[Image Credit: CaFFE/ හාලි ඇළ එජාප රුළියේ සංවිධායකගේ රියට ප්‍රහාරයක් ඒල්ල වූ අවස්ථාව]

ඌව පළාත් සභා මැතිවරණයේ අවසාන සතිය එළැඹෙද්දී, මෙය නිදහස් හා සාධාරණ මැතිවරණයක් වේද, නැතහොත් ප‍්‍රචණ්ඩකාරී මහා නාඩගමක් වේද යන ප‍්‍රශ්නය, විපක්ෂ නායකයන් සහ ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් වෙතින් ඇසෙනු අපට ඇසේ.

ශ‍්‍රී ලංකා දේශපාලනයේ නැගී එන තාරකාව වශයෙන් බොහෝ දෙනා දකින, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ගිය අඟහරුවාදා පාර්ලිමේන්තුවේ දී චෝදනා කළ පරිදි, ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් ජීප් රථ, බදුල්ල සහ මොනරාගල දිස්ත‍්‍රික්කවල මැරවර ක‍්‍රියාවන් සඳහා භාවිත කෙරෙමින් තිබේ.

සාමාන්‍යයෙන් තමා නගන චෝදනා සංඛ්‍යා ලේඛන සහ ලියකියවිලි මාර්ගයෙන් ඔප්පු කොට පෙන්වන අනුර කුමාර දිසානායක, මැතිවරණයක් වෙනුවට ආණ්ඩුව කරන්නේ ‘මැරවරණයක්’ බව පෙන්වා දුනි. මේ මැතිවරණයේදී නීති විරෝධී ආකාරයෙන් රජයේ සේවකයන් සහ රාජ්‍ය සම්පත් යොදා ගැනීම පෙර නොවූ විරූ මට්ටමකින් සිදුවන බව, ස්වාධීන මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් සහ මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ දිස්ත‍්‍රික්ක දෙක තුළ ඇතැමුන් විසින් අරක්කු දන්සල් ද දමා ඇති බව, ජාතික භික්ෂු පෙරමුණ ඊයේ ප‍්‍රකාශ කෙළේය. පළාත් සභා මැතිවරණ, පළාතෙන් පළාතට කඩින්කඩ පැවැත්වීම නිසා, තමන්ගේ සම්පත් පමණක් නොව, ධනය, දේපළ සහ රාජ්‍ය සේවකයන් ආදී රාජ්‍යයේ සකල සම්පත් ද ආණ්ඩු පක්ෂයේ ජයග‍්‍රහණය සඳහා අපහරණය කිරීමේ හැකියාව පාලක පක්ෂයට ලැබී තිබේ. එක වාර්තාවකට අනුව, පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය එම පළාතේ දැනට මැතිවරණ කාර්යාල 900 ක් පවත්වාගෙන යයි. එහෙත් නීතියෙන් ඉඩ ඇත්තේ කාර්යාල 200 ක් සඳහා පමණි.

මැතිවරණ ව්‍යාපාර කළමනාකරණයේ කප්පිත්තෙකු වන ජනාධිපති මහින්ද රාජපක්ෂම, තම බෑනා වන ශෂීන්ද්‍ර රාජපක්ෂගේ මහ ඇමති අපේක්ෂක ජයග‍්‍රහණය සඳහා මේ වන විට සටනට බැස තිබේ. පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ සමග යම් අවබෝධයකට පිවිස සිටින සජිත් පේ‍්‍රමදාසත් මැතිවරණයට සහභාගී වන හෙයින් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයත් යම් ප‍්‍රබෝධයක් ලබා තිබේ. ජනතා විමුක්ති පෙරමුණත්, එහි දීප්තිමත් නායක අනුර කුමාර දිසානායකගේ මගපෙන්වීම යටතේ සිය මැතිවරණ ව්‍යාපාරය තීව‍්‍ර කොට තිබේ. බොහෝ ස්වාධීන විමර්ශකයන් පුරෝකථනය කරන පරිදි, මෙය නිදහස් සහ සාධාරණ මැතිවරණයක් වෙතොත්, ආණ්ඩු පක්ෂයේ ඡන්ද ප‍්‍රතිශතය බෙහෙවින් පිරිහී ගොස් ඔවුන්ට හිමි බහුතරයත් අහිමි වීමට හොඳටම ඉඩ තිබේ. ඒ, දිනෙන් දින ඉහළ යන ජීවන වියදම, හතර අතින් වෑහෙන දූෂණය සහ රටේ දුප්පත්ම පළාත වශයෙන් සැළකෙන ඌවේ දරිද්‍රතාව දුරැුලීම සඳහා පාලකයන් කිසි පියවරක් නොගෙන තිබීම ආදී හේතු නිසා ය.

මේ අතර, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මේ මැතිවරණ කොට්ඨාශ දෙකේ මෑතකදී කරන ලද සංචාරයකින් පසුව කියන්නේ, ප‍්‍රචණ්ඩත්වය සහ මැතිවරණ නීතිරීති උල්ලංඝණය කිරීම ගැන විපක්ෂය නගන චෝදනා අතිශයෝක්තියක් වන බවයි. එහෙත්, මැතිවරණ කොමසාරිස් යනු ‘රූකඩ පෙන්දෙක්’ බව විපක්ෂය පෙන්වා දෙයි. එසේ වන්නේ, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ විධායක ජනාධිපතිවරයා අතට ගොනු වී ඇති අසීමිත බල කන්දරාව නිසා ය. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමාගේ අත් බැඳ දමා ඇති බව, මැතිවරණ කොමසාරිස්වරයාමත් පිළිගනී. එසේ හෙයින්, ඡන්ද පෙට්ටි තුළට පිටස්තර අත් එබෙන්ට පුලූවන් බව විපක්ෂයේ විවේචකයෝ පෙන්වා දෙති. ජනතා විමුක්ති පෙරමුණ, නූතන කොම්පියුටර් ජිල්මාට් යනුවෙන් හඳුන්වන්නේ එයයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ හැසිරීම ඊට හපන් ය. නීතිය හා සාමය රැකීමට සිටින මේ වැදගත් රාජ්‍ය ආයතනය, පාලක පක්ෂයේ රූකඩයක් සහ අතකොලූවක් වී ඇති සැටි විපක්ෂ නායකයන් සහ ස්වාධීන විචාරකයෝ පෙන්වා දෙති. ආණ්ඩුවේ මැරවර කල්ලි, මැතිවරණ නීතිරීති කඩකරමින් හිංසාකාරී ක‍්‍රියාවන්හි යෙදෙන විට පොලීසිය කර කියාගත හැකි දෙයක් නොමැතිව, ලැජ්ජාවෙන් බලා සිටින අවස්ථා අනන්තවත් අප දැක තිබේ. ඒ විපතත්, 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේම ප‍්‍රතිවිපාකයකි. මන්ද යත්, පොලීසියේ ස්වාධීනත්වය අහෝසි වී ඇත්තේ ද ඒ හේතුවෙන්ම වන බැවිනි.

ඌවේ මැතිවරණය යුද්ධයක් බවට පෙරැලීමේ තවත් හේතුවක් විය හැක්කේ, එය, ඉදිරි වර්ෂයේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ පූර්වගාමී අවස්ථාව වන නිසා ය. හේතුව කුමක් වුවත්, මේ සා යෝධ නාඩගමක් අත්‍යන්තයෙන්ම විකාරයකි. ඉවසිය නොහැක්කකි. ඊළඟ මැතිවරණයට කලින් යම් ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුව බව අපි අපේක්ෂා කරමු. මන්ද යත්, ව්‍යාජ සහ හොර දේශපාලනික නාඩගම් සඳහා ජනතා මුදල් මෙසේ කාබාසිනියා කිරීමට ඉඩ දිය නොහැකි බැවිනි.

* 2014 සැප්තැම්බර් 10 වැනි දා ‘ඬේලි මිරර්’ පුවත්පතේ Political War in Uva: Stop this Colossal Farce නමින් පළවූ කතුවැකියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි