බදුල්ල, කන්දකැටියේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණයෙකු වූ සදුන් මාලිංග ඝාතනය වන්නේ කන්දකැටිය පොලීසියේ නිළධාරීන් විසින් කරන ලද පහරදීමෙන් පසු ඇති වූ බරපතල තත්ත්වය නිසාය. ඒ කිසිදු හේතුවක් නැතිව සදුන් මාලිංග සහ ඔහුගේ මිතුරන් කිහිප දෙනෙක් මහමගදී පොලිස් රියකට දමාගෙන ගොස් පහර දීමෙන් පසුවය. පහරදීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර, පසුව බන්ධනාගාරයට යැවුවත් ඔහුට කිසිදු අන්දමක ප්‍රතිකාරයක් නොකීරීමෙන් සදුන් මාලිංග මෙලොව හැර යයි.

ඒ බදුල්ලේ, කන්දකැටියේ ය.

රොෂේන් චානක ඝාතනය වන්නේ කටුනායක, නිදහස් වෙළද කලාපයේ දී ය. ඒ 2011 මැයි 30 දිනයේ දී කටුනායක නිදහස් වෙළද කලාපයේ කම්කරැවන් එක්ව විශ්‍රාම වැටුපට එරෙහිව ගෙන ගිය දැවැන්ත විරෝධතාවයට මැදිවය. සාමකාමී විරොධතාවයට පොලීසිය වෙඩි තැබුවේ ය. කම්කරැවන් විශාල ප්‍රමාණයක් තුවාල ලැබූ අතර රොශේන් චානකටත් වෙඩි වැදුනේය. ඉන්පසු රොශේන්ගේ මිතුරන් එක්ව ඔහුව රෝහලට ගෙන යමින් සිටියදී පොලීසිය විසින් ඔහු ගෙන යමින් තිබූ වෑන් රථයත් නවත්වා එහි සිටි සියලු දෙනාටත් පහර දී නැවතත් රොශේන්ටත් පහරදුන්නේ ය. අසාධ්‍ය තත්වයේ සිටි රොශේන්ට ප්‍රතිකාර ලබා දීමට ට කිසිවෙකුටත් නොහැකි විය. පසුව රොශේන් චානකටත් සිදු වූයේ මෙලොව හැර යන්නට ය.

පොලිස් පහරදීමෙන්, වෙඩි තැබීමෙන් පසු ඝාතනයට ලක් වූ මෙවැනි තරැණයන් බොහෝ දෙනෙක් මේ ආශ්චර්යමත් රටේ තවත් සීටි. රොශේන් සහ සදුන් ඒ අතර දෙනෙක් පමණි.

රොෂේන් සහ සදුන්ගේ අම්මාවරැන් පසුගිය දා බදුල්ලේ පැවති මහජන විනිශ්චය සභාවට(මෙම සභාව සංවිධානය කර තිබුණේ,
ඌව පළාත් ජනතා එකමුතුව සහ රයිට් ටු ලයිෆ් මානව හිමිකම් සංවිධානයයි) පැමිණ සිටියේ තමන්ගේ දුක මෙන්ම, තමන්ට සිදුකල අසාධාරණය ලොවට කියන්නටය. එපමණක් ද නොව ඝාතකයන්ට නීතීයට අනුව දඩුවම් කරන්නැයි ඉල්ලා සිටින්නට ය. අවම වශයෙන් තමන්ගේ දරැවන්ට ඇත්තටම සිදුව තිබුණේ කුමක්ද යන්න වත් දැන ගන්නට තිබෙන අයිතිය ඉල්ලා සිටින්නටය.

පහත පලවන්නේ සදුන්ගේ මව සහ රොශේන්ගේ මව බදුල්ලේ දී තමන්ගේ දරුවන් ගැන කියූ වේදනාත්මක අදහසයි. මෙවැනි අම්මාවරැන් දහස් ගණනක් තවමත් උතුරේත් කදුලු සලයි. ඒ යුක්තිය ඉල්ලා ය. දකුණේ බොහෝ මිනිසුන් කිරිබත් කමින්, ජය සමරමින්, උතුරේ අම්මලාගෙන් පැහර ගත් ජීවිතය ඉල්ලා ය.

Video | රොශේන් චානකගේ මව

Video | සදුන් මාලිංග ගේ මව

@Vikalpa