Image Credit:dailynews.lk
(ඊයේ) ඩේලි මිරර් පත්තරයේ එක ළග පළ වී තිබූ පුවත් දෙකක් මෙසේයි.

‘‘මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා ඊළග මහ මැතිවරණයකදී අනිවාර්යයෙන්ම තරග කරනු ඇත”

‘‘ශ්‍රී ලංකාවේ නම සිංහලේ කියා වෙනස් කළ යුතු බවත්, රටේ පාලන ක්‍රමය වෙනස් කර, නායකත්වයට අනුශාසනා කරන සංඝරාජ පදවියක් ස්ථාපිත කළ යුතු බවත් බොදු බල සේනා සංවිධානය කියයි.‘‘

කොයිතරම් කාඩල මැරයෙකු වුවත්, ඊළග වසරේදී මාලක සිල්වා ඉල්ලන දිස්ත්‍රික්කයකින් වැඩිම මනාප ලැබ මහජන මන්ත්‍රීවරයෙකු ලෙස අභිශේක ලබනු ඇත. ඒ අපේ රටේ හැටිය. ඇත්තම තත්ත්වය නම් පාර්ලිමේන්තුවට ජනතා ඡන්දයෙන් තේරී පත් වී සිටින කෙරුම්කරුවන්ගේ හැටියට මාලක සිල්වා එතරම් නරක නැත යන්නයි. බුරුමයේ විරතු හාමුදුරුවන් සමග එක්වී අන්තවාදයෙන් තොර ආසියානු කලාපයක් බිහි කරන්නට වීර්යය කරන බොදු බල සේනාවල සිංහල රටේ ජීවත් වෙන, සිංහල බෞද්ධ නොවන අනෙකුත් සියලුම නොසන්ඩාල ජාතීන් එක රොත්තට ගාල් කර ගිනි තියන්නට කදවුරු ඉදිකළ යුතුයැයි වදාළොත් හෝ ඒ කදවුරුවලට මුල්ගල තියන්නට ජනාධිපති හෝ ආරක්ෂක ලේකම්වරයා හෝ සහභාගි වූවොත් හෝ ‘අපොයි‘ කියා පුදුම වෙන්නට දෙයක් නැත. ඒ අද අපේ රට ගමන් කරමින් සිටින දිසාවයි.

දැනටමත් උසුලා ගත නොහැකි වේගයකින් සහ ධාරිතාවකින් විනාශය කරා ගමන් කරමින් සිටින අපේ රට මේ මගෙහිම ගියහොත් තව වසර කිහිපයකින් සිහි කල්පනාව ඇති කිසිදු මිනිසෙකුට ජීවත් වීමට නොහැකි, ගොර බිරම් භූමියක් බවට පත් වෙනු නැතැයි කිය නොහැකිය. සමාජයක් හැටියට ගොළු බිහිරන්ව අප තවත් නිහඩව බලා සිටියහොත් ශ්‍රී ලංකාව නුදුරේම ම්ලේච්ඡ ගෝත්‍රික සමාජයක් හැටියට ලෝකයා විසින් හංවඩු ගැහෙනු ඇත. (දැනටමත් එය සිදු වී ඇත) වත්මන් පාලනය තුළ රට හැම අතින්ම, හැම ආකාරයකින්ම කාබාසිනියා කෙරෙමින් පවතියි. පොදු ජනතාවගේ උරුමයක් වන රටේ සම්පත් කෝටි ප්‍රෙකෝටි ගණනින් පාලක පැලැන්තියේ කිහිපදෙනෙකු විසින් ගසා කනු ලැබෙයි. පසුගිය වසර කීපය තුළ මෙය කෙතරම් වේගයකින් සිදු වී ඇත්තේද යත්, තවත් ගසා කරන්නට දෙයක් ඉතුරු වී ඇත් ද යන්න ද සැක සහිතය. ලෝකයේම උරුමයක් වන රක්ෂිත වනාන්තර, හෙක්ටෙයාර ගණන්, කප කපා හෙළි කෙරෙයි. රටේ භූමිය අක්කර පිටින් විදේශීය සමාගම්වලට බදු දී කොමිස් කුට්ටි විදේශ ගිණුම්වලට බැර කෙරෙයි. පාලක පවුලට ගෑවුණු කෙනෙකුට හෝ එරෙහිව සාධාරණ නඩු තීන්දුවක් දිය හැකි අධිකරණයක් නැත. රටේ නීතීය අමු අමුවේ උල්ලංඝණය කරන මැති ඇමතිවරු මතු නොව ඔවුන්ගේ සහායකයන්ගේ රියදුරන්ට එරෙහිවවත්, දඩ කොලයක් ලියන්නට තරම් දෙයක් කරන්නටවත් පොලීසියට බැරිය. පාලකයන්ගේ දූ පුතුන්ගේ අවශ්‍යතා සහ ආසාවල්වල හැටියට රටේ අණ පනත් සංශෝධනය කෙරයි. හිටි හැටියේ ගැසට් නිවේදන නිකුත් කෙරෙයි. මේ සියලු දුර්දාන්ත ක්‍රියා පසුබිමේ කෙරෙද්දී, ගලගොඩ අත්තේ ඥානසාර වැනි හාමුදුරු අයියලා යොදවා සිංහල බෞද්ධ කුලප්පුවක් ඇති කර ජනතාවගේ ඇස්වලට වැලි ගසා තවත් වසර ගණනාවක් බලය අත නෑර සිටින්නට කූට ක්‍රෙමා්පායන් සැලසුම් කෙරෙයි.

මහත් පුදුමය වන්නේ අස්ගිරි මල්වතු මහා නාහිමිවරුන්ගේ සිට, විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්, ආචාර්ය මහාචාර්යවරුන්, නළු නිළියන්, ජනමාධ්‍යවේදීන්, නීතිඥයින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් අැතුලු ප්‍රධාන පෙළේ පුරවැසියන්ගෙන් බහුතරය මේ පාලනය අනුමත කරමින්, එය තව තවත් ශක්තිමත් කරන්නට දායක වීමය. ඉදිරියේදී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ‍ෙහාත්, මහින්ද රාජපක්ෂගේ තවත් පාලනයක් වෙනුවෙන් මේ පිරිස ජනතාව නොමග යවන්නට කළ හැකි හැම මවාපෑමක්ම කරන්නට කැමරා සහ පත්තර ඉදිරියට එන්නට පොරකනු ඇත.

මේ අය වර්තමාන දුර්දාන්ත පාලනයට සහාය දෙන්නේ තමන්ට ලැබෙන අසීමිත වාසි කතා බව කියන්නට දෙයක් නැත. එනමුත්, මේ කෙරෙන අපරාධවලට තව තවත් මුක්කු ගැසුවහොත්, තමන්ගේ ඊළග පරම්පරාවකට ජීවත් වන්නට, හුස්ම ගන්නට රටක් කියා දෙයක් ඉතුරු වන්නේ නැති බව මේ අයට නොතේරෙන්නේ යැයි විශ්වාස කළ නොහැකියි. නීතියක් නැති, අධිකරණයක් නැති, පොලීසියක් නැති, මැරකම රජකරන, මිනීමරුවන්, දූෂිතයන් සහ මැරයන් අරක්ගත් පාර්ලිමේන්තුවක් සහිත අන්තවාදී ආඥාදායක පාලනයක් තුළ ජීවත් වෙන්නට මේ අය සූදානම්ද? ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය වැනි අන්තවාදය රජකරන, මානව නිදහස මුළුමනින්ම අහිමි කර දමනු ලැබූ, දෘඪ ආගමික සහ සංස්කෘතික නීති රීති සහිත රටක් බවට පත්වීමේ බර මේ අයට උහුලා ගත හැකිද?

කොටින්ම, තමන්ගේ දූ දරුවන් එවැනි අවාසනාවන්ත රටක ජීවත් වෙනවා දකින්නට වත්මන් පාලක පැලැන්තියට ආවඩන කලාකරුවන්, උගතුන්, වෘත්තිකයන් කීයටවත් කැමති වන්නේද? සරල සත්‍යය නම්, අද මේ දූෂිත ක්‍රමයෙන් හැකි තරම් ලාභ ප්‍රෙයා්ජන උපයාගෙන, ඉහළ තනතුරු වල වැජඹෙමින් සැපෙන් සුවෙන් සිටින උගත් බුද්ධිමත් සහ ජනතා හිතකාමී කලාකරුවන් යැයි කියන අයගෙන් බහුතරය රාජපක්ෂ පාලනය යටතේ රටට තව වසර කීපයකින් අත්වෙන ඉරණම ඉතා හෙිදින් දන්නා බවයි. ඔවුන් කිසිදාක තමන්ගේ ආදරණීය දූ දරුවන් එවැනි අවාසානාවන්ත රටක ජීවත් කරවන්නේ නැත. කොමිස්, මහා පඩි නඩි, පාවා දීම් වෙනුවෙන් ලැබෙන තෑගි බෝග ආදියෙන් යහමින් හරි හම්බ කරගෙන ඇති බැවින් ඔවුන්ට තම දරුවන්ව ලෝකයේ දියුණුල ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පවතින සාමකාමී රටවල පදිංචියට යවන එක සුළු දෙයකි.

ඇත්තම තත්ත්වය නම් දැනටමත් ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ දරුවන් පිට රටවල අධ්‍යාපනය සදහා හෝ පදිංචියට හෝ ගොස් ඇතිය යන්නයි. අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී, අතිශය දූෂිත, බොදු බල සේනා වැනි ගෝත්‍රික ලක්ෂණ සහිත දරණු අන්තවාදී සංවිධාන පෝෂණය කරමින් ජාතිවාදයෙන් සහ ආගම්වාදයෙන් රට ගිනි අවුලු වන පාලකයන්ට හෝයියා කියන මේ පිරිස, කල්තියාම තමන්ගේ දරුවන්ට ලෝකයේ කොහේ හෝ මානව ගරුත්වය සුරකින බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටක අනාගතය සුරක්ෂිත කර ඇත. එනිසා මේ ගැත්තන් රොත්තට රාජපක්ෂ පවුල විසින් අන්තිම බිංදුව දක්වාම හිතේ හැටියට සූප්පු කරනු ලැබීමෙන් පසුව තව වසර කිහිපයකින් ඉතුරු වෙන ශ්‍රී ලංකා හපය ගැන විස්සෝප වන්නට හේතුවක් නැත.

නමුත් රටේ සාමාන්‍ය පුරවැසියාගේ ඉරණම මීට හාත්පසින්ම වෙනස්ය. ඔවුන්ටත්, ඔවුන්ගේ අහිංසක දරුවන්ටත් ඇත්තේ මේ රට පමණය. ඔවුන් තමන්ගේ රට පාලකයන්ගේ බූදලයක් කර ගන්නට ඉඩ දී, සිංහල බෞද්ධල මුස්ලිම් විරෝධී, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, බටහිර බලවේග, කොටි ත්‍රස්තවාදී අවතාර, මත්තල එයා පෝට්, හම්බන්තොට හාබර්, කොමන් වෙල්ත් සමිට්, ටෙස්ට් මැච්, හයි වේ, ආදී කල් යල් බලා අතහරින හැම ඇමක්ම ගිලිමින් තමන්ගේ දුවා දරුවන්ගේත්, ඉදිරි පරම්පරා ගණනාවකගේත් අනාගතය ඝනාන්දකාරයේ ගිලී යන්නට අතහැර උකටලීව සිටිති. දැන්වත් හිස ඔසවා සිදු වෙන්නේ කුමක්දැයි ඇස් ඇර බලා මේ ව්‍යසනයෙන් ගැලවෙන්නට ඕනෑ නේදැයි සිහිකල්පනාවකට නොගත්තොත් ඉන්දියන් සාගරයේ මුතු ඇටය තියා, රටක් යැයි කිය හැකි මොනම දෙයක්වත් ඔවුන්ගේ දරුවන්ට ඉතුරු නොවෙනු ඇත.

හෙට මේ රට කුමක් වෙනු ඇතිදැයි යන්න තීරණාත්මක වන්නේ, අනර්කලී ආකර්ෂාට නැතිනම් සනත් ජයසූරිය හෝ ජැක්සන් ඇන්තනී හෝ, භාතිය, ඉරාජ් වැන්නන්ට නොව, සොච්චමක් ලැබෙන රස්සාවක් කරගෙන දරුවන්ට කවා පොවා උගන්වා හරි වැරැද්ද මනුස්සකම කියා දී ලොකු මහත් කරන්නට වෙර වෑයං කරන, සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියාටය. මහා රැවටිල්ලට අසුවී, දිගින් දිගටම රුදුරු අගාධය දෙසටම බඩගාන්නේද, නැතිනම් සිහි එලවාගෙන දැන්වත් තමන්ට කරන්නට ඉතුරු වී ඇත්තේ කුමක්දැයි විමසා බලන්නේද යන්න ඔවුන් වහා තීරණය කළ යුතුය.

Nadeeනදී කම්මැල්ලවීර | Nadie Kammallaweera