Not that I loved Caesar less, but that I loved Rome more

පසුගිය බ‍්‍රහස්පතින්දා ලංකාවේ සිය`ථ විපක්‍ෂ එක් පියස්සක් යටට රැස්විය. රැස්වුනා නොවේ. රැස් කෙරුණාය. ඊට මුල්වුණේ දේශපාලනඥයෙකු නොවේ. බෞද්ධ භික්‍ෂුවකි. උන්වහන්සේ නමින් මාදුලුවාවේ සෝබිත හිමියන්ය. වර්තමාන භික්‍ෂු සමාජය බුද්ධ කාලයේ මෙන්ම සංකීර්ණ එකකි. බුදුන් වහන්සේ දරමාන අවදියේත් ද්වංගුල කප්ප සිංගිලෝන කප්ප ආදි ලෙස සංඝ විනයට අනනුකූල පටිපදා දෙසමින් සමාජ ආලෝලන ඇති කළ ඡුබ්බග්ගිය ව්‍යාපාර දක්නට ලැබිණ. අදත් බුදුන් සරණ නොව අබ සරණ ආදි ලෙස නව තුන් සරණක් දෙසන සමාජ විලෝ්පකයන්ට සග සසුනේ මතු නොව බෞද්ධ සමාජයේත් පුලුල් වපසරියක් හිමිවී ඇත. ඒ හරහා සංඝ විනයට මතු නොව සමාජගත සාධු සම්පන්න කතිකා සම්මුතින් විනාස වීම ගැන කතිකාවත් පැන නැගි ඇත. ‘‘අනේ හාමුදුරුවනේ මම නම් තෙරුවන් සරණ මිස අබ සරණක් ගැන දන්නේ නැත‘‘ යයි කෙහෙළීය රඹුක්වැල්ල ඇමතිවරයාට එක්තරා භික්‍ෂු පිරිසකට කියන්නට සිදු වුනේ ඒ නිසාය. එසේම තුන් සරණ යටපත් කර ආමිෂ ලාභ අපේක්‍ෂා කරන භික්‍ෂුන් අතර, සමාජ යහපත වෙනුවෙන් කි‍්‍රයා කරන භික්‍ෂුන්ද දැකගත හැකිය. එදා නව නගර ශාලා ජන රාශියට මුල පිරුවේ ධර්මධර භික්‍ෂුවකි.

ඒ කොළඹ නව නගර ශාලා ජන රාශිය තවමත් අද දවසට අයත් සංසිද්ධියකි. රට අපේක්‍ෂා කරන පලදායි හෙට දවස තවමත් උදාවි නැත. ඒ හෙට දවස කෙසේ වේද? ඊට දිය හැකි උත්තරයත් හෙට දවස නමින් හැඳීන්වෙන අනාගතයට භාර වගකිමකි. හේතුව ගිවිසුමක්ද නොවන තර්ජනයක්ද නොවන නව නගර ශාලා ජන රාශිය පලදායි මානව හිතකාමි කතිකාවක් වන නිසාය. ඊට එරෙහිව බොහෝ හතුරුකම් කි‍්‍රයාත්මක විය හැකි ය. ඒ කියන්නේ උගුල් ඇදීමෙන් බොරු වලවල් කැපිමෙන් උනුන් කෙටවීමෙන් මේ සමගිය විනාශ කළ හැකිය. වෙනස් කළ හැකි බවය. එසේම වෙනස් විය හැකිය. මේ කියන සම්මුතිය, නව නගර ශාලා ජන රාශිය රට ගැන හිතන සද්භාවි ජාති හිතෛශී අවංක මිනිසුන්ට නම් ආශ්වාදනීය එකමුතුවකි. ප‍්‍රගතිශීලි අපේක්‍ෂාවකි. මේ උත්සාහ කරන්නේ ගෙඩිය පිටින් කන රට වනසන මරාලය උගුල අකි‍්‍රය කිරිමටය. හෙවත් විධායක ජනාධීපති ක‍්‍රමය පඳුර පිටින් ගලවා මුහුදට විසි කිරීමය. ඒ හරහා කිසිදු පුද්ගල පරාජයක් විනාශයක් අපේක්‍ෂා නො කෙරෙයි. එහෙත් බඩ ගෝස්තර වාදි අවස්ථාවාදින් මේවා දකින්නේ නපුරක් විනාසයක් අභග්‍යක් ලෙසය. එවැනි නරුමයන් මෙබඳු අවස්ථා පාවා දුන් දිය කර හැරිය අවස්ථා ඉතිහාසයේ බොහෝ වෙති. මෙය ශේක්ෂ්පියර්ගේ ජූලියස් සීසර් නාට්‍යය වාගේය.

පාවා දීම් වලින් ඉතිහාසය කැත කළ බොහෝ ද්‍රෝහින් වෙති. ඔවුන් කෙටි කලක් බලවතුන් ලෙස දිලිසී සිටියාහ. ඒ දිලිසීම කලත්තෑවේ සොයිසා දිලිසුනා වාගේය. උතුවන්කන්දේ සරදියෙල් දිලිසුනා වාගේය. එහෙත් ඉතිහාසයේ ප‍්‍රවාහයට ඔවුන් ගොදුරක් වීම නම් ඉර පායනවා වාගේය. බල ලෝභී දේශපාලනය හැමදාම හැමවිටම පවතී. එහෙත් ඒ අහිතර අපි‍්‍රය හරසුන් බලවේග එක දවසක බලලෝභීන්ගේ නහයට උඩින් ගලනවාය. ඉතිහාසය වාර්තා කළ ආකාරයට බැස්ටිලය දෙදරා ගොස් රජ පවුල් පිටින් හැඳි ගෑවුනා වාගේය. ලිබියාවේ ගඩාපි බෝක්කුවක් යට සැ`ගවුනා වාගේය. මාර්ක් ඇන්ටනී කෑමට බීමට ගිජු සෙල්ලක්කාරයෙකි. ඔහු නිතර තමන් ගැන සිතූවෙකි. එහෙත් සත්‍ය දැන සිටි රෝම කාරයෙකි.

ලංකාවේ වාමාංශික ව්‍යාපාර එසේ ඇහවි යාම අපි මෙහිදී උදාහරණයට ගනිමු. ලංකාවේ වාමාංශීක ව්‍යාපාරය බිහිවුනේ 1935 වසරෙහිය. 1947 ලංකාවේ පළමු පාර්ලිමේන්තු මැතිවරණය අවසන් ව අවසාන ප‍්‍රතිපලය නිකුත් වන විට දහදිය දැම්මේ ඩි.එස්. සේනානායකටය. ඔහුගේ සියලු සිහින බොඳ වෙමින් පැවතිණ. වෙස්මිනිස්ටර් ක‍්‍රමයේ ආණ්ඩුවක් පිහිටුවිමට අවශ්‍ය සරල බහුතරය හෝ ඔහුට ලැබි නො තිබිණ. මේ අවස්ථාවේ රාජනිතිඥ එච්. ශී‍්‍ර නිශ්ශංක ලංකාවේ සමජවාදි ආණ්ඩුවක් නිර්මානය කිරීමේ හැකියාව ගැන අපේක්‍ෂා දල්වා බලා සිටියේය. ඔහු ඒ වනවිට කුරුණෑගල පාර්ලිමේන්තු මන්ති‍්‍ර වරයා විය. නිදහස් ලංකාවේ පළමුවන පාර්ලිමේන්තුවේ බලය සමාජවාදින්ට අත්පත් කර දිමට ඔහු ගත් යෝධ උත්සාහය සුප‍්‍රකට යමුනා සාකච්ඡා නමින් දේශපාලන ඉතිහාසයේ රන් අකුරෙන් ලියවි ඇත. එහෙත් අපේ වාමාංශීක නායකයන්ට එදා ගෙඩිය පිටින්ම ගෙන ලෙලි නොගසා පොතු පිටින් ගිලීමේ රෝගය වැළඳී තිබිණ. යමුනා සාකච්ඡා බිඳ වැටුනේ ඒ නිසාය. ලෝක පුජිත ඩබල් දොස්තරලා පෙරළා ගෙන පාසලේ තුනේ පන්තිය තෙක් අධ්‍යාපනය ලද කැලෑ ජෝන් හෙවත් ඩි.එස්.සේනානායක ලංකාවේ පළමුවෙනි අගමැති වෙන්නේ එහෙමය. එහෙම වුනේ රාජ නීතීඥ එච් ශී‍්‍ර නිශ්ශංකගේ නිරාමිස උත්සාහය විනාශ කරමිනි.

ඞී.එස්.සේනානායක කළ වික‍්‍රමය සහ එහි ප‍්‍රතිපල ඔහුගේ කෝනයෙන් බෙහෙවින් විශිෂ්ඨ එකකි. ඒ හරහා හෙතෙම ලංකාවේ වාමාංශික ව්‍යාපාරය දඬු කඳේ ගසා අඩපන කිරීමට සමත් විය. කිසි දවසක ලංකාවේ වමේ ආණ්ඩුවක් ඇතිවන ඉඩකඩ ඇහිරුණේ සමහර විට එදා වාමාංශීකයන් කළ පාප කර්මය නිසා වන්නට ඇත. නැවත වාමාංශික බලවේග කිති කැවී නැගිටින ඊළග දවස නිර්මානය වන්නේ 1963දීය. ලාංකේය සම සමාජ ව්‍යාපාරයේ ඉතිහාසය ගැන කතා කළ හැම විටෙකම එහි ධුරාවලිය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා විස්තර කළ පරිදි, පිලිප්, ලෙස්ලි, ඇන්.ඇම්. ආදි ලෙස කියැවේ. එහෙත් 1963 වනවිට මේ ති‍්‍රත්වය සමසමාජ ව්‍යාපාරයට ආභරණයක් වුනේ නැත. විවිධ යටි කූට්ටු වැඩ නිසා ඊට ආවේනික ජවය පමණක් නොව එහි පුරෝගාමින්ද 1963 වනවිට එකී ව්‍යාපාරය තුල දක්නට නො වීය. බොහෝ යථාර්තවාදිහූ මේ තුන් පූට්ටුව එකට ගැට ගසා කොටු කර රටට යහපත් පදනමක් ගොඩ ගැනිමට මහා වෑයමක් කළහ. 1963 මැයි පළමුවෙනිදා ඒ බලාපොරොත්තුව කූඨ ප‍්‍රාප්ත වී යයි සමකාලින ප‍්‍රගතිශීලිහු කල්පනා කළහ. ලංකාව අවදිකරවමින් මහා ජන ගංගාවක් පෙරටු කළ වාමාංශීක එක්සත් පෙරමුණ නිර්මානය විය. එහි සංයුතිය නායකත්ව මණ්ඩලයකින් සමන්විත විය. එය පිලිප් ඇන්.ඇම්. සමග ලෙස්ලි වෙනුවට එස්. ඒ. වික‍්‍රමසිංහ තිදෙනාගේ සහභාගිත්වයෙනි. එහෙත් ඒ නැගී එන පොදු ජන බලවේග ගැන සිරිමා බණ්ඩාරනායකට වඩා වෙව්ලා ගියේ උපන් ගෙහි වාමාංශිකයෙකුවු ටී.බී. ඉලංගරත්නය. ඔහු ආදරය කළේ රටේ නව බලාපොරොත්තුව වූ ශී‍්‍රලනිපයට මිස සාම්ප‍්‍රදායික වමට නොවේ. මේ ඓතිහාසික විශිෂ්ඨ එකතුව දියකර හැරිමේ කපුවා වුනේ ටී.බී. ඉලංගරත්නය. කපුකම සාර්ථක විය. එහි පළමු නිල සාකච්ඡාව ගැන පිලිප් ගුණවර්ධන දැන ගත්තේ ලේක් හවුස් පත‍්‍ර වලිනි. ඇන්. ඇම්. සමසමාජය ප‍්‍රමුඛ පිරිස සිරිමා බණ්ඩාරනායක සමග සන්ධාන ගතවිය. අද ස්වකීය අනන්‍යතාවය සිඳගත් ශී‍්‍රපනිපය එදා රැුකුණේ ආරක්‍ෂා වුනේ පන ගැට ගසා ගත්තේ ඒ කි‍්‍රයාදාමය නිසාය. මේ විධග්ධ දේශපාලනඥයන් කළ පාවාදිම අනුව පිලිප් දේශපාලන අනාතයෙකු වුනා නොවේ. අනාතයෙකු කළ බව සටහන් කිරිම නිවැරදි තක්සේරුවකි. පිලිප් සමග හුදෙකලාවු මහජන එක්සත් පෙරමුණ සමග අදටත් දිනේෂ් ගුණවර්ධන ඒ හුදෙකලාව භුක්ති විඳියි. ඔහු නැංගුරම් ගලවා යහපත් තොටකට යාත‍්‍රා කළ යුතු යයි පසුුගිය සතියේ උරගල විසින් ආරාධනා කළේ ඒ නිසාය.

ලාංකේය දේශපාලන ඉතිහාසයේ තෙවන බිඳ වැටීම කුමන්ත‍්‍රණයක් නොවේ. නොදන්නාකමේ ප‍්‍රතිපලයකි. එයද මෙහිදි වැදගත්ය. ඒ ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂය දියවි යාමය. විජය කුමාරතුංගගේ ජනපි‍්‍රය මානව හිතවාදි හැඩය ශ‍්‍රී ලංකා මහජන පක්‍ෂයේ ජීවය අඩිතාලම වුනාට සැක නැත. එහෙත් ඔහු සිය නො මුහුකකුරා ගිය එමෙන්ම අපරිනත භාවය නිසා ඉලංගරත්න වැනි ප‍්‍රවීනයන්ට පවා දේශපාලනය එපා විය. ඒ ව්‍යාපාරය දියවුණේ එසේය. මේ විස්තර කළ අවස්ථා සියල්ලම රටේ නැම්මක් ඇති කිරිමේ සියලු සාධක ඒකරාශීවූ අවස්ථා වෙති. එහෙත් ඒ හැම අවස්තාවකම අවස්ථාවාදය බල ලෝභය සහ පණ්ඩිතකම් නිසා එකී ව්‍යායාමයන් බිඳ වැටිණ. ඒවා බලවේග නොවී කතාන්තර පමණක් වෙමින් ඉතිහාසයේ සටහන් පමණක් බවට පත් විය.

මේ අත්දැකීම් හරහා පසුගිය බ‍්‍රහස්පතින්දා නව නගර ශාලා ජන රාශියේ අපේක්‍ෂා බෙහෙවින් තියුණුය. එකි අපේක්‍ෂා වෙන කවදාටත් වඩා ප‍්‍රබල ලෙස රටට අවබෝධ කර දිය යුතුව ඇත. 1947ටත්, 1963ටත්, 1983ටත් වඩා අද රට වෙනස්ය. එ දවස මේ රටේ මිනි මරා ස්තී‍්‍ර දූෂණය කර බේරී යා හැකි පාලන රටා නො පැවතිණ. එදවස නඩුවක් අසා තීින්දුව දෙන තෙක් රටේ මිනිස්සු බලා සිටියේ නැත. නැවත සිද්ධිය මතක් වුනේ තීන්දුව දුන් පසුවය. බලය බෙදීමේ සංකල්පය අනුව අධිකරණය තමන්ගේ පාඩුවේ රාජකාරිය කරන බව රට දැන සිටියහ. අද මෙන් හිරේ වැටුන එකාගේ මුහුණ තොප්පියෙන් වසා දැම්මේ නැත. අධිකරණය ගැන සැකෙන් බැලූවේ නැත. අද එසේ නොවේ.

ශී‍්‍රලනිප නායක බණ්ඩාරනායක දූෂණයට භිෂණයට එරෙහි පෞරුෂයකි. අගමැති බණ්ඩාරනායක සිය සගයන්වූ සොයිසාලා මරික්කාර්ලා මොන්නෑකුලමලා අල්ලස් දැලට අසුවන හැටි දෑත් බැඳ බලා සිටියා මිස ඊට අත පෙව්වේ හෝ ඔවුන් රකින්නට ගියේ නැත. සිය සගයන් මන්තී‍්‍රකම් අහිමිව හඬා වැළපෙමින් ගෙදර යන හැටි ඔහු සාවධානව බලා සිටියේය. එසේ නැතිව නිතියට අත පෙව්වේ නැත. ස්තී‍්‍ර දූෂකයන් හොරුන් බේරන්ට ගියේ නැත. වර්තමානයේ ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය එවැනි යහගුණ ගැන උදම් ඇනිය නොහැකි තැනක සිරවී ඇත. ඒ අතින් ගත් කළ නව නගර ශාලා ජන රාශිය සහතික කරන්නේ විධායක ජනාධීපති කමේ අවසානය පමණක් නොවේ. ශී‍්‍රලනිපයේ අනන්‍යතාවය ගරුත්වය ආරක්‍ෂා කරන ගමනක ආරම්භයද එයම විය හැකිය. එජාපයේ ධනපතිකමට එම්ප‍්‍රාදෝරුකමට ඥාති සංග‍්‍ර‍්‍රහයට එරෙහිව ඉතිහාසය අපේක්‍ෂා කළ බලාපොරොත්තුුව ශී‍්‍රලනිපය බවට සැක නැත. එය නැවත මේ රටේ සාමන්‍ය මිනිහාගේ අයිතිය බවට පත්වන දිනය නව නගර ශාලා ජන රාශිය විසින් උදා කරනු ඇත. 1951 අගෝස්තු 21 දින ශී‍්‍රලනිපය උපන්නේත් කොළඹ නව නගර ශාලාවේදිය. එපමණක් නොවේ. ඉහතින් කී පරිදි විධායක ජනාධීපති ක‍්‍රමය අහෝසි කළ පසුව නීතිය ස්වාධීන වනු ඇත. රජ කරනු ඇත. පාර්ලිමේන්තුව රට ආණ්ඩු කරනු ඇත. මෙහිදී ජූලියස් සීීසර් නාට්‍යයේ මාර්ක් ඇන්ටනී මෙන් දේශපාලන සහ පුද්ගලික චර්යාව නිස්සරණාධ්‍යාසයෙන් යුක්ත අපූර්ව පුද්ගලයා ඉස්මතු වනු ඇත.

අද ආණ්ඩුවේ මිහිඳු පෙහැරේ මුුහුණු දෙකක් සහිත මහ බබාගේ කෝලමට විමල් වීරවංශ තේරී සිටියි. මහබාගේ කෝලම යනු සබරගමු සමන් දේවාල පෙරහැරේ විචිත‍්‍ර අංගයකි. එහෙත් ඒ පෙරහැරේ ගිනි මුට්ටි හිසින් ගෙන ගිනි බෝල කැරකවීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ නැට්ටුවන් නොපැමිණෙන්නට ඉඩ ඇත. හේතුව ඊළග මහා ඡන්දයේ තේමාව විධායක ක‍්‍රමය අහෝසි කිරිම වූන නිසාය. ගිලන්වූ විධායක ජනාධීපති ක‍්‍රමය සුවපත් කරන්නට තැන තැන කෙරෙන කෙම් පහන් බොහෝය. මේ ලෙඩා ගොඩ දාන මහ බලිය ලබන වසරේ මුල් කාර්තුවට නම නියම කර ඇත. එදාට ආතුරයා වෙනුවෙන් හිස රෙද්දකින් වසාගෙන මහ ඇදුරා දුම්මල ගසන විට කෙනෙකු ආයුබෝවේවා කියන්නට ශී‍්‍රලනිපයේ උරුමක්කාරයන් සහභාගි වේද? කිසි දවසක කුඩු කසිප්පු සෝලියක් තබා ගංජා කාරයකු හෝ බේරා ගත්තා යයි ගමේ ශී‍්‍ර ලංකා කාරයාටවත් කිසිවෙකු ඇගිල්ල දිගු නොකරති. එහෙත් වර්තමාන ආණ්ඩුවේ අගමැතිට කුඩු සෝලියක් නැගිණ. සිංහල මහජන පක්‍ෂයේ හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර කාටදෝ එරෙහි සිය කුඩු නඩුව අත් නොහැර ගෙන යති. එහෙම කළේ යුඇන්පිය හෝ ශී‍්‍රලනිපය නොවේ. ජාතික හෙළ උරුමය සහ සිංහල මහජන පක්‍ෂය විසිනි. එදා ජාතික හෙළ උරුමයත් නව නගර ශාලා ජන රාශීයෙහි සිටි බව වාර්තා විය. චන්ද්‍රිකා බණ්ඩාරනායකත් එහි විය. ඇයට බොහෝ් අවලාද නැගූ වික්ටර් අයිවන්ද එහි විය. හිරුනිකා පේ‍්‍රමචන්ද්‍ර මාදුලූවාවේ හාමුදුරුවන්ගේ ව්‍යපාරයේ පළමු රැස්වීමේ කථිකයෙකි. නව නගර ශාලාවේ ජන රාශීය ගැන ආණ්ඩුවේ කෙනෙකු මෙසේ ඇසීය. ඇයි චන්ද්‍රිකාට දැන්ද මතක් වුණේ එදා කරන්නට තිබුණේ නැද්ද? ලැබුණ උත්තරය මෙසේය. වසර 2000දී ගෙනා පනතට ගිනි තිබ්බේ රනිල්. හාමුදුරුවෝ කියන්නේ ක‍්‍රමය වෙනස් කරන්නට මහිින්දටත් පුලූවන් කියලා. දෙවැන්නා දුන් උත්තරය එසේය.

‘‘චන්ද්‍රිකා බණ්ඩාරනායකට බොහෝ් අවලාද නැගූ වික්ටර් අයිවන්ද එහි විය.’’ යනුවෙන් මේ ලිපියේ ඉහතින් තැනක දැක්වේ. වික්ටර් අයිවන් මාධ්‍ය වේදියෙකි. ග‍්‍රන්ථ කර්තෘ වරයෙකි. චෞර රැුජින නම් කෘතිය ඔහුගේය. ඔහු සිය පොතක ජේ. ආර්. යුගයේ ප‍්‍රකට සිද්ධීන් උපුටා දක්වයි. එකක් දරමිටිපොල රතනසාර හාමුදුරුවන් පොලිස් අධීකාරි පේ‍්‍රමදාස උඩුම්පොලට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් නඩුවය. එහිදී වරදකරුවූ පොලිස් අධිකාරි වරයාට නියම කළ වන්දි මුදල ජේ.ආර්. රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ගෙවිය. විවියන් ගුණවර්ධනගේ මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකාර පොලිස් නිලධාරියා වරදකරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්ගේ නිවෙස් අසල ජනතාව පෙළපාලි පැවත්වීය. එකී විනිසුරුවන්ගේ ආරක්‍ෂාවට පොලිසිය පැමිණියේ නැත. හරියට අලුත්ගම අබසරණ නාට්‍ය වාගේය. රටෙන් අඩක් විධායක ක‍්‍රමය අහෝසි කරව් කියන්නේ මේවා දැක දැකය. එසේම මහින්ද රාජපක්‍ෂ, ශිරාණි බණ්ඩාරනායක සමග ගනුදෙනු කළ ආකාරය අලුත් කතාය. එදා රනිල් වික‍්‍රමසිංහ පාර්මේන්තුව උත්තරීතරය කීමත් අමුතු කතාවකි. ඒ ආණ්ඩුවට තල්ලූවක් හැටියටය. ඒ ප‍්‍රකාශය ලැටිමෝ හවුස් කතාවෙන් අවලංගු වුණේ නැත. 17 අහෝසි කර, 18 ව්‍යවස්ථාවට එකග බවට තීන්දු කළ ශිරාණී බණ්ඩාරනායක එහිම ගොදුරක් වෙන්න වැඩි කල් ගියේ නැත. මේ වනවිට චන්ද්‍රිකා, රනිල් ශිරාණී බණ්ඩාරනායක වික්ටර් අයිවන් ජාතික හෙළ උරුමය ආදි සියලු ප‍්‍රපංචයන් නව නගර ශාලා ජන රාශයේ කොටස් කරුවන්ව සිටිති. මේ එළඹී ඇත්තේ පළමු ගල ගසන සුද්ධ වන්තයා හෝ විශිෂ්ඨ දුෂ්ඨයා තෝරන මොහොත නොවේ. කළ යුත්තේ විධායක ජනාධීපති ක‍්‍රමය විසින් උල තබා ඇති ලංකාව මුදවා ගැනීමය. සීීසර ඝාතනයෙන් පසුව රෝම පුර වැසියන් අමතන බෲටස් මෙසේ කියයි. (Not that I loved Caesar less, but that I loved Rome more) සීසර් ඝාතනය කළේ ‘‘සීසර්ට අඩුවෙන් ආදරය කළ නිසා නොවේ. රොමයට වැඩියෙන් ආදරය කළ නිසාය.’’ ඒ කියන්නේ උදේ හවා මතුරන මාතෘ භූමියට අප වඩාත් ආදරේ කළ යුතු බවය.


නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න