සබරගමු විශ්ව විද්‍යාලෙය් දෙමළ සිසුන්ට පහරදී, පසුව තර්ජනය කරමින් විශ්ව විද්‍යාලය තුළ පෝස්ටර් පවා අලවමින් තිබුනේ  ගෝඨාබයගේ යැයි කියැවෙන ආරක්ෂක අංශය බලා සිටිය දීය. පසුව දිගින් දිගටම විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින්ට තර්ජනය කරමින්, චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට, ඔහු සිටි නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින්  අත් පා බැද දමා පහර දී තුවාල කර තිබුණි.  මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙයින් පැහැදිලි වන්නේ අනෙක් සෑම තැන් හී ලෙසම ජාතිවාදයත්, ආගම්වාදයත් විශ්ව විද්‍යාල තුළ දමා එහි ඇති සැබෑ ගැටලු වෙනතකට යොමු කිරීමයි. සබරගමුවේ මෙතෙක් සිදුකල පාදඩ ක්‍රියා සියල්ල තුළින්ල පැහැදිලි වන්නේ එයයි. එහි බියකරැ සිදුවීම් පෙළ පිටුපස සැබැවින්ම මේ පාලකයින් සිටින බවටත් සිදු කර ඇති සියලු දේවල් පාලකයින්ගේ කුමන්ත්‍රණ වල කොටස් බවටත් ශිෂ්‍ය සංවිධාන පවසයි.

සබරගමු සරසවි ශිෂ්‍යාට පහර දීම හා ඒ පිටුපස ආණ්ඩුවේ දේශපාලන න්‍යාය පත‍්‍රය හෙළි වේ.

පසුගිය අගෝස්තු 03 වෙනිදා අලූයම 3ට පමණ සබරගමුව විශ්ව විද්‍යාලයේ බණ්ඩාර නේවාසිකාගාරයට පැමිණ නාදුනන පිරිසක් විසින් එහි නේවාසිකව සිටි කිළිනොච්චි, මුහමලේ පදිංචි චන්ද්‍රකුමාර් සුදර්ශන් නම් ශිෂ්‍යයාට අත් පා බැද දමා පහර දී තුවාල කර තිබුණි. මොහු සමාජ විද්‍යා හා භාෂා පීඨයේ පළමු වසර සිසුවෙකි. මෙසේ පහර දී තිබුනේ රක්නා ලංකා ආරක්ෂක නිලධාරින් සිටියදී ය. මෙම පහර දීමත් සමග එහි දමිළ සිසුන්ට දින 10ක් තුළ සරසවියෙන් ඉවත් වන ලෙසටත් දමිළ සහෝදරියන් දුෂණය කර මරා දමන බවටත් තර්ජනය කර දැන්වීම් අලවා තිබුණි.

index

මේ සම්බන්ධයෙන් සරසවිය තුළටත් බාහිර සමාජයේත් එය ශිෂ්‍යයන් විසින්ම කරගනු ලැබුවක් බවට මතයක් ගොඩනැගීමට මහත් පරිශ‍්‍රමයක් දරමින් තිබුණි. සිසුන්ටද මෙය සැක සහිත බවක් අගවමින් තිබුණි. නමුත් පසුව සිදු වූ සිද්ධීන්ට අනුව සබරගමුව සරසවිය තුළ සිසුන් ජාති පදනම් බෙදා වෙන් කිරීමේ උත්සහයක් ලෙස අනාවරණය වෙමින් තිබේ.

පසුගිය අගෝස්තු 05 වෙනිදා සමාජ විද්‍යා හා භාෂා පීඨයේ 3 වන වසරේ ඉගෙනුම ලබන යෝගරාසා නිරෝෂන් ශිෂ්‍යාගේ විභාගය අතරතුරදී (පෙ:9-12 පමණ) විශ්වවිද්‍යාල මැදිහත් වීමෙන් පොලිස් අත්අඩංගුවට ගැනුණි. මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කිසිදු පැමිණිල්ලක් හෝ නොමැතිවය. පසුව ඒ පිළිබදව විශ්වවිද්‍යාල පරිපාලනයේ විනය ආරක්ෂක නිළධාරියාගෙන් විමසීම සදහා එම සිසුවාගේ කාමරයේ සිටි සහෝදර ශිෂ්‍යයන් දෙදෙනෙකු වු කජිදන් හා මනෝජ් ගිය විට ඔවුන්ගේ හැදුනුම්පත් ලබාගෙන තර්ජනාත්මකව බැන වැදීමට එම විනයාරක්ෂක නිළධාරියා කටයුතු කර ඇත. පසුව සිසුන් කණ්ඩායමක් විසින් සමනල වැව පොලිසියෙන් කළ විමසුමකදී එම පොලිසියේ නිලධාරීන් පවසා ඇත්තේ එම ශිෂ්‍යයා යළි කිසි දිනක ඔවුන්ට බැලීමට නොහැකි බවය.

තත්ත්වය මෙසේ තිබිය දී අගෝස්තු 06වනදා සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුව විසින් මෙම පහර දීමට හා පොලිසිය විසින් කරන ලද පැහැර ගැනීමට එරෙහිව මාධ්‍ය හමුවක් කැදවා තිබුණි. මාධ්‍ය හමුවෙන් අනතුරුව ශිෂ්‍ය නායකයන් බලංගොඩ පොලිසියෙන් පැහැරගත් සිසුවා පිළිබදව විමසීම් කළේ ය. එවිට බලංගොඩ පොලිසියේ ස්ථානාධිපතිවරයා දුරකථනයෙන් කතාකොට ස්ථානාධිපති වෙනුවට රාජකාරියේ යෙදි සිටි නිළධාරිනියට පැවසුවේ එම සිසුන් පොලිස් අත්අඩංගුවේ නොවන බවත් ඔහු රැගෙන ගියේ ත‍්‍රස්ත විමර්ශන ඒකකය මගින් බවත් හා තවත් සිසුන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් ය. මෙහි ඇති බරපතලකම නම් මෙම ශිෂ්‍යයා අත්අඩංගුවට(පැහැරගැනීමට ලක්ව)ගෙන පැය 24කට වැඩි කාලයක් ගත වන තුරු විශ්වවිද්‍යාල පරිපාලනය හෝ පොලිසිය දෙමාපියන්ට එ් බව දන්වා නොතිබීමයි.

මෙම අත්අඩංගුවට ගැනිම,පහරදිම සම්බන්දයෙන් ශිෂ්‍යයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට සම්බන්ධ වූ කළමනාකරණ පීඨයේ දමයන්ත සම්පත් කුමාර ශිෂ්‍යයාගේ මවට දුරකතනයෙන් කතාකොට ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් යැයි හදුන්වා තර්ජනාත්මකව පවසා ඇත්තේ ‘‘පුතා අවුරුදු පහකට ඇතුලට දානවා. ආයේ බලන්න හම්බවෙන්නේ නෑ. පුතාව ගෙන්නගන්න නැත්තම් කණගාටු වෙන්න වෙයි.’’ලෙසටය. තවද මෙම පීඨයේම තවත් සිසුවෙකුගේ දෙමාපියන්ට කතාකොට මෙලෙසම තර්ජනය කර ඇත. මෙයින් පැහැදිලි වන්නේ මෙම පහරදීම හුදකලා සිදුවීමක් නොවන බවත් එය ආණ්ඩුවේ සැලසුමක කොටසක් බවත්ය.

පහර කෑ සිසුවෙක්
පහර කෑ සිසුවෙක්

මෙම පහරදීම අත්අඩංගුවට ගැනීම්වලට විරෝධය දක්වමින් සබරගමුව සරසවි ශිෂ්‍ය එකමුතුව විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කරමින් ප‍්‍රකාශ කර සිටියේ අත්අඩංගුවට ගත් යෝගරාසා වහා නිදහස් කරන ලෙසත් ආණ්ඩුවේ දේශපාලන වුවමනාවන් වෙනුවෙන් සරසවි තුළ ජාතිවාදය වැපිරීම නවතන ලෙසත්ය. එහිදී අදහස් දක්වමින් ශිෂ්‍යයන් තවදුරටත් ප‍්‍රකාශ කර සිටියේ මීට ඉහත අවස්ථා ගණනාවකදීම සරසවියේ ශිෂ්‍ය නායකයන්ට පහර දීම,සරසවි ඉදිරිපිට වෙඩි තැබීම,ශිෂ්‍ය නායකයන්ගේ නිවෙස් වෙත ගොස් කරන තර්ජන කිරීම්, බිය වැද්දීම්, ආණ්ඩුවේ හා පොලිසියේ මැදිහත් වීමෙන් සිදුවන බව පැහැදිලිව තිබියදීත් මෙම පහරදීම සම්බන්ධයෙන් සිදුකරන පොලිස් පරීක්‍ෂණ හොරාගේ අම්මගෙන් පේන ඇසීමක් වැනි ක‍්‍රියාවක් බවය.

මෙම ක‍්‍රියාදාමයම ආණ්ඩුවේ සැලසුමක් බව තවදුරටත් අනාවරණය කරමින් අගෝස්තු 8 වෙනිදා උදෑසන ශිෂ්‍ය නායකයින් රැදී සිටි කුලී නිවාසයේ හිමිකාරියට රත්නපුර පොලීසියෙන් යැයි සදහන් කරමින් තර්ජනය කර ඇත්තේ නිවසේ සිටින සිසුන් වහාම ඉවත් කරගන්නා ලෙසටය. මේ වනවිට සබරගමු සරසවි ශිෂ්‍ය නායකයින් ඉලක්ක කරගනිමින් තර්ජනය කිරීම්, බිය වැද්දීම් මෙන්ම ශිෂ්‍ය නායකයන්ගේ දෙමාපියන් ඉලක්ක කරගනිමින් ද මර්දනය ගලා එන්නට පටන් ගෙන ඇත. ගොඩනැගී ඇති අයුක්තිය අසාධාරණය හමුවේ සමස්ත සමාජයේම එකමුතුව සංවිධානව සටන් කළ යුතු බව ශිෂ්‍යයන්ගේ අදහසයි.

අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය නිකුත් කළ නිවේදනයක් අැසුරිනි.