(ඡායාරෑපය, නිමලරෑබන්ගේ මව)

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි

2009 මැයි මස යුද්ධය අවසන් කළ බව ආණ්ඩුව ප්‍රකාශ කර මාස 7ක් නික්ම යාමට මත්තෙන් එනම්, 2009 නොවැම්බරයේ 05වෙනිදා මිත‍්‍රයෙක් සමග යතුරු පැදියක ගමන් කරමින් සිටි ගනේෂන් නිමල්රූබන් වව්නියාව, වේප්පංකුලම් ප‍්‍රදේශයේදී සැකපිට පොලීසිය විසින් අත්අඩංගුවට ගක් අතර අවුරුදු 03ක් තිස්සේ වව්නියාව බන්ධනාගාරයේ රඳවා තබා ගත්තේය. 2012 ජූනි 29 බන්ධනාගාරයේ ඇතිවූ කලබලකාරී තත්ත්වයකින් පසු නිමලරෑබන්ව අනුරාධපුර බන්ධනාගාරයට මාරැකර යැවු බවත්, ඉන්පසු අනුරාධපුරයෙන්, මහර බන්ධනාගාරයට යවා තිබූ බවත් නිමලරෑබන්ගේ දෙමව්පියන් ප්‍රකාශ කර සිටි අතර පසුව ජූලි 07 වනදා රාගම රෝහලට රැගෙන ගොස් සිය පුතාගේ මිය ගිය සිරැර පෙන් වූ බවත් නිමලරෑබන්ගේ දෙමාපියන් පවසා සිටියේ 2012 ජූලි 09 වනදාය. මෙම සිදුවීම පිළිබදව නිමලරෑබන්ගේ දෙමවුපියන් එදවස විස්තර කළේ මෙසේ යි.

”එදින උදේ මහර පොලීසියට රැගෙන ගිහින් මගෙන් බොහෝ තොරතුරු විමසපු පොලීසිය ලිපි ගොනුවකට අත්සන් කරන ලෙස බල කළා. නමුත් අපි අත්සන් කළේ නැහැ.”

”එදිනම 10ට පමණ රාගම රෝහලට අපව රැගෙන ගියා. එවිට මට පොලිස් වාහනය තුළම සිටින ලෙස පැවසූ පොලීසිය, මගේ ස්වාමිපුරුෂයාව පුතාව බලන්න කියලා එක්කගෙන ගියා. පුතාව බලන්න ගිය මගේ ස්වාමිපුරුෂයා කලන්තෙ හැදිලා වාහනයට දානවා මම දැක්කා. මා සමග කතා බහක නිරත වී සිටි පොලිස් කාන්තා නිළධාරිනියවත් තල්ලූ කරගෙන මම ඇතුළට ගිහිල්ලා බැලූවා. එවිට මම මගේ පුතාගේ මළ සිරුර දැක්කා.”

මෙම සිදුවීම නිමලරූබන්ගේ පියා විස්තර කළේ මෙසේය,

”පුුතාගේ පපුව ප‍්‍රදේශයේ බොහෝ තුවාල තිබෙනවා මම දැක්කා. ඔළුවෙ සහ පපුවෙ ලේ ගලලා තිබුණා. අත් සහ කකුල් කඩලා තිබුණා. කකුල් දෙකම ගැට ගහලා තිබුණා. මළ සිරුරෙන් දුර්ගන්ධයක් පිටවුණා. පුතාගෙ ඇෙඟ් ඇදුම් තිබුණෙ නැහැ. සරමකින් මළ සිරුර වහලා තිබුණා.”

IMG_0414

බන්ධනාගාරය තුළදී පහර කෑමට ලක්ව මිය ගිය ගනේෂන් නිමලරෑබන් ගේ දේහය වත් ඔහුගේ දෙමාපියන්ට භාර දීමට බිය වූ රාජපක්ෂ පාලනය පසුව අධිකරණ නියෝගයක් ද සහිතව 2012 ජූලි 24 දින අවසන් කටයුතු සිදු කරන ලෙස දන්වමින් දේහය නිමලරෑබන්ගේ දෙමාපියන්ට භාර දුන්නේය.

අවසානයේ ගනේෂන් නිමලරුබන් වව්නියාව, නෙලුකුලම් පොදු සුසාන භූමියේදී මිහිදන් කල අතර අවසන් කටයුතු සිදුකරන ලද අවස්ථාවටද බිය වී සිටි රාජපක්ෂ ආණ්ඩුව පොලීසියේ සහ හමුදාවේ සන්නද්ධ නිළධාරීන් සහ සන්නද්ධ රථ විශාල ප්‍රමාණයක් නෙලුම්කුලම් අවට රදවා තැබුවේ ද එම බිය නිසා ය. කෙසේ නමුත් පසුව නිමලරෑබන්ගේ ඝාතනය පිළිබදව නීතිමය කටයුතු යම් ප්‍රමාණයකට සිදු වුවද මරණය සිදුකල ආකාරය වෙනස් කර ඔහුගේ දෙමාපියන් නොමග යැවීමට තරම් බලධාරීන් කටයුතු කර තිබිණි. නමුත් නිමලරෑබන්ගේ ඝාතකයා නීතිය හමුවට ගෙන ඒමට රාජපක්ෂ පාලනය හිතාමතාම කර ඇරියත් ඒ පිළිබදව සංවේදී වූ දේශිය සහ ජාත්‍යන්තර ප්‍රජාව ඝාතකයා කවුද යන්න දැනටමත් හදුනාගෙන අවසන්ය.

ඒ ඝාතකයා ගැන නිමලරෑබන් මිහිදන් කර මසකට පසු එනම් 2012 අගෝස්තුවේදී ‘විකල්ප‘ වෙත අදහස් දැක්වූ නිමලරෑබන්ගේ මව වන රාජේෂ්වරී මහත්මිය මෙසේ පවසා සිටියාය.

##

‘‘දෙවියො දඬුවම් දෙයි.’’ මරා දැමුණූ නිමලරූබන්ගේ අම්මා වේදනාවෙන් කියයි


නිමලරූබන් මිය ගියේ රිය අනතුරකින් නොවේ. වස්තුව කොල්ලකන්නට ගෙදරට පැමිණි සොරෙකු හෝ අපරාධ කරුවෙකු විසින් එල්ල කළ ප‍්‍රහාරයකින්ද නොවේ. ඔහුව හිතාමතාම මරා දැම්මේය. රෝහලේ කොනක තුවාලවල වේදනාවෙන් ජීවිතය ඉල්ලා කෑගසද්දී, හිතාමතාම මැරෙන්නට ඉඩ හැරියේය. ඔහු එල්.ටී.ටී.ඊ කාරයෙකි. මිලේච්ඡු ඝාතනයක් ගැන ඇතැමුන් හිත හදාගන්නට උත්සාහ කරන්නේ එසේ සිතමිනි. නමුත් ඔහුටම වෙන් වූ ජීවිතයක් විය. ඔහුට වෙන් වූ ආදරයක් විය. ඒ ඔහු මිනිසෙක් නිසාය. ලංකාවේ සිටින අන් මිනිසුන් මෙන්ම ජීවිතය පිළිබඳව නොයෙක් බලාපොරොත්තු පොඳිබැඳගෙන ජීවිතය ජයගන්නට පොර බැදි මිනිසෙකි. සිමෙන්ති ගොඩවල් තුළ, ග‍්‍රාම සේවක විභාගය, ලිපිකාර විභාගය තුළ, ටෙක්නිකල් කොලේජ් තුළ නිමලරූබන් ජීවිතය සෙව්වේය. සෙවිලි තහඩු, වැලි ගෙනවිත්, ජීවිතය ගරා වැටෙන්නට නොදී අළුත්වැඩියා කරන්නට ඔහු උත්සාහ කළේය. නමුත් ඔහුව සුරතල් කළ, ඔහු වෙනුවෙන් ජීවිතයේ බලාපොරොත්තු ගොඩනගා ගත්, ජීවිතයේ නොයෙක් වේදනා අමතක කර ඔහු වෙනුවෙන් ජීවත් වෙන්නට තීරණය කළ මිනිසුන් දෙදෙනක් තනි කර ඔහු මිය ගියේය. අද නිමලරූබන් නැත. ඔහු නිසා ජීවත් වෙන්නට හිත හදාගත් ඒ මිනිසුන් කුමක් කරනු ඇති ද?

[මේ ඒ මිනිසුන් දෙදෙනා පසුගිය දා ‘විකල්ප’ වෙබ් අඩවිය සමග නිමලරූබන්ගේ ජීවිතයත් ඔවුන්ගේ ජීවිතයත් ගැන කතාකළේ ඉතාමත් දුක්මුසුව ය.

මේ ඔවුන්ගේ කතාවයි. දකුණ නොඅසන, දකුණට නොඇසෙන කතාවයි.]


පුතාගේ මරණ පරීක්ෂණ වාර්තාව තවමත් ලැබුණේ නැහැ. පුතාව ගහලා තමයි මරලා තියෙන්නෙ. පුතාගේ මිනිය දැක්කාම අපිට ඒක තේරුණා. කකුල් දෙකම කඩලා තියෙන බව පෙණුනා.

ගෙදර ඉන්න කොට කිසිම රෝගයක් තිබුණෙ නැහැ. අත්අඩංගුවට ගත්තාම පුතාට බරපතල ලෙස ප‍්‍රහාර එල්ල කරලා තියෙනවා. පපුව ප‍්‍රදේශයෙත්, පිටෙත් බරපතල තුවාල තිබුණා. ඊට පස්සෙ ඩෙංගු රෝගය හැදිලා කටෙන් ලේ ආවා. ඒ මාසයේම පුතාව බන්ධනාගාරගත කළා. පුතාව නිදහස් කර ගැනීම සඳහා අපි හුඟක් වියදම් කළා. යාපනයේ තිබූ ඉඩම් සහ රත්තරන් භාණ්ඩ ආදිය විකුණලා පුතාව නිදහස් කරන්න උත්සාහ කළා. දැන් අපි ළඟ මොනවත් නැහැ. මේ අපේ ගේ දිහා බැලූවහම ඒක තේරෙනවා නේද?.

අපේ පුතා හොඳ පාසැල්වල ඉගෙන ගත්තෙ. යාපනයේ, වට්ටුයිකෝට්ෙටෙ දෙමළ පාසැලෙත්, අවතැන් වුණාට පස්සෙ වව්නියාවෙ කෙලෙමගල් පාසැලෙත් ඉගෙන ගත්තා. එයා රස්තියාදුකාරයෙක් නෙමෙයි. ජොබ් වලට අයදුම් කළා. තාත්තටත් බැරි නිසා මේසන් වැඩවලට උදව් වෙලා,,, දවසට රුපියල් 600ක් විතර හෙව්වා. ඒකෙන් ගෙදරට රුපියල් 500ක් විතර දුන්නා. අපිට හිටියෙ එක දරුවෙක් හින්දා අපි පුතාට බර වැඩවලට යන්න දුන්නෙ නැහැ. එයා ග‍්‍රාමසේවක විභාගයට, ලිපිකාර විභාගයට අයදුම් කරලා තිබුණා. පුතා වව්නියාවෙ ටෙක්නිකල් කොලේජ් එකටත් ගියා. එයාගෙ අධ්‍යාපන ලිපි ගොනු පවා අපි පොලීසියට පෙන්නුවා. ඒත් පොලීසිය එයාව නිදහස් කළේ නැහැ.

එක දවසකවත් ගෙදර හැර වෙන කොහේවත් එයා ඉඳලා නැහැ. දැන් අපිට එයා නැතිවයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. සෙල්ලම් කරන්න ගියත්, කොහේ ගියත් හවස හත වෙන කොට එයා ගෙදර එනවා. එයාව අත්අඩංගුවට ගත්තට පස්සෙ තමයි අපිට මේ තත්ත්වය උදා වුණෙ. අත්අඩංගුවට ගත්තාට කමක් නැහැ. සාක්ෂි පෙන්නලා දඬුවම් දෙන්න තිබුණා. ඒත් ඒ වෙනුවට මරලා දාන මේ ආණ්ඩුව දැක්කාම මිනිස්සු බය වෙනවා. ආණ්ඩුව මොනව කරයිද කියන බයෙන් තමයි හැමවෙලේම ජනතාවට ජීවත් වෙන්නෙ. නීතියක් නැති ආණ්ඩුවක්නෙ.

අපි තුන් මාසෙ දානෙ දෙනකන් ඉන්නෙ. ඊට පස්සෙ අපි දිවි නසාගන්නත් පුළුවන්. අපිට ඉන්න බැහැ. අපිට පුතා නැතිව ජීවත් වෙන්න බැහැ. පුතා නැතිව මිනිත්තුවක් වත් අපි ජීවත් වුණේ නැහැ. ජීවත් වෙනවා කියලා අපි මේ විඳින්නෙ දුකක්. පුතාව දකින්නෙ නැතිව ඉන්න එක අපිට ඇස්දෙක නැතිව වගේ. අපිට කන්නත් බැහැ. හොඳ ඇඳුමක් අඳින්නත් බැහැ. අපි පුදුම දුක්බර ජීවිතයක් ගත කරන්නෙ. අපිට මොකටද මේ ජීවිතේ? පුතා වෙනුවෙන් තව යුතුකමක් තියෙනවා. ඒක ඉවරවෙලා අපි ජීවිතය ඉවර කර ගන්නවා.

අපි දැන් වයසයි. මිනිස්සුන්ටත් බරක් නැතිව, පොළොවටත් බරක් නැතුව අපි අපේ පාඩුවෙ තීරණයක් ගන්න හිතාගෙන ඉන්නෙ. අවුරුදු 27 වෙනකම් මගේ අතේ පුතා ජීවත් වුණෙ. ඇඳුමක් හෝදන්න දන්නෙ නැහැ. පිඟානක් හෝදන්න දන්නෙ නැහැ. හැමවෙලේම අම්මා…, අම්මා…. කිය කියා ඉන්නෙ. තාත්තටත් හරිම ආදරෙයි. එයා අම්මගෙත්, තාත්තගෙත් හුරතලා. අත්අඩංගුවට ගත්ත දවසේ ඉඳන් හැමදාම මම කෑම ගිහින් දුන්නා. බන්ධනාගාරයට ගිය ගමන් දුවලා ඇවිත් කෑම ඉල්ල ගන්නවා. එයාට කෑම දීලා ආවට පස්සෙ තමයි අපි කන්නෙ.

දැන් අපිට කිසිම ආදායමක් නැහැ. ජීවත් වුණත් අනුන්නට අත පාලා තමයි ජීවත් වෙන්න සිදු වෙන්නෙ. ගේ ඇතුළට ගියාම ඇඬෙනවා. අපි දෙන්නට මොකක් හරි ලෙඩක් හැදිලා ඇඳේ වැටුණොත් අපිව බලන්න කවුද ඉන්නෙ? බලන්න මේ ගෙදර හැටි. පුතා ගේ හදන්න ලෑස්ති වුණා. පුතා ගත්ත වැලි, සීට් මේ තියෙන්නෙ. පුතා එලියට ආවම කසාදයක් කරලා දෙන්නත් හිතාගෙන හිටියෙ.

එදා මගේ පුතාගේ මළසිරුර දැකපුවහම අපේ ජීවිතේ අපිට අමතක වුණා. පුතාට පපුවෙ අමාරුවක් තියෙනවා, ඒකට වෙනත් රෝහලකට මාරුකරන්න අපේ අත්සන ඕනෙ කියලා තමයි, අපිව එදා අරගෙන ගියේ. අපිව එහෙ එක්කගෙන ගියාම ගඳක් ආවා. ඒ කියන්නෙ පුතා අපි යන්නත් දවස් කිහිපයකට පෙර තමයි මැරිලා තියෙන්නෙ. අපි සිංහල වුණත්, දෙමළ වුණත්, මුස්ලිම් වුණත් මනුස්සයො. දෙවියන් දඬුවම් දෙයි. වයසට ගිය අම්මා කෙනෙක්ටයි, තාත්තා කෙනෙක්ටයි තමන්ගෙ එකම පුතා අහිමි කරපු අයට දෙවියො දඬුවම් දෙයි.

@VIKALPA