සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යාපාරය විසින් ඊයේ(24) කොළඹ, නව නගර ශාලාවේ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් පැවැත් වීය. විශාල ජනතාවක් සහභාගී වූ එම සම්මන්ත්‍රණය, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, රාජපක්ෂ ආණ්ඩුව විසින් ඉරා දමන ලද 17වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවත ස්ථාපිත කිරීමත් මූලික තේමාව කර ගනිමින් පැවැත්වූ එම සම්මන්ත්‍රණය විසින් රාජපක්ෂ පාලනයේ හුස්ම හිරකරවන දර්ශනයක් වසර ගණනාවකට පසු දැක ගත හැකි විය.

එනම්, එම සම්මන්ත්‍රණය සදහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු හමුදාපති සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්බන්ධන්, රාජපක්ෂලා විසින් නීතිවිරෝධි ලෙස ධූරයෙන් පහකල ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික හෙළ උරැමය නියෝජනය කරමින් එහි නියෝජිතයන් ද එකම වේදිකාවක අසුන්ගෙන සිටීමේ දර්ශණය යි. රාජපක්ෂ ආණ්ඩුව උන්මාදයෙන් මෙන් රස බලන විධායක ජනාධිපති ක්‍රමයට විරැද්ධව, මැතිවරණයන් අභිමුව මෙසේ එකම වේදිකාවක මෙවන් පිරිසක් එකට හිදීම රාජපක්ෂ පාලනයට නම් සොදුරැ දසුනක් නොවනු ඇති.

මක් නිසා ද යත්, ලංකාවේ දේශපාලන බලය වෙනස් කිරීමේ කිසියම් ‘බලයක් සහිත‘ ප්‍රධාන දේශපාලන ධාරාවන් බහුතරයක් එකම වේදිකාව තුළ සිටීමය. හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා ත්, විපක්ෂ නායක රනිල් සහ දෙමල ජාතික සංධානයේ නායක සම්බන්ධන් යන ත්‍රිත්වයත් එකම සටන් පාඨයක් තුළ, එකට සිට ගැනීම ඓතිහාසික මෙන්ම ප්‍රභල සලකුණකි. අනෙක නම්, ප්‍රභාකරන් සාධකය කරමත තබා ගෙන මහින්ද රාජපක්ෂ බලයට ගෙන ඒමට කසකරැවන් වූ ජනතා විමුක්ති පෙරමුණත්, ජාතික හෙළ උරැමයත් මෙහි වාඩිලා ගැනීමත් වැදගත් ලක්ෂණක් සේම(විවේචන කප්පරක් තිබුණත්), දෙස් විදෙස් ප්‍රභල කතිකාවකට මූලික වූ ලංකාවේ අගවිනිසුරැවරිය වූ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායකත් මෙහි එක් පසෙක සීටීම ද, ලංකාවේ ප්‍රධාන සිවිල් සහ දේශපාලනික කණ්ඩායම්, පුද්ගලයින් බහුතරයක් එහි ‘පැමිණ‘ සිටීම ද රාජපක්ෂ පාලනයේ මනෝභාවයන් වලට දරා ගැනීමට නොහැකි සාධකයන් වන්නේ, රාජපක්ෂ ජනාධිපතිවරයාත් මීට වසර ගණනාවකට පෙර මෙවන් වේදිකාවල මෙසේම අසුන් ගෙන සිටීමේ අවසන් ප්‍රතිඵලය ඔහු අද භුක්ති විදින නිසාය.

සාධාරණ සමාජයක් සදහා වූ ජාතික ව්‍යපාරයේ නායක, සෝපිත හාමුදුරැවන් හෝ එම ව්‍යාපාරයේ මුඛ්‍ය අරමුණ ලෙස සටහන් වන සාධාරණ සමාජයක් වැනි පුරුෂාර්තයන් පිළිබදව වන දේශපාලන සාකච්ඡාව මදක් පැත්තකට තබා නිරීක්ෂණය කළහොත්, නව නගර ශාලාවේ ඊයේ දර්ශනය වූයේ ලංකාවේ ජනප්‍රිය දේශපාලනයේ කිසියම් ප්‍රභල සංඛේතීය අවස්ථාවකි. එම අවස්ථාව මනා ලෙස කළමනාකරනය කර ගැනීමට හැකි වුවහොත් සහ එහි සාකච්ඡා කරන ලද ශාස්ත්‍රීය මෙන්ම දේශපාලනික අදහස් ඉතාමත් ‘අව්‍යාජ‘ ලෙස දියුණු කරමින් පෝෂණය කිරීමට හැකි වුවහොත් ප්‍රජාතන්ත්‍ර විරෝධී රාජපක්ෂ පාලනයට දරාගත නොහැකි තත්ත්වයක් ලෙස එය සමාජ ගත වනු ඇති. එසේ වුවහොත් ඊයේ නව නගර ශාලාවේ දසුන නරඹා, නිදි නැතිව හූල්ලා සිටි රාජපක්ෂ පාලනයේ මුග්ධ හස්තයන්ගෙන් සාධාරණ සමාජයද එහි පුරවැසියන්ද ආරක්ෂා විය යුතුය. මක් නිසා ද රාජපක්ෂ පාලනය විසින් ඓතිහාසිකව පෙන්වා දී ඇත්තේ ‘රාජපක්ෂලාට විරැද්ධවීම‘ යනු රාජපක්ෂ නීතිය යටතේ ‘දඩුවම් ලැබිය හැකි වරදක්‘ නිසාය.

විශේෂ ලියුම්කරැවෙකු විසිනි

Image Credit: Twitter/ Azzam Ameen