එක්තරා දූපතක මහරජ කෙනෙක් ඉතාමත් දුෂ්ඨ පාලනයක් ගෙන ගියේ ය. ඔහුගේ ජාතියේ නොවන වෙනත් ‘ජාතියක‘ වැසියන් විසින් අනෙක් වැසියන්ට හිමිවන දේවල් තමන්ටත් අවැසි බව කියමින් මහරජගේ රටේ පාලනයට එරෙහි විය. මහරජ ඔවුන්ට දුන්නේ ඒ ‘අයිතීන්‘ වෙනුවට මරණයයි. ඒ පමණක් නොව, ඒ මරණයන් ගැන ලෝකෙට කියාපු පුරවැසියනුත්, ඒ මිනිසුන් මරා දමන හැටි ලෝකෙට පෙන් වූ පුරවැසියන්ටත් හිමි උනේ මරණයයි. නැතිනම් ඒ දූපත හැරදා වෙනත් දූපතක් හොයාගෙන යන්නටයි. එසේත් නැති නම් ඇවැසි පරිදි රජගේ කටුලෙවකන රාජපුරැෂයන්ගෙන් ගුටි කන්නටයි. එසේත් නැති නම් මහරජ සහ රජපවුල පමණක් දන්නා එම දූපතේම තිබෙන ‘අතුරැදහන් දූපතේ‘ ජීවිත කාලයම දිවි ගෙවන්නටයි.

එහෙවු දූපතක මහරජාට අපූරැ ඇබැද්දියක් සිදු විය. එය මහරජා විසින් හීනෙන් වත් නොහිතපු ඇබැද්දියකි.

ඒ කතාව නම් මෙසේ යි.

එක්තරා ගැහැණු මනුස්සයෙක් ඒ දූපතේ විසුවාය. ඇය විසුවේ ඇගේ එකම පුතනුවන් ද සමගය. ඇගේ සදාදර සහකරැවා එම දූපත පාලනය කල වෙනත් පාලකයෙක් ගේ සමයේ හොරකන් කර ගෙන ගොස් මරා දැම්මේය. ඒ මීට අවුරැදු 25කට පමණ ඉහත දී ය. නමුත් පුදුමයක මහත නම් ඒ මරා දාපු කිසිදු යමපල්ලෙක් මේ වන තුරා හොයා ගන්නට නොහැකි විය. ඒ ගැන මේ ගැහැණිය හිටියේ හිතේ පුපුරා යන ගින්දරිනි. වේදනාවෙනි.
දවසක් උදාවිය.

එය නම් මහරජ පාලනය කරන මේ දුෂ්ඨ පාලන කාලය තුල, අර මරා දාපු මනුස්සයාගේ නමින් මාවතක් නම්කරමින් එය විවෘත කරන්නට මහරජතුමා පැමිණියේය. ඒ උත්සවයට අර මරා දාපු මනුස්සයාගේ බිරිද ද පැමිණි යා ය. නමුත් රජතුමාට එම මාවත විවෘත කරනවාට වැඩිය වෙන මොකද්දෝ හදිසියක් තිබුණේය. ඒ නිසා තදියමේම මාවත විවෘත කළ මහරජතුමා යන්නට හැරැණේය.

මහරජතුමනි, පොඩ්ඩක් ඉන්න‘ මරාදාපු මිනිසාගේ ආදරණිය බිරිද රජතුමා ඇමතුවාය.

මහරජ නතර විය.

මහරජ, මගේ මිනිහා මරා දාපු උන් ඔබතුමාගේ ඔඩොක්කුවේ‘ කාලයක් හිර කරන් හිටි වචන දොරේ ගැලුවේය.

රජතුමාට හීං දාඩිය දැම්මේ ය. රජවාසල අසූචි හෝදන ‘හඩු‘ පුරැෂයෙක් අසල සිට මහරජට පවන් ගැසුවේ ය. ඒ පවන් වල සුළගින් ද හමා ඇවිත් තිබුණේ ලේ පුසුබය.

පසුව මහරජ කිසිවක් නොකීවේ ඒ කතාව ඇත්ත නිසාලු. ඒත් මහරජට කිසිදු ලැජ්ජාවක් ඇති වූයේ නැත. සුපුරැදු ලෙස අත්හෝදාගෙන මාලිගාවට ගොස් මද පමණට සප්පායම් වී යහන් ගත වුවාලු!

වසර 25කට පෙර මරා දාපු මිනිසාගේ ‘දිරිමත් ගැහැණිය‘ මෙන් දහස් ගානක් ගැහැණු පැමිණ ‘මහරජ උඹ මගේ මනුස්සයා මැරැවා, මගේ දරැවා මැරැවා‘ යැයි කියනු ඇසෙන්නට වූ හෙයින් තවත් ටිකක් සප්පායම් වී සිරියහන යටට වී නිදන්නට උනාලු.!

පසුදා වෙනත් දූපතකින් පැමිණී තවමත් කෑලෑ නීතියෙන් රජකරන, අමු මස් බුදින, දියණියන්ගේ කන්‍යාබාවය සොයා යන, තවත් මෘග රජකෙනෙක් මෙසේ ඇසුවාලු.!

‘‘ඇත්තටම ඕයි, තමුසෙට ලැජ්ජා නැද්ද?‘‘

Black
කතාව | Story
: වෙනත් දූපතක පුරවැසියෙක් විසිනි.