සිංහල, Colombo, Democracy, Media, Peace and reconciliation

වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදීයා ලෙස මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනාගම් සම්මාන ලබයි

ජාතීන් අතර සංහිදියාව නැති කිරීම සඳහා තම මාධ්‍යය යොදාගත්තේ යයි චෝදනා කරමින් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ බරපතල වැඩ සහිතව විසි අවුරුදු සිර දඬුවමක් නියම කළ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා මාධ්‍යවේදීන් උදෙසා පවත්වන ලෝකයේ සුවිශේෂි සම්මාන උළෙලක් වන බ්‍රිතාන්‍ය පුවතපත් සම්මාන උළෙලේ වසරේ විශිෂ්ඨතම විදේශ මාධ්‍යවේදියාට හිමි සම්මානයෙන් පිදුම් ලැබුවා. සම්මාන උළෙල පසුගිය 23 වන දා ලන්ඩනයේ දී පවත්වනු ලැබුවා.
සම්මානය ප්‍රධානය කරමින් බ්‍රිතාන්‍ය පුවත්පත් සම්මාන උළෙලේ විනිසුරු මඩුල්ලේ සභාපති බොබ් ස්ච්වෙල් මහතා ප්‍රකාශ කලේ ‛‛ අප ලංකාවේ මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල මාධ්‍යයේ තත්ත්වය පිළිබඳව නිරතුරුවම අවධානයෙන් සිටිනවා. මෙවැනි සම්මාන පිරිනැමීම මඟින් අප බලාපොරොත්තුවන්නේ මාධ්‍යයට හා මාධ්‍යවේදින්ට සිදුවන හිරිහැර කිරීම් හා විෂමකොට සැලිකීම් පිළිබඳව ඒ ඒ රටවල රජයන්ට බලපෑම් කිරීමයි’’ යනුවෙනි.
මීට පෙර පසුගිය වසරේදී ඇමෙරිකානු ජනාධිපති බැරක් ඔබාමා මහතා ප්‍රකාශ කළේ ජේ.එස්.තිස්සනායගම් මහතා සිය මාධ්‍ය භාවිතාව වෙනුවෙන් සිරගත වූ මාධ්‍යවේදීන් පිළිබඳ උදාහරණයක් බවයි. මීට අමතරව ඔහු වෙත පසුගිය සැප්තැම්බර් මාසයේ දී දේශසීමා නොමැති මාධ්‍යවේදින්ගේ සංවිධානය මඟින් ‛‛ධෛර්යසම්පන්න හා අචාරධාර්මික මාධ්‍යවේදියා’’ සම්මානය පිරිනමනු ලැබුවා.