‘උම්මා’ දේශපාලනය

අපේ ජීවිත වලට ඇති වටිනාකම රාජපක්ෂ විසින් නැති කොට ඇත. ඔහු මෙම කරුමක්කාරී දීර්ඝ කාලීන වැඩපිළිවෙලේ වර්තමාන භූමිකාවය. රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස නිරත වී සිටින යුටෝපියානු මෙන්ම ගූඪ ආත්මාර්ථකාමී දේශපාලනය මඟින් රාජපක්ෂ තවත් වසර හයකට තම ධූරකාලය දීර්ඝ කරගන්නේ නැතැයි කිසිවෙකුට කිව නොහැකිය. කළ යුතු ඉටිගෙඩියක් කිරීම සඳහා ඇත්තේ තවත් මාස හයක් වැනි ඉතා සුළු කාලයක් පමණි.

තත්වය හරි හැටි අවබෝධ කර ගෙන ඇත්තේ නම්, මෙම කාලය තුළ නව ව්‍යවස්ථා ලිවිය නොහැකිය. මෙම කාලය තුළ විප්ලව කළ නොහැකිය. මෙම කාලය තුළ බඩ පිනුම් ගැසිය නොහැකිය. නමුත් ඔවුහු ව්‍යවස්ථා ලියන බව කියති. විප්ලවයක් හෙවත් නව ලිබරල්වාදයට එරෙහි න්‍යායික දේශපාලන අරගලයක් ඇති කිරීම සඳහා සිහින මන්දීර හදමින් සිටිති. ඔවුන්ගේ හැසිරීම මඟින් රටත්, රාජපක්ෂට එරෙහි පිරිසේ ශක්තියත් දීන කරමින් සිටිති. ඔවුහු බඩ පිනුම් ගසමින් සිටින්නේ තනි තනිව තම බලය ලබා ගැනීමට දක්වන කෑදර කම නිසා මිස රටේ සුගතියට නොවේ. එසේම රටේ සාමන්‍ය ජන ජීවිතය තව දුරටත් ලැජ්ජාවේ නිදසුනක් බවට පත් වෙමින් තිබේ. කෙටි කාලීන වාසී සඳහා විකෘතිය භාවිතා කොට එම විකෘතිය මඟින් සමස්ථය ගිල ගැනීමේ ශාපය මෙයයි.

විදෙස් රටකට යෑම සඳහා රාජ්‍ය ආයතනයක කටයුතු කරණ නිලධාරියෙක් විශ්ව විද්‍යාලයක වැඩබලන උප කුලපතිවරයෙක් ලෙස වෙස් වලා ගන්නේය. එසේම විභාගය ලියමින් සිටින විශ්ව විද්‍යාල සිසුවෙක් පොලිසිය පැමිණ කුදලාගෙන යන්නේය. ඊට එරෙහි වීමට එක කොන්දක් ඇති ගුරුවරයෙක් එහි නැත. එසේම රටක පාසලකට ගොස් “උම්මා දේශපාලනය” කොට තම ස්වයං වින්දනීය ප්‍රමෝදය රිසි සේ ලබා ගත හැකිය. පාසලක වැඩසටහනක් කිරීම සඳහා මෙන්ම පාසල්වල ළමුන්ගේ මානසික තත්වයට සරිලන පරිදි කතා කිරීම සඳහා දියුණු මනසක් තිබිය යුත්තේය. නමුත් බලය තිබේනම් තම අමනකම ප්‍රදර්ශණය කරමින් ළමුන් විකෘති කළ හැකිය. මෙවැනි දෑ සිදුවෙන තරමට රට මෙන්ම රටේ පෞද්ගලික ජීවිත බයාදු කොට ඇත. ආඩම්බරකාරයාගේ ආසියාවේ ආශ්චර්ය මෙයයි.

චීන ණය මඟින් ඉදි කරනු ලැබූ ලස්සන මංමාවත් තුළ අභ්‍යන්තරයෙන් දිව යන දුර්ගන්ධ ඛේදවාචකය මෙයයි. මෙය ගමන් කරමින් සිටින්නේ මතුවෙමින් පවතින බුද්ධිමය කෞශල්‍ය යළිත් නැති කිරීම සඳහාය. මේ කිසිඳු පාලකයෙකුට හෝ දේශපාලන පක්ෂ නායකයෙකුට තම කුහකත්වයෙන් මිදී කටයුතු කිරීමට නොහැකිය. මන්ද ඔවුන්ගේ බලය රඳා පවතින්නේ මෙම කුහකත්වය නිසාය.

71, 88-89 මෙන්ම 75 -2009 කාල වල ඇති වූ “ විමුක්ති” අරගල වලින් සිදු වූයේ රටේ සාමාන්‍ය පුරවැසියා දුක් මහන්සියෙන් තනනු ලැබූ ඔහුන්ගේ සිහින පරම්පාරව සමූල ලෙස ඝාතනය වීමය.

රටක විශ්ව විද්‍යාලයක උප -කුලපතිවරයෙකු ලෙස හොරෙකුට වෙස් වලාගෙන පිට රට යෑමට හැක්කේ මේ නිසාය. එසේම තම පෞද්ගලික වැසී තකා සැබෑ උපකුලපතිවරයෙකුට ඕනෑම තකතීරුවෙකු වෙනුවෙන් පෙනී සිට ඔහුව විභාගයෙන් සමත් කිරීමට හැක්කේ මේ නිසාය. භූගෝල විද්‍යාව පිලිබඳ විශේෂඥයෙකුට, අපරාධ විද්‍යාවට අදාළ ශාස්ත්‍රපති විභාග අපේක්ෂකයෙකුගේ නිරීක්ෂකයෙකු වීමට හැක්කේ මේ නිසාය. එසේම විභාගය ලියමින් සිටින ශිෂ්‍යකු අත්අඩංගුවට ගැනීමට හැක්කේ මේ නිසාය.

විනයක් සහ අභිමානයක් මෙන්ම සැබෑ දේශප්‍රේමයක් ඇති රටක මෙවැනි දෑ සිදු වන්නේ නැත. සැබෑ මිනිසුන් රටේ ප්‍රතිරූපය වෙනුවෙන් පෙනී සිටිති. රටේ ප්‍රතිරූපය විනාශ කරනු ලබන්නේ රට තුළ විකෘතියක් ඇති කොට එම විකෘතිය තම පැවැත්මේ ආයුධය කරගන්නා හිවලුන් විසිනි. එසේ නොමැතිව ඔබාමා, කැමරුන්, පිල්ලේ, රමෝසා, මෝදී හෝ ජයලලිතා නොවේ. අපේ සතුරා සිටින්නේ අප අවටය. ඔහු අපේ මාතෘ භූමියේම ජන්මය ලබා එය නීච ලෙස තම ගිජුකම වෙනුවෙන් භාවිතා කරන්නේය.

අනෙකාට හැකි උපරිමයෙන් අපහාස කොට අයුක්තියට එරෙහිව නැගී සිටින්නාගේ ශක්තිය හීන කිරීමට අපි අතරම හැදී වැඩෙන අපේම මිනිසුන් සමත්ය. ඊට හොඳම නිදසුන ලංකාව බිහි කළ අග්‍රගණ්‍ය විමුක්තිකාමියෙකු වූ තිස්ස බාලසුරිය පියතුමන් නිර්මාණය කරනු ලැබූ සමාජීය සහා ආගමික මධ්‍යස්ථානයේ පැවති වැඩමුළුව කඩාකප්පල් කළ අපේ “දේශප්‍රේමීන්ය”. එසේම ඊට පසු දා එවැනිම “දේශප්‍රේමින්” රැසක් එකතු වී බල්ලන් විකිණීමට අති තැනක් ගැන කියා පෝස්ටර් ව්‍යාපාරයක් කළහ. එම පෝස්ටර් දෙස බලා තම ප්‍රමෝදය ලබා ගත්හ.

සැබවින්ම අදාළ පෝස්ටර් ඇලවිය යුතුව තිබුණේ ආරක්ෂක අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම් ධූරන්දර නන්දසේන රාජපක්ෂගේ නිවසේ තාප්පය අවටය. (අමාත්‍යංශයක සහ අධිකාරියක ලේකම් ධූරය එක් පුද්ගලයෙක් එකම අවස්ථාවක දැරීම පැසසිය යුතු අමුතු රාජ්‍ය පරිපාලන ක්‍රමවේදයකි.) මන්ද ඔහුගේ පවුලට “පපියන්” අවශ්‍ය වී ඒ සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගමන් වෙනස් කළ ආකාරය ගැන සිවුරු පොරවාගෙන උඩ පනින දේශප්‍රේමීන්ට මතක නැතත් ඔහුට මතකය. කෝටි ගණන් පාඩු ලබන ආයතනයක ගුවන් ගමන් තමන්ට අවශ්‍ය “බලු පැටියෙක්” නිසා වෙනස් කරනු වෙනුවට රට තුළින්ම එවැනි පපියෙක් සොයා ගත යුතුව තිබුණි.

මෙවැනි කටයුතු දැකීමෙන්, අපේ මාතෘ භූමිය සිරවී සිටින ගුලෙහි ඇති බිහිසුණු බව තේරුම් ගැනීම අපහසු නැත.

තවත් වසර හයකට පවතින විකෘතිය දික් වුවහොත් සිදුවිය හැකි විපාකය තේරුම් ගැනීමට කිසිවෙකුට අපහසු නැත. උම්මා දේශපාලනයෙන් අපේ දරුවන්ගේ මනස විකෘතිය කරණ විට, මිලිටරිය යොදා අපේ දරුවන්ගේ අධ්‍යාපනය විනාශ කරණ විට, විශ්ව විද්‍යාල පද්ධතිය මෙහෙයවන දුරගන්ධ දූෂිතයින් එය කාබාසිනියා කරණ විට අපි නිවටුන් සේ බලා සිටිමු. ඉන් පසු අපේ වෛරය, විමුක්ති අරගලයක් ලෙස හැඩ ගන්වා සතුරාට එරෙහිව අඥාන මෙහෙයුමක් කොට යළිත් රටේ බිහිවෙමින් පවතින බුද්ධිමය බලය සමූල ඝාතනය කිරීමට වක්‍රාකාරයෙන් උල්පන්දම් දෙමු.

අපි අපි තුළම සිරවී අපි අපෙන් නිදහස් නොකොට තම පෞද්ගලික අවුලේ වගඋත්තර කරුවා ලෙස පිටස්තරයෙකුට බැන වදිමින් සොයන තාවකාලික ප්‍රමෝදයේ ඛේදනීය මෙන්ම නින්දනීය ප්‍රතිඵලය මෙයයි. අපි පළමුව නිදහස් විය යුත්තේ අපෙනි. අපි පළමුව වැඩි වටිනාකමක් දිය යුත්තේ වත්මන් ජීවිතයටය. අපි පළමුව ඉලක්ක කළ යුත්තේ මෙම වත්මන් ජීවිතය හෑල්ලුවට ලක් කරණ සතුරා කෙරෙහිය. ඔහු සිටින්නේ අපි අවටය. උම්මා දේශපාලනය ඇතුළතින් දිවයන විකෘතියේ ආසාව සහ එය අයත්වන වෙළඳපොල තේරුම් නොගන්නා තාක් දුරට අපි යළිත් අපි විසින්ම සිර කර ගමිනින් සිටින්නේ අපේ බෙල්ලය.

nilantha-profileනිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa


  • Shan

    Me thamai ashcharya..