Image Credit: meredith

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය බිහි කළ එක් නිර්මාතෘවරයෙකු වන තෝමස් ජෙෆර්සන්, නිදහස රඳා පවතින්නේ පුවත්පත් නිදහස මත බවත්, එය සීමා කිරීමට ගන්නා ඕනෑම ප‍්‍රයත්නයක්, එම නිදහස වැළලීමට හේතු වන බවත් පෙන්වා දුන්නේය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදය කෙරෙහි බෙහෙවින් කැප වූද, ඒකාධිපතිත්වයේ තියුණු විවේචකයෙකු වූද, ඉංග‍්‍රීසි ජාතික ගත් කතුවර ජෝර්ජ් ඕවල්, පුවත්පත් නිදහස යනු විවේචනය කිරීමට සහ විරෝධය පෑමට ඇති නිදහස මිස වෙන කිසිවක් නොවන බව කියා සිටියේය.

අද බටහිර ලෝකයේ අභ්‍යාස කෙරෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ සංකල්පය කෙරෙහි දායක වී ඇති එවැනි බටහිර චින්තකයන්ගේ ප‍්‍රකාශ අනුසාරයෙන් සළකන විට, ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ එක් මහා කුළුණක් වශයෙන් සැළකෙන මාධ්‍ය නිදහස මේ වන විට ශ‍්‍රී ලංකාවේ කඩා වැටෙන තත්වයේ පීඩනයකට ලක්ව තිබෙන බව කෙනෙකුට පෙනෙනු ඇත.

අපේ රටේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය අංශයෙන් යම් කොටසක් සෘජුවම පාලනය කෙරෙන්නේ ආණ්ඩුවෙනි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, එම මාධ්‍ය ක්ෂේත‍්‍රයේ කටයුතු කරන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදීන්ට පවා ආණ්ඩුවේ මතවාදය පස්සේ යාමට මිස වෙන මගක් ගැනීමට පුලූවන් කමක් නැත. පෞද්ගලික අයිතිය යටතේ පවතින ඇතැම් මාධ්‍ය ජාලයන් පවා සෘජු වශයෙන් හෝ වක‍්‍රාකාරයෙන් ආණ්ඩුවට සම්බන්ධකම් ඇති බව කවුරුත් දන්නා කාරණයකි. ස්වාධීනව පවතින්නේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යයෙන් ඉතා සුළුතරයක් පමණි. ඒවා පවා, ඇතැම් විටක ආණ්ඩුවේ පීඩනයට හසු වෙයි.

රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගැනෙන රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය මේ සතියේ ප‍්‍රකාශයක් නිකුත් කරමින්, රාජ්‍ය නොවන සංවිධාන විසින් පවත්වනු ලබන ප‍්‍රවෘත්ති සාකච්ඡා, වැඩමුළු, මාධ්‍යවේදීන් පුහුණු කිරීම් සහ ප‍්‍රසිද්ධ ප‍්‍රකාශ නිකුත් කිරීම් ආදී කටයුතු තමන් විසින් තහනම් කරනු ලබන බව කියා සිටියේ එවැනි තත්වයක් යටතේ ය. මේ ප‍්‍රකාශය පළ වන්නේ, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනෙන ‘ට‍්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල්’ සංවිධානය විසින් ගිය මාසයේ සංවිධානය කරන ලද මාධ්‍යවේදීන්ගේ වැඩමුළුවක් ආණ්ඩුව විසින් අවලංගු කිරීමෙන් අනතුරුවයි. එම අවලංගු කිරීමේ තීරණය විපක්ෂයේ සහ තවත් ක‍්‍රියාකාරී සංවිධානවල බරපතල විවේචනයට ලක්විය. එම විවේචනයන් තුළ එම අවලංගු කිරීම හඳුනාගනු ලැබුවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයටත්, නිදහස් මාධ්‍යයටත් එල්ල කළ ප‍්‍රහාරයක් වශයෙනි.

ඉහත සඳහන් ක‍්‍රියාකාරකම්වලින් රාජ්‍ය නොවන සංවිධාන වහා ඉවත් විය යුතු බව, රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලය චක‍්‍රලේඛයක් නිකුත් කරමින් කියා සිටියේය. එම ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ඞී. එම්. එස්. දිසානායක එවැනි රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරකම් හැඳින්නුවේ, ඒවායේ බල ප‍්‍රදේශ ඉක්මවා යාමක් වශයෙනි. තමන්ගේ ලේකම් කාර්යාලය යටතේ රාජ්‍ය නොවන සංවිධාන 1416 ක් ලියාපදිංචි වී සිටින බව පෙන්වා දුන් ඔහු, ඔවුන්ට පුවත්පත් සාකච්ඡා, මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ කටයුතු සහ මාධ්‍ය ප‍්‍රකාශ නිකුත් කිරීම තහනම් කරන බව මේ චක‍්‍රලේඛය හරහා කියා තිබුණි.

මෙය අත්තනෝමතික සහ ඒකාධිපති නියෝගයක් වශයෙන් විපක්ෂය විසින් හඳුන්වන අතරේ, රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවකින් පිහිටුවා ගන්නා ලද ‘සිවිල් සමාජ සාමූහිකය’, ආරක්ෂක අමාත්‍යාංශයේ එම නියෝගය නීති විරෝධී වන බවත්, එබැවින් එම නියෝගය නොතකා තමන් දිගටම කටයුතු කරන බවත් ගිය සතියේ කියා සිටියේය. ආරක්ෂක අමාත්‍යාංශයේ එම නියෝගය රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට මරු පහරක් වශයෙන් හඳුන්වන ඔවුහූ, භාෂණයේ නිදහසට සහ සමාගමයේ නිදහසට අයිතියක් රාජ්‍ය නොවන සංවිධානවලට ඇති බව පෙන්වා දෙති.

තවද, මේ නියෝගය ඉල්ලා අස්කර නොගතහොත්, තමන් අධිකරණය ඉදිරියට යන බවත් එම සංවිධානය කියයි. මේ අතර, රාජ්‍ය නොවන සංවිධාන ආණ්ඩුවට විරුද්ධව කි‍්‍රයා කරති යි යන මතය මත රාජ්‍ය නොවන සංවිධානවල ක‍්‍රියාකාරකම් අඩාල කිරීමට කාලයක් තිස්සේ දියත් වෙමින් ඇති වැඩපිළිවෙලක කොටසක් වශයෙන් මෙය හඳුනාගත යුතුව ඇතැ යි ද ‘නීතිඥ සාමූහිකයේ’ සභාපති, මානව හිමිකම් ක‍්‍රියාධර, නීතිඥ ජේ. සී. වැලිඅමුණ කියයි.

මෙසේ කිරීමට ආණ්ඩුවට තමන්ගේම වන හේතු තිබිය හැකි වෙතත්, සමාජයේ යම් කොටසකගේ හඬට මුකවාඩම් බැඳීම, එය මොන තරම් දිරවා ගත නොහැකි වෙතත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සහ රටේ යහපාලනයට හිතකර වන්නක් නොවේ. ඒ නිසා කළ යුතුව ඇත්තේ, සෑම හඬකටම කන්දීමට මහජනතාවට අවස්ථාව ලබා දීමයි. එවිට, හරි දේ කුමක් ද වැරදි දේ කුමක් දැ යි ඔවුන්ම තීරණය කරනු ඇත.

| 2014 ජුලි 12 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Let All voices be Heard නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්