යමක් ‘සත්‍යය’ ලෙස සංස්ථාගතවන සෑම මොහොතකම සිදූවන්නේ සත්‍යයම නොවන එහෙත් අසත්‍ය යැයි කිසිවෙකුත් නොසිතන දෙයක් ‘සත්‍යය’ ලෙස ස්ථාපිත වීමයි. ‘දෙන ලද තත්වයන්’ තුළ ‘සත්‍යය’ ලෙස අභිශේක ගැන්වෙන වන මෙම නව ‘සත්‍යය’ (අසත්‍ය) පෙරලා අභියෝග කිරීමක් තෙක් සුරක්ෂිතයි. නව අභියෝග කිරීමක් හමුවේ අහෝසි වන මෙම ‘සත්‍යය’ එතැන් පටන් ගොතන ලද්දක්/ප්‍රබන්ධයක් බවට පෙරලෙයි. කිසියම් සමාජයක ඉතිහාසය ලෙස අතිශෝක්තිකව උත්කර්ශ ගැන්වී ඇත්තේත් අධිපති මතවාදය විසින් ‘දෙන ලද තත්වයන්’ තුළ ‘සත්‍යය’ ලෙස තීන්දු කර අතීත සංසිද්ධින්ගෙන් තෝරා ඛේරා පෙරා ගන්නා ලද තොරතුරු වල ඵෙක්‍යය මිස අන් කිසිවක් නොවේ. ඉතිහාසය යනු බලවත් ජාතීන්ගේ ප්‍රබන්ධය බවටත් දෛවය හා අධම මානවීයත්වය යනු දූබල ජාතින්ගේ ප්‍රබන්ධය බවටත් පත්වන්නේ මේ යථාර්ථය තුළයි.

නේත්‍ර – මම දන්න ඉතිහාසය ප්‍රබන්ධයක්. ප්‍රබන්ධ ඉතිහාසය ගොඩනගන්න කළින් ප්‍රබන්ධ කරපු වෙනත් කථා තිබුනා. ඒක වෙනත් ඉතිහාසයක්. ඒක ගොඩනැගුවෙ අපි. ඔව් අපි ඉන්න කාලේ පදනම් කරගෙන අපිම ගොඩනගපු ප්‍රබන්ධයක්. – මගේ ආදරණීය යක්ෂණී – පිටුව 254

පශ්චාත් නන්දිකඩාල් යුගය යනු ශ්‍රී ලංකාව තුළ පෙර නොවූ විරූ ලෙස මෙම ප්‍රබන්ධිත ඉතිහාසය ප්‍රහර්ශ ගැන්වී පූජනීයත්වයක් දක්වා ඔසවා තැබෙන කාලයයි. දෙමළුන් පරාජය කර රට එක්සේසත් කළ නූතන දූටු ගැමුණු ලෙස මහින්ද රාජපක්ෂ වීරත්වයෙන් අභිෂේක වන මෙම යුගයදී බුදූන්ටත් ඔහුගේ ඇති නෑකම් මතු වී ශුද්ධවරයටත් එසවෙනවා. රාජ්‍ය නායකයා වෙනුවට මහරජ කෙනෙක් සිංහාසනාරූඩ වී යුව රජවරු, කුමාරවරු බිහිවෙන අතර චිරාත් කාලයක් බලයේ හිද පියාගේ ඇවෑමෙන් රජකම කුමාරවරුන්ට හිමිවීමට මඟ ඇහිරු නෛතික බාධාවන් අහෝසි වෙමින් රාජ්‍ය ව්‍යවස්ථාවට 18 වෙනි සංශෝධන එනවා. විදේශීක සතුරු බලවේග හා කුමණ්ත්‍රණ වලින් සිංහලයාගේත් බෞද්ධයාගේත් උරුමයන් රැකීමට දේශහිතේෂින් මතුවන අතර මහා සිංහලයට ඇතැයි කියන වංශකථාවන් කරළියට එනවා. සිංහල සිනමාවේ නොනැවතී ඉදිරියට ඇදෙන රජකතා/ඓතිහාසික කතා රැල්ලක් බිහිවෙන අතර ආගමික වතාවක් ලෙස බෞද්ධ චිත්‍රපට නැරඹු සුදු හැදගත් උපාසික උපාසිකාවන්ගේ සාධු නාදයෙන් සිනමාශාලා ගිගුම් දෙනවා. මෙම නව සිංහල බෞද්ධ පුණරුදයට එරෙහිව මව්බිමට විනකටින පරයන් මඞින්න චීවරධාරීන් අබසරණ යන මදාවීන් බවටත් රාවණාගේ අවතාර බවටත් පත්වෙනවා.

මෙම පශ්චාත් නන්දිකඩාල් ශ්‍රි ලංකාව යනු කූට දේශපාලනික ව්‍යාපෘතියක දෘෂ්‍යමානය මිස අන් කිසිවක් නොවේ. මෙහි න්‍යායික අරමුණ ‘ඉතිහාසය යන්න පරම සත්‍යය වේ’ යන පදනමේ සිට වර්ථමාන සංසිද්ධීන් ඉතිහාසය ඇසුරෙන් උත්කර්ශයට නැංවීමත් සාධාරණීකරණය කිරීමත් වේ. රාජ්‍ය අනුග්‍රහය ලබන මෙවැනි ව්‍යාපෘතීන් ඍජුව සේවය කරන්නේ වර්ථමාන විකෘතියට සුජාතභාවයක් ලබාදීමටයි. මංජුල වෙඩිවර්ධන ‘මගේ ආදරණීය යක්ෂණී’ ඔස්සේ ප්‍රශ්න කරන්නේ මෙම ඉතිහාසයෙ සුජාතභාවය හා වර්ථමානයේ විකෘතියයි.

මං තර්ක කරන්නෙ මේකයි නේත්‍රබිම්බා. කොච්චර ආපස්සට ඉතිහාසය පාද ගත්තත් වැඩක් නෑ, හැසිරෙන්නෙ ගෝත්‍රිකයෝ වගේ නම්. උදාහරණයක් විදිහට ගත්තොත් රාවණාව මතුකරන්නෙම ඉන්දියාවට ගේම ඉල්ලන්න.. මෙහෙම ගමු, රාවණාව පාවා දූන්නෙ විභීෂණ. එයා රාවණාගෙ සහෝදරය. අවම වශයෙන් සිද්ධියක් විදිහටවත් ඒ දේවල් මතුකරන්නෑ. ඒකෙන් වර්තමානෙ හෙල්ලෙයි කියලා. මං කියන්නෙ ඒකයි මේකෙ තියෙන්නේ අද්භූත සෙල්ලමක් – මගේ ආදරණීය යක්ෂණී- පිටුව 283

ඉතිහාසය යනු විද්‍යානුකූල ගවේශනයක් ඔස්සේ පාදා ගන්නා කරුණු තර්කානුකුල පදනමක් මත අර්ථගැන්වීම වුවත් ශ්‍රී ලාංකීය භූමියේදි මෙම අර්ථගැන්වීම කේන්ද්‍රගතවී ඇත්තේ ජාතියක ශුද්ධවරභාවය උත්කර්ශයට නැංවීමට වීම නිසා ඉතිහාසය ලෙස අපට මුණගැසෙන්නේ කල්පිතය ඔස්සේ ප්‍රහර්ශ ගැන්වු මිත්‍යාවක්. මෙවැනි මිත්‍යාවන් හැදැරිය යුත්තේ සාහිත්‍යය ඇසුරෙන් වුවත් ලාංකීය භූමියේදි මේවා පරම සත්‍ය බවට පෙරලෙන්නේ ප්‍රශ්න නොකෙරෙන ආගමික විශ්වාසයන් ආකාරයෙනුයි. සුප්පාදේවි සිංහයෙකුට දාව සිංහබාහු හා සිංහසීවලි බිහිකිරිම වැනි මිත්‍යාවන් ප්‍රශ්න නොකෙරී මග හැරෙන්නේ සිංහල ජාතිය යනු සිංහ ලේ ඇති ජාතියක් ලෙස ඔසවා තබන්නට ඇති උවමනාව පෙර කී යථාර්තය අතික්‍රමණය කරන බැවිනුයි. මගේ ආදරණීය යක්ෂණි උත්ප්‍රාසයෙන් ප්‍රශ්න කරන්නේ මෙම යථාර්තයි.

නේත්‍රා :…….අනික විජය බිහි වෙන්නෙ අයියගෙයි නංගිගෙයි සංවාසය ඇතුළෙ. එතැනිනුත් කියවෙන්නෙ කලවම් වෙලා නෑ කියන එක.
මම : කලවම් නොවීමෙන් පටන් ගත්තයි කියන ඔය පරම්පරාවෙ අයගෙ පොඩි මොංගෝලියානු පෙනුමක් තියෙන්නෙ මේ ලේ ඥාතිකම හින්දා වෙන්නත් පුළුවන්.
නේත්‍රා : වෙන්න පුළුවන් එහෙම හිතන් ඉන්න අයගෙ. මං කිව්වෙ ඒ පරම්පරාවෙ කියලා හිතන් ඉන්න අයගෙ. අපේ නෙවෙයි
මම : ඔන්න දැන් එතකොට ආර්ය සංකල්පෙට කෙළවෙන්න ගන්නවා. සිංහයා කියන්නෙ ආර්ය මූලයන් සහිත සතෙක්ද? සාමාන්‍යයෙන් අපි කියන්නෙ ‘සිංහයා වනාහි තාල වර්ගයට අයත් සතෙකි‘ කියල. මගේ ආදරණීය යක්ෂණී- පිටුව 256

ජාතියක ශුද්ධවරභාවය කියන්නේම මිත්‍යාවක්. කිසියම් ජාතියක් තවත් ජාතියකට වඩා උසස් වන්නේවත් කිසියම් ආගමක් තවත් ආගමකට වඩා නිර්මල වන්නේවත් නැතිවා මෙන්ම, කෙනෙක් එසේ සිතනවානම් එය සායනික ප්‍රතිකාර ලැබිය යුතු තරමේම උග්‍ර මානසික ව්‍යාධියක්. මෙවැනි මානසික රෝගීන් වීදි බැස ජාතියක හෝ ආගමක ශුද්ධවරභාවය සමාජගතකිරිමට දරන වෑයම ඉතා බැරැරුම්ව ගෙන, කොන්දේසි විරහිතව පරාජය කළයුතු වන්නේ මේවා හුදු අහඹු ක්‍රියා නොව සැලසුම් සහගත කූට දේශපාලනික ව්‍යාපෘතියක ඍජු ප්‍රකාශනයන් වන බැවිනුයි. තම ජාතිය හෝ ආගම උසස්යැයි ඝෝෂා කරමින් මෙම උන්මත්තකයින් කැසකවන්නේ වෙනත් ජාතියක් හෝ ආගමක් මර්ධනයට මිස අන් දෙයකට නොවේ. එල්.ටී.ටී.ඊ. මර්ධනය නාමයෙන් දෙමළා පරාජය කිරිමේ මෙහෙයුමේදිත් උපක්‍රමයක් ලෙස උත්කර ගැන්වු මෙම ආර්ය සංකල්පය, ලැබු ජයග්‍රහණයත් සමඟ පශ්චාත් නන්දිකඩාල් ශ්‍රි ලංකාව තුල අධිනිශ්චය වෙන්නේ සිංහල බෞද්ධ සංකල්පයම එකම ගැලවුම් මාර්ගය වු රෙජීමයක ආරක්ෂිත පලිහ ලෙසයි. ජාතියක ශුද්ධවරභාවය දේශපාලනික ව්‍යාපෘතියක් ලෙස සමාජගත කරමින් හිට්ලර් වැනි උන්මත්තකයින් තම ඉලක්ක ජන කණ්ඩායමට එරෙහිවත්, පොදුවේ සමස්ත මානව වර්ගයාටම එරෙහිවත් කළ ව්‍යසනයෙන්වත් පාඩම් ඉගෙන නොගැනීම ජාතියක් ලෙස අප මුහුණ දෙන ඉතාමත් ඛේදනීය තත්වයක්. යක්ෂණි ප්‍රශ්න කරන්නේ එවන් ජාතියක හෘදය සාක්ෂියයි.

අනිත් පැත්තෙන් විජය කියන මූදු මංපහරන්නව, කුදිරමලේ කන්දටත් වඩා උස්සලා තියන අයට ඕන කරන්නෙ ජාතියක ශුද්ධවර බව, එහෙම නැත්තං රාජකීය බව තමන්ට ආදේශ කරගන්න. අන්න ආර්ය සංකල්පෙ ඉස්සරහට එනවා. හරියට හිට්ලර් වගේ. කොටින්ම හිට්ලර් කියන්නෙ හෙළයෙක් කියලා බය නැතුව ලියන තැනට මිනිස්සු අද පිස්සු වැටිලා ඉන්නෙ. මට තියෙන ප්‍රශ්නෙ මේකයි. හිට්ලර් ගැන කතා කරන කිසි එකෙක් සිංහල භාෂාවෙ තියෙන පර්යයා පද කියන වචන ගැන මෙලෝ දෙයක් දන්නෑ. මගේ ආදරණීය යක්ෂණී- පිටුව 284

මගේ ආදරණීය යක්ෂණීට කේන්ද්‍ර වී ඇත්තේ ප්‍රබන්ධය තම ඉතිහාසය ලෙස වැලඳගත් සමාජයකදී විකෘතියක් සේ පොලා පනින මානව අර්බුදයයි. යක්ෂණී ප්‍රශ්න කරමින්, පුපුරුවා හරින්නේ මෙම ඉතිහාසයේ සුජාතභාවයි. යක්ෂණි දත් නියවමින්, උපහාසයෙන් විමසන්නේ ඉතිහාසය ලේඛනගතවීමේදි ‘දෙන ලද තත්වයන්’ යන්න කෙතරම් බලපැම් සහගත මැදිහත්වීමක් කෙරෙයිද යන්නයි. වඩාත් සරලව කිවහොත් රාජපක්ෂ රෙජීමය යටතේ ලේඛනගතවන ඉතිහාසයේදි 2009 යුද ජයග්‍රහණයේ සරත් ෆොන්සේකා නැමැති හමුදාපතිවරයෙක් හමු නොවන ආකාරයට මෙම ‘දෙන ලද තත්වයන්’ අධිනිශ්චය වී සැබෑ දත්තයන් අතික්‍රමණය කර නව ‘සත්‍යය’ ලෙස අනාගතයේ හමුවන ඉතිහාසයේ යථාර්තයයි.

සාලිය විතරක් ම ගත්තත්, එයා හිටියෙ තාත්තගෙ වැඩ ගැන කළකිරිලා. තාත්තා අරහන් වෙලා. එයා තාත්තව ප්‍රතික්ෂේප කළා. තාත්තම්මත් එක්ක කරපු සංවාදෙක එයා ශාර්වරී දේවියගෙන් කෙලින්ම අහනවා, බුදුන්ට අනුව පීඩිතයව පාගලා වෙහෙර විහාර හදන එක නිවැරදි වෙන්නෙ කොහොමද කියලා? මිනිහා මාලිගාවෙන් එළියට බැහැල පීඩාවට පත්වුණු මිනිස්සු සංවිධානය කරන්න පටන් ගත්තා, අතේ තියන රජකම බල්ලට දාලා. අන්න එතනයි ඉතිහාසෙදි හංගල දාපු ඇත්ත මනුස්සකම තියෙන්නෙ. රාජ පුත්‍රයන්ගෙ ඇත්ත හෘදය සාක්ෂිය තියෙන්නෙ එතන. නමුත් ඒක හැංගුවා.
ඒකට හේතුව සාලිය අන්තිමේ තාත්තට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරපු එක, මාලිගාවෙම කෑම මේසෙදි. මිනිස්සු එළියෙ බලං හිටිය තමන්ගෙ ගැලවුම්කාරය එනකල්. නමුත් ආයෙ කැරැල්ලක් ගහන්න කෙනෙක්, ඊට නායකත්වය දෙන කෙනෙක් මිනිස්සු අතරට ගියේ නෑ. චැප්ටර් ක්ලෝස්. තාමත් එයාකාරෙන්ම සිද්ධ වෙන ඉතිහාසෙ තියෙන පළමු රාජකීය අතුරුදහන් කෙරිල්ල සිද්ධ වෙන්නෙ එහෙමයි.

නමුත් කෑම මේසෙ ඇකිළුව වගේ මේක වහල දාන්න බෑ. ඒක වහගන්න තරම් ලස්සන කතාවක් ඕන වෙනවා. ඔක්කම කූණු බේරෙ වැවට වගේ ඒ කොන්තරාත්තුවත් මහානාම හාමුදූරුවන්ට. පව්…. අහිංසකයා. හැබැයි මේකෙදි උන්නාන්සෙ එක කොන්දේසියක් දානවා, කිසිම සංශෝධනයක් නොකරනව නම් මං වැඩේ බාර ගන්නම් කියලා.

උන්වහන්සෙ මහා වනයක් මැද්දෙ අශෝක මල් මවල… ඒකට අශෝක වනය කියල නමකුත් මවල… ඒක මැද්දෙ මාලා කියල නිර්වස්ත්‍ර සුරංගනාවකුත් මවල… ඇයට කැරළි කැරළි කොණ්ඩයකුත් මවල… ඒ කොණ්ඩෙට අශෝක මල් මාලයකුත් මවල… අතුරුදහන් කරවපු සාලියවත් ඒ කෙල්ල ඉස්සරහ මවල… ඔන්න ඔය විදිහට මවාගෙන මවාගෙන ගිහිල්ල… ඔන්න ඉතිහාසෙ. ඔන්න ඔයාකාරව ප්‍රේමයට පුළුවන් ඕනම ඛේදවාචකයක් වහගෙන ඉහළ මතු වෙන්න. ඕකට ඉතිහාසෙ නෙවෙයි සාහිත්‍ය කියල නම් කියන්න පුළුවන්- මගේ ආදරණීය යක්ෂණී- පිටුව 288 /289

ශ්‍රී ලාංකීය ඉතිහාසය අලුතින් අර්ථකතනය කරන්නට උත්සහ කිරීමේ පාපයට පිටුවහල උරුමවු මේඝවන්න නැමති ඉතිහාස ගවේෂකයගේ දෘෂ්ටියෙනුත්, ඔහුගේ සංසාරීය පෙම්වතිය වන නේත්‍ර බිමිබාගේ දෘෂ්ටියෙනුත් වෙන් වෙන්ව ද්විත්ව උත්තම පුරුෂ ආඛ්‍යනයකින් දිගහැරෙන කෘතියේ පිටුවහල් මේඝාට නේත්‍රා මුණ ගැසෙන ආදරණිය නිමේෂයදී ප්‍රේමයට පර්යායව දෙදෙනා අතර හුවමාරු වන ඓතිහාසික තොරතුරු ඔස්සේ ඇතිවන විසංවාදය යක්ෂණිගේ දේශපාලනික දෘශ්‍යමානය බවට පත්වෙනවා. අතීතයේ ජීවත් වූ නේත්‍ර බිමිබා ප්‍රත්‍යක්ෂයෙන් දන්නා කරුණු ලෙස මතුකරන කල්පිතයත්, විද්‍යානුකුල හැදැරීමකින් මේඝවන්නා ගවේශනය කරගත් ඓතිහාසික තොරතුරුත් අතර ප්‍රතිපක්ෂයන්හි දෝලනය වු දත්ත දේශපාලනික තර්කය සමග සමපාත වෙමින් කෘතිය පරිසමාප්තියට පත් වෙනවා.

කුවන්නා කියන්නෙ දෙමළ ගෑණියෙක්ට – මගේ ආදරණීය යක්ෂණී- පිටුව 399

මංජුල වෙඩිවර්ධන මගේ ආදරණිය යක්ෂණි හරහා කරන්නේ පාර ප්‍රබන්ධයක් (Metafiction) හදන එක. පාර ප්‍රබන්ධයක් කියන්නේ ප්‍රබන්ධයක් මත තවත් ප්‍රබන්ධයක් ගොඩනැඟීමක්. පවතින දේ මත නොපවතින දේ ගොඩ නැඟෙන, භෞතික දේ ඇසුරේ කල්පිතය විමසෙන, මෙතැනදී සිදූවන්නේ පැරණි ප්‍රබන්ධය ගොඩනගන මතවාදය දෘෂ්ටිමය වශයෙන් අභියෝගයට ලක්කොට නව ප්‍රබන්ධය හරහා පැරණි කතිකාව නව මානයක් කරා යොමු කිරීමක්. වෙනත් මිත්‍යාවක් විසින් අධිනිශ්චය කරන ලද සමාජ ප්‍රපංචයක් දෘෂ්ටිමය වශයෙන් අභියෝගයට ලක් කොට නව විද්‍යාවක් ඔස්සේ නූතන කතිකාවක් ගොඩනැංවීමක්. පූජනීයත්වයෙන් ආරක්ෂා කරන ලද ඵෙතිහාසික ප්‍රබන්ධයකට මගේ ආදරණිය යක්ෂණි නැමැති නූතන ප්‍රබන්ධය මෙලෙස පර්යායව පිහිටුවීමෙන් මතුවන විසංවාදය තුළ එක්කො ලේඛන දෙකම ප්‍රබන්ධ වෙනවා. නැතිනම් ලේඛන දෙකම සත්‍ය වෙනවා.

පසු සටහන

තමන් ආර්යයන් යැයි පාරම්බාමින්, දෙමළ මාංශයෙන් කුස පුරාවාගෙන, මුසල්මානු රුහිරු අනුපානයට ගන්නා, සිංහයින්ගේ ශුද්ධවරභාවය උත්කර්ෂයට නැංවූ මහාවංශයට ආදරණිය යක්ෂණි අභිමුඛ කරමින් එම ශුද්ධවරභාවය අභියෝගයට ලක්කිරිම දේශපාලනිකව යක්ෂ වැඩක්.

ඉන්දික උඩුගම්පොල | Indika Udugampola