‘‘සාධු, සාධු, සාධු’’ භික්ෂුව වේදිකාවට ගොඩවෙද්දී රැස්ව සිටි දෙනෝදාහක් දොහොත් මුදුන් දී සාධුකාර දුන්හ.

භික්ෂුව කෝපයෙන් ගුගුරයි. සෙනග ඔල්වරසන් දෙති. ඔහුගේ දේශනාව සරසන්නේ සුපුරුදු වාගාලංකාර සාටෝපයයි. මුස්ලිම් අන්තවාදීන්ගේ බරපතල තර්ජනයට සිංහල ජාතිය මුහුණදී සිටිති යි ඔහු ඉඳුරා කියයි. ‘‘සිංහලයෙකුට ඇඟිල්ලක් තිබ්බොත්, ඒක උංගේ අවසානය’’ යැයි ඔහු බෙරිහන් දෙයි. එම පෙදෙසේ මුස්ලිම් ජනාවාසයක් වට කොට එක රැයකින් ‘ඉවරයක්’ කර දමන බවට සපථ කරයි. එය, ඇත්තෙන්ම ඉන් ස්වල්ප වේලාවක් ඇවෑමෙන් ඇති වූ සිද්ධීන් පිළිබඳ අනිටු පුරෝකථනයක් විය. මුස්ලිම් ප‍්‍රජාව හැඳින්වීමට නැවත නැවතත් ඔහු භාවිත කෙළේ, ‘මරක්කලයා’ සහ ‘හම්බයා’ යන සිංහල භාෂාවේ ගර්හාත්මක වචනයි. ‘‘ඔව්, අපි ජාතිවාදීන් තමයි. ඔව්, අපි ආගමික අන්තවාදීන් තමයි’’ ජනතාව ඔල්වරසන් දෙද්දී ඒ පිස්සු භික්ෂුව බෙරිහන් දුනි.

පසුගිය ජුනි 15 වැනි ඉරිදා රෑ අළුත්ගම කැරලි කෝලාහල සහ ඉන් පසුව ඇති වූ ගිනි තැබීම් වැනි රුදුරු ප‍්‍රචණ්ඩත්වය මෙලවීම සඳහා අවශ්‍ය කර තිබුණේ එවැනි වේදිකාවකි. ඊට කලින් බ‍්‍රහස්පතින්දා පොසොන් පෝය දා යම් භික්ෂුවකට මුස්ලිම් තරුණයෙකු විසින් පහර දෙන ලදැ යි කියන සිද්ධියක් නිසා එම ප‍්‍රදේශය පැවතියේ අසහනකාරී තත්වයකයි. අන්තවාදී ‘බොදුබල සේනාව’ ගෙන ගිය කුපිතකාරී ප‍්‍රචාරය, එම ගින්නට පිදුරු දැමීමක් විය.

වාර්ගික හිංසනයේ එක පරිච්ෙඡ්දයක් අවසන්ව වසර පහක් ගත වුණා පමණි. එයින් හානියට පත් ජාතික මනෝ භාවය සහ ජාතික ආර්ථිකය යාන්තමින් ගොඩඑමින් තිබුණා පමණි. දැන් වෙනත් සුළුතර ප‍්‍රජාවක්, කොන් කරනු ලැබීමකට යටත්ව, වට කරනු ලැබෙමින් සිටිත්. ඒ ජනතාව තමන්ගේ හඬ ප‍්‍රකාශ කිරීමට සහ නියෝජනයක් ලබා ගැනීමට, ඉතා භයානක ස්ථාන කරා යොමු විය හැකිය. මෙය, කෙනෙකුට උදාසීනව, මධ්‍යස්ථව සිටිය හැකි කාලයක් නොවේ. දෙකට දෙවාරනේ සිටි මොහොත ගතව තිබේ. දශක තුනක වාර්ගික ගැටුමකින් ගොඩඑමින් සිටින රටක නැවත හිස ඔසවන වාර්ගික හිංසනයක් සුළුවෙන් තැකීම, යහපත් ආණ්ඩුකරණයක ලක්ෂණයක් නොවේ. වෛරී භාෂාව පතුරුවන, බිය ජනිත කරවන කොටස් දෙස, ‘කොල්ලෝ වුණහම ඔහොම තමයි’ යන හුරතල් ආකල්පයෙන් බැලීමෙන් උදා කොට ඇත්තේ විනාශයක්මයි. දැඩි මතධාරී බෞද්ධ කෝලාහලකරුවන් අතරේ එය, දණ්ඩමුක්තිය හෙවත් දඬුවම් නොවිඳ වැරදි කිරීමේ හැකියාවක් තමන්ට ඇතැ යි යන හැඟීමක් ඔවුන් තුළ දනවන්නකි.

එල්.ටී.ටී.ඊ, සංවිධානය පරාජය කිරීමෙන් පසු, පැරණි යක්ෂයන් දමනය කර ගැනීමටත්, අව්‍යාජ ජාතික සංහිඳියාවක් බරසාරව දියත් කොට විවිධ ප‍්‍රජාවන් අතරේ විශ්වාසය ගොඩනැගීමටත් අසමත් වීම නිසා, පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ මූලික වැදගත්කමක් ඇති යමක් කැඞී බිඳී ගොස් තිබේ. ඒ මගින්, නැවත හිස ඔසවන ගැටුමක සෙවනැලි මතු වෙයි. ආගම් අතර පසමිතුරුකම් ඇති වෙමින් තිබේ. තවත් සුළුතර ප‍්‍රජාවක් තුළින් හතුරන් බෝ කර ගැනෙමින් තිබේ.

කොළඹට කිලෝමීටර් 60 ක් නුදුරින් පිහිටි නගර කිහිපයක් හෙල්ලූ මේ ජාතිවාදී ප‍්‍රචණ්ඩත්වය පිළිබඳ වාර්තා කිරීමෙන් මාධ්‍ය හැකි තාක් වැළකී සිටි නිසා, ඇත්තෙන්ම සිදුවුණේ කුමක් දැ යි ජනතාවට දැනගත නොහැකි වුණි. එහි ප‍්‍රතිඵලයක් වුණේ, ඕපාදූප, වැරදි තොරතුරු සහ කටකතාවලට මුල් තැනක් ලැබීමයි. දශක ගණනකින් පසු ශ‍්‍රී ලංකාව අත්දුටු අතිශය හිංසාකාරී එම ගැටුම් ගැන ඇති වූ සමාජ ප‍්‍රතිචාරයත් ඕලාරික සහ උදාසීන එකක් විය. ඇති වු ප‍්‍රචණ්ඩත්වය හෙළාදකිමින්, වෛරය වැපිරූ අයවළුන්ට එරෙහිව පියවර ගැනීමක් ගැන නිල ප‍්‍රකාශයක් නිකුත් කිරීමට, රට කරවන පාලකයන්ට පුරා දින පහක්ම ගත විය. ජීවිත හා දේපළ හානිය වළක්වා ගැනීමට, නීතිය හා සාමය රැකීමට සිටින රාජ්‍ය ආයතනවලට නොහැකි වීමත්, අන්තවාදී කල්ලිවලට දණ්ඩමුක්තියේ වරප‍්‍රසාදය ලබා දෙමින් නීතියේ ආධිපත්‍යය බිඳ වැටීමත්, තවමත් නොවිසඳී ඇති ප‍්‍රශ්න වන්නේය.

මධ්‍යස්ථ අදහස් දරන්නන්ගේ ගොළුවතත්, ස්වාධීන මාධ්‍යයේ නිශ්ශබ්දතාවත් නිසා ඒ සා බරපතල සිදුවීමක්, හුදෙකලා සිද්ධියක් බවට පත්කෙළේය. එය, වැඩි කල් නොගොස් තවත් එවැනිම අවස්ථාවන් නිර්මාණය කිරීමට පාදක විය හැකිය. මේ සිදුවීම්වලින් සතියක් ඉක්ම යන තෙක්මත් ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික ව්‍යාපාරික අංශය නිශ්ශබ්දව සිටීම සහ රාජ්‍ය ප‍්‍රතිපත්ති පිළිබඳව පාලකයන්ව දැනුවත් කිරීම සිය කාර්ය කරගත යුතු ව්‍යාපාරික පර්ෂද කටවල් වසාගෙන සිටීම, ඇත්තෙන්ම අවාසනාවන්ත ය. මූලික වශයෙන් ගත් විට, ආගමික ආතතිය සහ අසහනය, පාලක පැලැන්තියේ ප‍්‍රතිපත්තිමය අසාර්ථකත්වයක් වශයෙන් හඳුනාගත යුතුව තිබේ. නීතියේ ආධිපත්‍යය සුරැුකීමට අසමත් වීම සහ වාර්ගික/ආගමික වෛරය වපුරන කොටස් හෙලාදකිමින් ඒවා තහනම් කිරීමට අසමත් වීම, ඒ පසුපස තිබේ.

නීතියෙන් ගැලවී රට පුරා වැරදි කිරීමේ අවසර තිබීමේ හේතුවෙන් බලවත්ව සිටින අන්තවාදී සිංහල බෞද්ධ කල්ලි පසුගිය මාස 18 ක කාලයක් තිස්සේ එන්න එන්නම ජවසම්පන්න විය. සාහසික විය. මේ කාලය තුළ ‘බොදුබල සේනාව’, ‘සිංහල රාවය’ සහ වෙනත් අන්තවාදී කල්ලි දියත් කළ සෑම ව්‍යාපාරයක්ම ඔවුන් ජයගෙන තිබේ. හලාල් ආහාර සහතිකය තහනම් කර ගැනීම සහ ශුද්ධ වූ ඉස්ලාම් සිද්ධස්ථාන සහ පල්ලි ඒවා පිහිටි ස්ථානවලින් වෙනත් ස්ථානවලට මාරු කර ගැනීම ආදියෙන්, ඔවුන්ගේ ඒ දැවැන්ත සාර්ථකත්වය හොඳින් පෙන්නුම් කෙරේ. මෙවැනි ප‍්‍රසිද්ධියේ ගෙන ගිය ව්‍යාපාරවල සාර්ථකත්වයෙන් පන්නරය ලැබ, මෙම පිරිස් වැඩි සද්දබද්දක් නැති තවත් සටන් ගෙන ගොස් තිබේ. මුස්ලිම් පල්ලිවලට සහ මුස්ලිම් ව්‍යාපාරික ආයතනවලට පහර දීම්, ආගමික ඇඳුම් පැළඳුම් හැඳ සිටීම සහ රැවුල් දිගට වවා සිටීම වැනි හේතු මත එම මුස්ලිම් පිරිමින් සහ ගැහැනුන්ව ගැහැටට පත්කිරීම් ඒවාට අයත් වේ. මෙවැනි පහරදීම් බොහෝ විට වාර්තා වී නැත. අන්තවාදී රාක්ෂයන් තර වීමට එය හේතුවක් විය. මේවා ගැන කිසි නඩු විභාගයක් නැතිව, දේශපාලනික නායකත්වය සහ මධ්‍යස්ථ සමාජ ස්ථර ඒවා ගැන නිශ්ශබ්දව සිටින තත්වයක් තුළ, අන්තවාදී කල්ලි ලොකු මහත් වුණි. බහුතරයේ යුද ජයග‍්‍රහණයේ ප‍්‍රහර්ශය මැද්දේ සුළුතර ප‍්‍රජාවන්ගේ අනාරක්ෂාව රජයන පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ අස්ථාවර සමාජ දේහය, වෛරය වපුරන මෙවැනි කල්ලි විසින් අවදානමට පත්කරනු ලබන බවට මොන තරම් අනතුරු ඇඟවීම් කරනු ලැබුවත්, ඒ කිසිවක් පාලකයන් ගණන් ගත්තේ නැත.

මේ නිසා, අළුත්ගම ප‍්‍රචණ්ඩත්වය වූ කලී, බොහෝ කලක් තිස්සේ ගොඩනැගෙමින් තිබුණු තත්වයක ප‍්‍රතිවිපාකයක් වූ බව කිව යුතුය.

ජුනි 15 වැනි දා බොදුබල සේනාව අළුත්ගමට ගොඩබැස්සේ අහම්බෙන් නොවේ. වාර්ගික මිශ‍්‍රණයක් සහිත මේ පෙදෙසේ පොසොන් පෝය දවසේ ඇති වූ සිද්ධියේ පටන් මේ කල්ලියේ අනුගාමිකයෝ සමාජ මාධ්‍යයන් ඔස්සේ වෛරය වපුරමින්, ඉරිදා රැලියට පෙට‍්‍රල් සහ අවි ආයුධත් රැගෙන එන බවට තර්ජනය පාමින් උන්හ. ඒ තත්වය තුළ එම රැළිය නතර කරන්නැ යි, මුස්ලිම් ඇමතිවරු සහ සිවිල් සමාජ කණ්ඩායම් බලධාරීන්ට ආයාචනා කළහ. එහෙත් පාලකයන් සිටියේ බිහිරන් මෙනි. ඒ අතර, තමන්ට සාමය ආරක්ෂා කළ හැකි බවට පොලීසිය සහතික විය. ඉතිං, ‘බොදුබල සේනාව’ සහ 7000 ක් පමණ වන ඔවුන්ගේ සහචර පිරිවර, පෙළපාලියේ ගියහ. එතැන් සිට දිග හැරුණු ඛේදවාචකය දැන් කවුරුත් දනිති.

ජුනි 15 වැනි දා දරුණුම කෝලාහල හටගත් අළුත්ගම, දර්ගා නගරයේ මුල්ම ගල ගැසුවේ මොන කණ්ඩායම ද යන්න පිළිබඳ විවාදයක් තිබේ. කෝපයට පත් මුස්ලිම් ජාතිකයෝ තමන්ගේ ප‍්‍රදේශයේ පාරවල් දිගේ ප‍්‍රකෝපකාරී සටන් පාඨ හඬවමින් ඇදෙන සතුරු පෙළපාලිය දෙස තැන් තැන්වල රැස්ව බලා උන්හ. පැය ගාණක් යන විට, අසල්වැසි බේරුවල නගරයටත් ප‍්‍රචණ්ඩත්වය පැතිරී තිබුණි. ජාතිවාදී සටන් පාඨ කියමින් එන සැහැසි ජනයා සිය ගෙවල් දොරවල් සහ ව්‍යාපාරික ස්ථාන වට කරන විට මුස්ලිම් ජනතාව කෙළේ, හව්හරණ පතා පාසල් ගොඩනැගිලිවල හෝ මුස්ලිම් පල්ලිවලට දිව ගොස් සැඟවීමයි. දඬු පොලූ මුගුරු සහ පෙට‍්‍රල් බෝම්බ, ප‍්‍රහාරකයන්ගේ අවි බවට පත්විය. පැය 48 ක් තිස්සේ, ඇඳිරි නීතිය ද පවතිද්දී, හිංසනය ඇවිළුණි. ජීවිත හතරක් විනාශ විය. තවත් බොහෝ දෙනා තුවාල ලදහ.

බෞද්ධ අන්තවාදීන් විසින් උසිගන්වන ලද මුස්ලිම්-විරෝධය, අරටුවෙන් ගත් විට, ආර්ථික අරමුණු විසින් මෙහෙයවන්නකි. මුස්ලිම්වරු ආර්ථික වශයෙන් සාර්ථක ය: වෙළඳාම සහ ව්‍යාපාරික කටයුතු ඔවුන්ගේ මූලික චරිත ලක්ෂණයකි. ඔවුන්ගේ බොහෝ ගේදොර ගිනි ගෙන ඇතත්, ඉහත කී නගර දෙකේම ප‍්‍රහාරකයන්ගේ ප‍්‍රධාන ඉලක්කයන් වී ඇත්තේ මුස්ලිම් කඩසාප්පු සහ ව්‍යාපාරික ආයතනයි. ඉන් දින පහකට පසු, අගනුවරට වඩාත් ආසන්නයේ පානදුර නගරයේ පිහිටි මුස්ලිම් ව්‍යාපාරිකයෙකු සතු ප‍්‍රසිද්ධ රෙදිපිළි සාප්පුවකට ගිනි තබා විනාශ කිරීම ඒ ආර්ථික අරමුණ මොනවට පෙන්වන්නකි. සිංහල ගැහැනුන්ව වඳ භාවයට පත්කරන ටොෆි වර්ගයක් මේ විශේෂිත සාප්පු සමූහය විසින් බෙදාහරිනු ලැබෙතැයි කී අභූත චෝදනාව අන්තවාදීන් විසින් පතුරුවා හරිනු ලැබෙමින් සිටියේ දැන් කාලයක සිට බව මෙහිදී අමතක නොකළ යුතුය.

මෙකී ආගමික ප‍්‍රචණ්ඩත්වයේ ප‍්‍රතිවිපාකත් ආර්ථිකමය ස්වභාවයක් ගැනීමේ ප‍්‍රභවයකින් යුක්ත වීම උත්ප‍්‍රාසාත්මක ය. දකුණු මුහුදු තීරයේ සංචාරක කර්මාන්තයේ නාභිගත පෙදෙස්වලට මේ ප‍්‍රචණ්ඩත්වය හටගත් පෙදෙස් ආසන්නව පිහිටීම හේතුවෙන් දැනටමත් ඇතැම් රටවල් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කොට තිබේ. එසේම, ලංකාවට පැමිණීමට නියමිතව සිටි මැදපෙරදිග සංචාරකයන් සිය ගමන් අවලංගු කොට ඇති බවට ලංකාවේ සත්කාරක කර්මාන්තයෙන් මැසිවිලි නැගෙනු ඇසේ. ශ‍්‍රී ලංකාවට එන සංචාරකයන් වැඩියෙන් ඇවිදින තැන් වශයෙන් හතරවැනි තැන ගන්නේ මෙකී ප‍්‍රදේශයි. එසේම, බොහෝ සංචාරකයන් ලංකාවට එන්නේ ද, මැයි-ඔක්තෝබර් දක්වා වන තද උෂ්ණත්වයක් සහිත ග‍්‍රීෂ්මයේ ය. එබැවින් ප‍්‍රචණ්ඩත්වය හටගත් කාලය, ලංකාවට වැඩිම හානියක් ගෙන දිය හැකි කාලයක් විය.

පශ්චාත්-යුද කාලීන ශ‍්‍රී ලංකාවේ මතකයේ ආඛ්‍යානයන් පවතින්නේ නිරන්තර වෙනස්කම්වලට භාජනය වෙමිනි. 1983 කළු ජුලිය හේතුවෙන් සිංහල බහුතරය තුළ තිබූ ලැජ්ජාව සහ වරද සහගත හෘද සාක්ෂියේ අපවාදාත්මක ආඛ්‍යානය, යුද ජයග‍්‍රහණයෙන් පසුව, චන්ඩි කමේ සහ බලය පෙන්වීමේ ආඛ්‍යානයක් බවට පරිණාම වී ඇත. යුද්ධාවසානයේ පටන් සිංහල ජාතියේ විඥානය අරක්ගෙන ඇති, සමාභජනයකින් තොර ජයග‍්‍රාහී මනෝ භාවය ඊට තුඩුදී ඇත. මේ ස්වභාවය, ආපසු හැරී බැලීමක් වළකාලන්නේය. ජාතීන් අතර අවිශ්වාසය සහ අනියත බියක් පිළිබඳ මතිභ‍්‍රමය අවුළුවන්නේය. අන්තවාදය, බහුතරවාදය සහ ආගමික ෆැසිස්ට්වාදය, ඒ සාමූහික විඥානයේ රුදුරු දරුවෝ ය. සමාජයේ උන්මත්තක අහුමුළුවලින් ප‍්‍රධාන ප‍්‍රවාහයට වඩින දෘෂ්ටිවාදයන් වන්නේ ඒවා ය.

ශ‍්‍රී ලංකාවේ දේශපාලනික සහ ව්‍යාපාරික ප‍්‍රජාවට තිස් අවුරුදු යුද්ධය වටිනා පාඩම් කියාදුනි. ආර්ථික වශයෙන් ගොඩඒමටත්, සමෘද්ධියේ අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමටත්, සාමය සහ සමාජ ස්ථාවරත්වය අත්‍යාවශ්‍ය වන්නේය. එම ගොඩඒමට, ආර්ථික සහ දේශපාලනික ක්ෂේත‍්‍ර තුළ පවතින ප‍්‍රතිපත්තිමය දුර්වලතා හරහට සිටී. රාජ්‍යය සහ ඊට අයත් ආයතන මගින් මේ අන්තවාදී මැරවරයන්ව ආරක්ෂා කරන බවට පවතින හැඟීම, සමස්ත ලාංකීය ප‍්‍රජාව තුළ බිය වඩවයි. අපේක්ෂා භංගත්වය ජනනය කරවයි. යුද සමයේ මිතුරෙකු වූ ශ‍්‍රී ලංකාවේ මුස්ලිම් ප‍්‍රජාව, සාම සමයේ ගොදුරක් බවට පත්වීමට ගතව ඇත්තේ අවුරුදු පහක් පමණි. ස්වකීය ආණ්ඩුකරණ ක‍්‍රියාවලියේ එකම යෝධ සාර්ථකත්වය වශයෙන් වර්තමාන පාලකයන් උදේ හවා හුවාදක්වන, ඉතා අමාරුවෙන් දිනාගත්තා යැයි කියන සාමයේ පීලි පැන්නවීමට, මේ සුළුතර ප‍්‍රජාවට එරෙහිව ගෙන යන යුද්ධයත්, ආණ්ඩුවේ වෙනත් සුළු ජාතික ප‍්‍රතිපත්තිත් නොඅනුමානවම හේතුභූත වනු ඇත.

දරිෂා බැස්ටියන්ස්

*2014 ජුලි මාසයේ ‘එචිලන්’ සඟරාවේ පළවූ Confronting Old Demons නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’