මෙවර අ.පො.ස. (උ.පෙ.) විභාගයේ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් බරපතල ගැටලු මතු කර තිබියදී, ඒ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ගයක් ගැනීම වෙනුවට අධ්‍යාපන ඇමතිවරයා හා විභාග කොමසාරිස්වරයා ගැටලුව මතු කරන පාර්ශ්වයන්ට පහර දීමටත් ඔවුන් බිය ගැන්වීමටත් කටයුතු කරමින් සිටින බව ලංකා ගුරු සංගමය පවසා සිටී.

ආර්ථික විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5ක මෙන් ම දෙවන ප්‍රශ්න පත්‍රයේ අනු කොටස් දෙකක දෝෂ පැවතීම මෙන් ම ප්‍රශ්න පත්‍රය විසින් සමස්ත විෂය කරුණු ආවරණය නො කිරීම හා සමතුලිතභාවයක් නොමැති වීම ඇතුළු ගැටලු ගණනාවක් ගැන විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරුණු දක්වන ලදී.

ඒ සමගම, ප්‍රශ්න පත්‍ර සැකසුම් මණ්ඩලයේ නිවේදනයක් සමග විභාග කොමසාරිස්වරයා මාධ්‍යයට පැවසුවේ ගැටලුවක් නොමැති බවයි. ඉන් පසු, අධ්‍යාපන ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යොමු කිරීම සඳහා කරුණු 5ක් යටතේ වාර්තාවක් ලබා දෙන්නැයි විභාග කොමසාරිස්වරයාට පසුගිය 10 වනදා දැනුම් දුන් බව වාර්තා විය.

උසස් පෙළ ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍ර සැකසීමේ ක්‍රියාවලියේ දිගු කලක් නියැලී සිටි ප්‍රධාන පාලක පරීක්ෂක මහාචාර්ය ඩැනී අතපත්තු මහතා ඉවත් කිරීම, නව පාලක පරීක්ෂකවරයකු පත් කිරීම හා ප්‍රශ්න පත්‍රවල දෝෂ පිළිබඳව ගුරු සංගම් හා විශ්ව විද්‍යාල ආචාර්යවරුන් විසින් කරන ලද ප්‍රකාශ සම්බන්ධ පැහැදිලි කිරීම් මෙම වාර්තාවට ලබා දෙන ලෙස අධ්‍යාපන ඇමතිවරයා ඉල්ලා තිබේ.

අධ්‍යාපන ඇමතිවරයා මීට පෙර පාර්ලිමේන්තුවේදී මහාචාර්ය ඩැනී අතපත්තු ඉවත් කිරීම පිළිබඳ කරුණු දැක්වූ අතර මේ දිනවල මාධ්‍ය හරහා ඔහුට එරෙහිව විවිධ කරුණු දක්වමින් ද සිටියි. විභාග කොමසාරිස්වරයා ද ලහිලහියේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ප්‍රශ්න පත්‍රවල දෝෂ නැති බවයි. මෙවැනි තත්වයක් තුළ මොවුන් වෙතින් සාධාරණ වාර්තාවක් අපේක්ෂා කළ නො හැකි බව එම සංගමය පවසයි. එසේම, මේ වනවිට කරගෙන යමින් සිටින බුද්ධිමතුන් හා ගුරු සංගම් විවේචනය කිරීමේ ක්‍රියාවලිය නවතා වහා ම ප්‍රශ්නය කෙරෙහි අවධානය යොමු කරන ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.

මෙම නිලධාරීන් විසින් සැකසීමට යන වාර්තාව වෙනුවට විෂය ප්‍රවීණත්වය ඇති පිළිගත් බුද්ධිමතුන්ගෙන් සමන්විත ස්වාධීන මණ්ඩලයක් වෙතින් උසස් පෙළ ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර පිළිබඳ වාර්තාවක් ලබා ගන්නා ලෙස ද, ප්‍රශ්නයට මුහුණ දී සිටින සිසුන්ට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නට අදාළ බලධාරීන්ට නියෝග කරන ලෙස ද ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

@LNW