ප්‍රජාතන්ත්‍රවාදය නමැති අදහස පැලපදියම් කරනු ලැබූ අනෙක් බොහොමයක් රටවල්වලදී මෙන් ශ්‍රී ලංකාවේද නියම දේශපාලනය හසුරවනු ලබන්නේ ප්‍රධාන බලකඳවුරු දෙකක් විසිනි. මින් පළමුවැන්න සෑම විටම ජයග්‍රහණය කරන අතර දෙවැන්න නිසැකයෙන්ම පරාජයට පත් වේ. එම බලකඳවුරු දෙක මොනවාද?

පළමුවැන්න නම්, මුලාව දේශපාලන මෙවලවමක් ලෙස භාවිතා කරන කණ්ඩායමයි. දෙවැන්න, ඍනාත්මක විවේචනය තම දේශපාලන මෙවලම ලෙස භාවිතා කරන කණ්ඩායමයි.

නමුත් මේ කිසිඳු කණ්ඩායමකින් රටක ස්ථීර පැවැත්ම සහ එම රටේ ගරුත්වය රැක ගැනීම සඳහා කිසිඳු සුගතියක් අත් නොවන බව වඩාත් නිවැරදිව අවබෝධ කරගත යුත්තේය. රටකට සුගතියක් අත්වන්නේ එම රට සතු ආයතන පද්ධතියේ ස්වාධීන හැසිරීම සහ පිටකොන්දක් ඇතිව අසාධාරණයට එරෙහිව නැගිට සටන් කිරීමට හැකි ශක්තිය මතය. එම කොඳු නාරටිය ලංකාවේ කඩා බිඳ දමා බොහෝ කල් ගත වී ඇත.

රාජපක්ෂ මෙය ඉතා හොඳින් දන්නා අයෙකි. ඔහු කොටි සංවිධානය මුලාවේ හෙලුවා පමණක් නොව අවසානයේදී මුළු රටම ක්‍රමිකව මුලාවේ හෙලීමට සමත් විය. එමඟින් ඔහු සෑම විටම ජයග්‍රහණය කිරීමටද සමත් විය. මන්ද තම මුලාව පැලපදියම් කොට සාමාන්‍ය ජනතාවගෙන් තම අවශ්‍යතාවය ඉටුකරගැනීමට හෙතම සමත්ය.

මෙම දේශපාලන මුලාව වූ කලී බුද්ධිමය අත්හදාබැලීමක් මිස වඩාත් රළු බාසාවෙන් කිවහොත් තමන්ගේ පෞද්ගලික ආසාවන් සමඟ හතවරම් ගැසීමක් නොවේ. රාජපක්ෂ මෙයද දන්නේය. රාජපක්ෂ තමන් මුලාවේ නොවැටී තමන් සමඟ සිටින සගයා, අසල්වැසියා මෙන්ම අනෙක් සියලුම පුරවැසියන් මුලාවේ හෙලන හැටි දන්නේය.

නමුත් එක්සත් ජාතික පක්ෂය මෙය වැරදි පැත්තෙන් අල්ලාගෙන ස්වයං මුලාවේ යෙදෙමින් රටට ලැබෙන සියලුම දේශපාලන අවස්ථාවන් කාබාසිනියා කරනු ලබයි.

මේ නිසා ප්‍රජාතන්ත්‍රවාදය නමැති මොට්ටක්කිලි ලඳ සමඟ තමාට රිසි පරිදි යහන්ගත වීමට රාජපක්ෂට අවශ්‍ය අවකාශය සහ සියලුම ආම්පන්න කිසිඳු අතවරයකින් තොරව ලබා ගැනීමට හැකි විය.

පසුගිය 12 වසරකට ආසන්න කාලයක් පුරා සිදු වූ සෙල්ලම මෙයයි.

ඌව පළාත් සභාවේදී, රාජපක්ෂගේ ප්‍රධාන මැතිවරණ උපායන් රැසක් තම ග්‍රහණයට හසුකර ගැනීමට එක්සත් ජාතික පක්ෂය සමත් වූ බව සැබෑය. නමුත් එය ජාතික මට්ටමට ගෙන ඒමට එකී පක්ෂයට හැකියාව මෙන්ම උවමනාව තිබේදැයි කීමට තරම් සැලකිය යුතු මට්ටමේ විනයානුකූල සංවර්ධනයක් එම පක්ෂය තුළ නැත.

මේ වනවිට රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරය සඳහා තරග කිරීමට අවශ්‍ය අඩිතාලම සකස් කරන කණා මුට්ටි බිඳීම හා සමාන මට්ටමේ කරන දේශපාලන සෙල්ලම හැරෙන්නට, රට තුළ රාජපක්ෂ පරාජය කිරීමට හැකි බලවේගයක් නිර්මාණය වීමේ කිසිඳු සලකුණක් නැත.

රටේ අවශ්‍යතාවය, කිහිප දෙනෙකුගේ පෞද්ගලික කුහකකම් විසින් වසා දමා ඇත. මේ නිසා සාමාන්‍ය ජනතාව හව් හරණක් නැති ජාතියක් බවට පත් වී ඇත.

නමුත් එය රාජපක්ෂගේම යම් කිසි අත්වැරැද්දක් නිසා ප්‍රධූර්භුත වේ යැයි දන්නේ නැත. බොහෝදුරට, ඔහුගේ ගෝලයන් අනෙකාගේ කන් පැලීම් ඔස්සේ එවැනි තත්වයන් නිර්මාණය විය හැකි නමුදු එයද විපක්ෂට නිවැරදිව භාවිත කිරීමට හැකි උපායක් තිබේ යැයි සිතීම අසීරුය.

මෙම කාරනා හමුවේ මීළඟ වසරේ මුල් කාර්තුවේදී සමස්ථ ලංකාව යළිත්, මං මුලා වීමට නියමිතය. එම මංමුලාව පෙර වසරවලට වඩා නීරස, භයානක මෙන්ම දරුණු අත් දැකීමක් වනු ඇත. රාජපක්ෂ තම තුන්වැනි වාරය සඳහා යොමු වී සිටින්නේ එය වඩාත් හොඳින් දැනගෙනය.

මේ නිසා මෙරට ඉතිහාසයේ පළමු වතාවට, අපකීර්තිමත් දේශපාලන අවභාවිතය තනි පුද්ගලයෙකු සහ ඔහුගේ වරිගය විසින් තෙවැනි වතාවටත් භාවිතා කරමින් රටේ ස්වරීභාවය, පෞද්ගලික අවශ්‍යතාවයන් සහ ආසාවන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔවුන්ගේ හකු කුහරවලම විකී(හැපී), නිසි කලදී පහවනු ඇත. පහ කරනු ලැබු ඒවායේ දුර්ගන්දය ඉවසීමට නොහැකිනම් නැවැත්විය යුත්තේ පෙර මුඛය මිස අධෝ මුඛය නොවන බව සිහියේ තබා ගැනීම වටින්නේය.

සිහියේ තබා ගැනීම සහ සිහි නුවණින් වැඩකිරීම වූ කලී මෙය සමග සෙල්ලම් කරණ සහ ඊට බලෙන් හෝ නිරායාසයෙන් යොමු වී හෝ පත් වී සිටින අයවලුන්ගේ වගකීම වන්නේය.

නිලන්ත ඉලංගමුව | Nilantha Ilangamuwa