Image Credit: lankastandard

එක්සත් ජාතික පක්ෂයේ පෙනෙන්ට ඇති එක්සත් භාවයත්, ඌව පළාත් සභා මැතිවරණයේ සාර්ථකත්වයත් අනුව, එළැඹෙන මාස කිහිපයේ දී එම පක්ෂය වඩාත් ශක්තිමත් වන බවට සැකයක් නැත. එහෙත් පිළිතුරු සෙවිය යුතු දුෂ්කර ප‍්‍රශ්නය වන්නේ, යම් හෙයකින් 2015 අපේ‍්‍රල් මාසයට කලින් ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් එහි දී ජනාධිපතිවරයාව පරාජය කිරීමට තරම් ඊට හැකි වේද යන්නයි.

ඉදිරි මැතිවරණ සඳහා ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් සූදානම් වෙයි. ඒවා ජය ගැනීම ඔවුන්ගේ සැලසුමයි. දැන් දින කිහිපයකට පෙර, තෝරා ගත් රජයේ සේවක පිරිසකට මෝටර් සයිකල් ලක්ෂයක් ඉතා අඩු මිළකට බෙදා දීමේ උත්සවයක් පැවැත්වුණි. එක මෝටර් සයිකලයක් සඳහා ඔවුන්ට ගෙවීමට ඇත්තේ, පවතින වෙළඳ පොළ මිළෙන් හතරෙන් පංගුවකටත් අඩු මුදලකි. මේවා ලැබීමට සුදුස්සන් වුණේ, ‘පොදු මිනිසාගේ’ සේවයට සිටින, මෑතක පිහිටුවන ලද ‘දිවි නැගුම’ දෙපාර්තමේන්තුවේ සේවකයන් සහ ග‍්‍රාම සේවා නිලධාරීන් ය. මීට පෙර සිටි කිසි රජයක් එතරම් සහනදායි මිළකට නිකං බයිසිකලයක්වත් රජයේ සේවකයන්ට දුන්නේ නැත.

මීට දෙසතියකට පෙර, ආණ්ඩුව සමෘද්ධි බැංකු ජාලය හරහා ‘ණය’ යෝජනා ක‍්‍රමයක් ද දියත් කෙළේය. සමෘද්ධි බැංකුවේ ගිණුමක් ඇති ඕනෑම කෙනෙකුට, ඕනෑම අවසරයක් යටතේ, රුපියල් 50,000 ක ණයක් මේ යෝජනා ක‍්‍රමයෙන් ලබාගත හැකිය. එම ණය ආපසු ගෙවීම පටන් ගැනීමට අවුරුද්දක සහන කාලයක් ලැබේ. එතැන් පටන්, ණය ආපසු ගෙවිය යුත්තේ සියයට 4 ක් වැනි ඉතා අඩු පොළියක් සහිතවයි. මේ ණය කිසි දවසක ගෙවීමට සිදු නොවන දෙයක් බවට කටකතා ද එමටයි. මෙවැනි ණය යෝජනා ක‍්‍රමයක් නිසා, රටේ තිබෙන සියලූ සමෘද්ධි බැංකු බංකොලොත් විය හැකි බවට, මේ අතර සමෘද්ධි බැංකු සේවකයෝ මැසිවිල් නගති.

විදුලි ගාස්තු සහ පෙට‍්‍රල් මිල අඩු කිරීමත්, 2015 මුල් මාස තුන ඇතුළත පැවැත්වීමට නියමිත මැතිවරණයක් සඳහා වන පෙර-සූදානමක් බව පැහැදිළි ය. ඊළඟ අයවැයෙන් ‘පොදු මිනිසාට’ තවත් සහන ආණ්ඩුවෙන් පිරිනැමුණොත් පුදුම විය යුතු නැත. රජයේ සේවකයන්ගේ සහ විශ‍්‍රාමිකයන්ගේ සෑහෙන පඩි වැඩි වීමක් සමග වෙනත් සමාජ කොටස්වලට සහන මල්ලක් ඊළඟ අයවැයෙන් ලබා දෙන්නට පුලූවන. රටේ ආර්ථිකයට අත්විය හැකි මොන අනතුරක් තිබුණත්, ඊළඟ මැතිවරණය ජය ගැනීම සඳහා තමන්ට කළ හැකි සෑම දෙයක්ම කිරීමට ආණ්ඩුව සූදානම් වන බවකි පෙනෙන්ට ඇත්තේ.

ඌව පළාත් සභා ඡන්දය හරහා බලගැන්වුණු ආණ්ඩු-විරෝධී බලවේග මෙල්ල කිරීම සඳහා ඡන්දයෙන් පසු ආණ්ඩුවේ මැරයන් ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවල යෙදුණු සැටි අපි දුටුවෙමු. අනාගත මැතිවරණවලින් ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් පැරදුණොත් ඇමතිවරුන්ට, මන්ත‍්‍රීවරුන්ට සහ ඔවුන්ගේ හෙංචයියන්ට අහිමි විය හැකි අනේක දේවල් ගැන සිතා, ආණ්ඩු පාක්ෂික මැරයන්, ආණ්ඩුවේ ලොකු තැන්වල ද සහයෝගය ඇතිව, පෙර නොවූ විරූ ආකාරයේ ප‍්‍රචණ්ඩත්වයක් හරහා විපක්ෂයේ ධෛර්ය බිඳ හෙලීමට අනාගත මැතිවරණයකදී කටයුතු කරනු නිරනුමානයි. එවැනි තත්වයක් යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයකින් ජයගත හැකි වෙයි ද?

ඌවේ ප‍්‍රතිඵලවලින් සමස්ත රටේ චිත‍්‍රය නිරූපණය වෙතැ යි යන්න ගැන මට ඇත්තේ බලවත් සැකයකි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ දී එක්සත් ජාතික පක්ෂය ලැබූ සාර්ථකත්වය මොනරාගලදී නොලැබූ බව අප අමතක නොකළ යුතුය. එසේම, මහින්ද රාජපක්ෂ පාලනය යටතේ කිසි පළාත් සභාවක් ජය ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී නැති බව ද සිහියේ තබාගත යුතුය. බිම් මට්ටමේ සංවිධානාත්මක ශක්තියත් ඉතා දුර්වල ය. ඌව මැතිවරණයට පෙරාතුව බදුල්ලේ පැවති මහ රැස්වීම හැරුණු කොට, පසුගිය වසර කිහිපයේ එක්සත් ජාතික පක්ෂය පැවැත්වු කිසි මහජන රැළියකට විශාල ජනතාවක් අද්දවා ගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකි වී නැත. එම පක්ෂය සංවිධානය කොට කොළඹදී පැවැත්වු සෑම විරෝධතා ව්‍යාපාරයක්ම මුළුමණින් අසාර්ථක විය.

පක්ෂයේ ඉහළ ස්ථරයේ යම් එක්සත් භාවයක් ඇතිව තිබුණත්, ජාතික මට්ටමේ මැතිවරණයකින් තනි පක්ෂයක් වශයෙන් ජය ගැනීමට නම් අඩු වශයෙන් තව අවුරුද්දක්වත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය කරනු ඇත. සිරිමාවෝ බණ්ඩාරනායක ආණ්ඩුව පැරදවීමට 1970 දශකයේ දී ජේ. ආර්. ජයවර්ධනට කොපමණ කලක් ගියේ ද යන්න සිහිපත් කර ගැනීම වටී. අඩු වශයෙන් 1977 මහ මැතිවරණයට පෙර අවුරුදු තුනක් තිස්සේවත්, සාර්ථක විරෝධතා ව්‍යාපාර රට පුරා පැවැත්වීමට ජේ. ආර්. ට සහ එම පක්ෂයට හැකි විය. එහිදී එක්සත් ජාතික පක්ෂයට බිම් මට්ටමේ සංවිධාන ශක්තියක් තිබීම පමණක් නොව, සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ වසර ගණනාවක් තිස්සේ රට අත්විඳිමින් සිටි නිරාහාරත්වයත් බලපෑවේය. සතියකට ධාන්‍ය ඇට රාත්තල් අටක් ජේ. ආර්. පොරොන්දු වුණේ ඒ තතු යටතේ ය. ඊට අමතරව, සභාග රජයේ පාර්ශ්වකරුවන් ද, එනම්, ලංකා සමසමාජ පක්ෂය සහ ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද ආණ්ඩුවෙන් වීසි වී තිබුණි.

ඊට වෙනස් තත්වයන් යටතේ, 2001 දෙසැම්බර් මාසයේ ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් වික‍්‍රමසිංහට හැකි විය. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග රට යුද්ධයක පැටලී සිටි අතර, චන්ද්‍රිකා පොරොන්දු වූ සාමය පේන තෙක් මානයක නොවීය. කටුනායක ගුවන් තොටුපොළ එල්.ටී.ටී.ඊ. ප‍්‍රහාරයට ලක්ව තිබුණු අතර, ආර්ථික වර්ධන වේගය සෘණ 1.5 ක් වන තරමට රටේ ආර්ථිකය කඩා වැටී තිබුණි. නිමක් නොපෙනෙන යුද්ධයෙන් හෙම්බත් වී සිටි ජනතාවට සාමය ගෙනෙන්නෙමැ යි රනිල් පොරොන්දු විය. ඒ තතු යටතේ, මැතිවරණයට මත්තෙන් ලංකා කම්කරු කොන්ග‍්‍රසය සහ මුස්ලිම් කොන්ග‍්‍රසය සමග රනිල් සන්ධානයකට පැමිණ තිබීම වඩාත් වැදගත් විය. පක්ෂයක් වශයෙන් අදට වඩා එදා එක්සත් ජාතික පක්ෂය සංවිධානාත්මකව සිටි අතර එක්සත් ජාතික පක්ෂ පැරැන්නන් සියල්ලන්ම පාහේ රනිල් සමග එකට සිටියහ.

1977 සහ 2001 එක්සත් ජාතික පක්ෂය සමග වර්තමාන එක්සත් ජාතික පක්ෂය සන්සන්දනය කරන්නැ යි මම පාඨකයන්ගෙන් ඉල්ලමි. ඒ දවස්වල එක්සත් ජාතික පක්ෂයේ සිටි බොහොමයක් ඇතුන් අද ඉන්නේ ආණ්ඩුවේ ය. ජනාධිපතිවරයාගේ කාලය අවසන් වීමට නියමිත බව ඔවුන්ට හොඳින් ඒත්තු නොයන්නේ නම් මෙම ආණ්ඩුවෙන් කැඞීමට ඔවුන් මැළි වෙනු ඇත.

මහින්ද රාජපක්ෂගේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රියාකලාපය තිබියදීත්, ඔහුගේ ආණ්ඩුව යටතේ අධිකරණයේ ස්වාධීනත්වය බාල්දු වී තිබියදීත්, ඔහුගේ ජනප‍්‍රියත්වය තවමත් බරපතල කඩාවැටීමකට ලක්ව නැති බව කෙනෙකු පිළිගත යුතුය. පවුල්වාදය, දූෂණය, නොමනා පාලනය, උද්ධමනය සහ මාධ්‍ය නිදහසට ඇති බාධාවන් නිසා ඉස්සර තරම් අද ඔහු ජනප‍්‍රිය නැති බව ඇත්ත. රටේ ජනතාවගෙන් අති බහුතරයක් අද ජීවිත ගැටගසා ගන්නේ ඉතා අමාරුවෙනි. පළාත් සභා මැතිවරණයේ දී තමන් එක්සත් ජාතික පක්ෂයට ඡුන්දය පාවිච්චි කරන බවත්, ජනාධිපතිවරණයකදී මහින්ද රාජපක්ෂට ඡුන්දය පාවිච්චි කරන බවත් ඌවේ කෙනෙකු කී බව මගේ මිතුරෙක් මට කීවේය. හේතුව, බෝම්බ බියකින් තොරව ජීවත් වීමට හැකි වීමයි.

ජීවින වියදම අඩු කිරීමට කළ හැකි සෑම දෙයක්ම, එළැඹෙන ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුව කරනු ඇත. රැකියා විරහිත තරුණ පිරිසට මාසික දීමනාවක් පවා දුන්නොත් මම පුදුම නොවෙමි. එම නිසා, ළඟ එන ජනාධිපතිවරණයකදී මහින්දව පරාජය කිරීමට රනිල්ට හැකි වීම, ආශ්චර්යයකින් මිස සිදුවිය හැක්කක් නොවේ. ඉතිං, ආණ්ඩුව පරාජය කොට බලයට ඒමට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය නම් ඒ සඳහා කළ යුත්තේ කුමක් ද?

මගේ විශ්වාසය වන්නේ, ප‍්‍රධාන බලගතු පක්ෂ සියල්ලේම නිර්-ව්‍යාජ සහයෝගය සහිතව, අවුරුද්දක් ඇතුළත අඩු වශයෙන් ප‍්‍රධාන ප‍්‍රශ්න අතලොස්සක් හෝ ආමන්ත‍්‍රණය කළ හැකි නිර්-පාක්ෂික අපේක්ෂකයෙකුට පමණක්, මේ මොහොතේ ජනාධිපතිවරයාව පරාජය කළ හැකි බවයි. එබැවින්, රනිල් වික‍්‍රමසිංහ සහ එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ කළ යුත්තේ, ක‍්‍රියාන්විත සැලැස්මක් සහ වැඩපිළිවෙලක් සහිත පොදු පෙරමුණකට නායකත්වය සපයමින්, ඡන්දදායකයන්ගෙන් බහුතරයක හිත දිනාගත හැකි චන්ද්‍රිකා වැනි අපේක්ෂිකාවක් සටනට ඉදිරිපත් කිරීමයි.

ඒ ‘පොදු ජනාධිපතිවරයා/වරිය’ බලයට පත්වීමෙන් පසු අනුගමනය කළ යුතු වැඩපිළිවෙල තුළට, වෙනත් කරුණුවලට අමතරව, පහත සඳහන් දේවල් ද ඇතුළත් විය යුතු බව මගේ හැඟීමයි:

1. පාර්ලිමේන්තු නියෝජනය සහිත සෑම දේශපාලන පක්ෂයකින්ම සැදුම්ලත් ජාතික ආණ්ඩුවක් අවුරුද්දක කාලයක් සඳහා පිහිටුවා ගැනීම.
2. අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීමෙන් සාමාන්‍ය ජනතාවට වහා සහන සැලසීම.
3. පාර්ලිමේන්තුවට සියලූ බලය පවරන අළුත් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීම.
4. අවුරුද්දකින් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම.
5. අළුත් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා අළුත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම.

එම මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයට වැඩි ආසන සංඛ්‍යාවක් හිමි වීමට හොඳටම ඉඩ ඇති නිසා රනිල් වික‍්‍රමසිංහ මහතාට එවිට අගමැති විය හැකිය.

ඉහත සඳහන් උපාය මාර්ගය පෙරදැරිව හෝ ඊට සමාන උපාය මාර්ගයක් පෙරදැරිව රනිල් වික‍්‍රමසිංහ මහතා කටයුතු කරයි ද, නොඑසේ නම්, එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා වශයෙන් තනියෙන් තරග කොට හරාකිරි ක‍්‍රමයට බඩ කපා ගනී ද යන්න ඉදිරියේ දී බලා ගත හැක්කකි.

පී. බර්ටි රණවීරගේ

*2014 සැප්තැම්බර් 26 වැනි දා ‘කලම්පු ටෙලිග‍්‍රාෆ්’ වෙඞ් අඩවියේ පළවූ Can Ranil Defeat Mahinda? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය
‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි