Image Credit: Lankadeepa

කොළඹ නගරයේ සක්මන් මාවත් සහ සුඛෝපභෝගී ආරුක්කු සාප්පු සංකීර්ණ මහත් උජාරුවෙන් යුතුව රාජ්‍ය අනුග‍්‍රහයෙන් ඉදිවෙමින් පවතින අතරේ, හිඟුරක්ගොඩ බිසෝබණ්ඩාරගම තුන්දරු මවක් දරුවන්ගේ සාපිපාසාව සංසිඳුවීම සඳහා වතුර පොදක් පෙරා ගැනීමට අඩි 30 ක් ගැඹුරු ළිං පතුලකට බසී. රජරට ගොවියන් තමන් ගත් බැංකු ණය ගෙවා ගත නොහැකිව තවමත් වස පානය කරන අතරේ අප මහ ඉහළින් කතා කරන අධ්‍යාපන සහ සෞඛ්‍ය අංශ දවසින් දවස පිරිහෙයි.

කෙසේ වෙතත් මීට සමගාමීව, ගිනි පොලියට ගත් වාණිජ ණයවලින්, දූෂණ සහ වංචා ගැන නැගෙන අනේක චෝදනා මැද්දේ පාරවල් සහ මහාමාර්ග ඉදිවෙයි. ඩොලර් කෝටි ගණනක ගුවන් තොටුපොලක් දකුණේ ඉදිකෙරේ. එය ද, පොලියට ගත් ණයවලිනි. එම ගුවන් තොටුපොලෙන් ලැබෙන මාසික ආදායම රුපියල් රුපියල් 16,000 කට ටිකක් වැඩි ය. රාජ්‍ය අනුග‍්‍රහයෙන් වාර්ෂිකව පැවැත්වෙන ‘දැයට කිරුල’, යමක් ප‍්‍රදර්ශනය කරනවාට වඩා එම පළාත්වල ගස් කැපීම ප‍්‍රමුඛ කරගනිමින්, මහජන මුදල් කෝටි ගණනින් නාස්ති කරයි.

මේ අතර, කිසි දවසක සැබවින් ලැබී නැති වර්ධන අනුපාතිකයක් පෙන්වීම සඳහා ආර්ථික දත්තවලටත් හොර කරන බව කියැවේ. ඉහළ විදේශ සංචිතයන් තමන් සතුව ඇතැ යි පම්පෝරි ගසන මහ බැංකුව ඒවා ණය මුදල් බව නොකියයි. මූල්‍ය අංශයේ ඒකාබද්ධතා වැඩපිලිවෙලක් දියත් කළ මහ බැංකුව පසුගිය වසර කිහිපය තුළ විවිධ අංශවලට මූල්‍ය බලපත‍්‍ර නොමසුරුව බෙදාහැර තිබේ. ඒ කවර හේතුවක් පෙරදැරිවදැ යි කිසිවෙකු දන්නේ නැත.

මේ උදාහරණ කිහිපයෙන් පැහැදිළිව පෙන්නුම් කරන්නේ, ආණ්ඩුව ස්වකීය ප‍්‍රමුඛතා පටලවාගෙන ඇති බව ය. නැත්නම්, මැල්ලූමක් කරගෙන ඇති බව ය. ජනගහනයෙන් විශාලම අංශය වන කෘෂි සමාජයේ ජීවනාලිය වන වැව් අමුණු සහ ඇල මාර්ග හෑරීමෙන් වර්ෂය පුරා ගොවිතැන් සඳහා ජලය සැපයීමේ හදිසි අවශ්‍යතාව ආණ්ඩුව තේරුම්ගෙන නැත.

එසේ වුණි නම්, බිසෝබණ්ඩාරගම මවට තම දරුවන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා වතුර කෝප්පයක් ගැනීමට අගාධ ළිං පතුලකට බහින්ට සිදුවන්නේ නැත. වැසි වතුර වැඩියෙන් එක්රැස් කරගෙන වඩාත් තිරසාර ආකාරයෙන් පරිහරණයට ගැනීම සඳහා කෘෂි මූලික ජල අංගනයන්හි ගැඹුර නිරන්තරයෙන් වර්ධනය කළ යුතු බවට ඒ පිළිබඳ විශේෂඥයෝ බොහෝ කලක් තිස්සේ පෙන්වා දී තිබේ.

එසේ වෙතත්, අවාසනාවට අපේ ආණ්ඩුව සිතන්නේ, ඇස් පිනවන සාප්පු මන්දිර සහ තෝරාගත් නගර කිහිපයක සෝබන අවශ්‍යතා පිරිමැසීම වඩාත් වැදගත් බව ය. බොන වතුර පොදක් ගන්නට මවක් ළිං අඩියක් හාරන අතරේ, ‘ෆෝමියුලා 1’ පන්නයේ කාර් රේස් දුවන ගාලූ මුවදොර අභියස මහ මුහුද ගොඩ කොට සාටෝප නගරයක් ගොඩනැගීමට බලධාරීන් කටයුතු කරනු දැකීම හද සසල කරවන සුළු ය.

මේ රටේ මුල් ඇද්ද නායකයෙකුගේ පුරෝගාමීත්වයෙන් 2005 දී බලයට පත්කර ගත් ජනතා ආණ්ඩුවක්, තමන් තර වීමට බලන ඊනියා සියයට එකේ ප‍්‍රතිපත්තියක් මගින් පැහැරගෙන ගොස් ඇති සෙයකි දිස්වන්නේ.

*2014 අගෝස්තු 5 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ A Government with Priorities Mixed Up & Messed Up නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙන්