නව දැක්මක් ඉල්ලා ඉකි බිඳින අපේ සිනමාව

Image Credit: @IFFCOLOMBO2014

මේ සැප්තැම්බරයේ ලාංකීය සිනමාවට වසන්ත සමයක් උදාවෙන ලකුණු පහල වෙමින් පවතින මොහොතක මෙම ලිපිය ලිවීම සුදුසු යැයි සිතමි.සැප්තැම්බර මාසයේ පළමු සතියේ පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ලාංකීය සිනමාවේ පිබිදීමකට නිසැකවම හේතු පාදක වන බව මගේ හැගීමයී.

අපේ රටේ පළමු වරට පැවැත්වීමට නියමිත මෙම උළෙල රටවල් හතළිහක් පමණ නියෝජනය කරමින් ‘ආට් හවූස්’ චිත්‍රපටි හැත්තෑවකට වැඩි ප්‍රමාණයක් අපේ සිනමා රසිකයන්ට නැරඹීමට අවස්ථාව උදා කරවීම ම කෙතරම් භාග්‍යයක්ද? ඊට අමතරව ලෝක පූජිත සිනමාකරුවන් මෙහෙයවන වැඩමුළු හා දේශන මාලා ද මෙම උළෙලේ අමතර අංග වශයෙන් සකස් කරනුයේ සිනමාව නැවත අප රටේ නව දැක්මකින් ස්ථාපිත කිරීමට ලාංකීය සිනමා අධ්‍යක්ෂවරුන්ගේ සංසදයට ඇති කැක්කුම මොනවට පිළිඹිඹු කරමිනි.

International-Film-Festival-of-Colombo-IFFCOLOMBO

නොඅනුමානව, මෙම සිනමා උළෙල ලාංකීය සිනමාවට හිරිපොද වැස්සක් විය හැකි මුත්, දවසින් දවස මිලින වන අපේ සිනමාව සහමුලින්ම ගොඩගත හැකි ශක්තියක් මෙම උළෙලට අත්දැයි විමසීම උචිත යැයි සිතුවෙමි.

පික්චර් පිස්සුව, එදා සහ අද

අපේ සිනමාව වැටී ඇති අගාදය පිළිබඳව විමසීමේදී දත්ත කිහිපයක් ඉදිරිපත් කිරීම වැදගත් කොට සලකමි. හැත්තැව දශකය මැද බාගයේදී වසරකට මිලියන 74 පමණ වුනු ටිකට් අලවිය අද මිලියන 7.7 දක්වා පහත බැස ඇත. 2001 වසරේ සිනමාහල් පුද්ගලීකරණය කිරීමෙන් පසු මිලියන 13.5 පමණ වූ වසරක ටිකට් ඇලවිය අද මිලියන 7.7 දක්වා අඩුවී ඇත. ’83ට පෙර ලංකාව පුරා විහිදී තිබූ සිනමා ශාලා 297න් අද ඉතිරිව ඇත්තේ උපරිම වශයෙන් ශාලා 150ක් පමණි. මෙම 150න් බහුතරයක තත්වය ගැන කතාකිරීම පවා ශෝක ජනක බව සඳහන් කරන්නේ ඉතා කණගාටුවෙනි.

මෙවැනි අගාදයකට අප සිනමාව වැටීමට හේතු සාදක බලපාන්නට ඇත. ඒ හේතූන් සොයමින් කාලය ගතකිරීම නිෂ්ඵල ක්‍රියාවක් යැයි සිතමි. ඒ වෙනුවට අද පවතින සිනමා කලාව දෙස විචාරාත්මක විපරමක් කිරීම සුදුසු බැව් මට හැඟිනි. ඊට අමතරව සුලුවෙන් හෝ යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමත් මෙම ලිපියේ අරමුණක් සේ මම දකිමි.


සිනමාවේ තුන්හවුල

Cinema


රටක හර්ද ස්පන්දනය බඳු සිනමාව සහ සිනමා කර්මාන්තය

සිනමාවේ උන්නතිය වඩවන අනාගත දැක්මක් පෙනෙන තෙක් මානයකවත් නැතිමුත්, අපේ රටට අත්‍යවශයය කර්මාන්තයක් වන සිනමාව ගොඩගැන්මට රජයේ කැපවීමෙන් හා මැදිහත්වීමෙන් ක්‍රියාකාරී වුත්, සාදනීය වුත් උපාය මාර්ගයක් දියත් කලයුතු කාලය එළඹ ඇති බව මගේ විශ්වාසයයි. කාලය දැනටමත් හඹා ගොස් ඇතිසේය.

මෙම කර්මාන්තයේ කොටස් කරුවෝ බොහෝය. තමතමන්ගේ න්‍යාය පත්‍ර ඉමහත්ය. නමුත් යුගයේ අවශ්‍යතාවය වන්නේ, රටක් ලෙස රටේ ආත්මය පිළිඹිමු කල හැකි කර්මාන්තයක් ලෙස සිනමාවේ ඉදිරි ගමන සැකසීමය. මේ සඳහා බොර දියේ බිලී බාන්නන් නොව, කර්මාන්තයට හිතැති කොටස්කරුවන් කැඳවා අර්ථවත්, ප්‍රතිපලදායි වැඩමුළුවක් පවත්වා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන උපාය මාර්ග සහිත සැලැස්මක් සකස් කලයුතු බව මාගේ මතයයි. මෙහි මාර්ගෝපදේශක විය යුත්තේ මාධ්‍ය, සහ සංස්කෘතික කටයුතු පිලිබඳ අමාත්‍යංශයන්හී අදාළ නිලධාරී මඩුල්ලයි. මෙහිදී දේශපාලන වාසි හෝ පුද්ගලික වාසි වලට මුල්තැන නොදෙන්නට වග බලා ගත යුතු බව හඬ නගා කිව යුතුව ඇතැයි මම සිතමි. මෙය ඉතාමත් අපහසු කර්තව්‍යක් බව මම හොඳාකාරව දනිමි. මෙවැනි වැඩමුළුවක් නිර්මාණය කර මෙහෙයවීමට හැකි පිරිස් සොයා ගැනීම ඉතා පහසු කර්තව්‍යකි. අවශ්‍ය වන්නේ අභිප්‍රාය සහ රට ගැන කැක්කුම පමණි.


සිනමා ලෝලීන්, පිච්චර් පිස්සන් සහ ප්‍රේක්ෂකයන්

මෙම ඉලක්ක කණ්ඩායම් විවිද පැතිකඩ ඔස්සේ විමසිය හැකි මුත්, සමස්තයක් වශයෙන් ගත්කල අපගේ අවදානය වඩාත් යොමුවිය යුත්තේ ‘ප්‍රේක්ෂකයන්‘ ලෙස මම හඳුන්වන්නට බලාපොරොත්තු වන ඉලක්ක කණ්ඩායම වෙතටය. වයස අවුරුදු 18-35 වයස් කාණ්ඩ අතරට ලක් කල හැකි අපේ ‘ප්‍රේක්ෂකයන්’ ලාංකේය සිනමාව හිනිපෙත්තෙහි වැජඹෙන කල ඉපදී වත් නැත. මෙම කණ්ඩායම බහුතරයක් පාසලේ සාහිත්‍ය ඉගෙන නොගත්, කළා සංගම්, සංස්කෘතික උළෙලවල්, කලා කෘති, නාට්‍ය, චිත්‍ර, මුර්ති ආදී මෙකී නොකී කළා රසග්නයතාවය ඔප නන්වන අත්දැකීම් අවමව ස්පර්ශ කල කණ්ඩායමක් බව මට විශ්වාසය.

ටෙලිනාට්‍ය කලාව ජීවිතයේ උච්චස්තානය කරගනිමින්, සුපර් ස්ටාර් සංස්කෘතියෙන් අමන්දානන්දයට පත්වෙමින්, එස්.එම්.එස්. සහ ෆේස් බුක් ඔස්සේ වැඩකට නැති බහුබූත එකිනෙකා සමග හුවමාරු කරගනිමින් ජීවිතය ගෙවන බහුතරයක් අද අපේ ‘සිනමා ප්‍රේක්ෂකයන්‘ යයි මම නොබියව ලේබල් කරමි.

එසේ නම් මෙම ඉලක්ක කණ්ඩායම සිනමාව වෙත යොමු කරගන්නේ කෙසේද? මෙය උභතෝකෝටික ප්‍රශ්නයක් බව පිලිගනිමි. නමුත් විසඳුම ඔවුන් තවත් අගාදයට තල්ලු කිරීමද නැතහොත් ඔවුන්ට හැකි අයුරින් කලාව රස විඳීමට ඉගැන්වීම දැයි මම අසමි. මොවුන්ට කලාව රස විඳීමට හැකි සිනමා කෘතී ඇති පමණ අප රටේ බිහිවෙන්නේද? මෙයයි මගේ ඊළඟ තර්කය යි.

සිනමාකරුවන් සිනමා කෘති නිර්මාණය කරන්නේ කාහටද?

මම අපේ සිනමාව වර්ග තුනකින් දකිමි. එනම් ඉතිහාස කතා, විකට කතා සහ අවෝඩ්(Award )කතා යන්නයි. පවතින ක්‍රමයට ‘සුපර් මාකට් යන්නෝ’ දිගට හරහට ඉතිහාස කතා හිටු කියා නිර්මාණය කරති. තවත් කාණ්ඩයක් ප්‍රේක්ෂකයන්ව කිති කවා හිනැස්සීම ඔවුන්ගේ වගකීම යැයි සිතා ඒ වගකීම අකුරටම ඉටු කරති. ලංකාවේ ප්‍රේක්ෂකයන් සතයකටවත් මායිම් නොකරන තව කණ්ඩායමක් අපබ්‍රංස නිර්මාණ සහ ‘අවෝඩ් සඳහා පමණයි‘ කියාගත් නිර්මාණ කිරීම තම අරමුණ කරගනිමින් ‘පොරවල්‘ වෙන්නට තැත් කරති.

සිනමා ශාලාවට ගොස් ආනන්දයක්, ආස්වාදයක්, වින්දනයක් හෝ ආවර්ජනාවක් කිරීමක් කල හැකි සිනමා කෘති අප රටේ අද බිහිවෙන්නේ අතේ ඇති ඇඟිලි වලටත් අඩුවෙන් යැයි මම වගකීමෙන් පවසමි. එවැනි සමහර කෘතීන් ලාංකීය ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරගත නොහැකිව ලතවෙන අධ්‍යක්ෂකවරුද අප නොදන්නවා නොවේ. මෙවැනි ප්‍රේක්ෂක වින්දනය අරඹයා සිනමාවේ උන්නතිය උදෙසා චිත්‍රපට නිර්මාණය කරන අධ්‍යක්ෂකවරුනට මම සිරස නමා ආචාර කරන්නේ ගෞරවයෙනි.

මෙවැනි පවතින වාතාවරණයකින් සිනමාව බෙරා ගැනීමට කෙබඳු උත්තේජක ලබා දිය යුතුදැයි සිනමාවට ආදරය කරන, දේශපාලන ලකුණු දමා ගැනීමේ අභිප්‍රායන් නැති, කණ්ඩායම් එක්වී සාකච්ඡා කර, ක්‍රමෝපායන් සකස් කර, ඒවා ක්‍රියාවට නැo විය හැකි මංපෙත් සෙවීමට පෙළඹිය යුතු කාලය එළඹ ඇති බව මතක් කිරීමට කැමැත්තෙමි.

හයි වේ

හයි වේ

සිනමා කෘතීන් ගැන කතා කිරීමේදී අපට ලඟින්ම ඇති ඉන්දියානු සිනමාව වෙත යොමු වන්නට සිතුනි. ඉතා මෑතකදී තිරගතවූ සිනමා කෘති තුනක් කෙරෙහි අවධානය යොමු කරමි. ‘හයි වේ‘, ‘ලන්ච් බොක්ස්‘ සහ ‘කවීන්‘ මේ කෘති තුනයි. ඔනෑම ප්‍රේක්ෂකයෙකුට නරඹා තේරුම් ගත හැකි සංකීර්ණ වස්තු බීජයක් ඉතාමත් සරලව පෙළ ගස්වා, උපරිම ආශ්වාදයක්ද කැටිකොට, ප්‍රේක්ෂකයාට සිනමා කෘතිය ඉදිරිපත් කර ඇත්තේ ඔහුව / ඇයව නිරායාසයෙන්ම ආනන්දයෙන් -ප්‍රඥාවට ගෙන යමිනි. හැත්තෑව / අසුව දශකවල අපේ ශ්‍රේෂ්ට අධ්‍යක්ෂකවරු ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළේද මෙවැනිම සිනමා අත්දැකීම් සම්භාරයකි.. අවාසනාවකට මෙන් අපේ සිනමාවේ තිබු සරල බව අද නැතිවී ගොස්ය. සරල බව බුද්ධියට කෙරෙන අවමානයක් යයි සිතාදෝ වත්මන් අධ්‍යක්ෂවරු සංකීර්ණ, පැටලිලි සහගත පිටපත් පසුපස හඹා යෑමක් පෙන්නුම් කරයි. සරල වීම ජීවිතයේ වඩාත්ම අසීරු කර්තව්‍ය බව අප බොහෝ දෙනෙක් විශ්වාස කරන බවක් සිනමාවෙන් නම් දිස්වෙන්නේ නැත.

ලන්ච් බොක්ස්

ලන්ච් බොක්ස්

සිනමාකරුවන් නමැති ඉලක්ක කණ්ඩායමට අධ්‍යක්ෂකවරුන් පමණක් නොව, තිර රචකයන් සහ නිෂ්පාදකවරුන්ද එක් කිරීමට කැමැත්තෙමි. නිෂ්පාදකවරුන්ට ද සිනමාව ගොඩ නැගීම තකා ඉතා භාර ධූර වගකීමක් හා කර්තව්‍යක් ඇත. එනම් ඔවුන් මුදල් යොමු කරන්නේ කුමන වර්ගයේ සිනමා කෘතියකට ද යන්න දෙවරක් සිතා බැලීමයි. අද සමාජයේ පවතින දේශපාලන, ආර්ථික, සමාජයීය අභියෝග, ගැටළු සහ අවස්ථා කෙතරම් නිර්මාණාත්මකව සිනමා කෘතියකට ගැලපිය හැකිද? අපට ආවේනික වූ අග්‍රගන්‍ය කලා කෘතීන් කොපමණක් තිබේද? මින් බහුතරයක් උසස් සිනමා කෘති ලෙස පිටපත් කළ නොහැකිද?

හදයා

හදයා


ළමා ලෝකය ත්‍රාසජනක අත්දැකීම් සම්බාරයක් ලෙස ඉදිරිපත් කළ ටී. බී. ඉලන්ගරත්න, මාර්ටින් වික්රමසිංහ වැනි ගත් කතුන් ගේ ළමා කෘති කොපමණ තිබේද? අපේ දරු පරපුරට ඒ කලා අභාෂය දිය නොහැකිද? ටයිටස් තොටවත්තයන්ගේ ‘හඳයා‘ වැනි අග්‍රගන්‍ය ළමා චිත්‍රපටි වලට අද අවකාශයක් නැතුවා සේය. ඉතිහාස කතා වලින් මේ අඩුව පිරවීමම ප්‍රමාණවත්ද?

සමාජ හිතකාමී නිර්මාණ එළිදැක්වීමත් සමගම ඒ පිලිබඳ නිරන්තර සංවාද, වැඩමුළු පළාත් මට්ටමෙන් සැලැස්මක් අනුව පැවැත්විය නොහැකිද? රූපවාහිනීය, ගුවන්විදුලිය, අන්තර්ජාලය ආශ්‍රිතව හෝ සමාජ මාධ්‍ය ඔස්සේ හරවත් සංවාද කළ නොහැකිද? අද රූපවාහිනියෙන් විකාශනය වන සිනමා සංවාද මීට වඩා හරවත් කළ නොහැකිද?

මේ අවස්ථාවේ සඳහන් නොකරම බැරි චරිතයක් මගේ මතකයට එන්නේ නිතැතින්මය. ඒ අපේ අව්‍යාජ කළා කරු පරාක්‍රම නීරිඇල්ල ශූරීන්ය. වෙහෙස මහන්සියක් නොබලා නොතකා ඔහු මතු පරපුරේ කළා උන්නතිය වෙනුවෙන් ජනකරළිය ඔස්සේ ගමින් ගමට නාට්‍ය කලාව ගෙනයමින් කරන්නාවූ මෙහෙවර ප්‍රෂන්සනීයයි. මෙය සිනමා කරුවන්ට ආදර්ශයක් සේ මම දකිමි.

ජනකරළිය

ජනකරළිය

මූල්‍ය පහසුකම් නොමැතිව තිර රචනා කිහිලිගන්වාගෙන ලත වෙන අනාගත අධ්‍යක්ෂවරු මට අනන්තවත් මුණ ගැසී ඇත. රජයෙන් මොවුන්ට අත්වැලක් සැපයිය නොහැකිද? පෞද්ගලික අංශය සිනමාවට ඇති නැඹුරුව අවම වීම කණගාටුදායක තත්වයකි. මම දන්නා පරිදි නිෂ්පාදකයෙක් ලෙස මුදලින් දායකවූ පෞද්ගලික සමාගම් අප රටේ ඇත්තේ එකම එකක් පමණි. සිනමාව නගා සිටුවීමට ක්‍රමවේද සොයන්නේ නම් පෞද්ගලික අංශය අනිවාර්යයෙන්ම මෙම කර්මාන්තයේ කොටස්කරුවන් කරගත යුතුව ඇත. ඔවුන්ට කොයි ආකාරයේ ආයෝජන ප්‍රතිලාබ(ROI) ලැබිය හැකිදැයි පෙන්වා දීම වගකිය යුත්තන්ගේ යුතුකමක් බව මගේ විශ්වාසයයි. ඔවුන්ගෙන් බලේන්මෙන් මුදල් එකතුකරගන්නා සෑම ව්‍යාපෘතියක්ම අප රටේ රසග්නතාවය ඉහල නංවන්නට ඉවහල් වන්නේද?

මේ සියල්ලක්ම සපුරා සිනමාවට ප්‍රේක්ෂක ආකර්ශනයක් ලබා ගත හැකි වුවහොත් ප්‍රේක්ෂකයා පිය නගන සිනමා ශාලාව ගැන ඉතින් කවර කතාද?

සිනමා ශාලා

ප්‍රධාන නගර කිහිපයක් හැරුණු විට, ලංකාවේ සාමාන්‍ය සිනමා ශාලා ගැන ලිවීම පවා ශ්‍රමය සහ කාලය නිකරුනේ කා දැමීමක් යනු මගේ හැගීම්යි. මාස කීපයකට උඩදී මගේ ටවුමේ සිනමා ශාලාවකට ගොස් මා ලද ශෝචනීය අත්දැකීම් සම්භාරය වචනයෙන් විස්තර කළ නොහැකිය. බොහෝ පළාත් වල සිනමා ශාලා පවත්වාගන යනුයේ චිත්‍රපට තිරගතකිරීමට ද නැත්නම් වෙනත් කටයුතු සඳහාදැයි මම නොදනිමි. මේ සිනමාහල් හිමි ව්‍යාපාරිකයන් ද මේ කර්මාන්තය නගා සිටුවීමට දායකවීම ඔවුන්ගේ වගකීමක්සේ සැලකියයුතු නොවේද? මුදල් සෙවීම පමණක් අරමුණු කරගන්නා බොහෝ ව්‍යාපාරිකයන්ට සිනමාව තිබුනත් නැතත් වගක් නොවෙන්නට පුළුවන. මන්දයත්, අද සිනමාව මුදල් මවන යන්ත්‍රයක් නොවීමයි. නමුත් මෙම කර්මාන්තය නගා සිටුවීමට රටේ පැහැදිලි දැක්මක් ඇත්නම්, මේ සියලු දෙනාගේම සුභ සිද්ධිය හා උන්නතිය අවධානයට ගත යුතු බව මගේ හැගීමයි.
චිත්‍රපටියක් අනේක දුක් විද නිෂ්පාදය කරගත් පසු තිරගත කරගැනීමට පෝලින් ගැසිය යුතු වීම ද අවාසනාවකට මෙන් සිනමා කර්මාන්තය අගාදයට යෑමේ තවත් හේතුවක් ලෙස මම දකිමි. සිංහල කම උලුප්පන ඉතිහාස කතාවක් නිෂ්පාදනය කරගතහොත් පෝලිං පැනිය හැකි බව බහුතර විශ්වාසයයි. එපමණක් ද නොව, මෙවැනි චිත්‍රපට නැරඹවීමට බලෙන්මෙන් පාසල් ළමුන් සිනමා හල් වලට ගාල් කිරීම ද දැන් අපේ සංස්කෘතියේ අංගයක් වී ඇති බව පෙනේ. මේ පටු දැක්ම අපේ දරු පරපුරේ රසග්නයතාව උලුප්පන සාදකයක් විය හැකිද? මේ රැල්ල 18-35 වයස් කාණ්ඩ වලට අයත් ප්‍රේක්ෂකයන් කලාවට නැඹුරු කර ගැන්මට ඉවහල් වන්නේද?

අප රටේ සිනමාවේ ඉරණම වෙනස් කළ යුතුමය. තවත් ප්‍රමාද වුවහොත් අපට ඉතිරිවන්නේ ටෙලි නාට්‍යයක සහ චිත්‍රපටියකවත් වෙනස හඳුනා ගත නොහැකි බහුතර ප්‍රේක්ෂක කණ්ඩායමක් විය හැක. මොවුන් ආත්මයක් නොමැති, රසග්නතාවය යනු කුමක්දැයි නොදන්නා, අධ්‍යාත්මය මුදලට උකස් කරන්නට බලා සිටින පරපුරක් වීමෙන් වලක්වා ගත යුතු නොවේද?

මෙවන් කළා ශූන්‍ය පරිසරයක සැප්තැම්බරයේ සිනමාවට පුද කෙරෙන ලෝක සිනමා උළෙල ලාංකීය සිනමාව නමැති කාන්තාරයේ වියලෙන, රසාස්වාදය ඉල්ලා ඉකි ගසන අතලොස්සක් සිනමා ලෝලීන්ට හිරිපොද වැස්සක්ම වේවා!

Sandya Salgaduසන්ධ්‍යා සල්ගාදු | Sandya Salgado


  • Mihira

    සරල, වැදගත් ලියවිල්ලක්. මම හතන්නේ ලාංකීය සිනමාවේ දැන් තිබෙන්නේ ජාතීය වීරත්වයට පත්කරන, අනෙකාට ගරහන කතා මිසක් සමාජය වෙනස්කරන, පුරැෂාර්තයන් ගැන කතා කරන මිනිසා සදහා සිනමාක් නොවේ. ඒකට විශාල ලෙස වගකියන්න ඕන ආණ්ඩුව. ගොඩක් චිත්තරපටි කරැවන් පාලකයින්ගේ හොරනෑ කරගත් නිසා .

  • Shan

    ethakota wardi kauda mewata

  • Samm

    Dan ethakota waradi anduwada..