්වීම, පුවත් පත් නිවේදන නිකුත් කිරීම සහ වැඩමුළු පැවැත්වීම තහනම් කැරෙන බවය.

චක්‍ර ලේඛනයක් ලෙස නිකුත් කර ඇතත් එය නීතියක් මෙන් තහනම් නියෝග පනවා තිබේ. මෙම තහනම් නියෝග මගින් තහංචි පණවා ඇත්තේ මූලික මානව හිමිකම් ලෙස අර්ථ දැක්වෙන ප්‍රකාශනයේ නිදහසට සහ සමාගමයේ නිදහසට ය.

නීතියක මුලික අංගයක් වන අර්ථ දැක්වීම් කිසිවක් මෙම වක්‍ර ලේඛනයේ නැත. තහනම් කැරෙන ක්‍රියා සම්බන්ධයෙන් පමණක් නොව රාජ්‍ය නොවන සංවිධාන යනු මොනවාදැයි ඉන් අර්ථ දැක්වෙන්නේ නැත. මේ අනුව ආගමික සැදැහැවතුන්ගේ එකතුවක්, ගමක මරණාධාර සමිතියක්, විද්වතුන්ගේ සංගමයක් මෙන්ම ජනමාධ්‍ය වේදීන්ගේ සංගමයක් යනාදී ඕනෑම සංවිධානයක කට බැදීමට රාජපක්ෂවරුන්ට හැකි ය. මෙවැනි නීති ඇත්තේ අමුම අමු ඒකාධිපති රාජයන්හි පමනය‍.

මෙම නීතිය අනුව මාධ්‍ය සංවිධාන, කතුවරුන් සහ මාධ්‍ය හිමිකරුවන් එක්ව පවත්වා ගෙන යන ශ්‍රී ලංකා ජනමාධ්‍ය ආයතනයට ජනමාධ්‍ය වේදීන් පුහුණු කිරීම තහනම් වනු ඇත. මන්ද යත් එය විදේශ අරමුදල් මත යැපෙන සංවිධානයක් නිසා ය. ජනාධිපති සමඟ මසකට වරක් කිරිබත් කන කතුවරුන්ගේ සංසදයට ද පුවත් පත් සාකච්ජා පැවැත්වීම තහනම් වනු ඇත.

රාජපක්ෂ ආන්ඩුවේ තරම් රාජ්‍ය නොවන සංවිධාන සමඟ දීග කෑ දේශපාලනඥයින් සිටින වෙනත් දේශපාලන පක්ෂයක් නැත. මෙරට සිටි ලොකුම එන්ජීඕ දේශපාලනඥයකු වන්නේ මහින්ද රාජපක්ෂය. ඔහු ලංකාවේදී පමණක් නොව ජිනීවාහිදීත් පිහිට පැතුවේ එන්ජීඕ කෙරෙහි ය.

මේ වනාහී සිනහ වීමට නොව කේන්ති ගැනීමට කාරණයක් වන්නේ මෙය දැන දැනම කරනු ලබන අපරාධයක් වන නිසා ය.

ඇත්ත වශයෙන්ම නම් මෙම චක්‍ර ලේඛන නීතියෙන් පෙන්නුම් කැරෙන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ ඔළු ගෙඩා වල ඇත්තේ මඩ බවය. උදාහරණයක් ගමු. නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රාජ්‍ය නොවන සංවිධානයක් යැයි එයට විරුද්ධව මෙම නීතිය යොදා ගත හැකිය. එනමුත් එහි වත්මන් ප්‍රධානීන් වන සුනිල් ජයසේකර, සම්පත්, සීතා රංජනී, කලුපතිරණ වැනි පිරිස් එක්ව නිදහස් මාධ්‍ය ව්‍යාපාර පක්ෂය යැයි එකතුවක් සාදා ගෙන එන තහනම් ක්‍රියා කළ හැකි ය. දේශපාලන පක්ෂ පිහිටුවීමට ශ්‍රී ලංකාවේ තවම තහනමක් නැත. එවිට තර්කයට අනුව ගොඨාභයගේ නීතිය බලු වනු ඇත.

නමුත් ඇත්ත කතාව මේ තරම් සරළ නැත. මෙම නීතිය මගින් දැමෙන තහංචි අනීතික ලෙස රටෙහි සියළු විපාක්ෂික ව්‍යාපාර වෙත පැමිනෙනවා ඇත. මෙම නිතිය ගෙනැවිත් ඇත්තේ රාජපක්ෂවරුන්ට සදාකාලික ලෙස බලයේ සිටිය හැකි ලෙස මහා ජනයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය වල පල්ලට යැවීමට ය.

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සමාජයටත් සිවිල් සමාජයටත් දැවැන්ත පෙරමුණක් ගොඩ නැගීමට අනගි අවස්ථාවකි. කණගාටුවට කාරණය වන්නේ මෙම ඒකාධිපති නීතියට පැය විසි හතරක් ගත වී තිබියදීත් විපාක්ෂික දේශපාලන බලවේග දක්වන භයානක නිහඩතාවය යි.

රාජපක්ෂ ඒකාධිපතිත්වය බිදීමට නම් පළමුවෙන් බිදිය යුත්තේ මෙම කාලකන්නි නිහඬතාවය නොවේ ද?

sd 120සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya