මන්නාරම දිස්ත්‍රික්කයේ අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් සාක්‍ෂි සටහන් කරගැනීමේ කටයුතු 2014.08.08 දින සිට 11 දින දක්වා මාන්තෙයි බටහිර, මන්නාරම සහ මඩු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 03 හි සිදුකරන ලදි. එයට සාක්ෂි දීම සදහා පුද්ගලයින් 230 දෙනෙකුට කැඳවීම් කර තිබූ නමුත්, පුද්ගලයින් 155 දෙනෙකු පමණක් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදී ඇති බවත් වාර්තා වෙයි.

මේ පිළිබදව, මන්නාරම දිස්ත්‍රික් ප්‍රජා කමිටුවේ සභාපති ඉම්මානුවේල් සෙබමාලෙයි පියතුමා, සදහන් කර ඇත්තේ සාක්ෂි ලබා දීමට සූදානමින් සිටි අයට බුද්ධි අංශය විසින් තර්ජනය කිරීම හේතුවෙන් එම ජනතාව සාක්ෂි ලබාදීමට බිය වූ බව ටැමිල්සීඑන්එන් වෙබ් අඩවිය උපුටා දක්වමින් ලංකාටී නිවුස් වෙබ් අඩවිය වාර්තා කර සිටියි. මේ සම්බන්ධයෙන් ඉම්මානුවේල් සෙබමාලෙයි පියතුමා, ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වේල් පරාක්‍රම පරණගම මහතා හමුවී සාකච්ඡා කර ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි.

“අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිස‍ම ඉදිරියේ සාක්ෂි ලබාදීමෙන් ප්‍රයෝජනයක් නොමැති බව ප්‍රකාශ කරමින් මන්නාරමේ සිටින බුද්ධි අංශ සාමාජිකයින් සාක්ෂි ලබාදීමට පැමිණි පුද්ගලයින්ට බාධා කර ඇත. ජනාධිපතිවරයා විසින් පිහිටවූ මෙම කොමිසම, ජනතාව විශ්වාස කරනවාද නැද්ද යන්න නොදන්නා නමුත්, රජයේ බුද්ධි අංශය විශ්වාස නොකිරීම කණගාටුදායකයි. අතුරුදන්වූවන් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදීමට සිටි ජනතාවට තර්ජනය කර ඇති බවට අපට පැමිණිළි ලැබී තිබෙනවා” යැයි මන්නාරම දිස්ත්‍රික් ප්‍රජා කමිටුවේ සභාපති ඉම්මානුවේල් සෙබමාලෙයි පියතුමා පවසා ඇත.

මේ සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වේල් පරාක්‍රම පරණගම මහතා පවසා ඇත්තේ ,

“මෙම කොමිසම අතුරුදහන් වූවන් පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කල කොමිසමකි. මේ තුලින් ජනතාවට සහනයක් ලබාදීම අපගේ අරමුණයි. යම් කිසිවෙකු ජනතාවට බාධා කරන්නේනම් අපට පැමිණිලි කරන්න. අප ඒ සම්බන්ධයෙන් නිසි පියවරක් ගන්නෙමු” යනුවෙනි.

පසුගිය 2009 අවසන් කළා යැයි පවසන යුද්ධය නිසා සිදුවූ වූ හානි මෙන්ම යුද්ධය නැවත ඇතී වීම වැලැක්වීම සදහා, කරැණු, නිර්දේශ ඉදිරිපත් කිරීම වැනි අරමුණු මූලික කර ගනිමින් පත්කල උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම[LLRC] උතුරැ සහ නැගෙණහිර පළාතේ ජනතාව හමු වී කරැනු සෙවීමේ දී ද බුද්ධි අංශ සහ බුද්ධි අංශ යැයි කියා ගන්නා පුද්ගලයින්ගෙන් එම ජනතාවට තර්ජන එල්ල වූ බව වාර්තා විය.

උගත් පාඩම් හා සංහිදියාව පිළිබදව ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දුන් කල්මුනේ පදිංචි රත්නම්පොංගෝදේ මහත්මිය තමන් සීඅයිඩී පරීක්ෂනය සඳහා 4වෙනි මහලට කැඳවා ඇති බව එවකට විකල්ප වෙබ් අඩවිය වාර්තා කලේය. එයට පෙර ද ඇයව 4වෙනි මහලට කැදවා ඇති බවත් වැඩිදුරටත් එවකට වාර්තා විය.

මේ එක් සිදුවීමක උදාහරණයක් පමණි.

ආසන්නම උදාහරණය ද පසුගිය 04වනදා කොළඹදී සිදු වූයේ පොලීසිය බලා සිටියදීමය. කොළඹ සාමාජයී ය හා සාමයික කේන්ද්‍ර ෙය් දේවස්ථානයට කඩා වැදුනු චීවරධාරී මැරයන් ඇතුලු තවත් මැර පිරිසක් එහි පවත්වමින් තිබූ රැස්වීමට බාධා කළේය.

උතුරැ නැගෙණහිර අතුරැදහන් වුවන්ගේ පවුල්වල ගැටලුවලට සවන්දීමටත්, ඒ සදහා යුක්තිය ඉල්ලා සීටීමටත් කැදවූ සාකච්ඡාවකට, අනවසරයෙන් කඩා වැදුනු, රාජ්‍ය අනුග්‍රහය සමග පැමිණි චීවරධාරීන් සහ ඒම මැර පිරිස විසින් එම සම්මන්ත්‍රණයට බාධා කලේ පොලීසිය බලා සිටිය දීය. නමුත්, නීති්‍යානුකූලව පවත්වාගෙන ගිය රැස්වීමට බලහත්කාරයෙන් කඩා වැදුනු මෙම මැරයින් කිසිදු විටකදී පළවා හැරීමට පොලීසිය විසින් කිසිදු පියවරක් නොගත් බව පෙනෙන්නට තිබුණි.

මේ සියලු තත්ත්වයන් සමග ලංකාවේ අතුරැදහන් වූවන්ගේ සමීපතමයින්ට යුක්තිය ඉෂ්ඨ කරන්නට රාජපක්ෂ පාලනයට හැකියාවක් තිබේද යන්න පිළිබදව ඇත්තේ බරපතල සැකයකි. එක් අතකින් අතුරැදහන් වූවන් වෙනුවෙන් කොමිසම් පත්කරමින් ඔවුන් වෙනුවෙන් පෙනීසිටිනා බව ලෝකයට පෙන්වන්නට උත්සහ කරන රාජපක්ෂ පාලනය, අනෙක් අතින් අතුරැදහන් වූවන් වෙනුවෙන්, සාක්ෂි දීමටත් ඒ වෙනුවෙන් හඩ නැගීමටත් ඉදිරිපත් වන පිරිස් බිය වද්දමින් ඔවුන්ට තර්ජනය කරමින් සිටී. එපමණක් ද නොවේ අතුරැදහන් වූවන් වෙනුවෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ සමීපතමයින්ට යුක්තිය ඉල්ලා සීටිමට එම ජනයා සමග පෙරමුණ ගන්නා සංවිධාන සහ පුද්ගලයින්ට, සිවුරැ දමා ගත් මැරයින් ලවා තර්ජනය ද කරන්නේ කහ සිවුරටද මුවා වී මේ පාලකයන්ම ය. මේ දෙබිඩි හැසිරීම අතුරැදහන් වූවන් සම්බන්ධයෙන් පමණක් නොවේ. ලංකාවේ සෑම ක්ෂේත්‍රයක් තුළම පාලකයින්ගේ මේ දෙබිඩි හැසීරීම මනාවට පෙන්නුම් කරයි. සිහිබුද්ධියක් ඇති ජනයාට මේ දෙබිඩි හැසිරීම වඩා සවිඥාණිකව කියවා ගැනීමෙන් පමණක් රාජපක්ෂ පාලනයේ ප්‍රජාතන්ත්‍රවිරෝධී, අයුක්ති සහගත තත්ත්වය තේරැම් ගත හැකිය.