රූපවාහිනී විවාදයකට සහභාගී වීමේදී ඇති වූ සිද්ධියක් හේතුවෙන් තමාව ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැ යි, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක, ඔක්තෝබර් 19 වැනි දා බී.බී.සී. සිංහල සේවයට කියා සිටියේය. මේ කියන ඝාතන සැලැස්ම පිළිබඳ තමන්ට ලැබී ඇති තොරතුරු ඔහු එහි දී පෙන්වා දුනි. මේ චෝදනාවට ප‍්‍රතිචාර දක්වන, සමූපකාර සහ අභ්‍යන්තර වෙළඳ කටයුතු පිළිබඳ ඇමති ජොන්ස්ටන් ප‍්‍රනාන්දු, මේ ආරාවුලට මුල, රන්ජන් රාමනායක විසින් අදාළ රූපවාහීනී විවාදයේ දී ජනාධිපතිවරයා ඒකාධිපතියෙකු යැයි කීම බව පෙන්වා දෙයි. කෙසේ වෙතත්, රාමනායකව ඝාතනය කිරීමේ සැලසුමක් ඇති බවට කෙරෙන චෝදනාව ඔහු ප‍්‍රතික්ෂේප කරයි.

මෙහි දී මතුවන වැදගත් ප‍්‍රශ්නය වන්නේ, ජනාධිපතිවරයා ඒකාධිපති පාලකයෙකු යැයි කෙනෙකු සිතීම සහ එම අදහස ප‍්‍රකාශයට පත්කිරීම සාපරාධී වරදක් වන්නේද යන්නයි. ජොන්ස්ටන් ඇමතිවරයාගේ අදහස් දැක්වීම පරිදි, එවැනි මතයක් කෙනෙකු ප‍්‍රකාශ කිරීම සහමුලින්ම වැරැද්දකි. ඒ අතරේම, එසේ අදහස් ප‍්‍රකාශ කරන්නෙකුට විරුද්ධව සාහසිකව ප‍්‍රතික‍්‍රියා දැක්වීම වරදක් නොවන්නේය.

එසේ වතුදු, එම අදහසම දරණ සහ දැනට ලංකාවේ ක‍්‍රියාත්මක වෙමින් තිබෙන එම අධිකාරීවාදී පාලන ක‍්‍රමයට ප‍්‍රසිද්ධියේ විරෝධය පළ කරමින්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් ලංකාවේ යළි ස්ථාපිත කර ගැනීම සඳහා කෙනෙකුට කළ හැකි සෑම දෙයක්ම කළ යුතු බව කියන තවත් බොහෝ දෙනා සිටිති. එවැනි අදහසක් ඉතා මෑතකදීම පළ වුණේ, ජාතික හෙළ උරුමය පක්ෂ සම්මන්ත‍්‍රණයකදී ය. හෙළ උරුමය ආණ්ඩුවේම පාර්ශ්වකාර පක්ෂයකි. මේ සම්මන්ත‍්‍රණයට, ශ‍්‍රී ලංකාවේ දේශපාලන වර්ණාවලිය තුළ විවිධ මතවාද නියෝජනය කරන විශාල පිරිසක් සහභාගී වූහ. ඊට සහභාගී වූ සියල්ලන්ම දැරූ එක මතයක් තිබුණි. එනම්, වර්තමාන විධායක ජනාධිපති ක‍්‍රමය ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කොට ඇති බවත්, එම ක‍්‍රමය තවදුරටත් පවත්වාගෙන යන්නේ, එහි බලය හොබවන තනි පුද්ගලයෙකුගේ ප‍්‍රයෝජනය සඳහා පමණක්ම බවත් ය.

පවතින ව්‍යවස්ථාමය රාමුව වෙනස් කළ යුතු බව යෝජනා කෙරෙන සංශෝධන කෙටුම්පතක් එහි දී ඔවුහූ ඉදිරිපත් කළහ. වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සෑම ප‍්‍රධාන ලක්ෂණයක්ම, ඒ සංශෝධන හරහා බරපතල වෙනසකට භාජනය කළ යුතුව ඇති බව එම කෙටුම්පතේ සඳහන් වෙයි.

පුදුමය වන්නේ, පවතින විධායක ජනාධිපති ව්‍යවස්ථාව විවෘතව හෙළා දැකීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ පවා එකඟව සිටීමයි. ‘‘වෙන කවරෙකුටත් වඩා මේ ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීමට තමා එකඟ බව’’ මෑතකදී ඔහු ප‍්‍රකාශ කොට තිබේ. එහෙත් ඔහු එසේ කරන්නේ, වෙනම රාජ්‍යයක් ඉල්ලා සිටින පිරිස් එම ඉල්ලීම අතහරින්නේ නම් පමණක් බව එහිදී ඔහු කීය. ඉතිං, පවතින ව්‍යවස්ථාව ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අනුගත නැති බව, ජනාධිපතිවරයාමත් පිළිගන්නා කාරණයකි. මෙය අළුත් දෙයක් නොවේ.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණිය 1994 දී එම ව්‍යවස්ථාව අවලංගු කරන බවට පොරොන්දු වූවාය. එම පොරොන්දුව යළිත් වරක් මහින්ද රාජපක්ෂ 2005 දී තහවුරු කොට කියා සිටියේය. එසේම, රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ව්‍යුහයට මේ ව්‍යවස්ථාව මගින් සිදුකොට ඇති විනාශය පාලනය කිරීම සඳහා 2001 දී පාර්ලිමේන්තුව 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගත්තාය. ඒ, ඒකච්ඡන්දයට ආසන්න ඒකමතිකත්වයකිනි.

කෙසේ වෙතත්, මෙහි දී සඳහන් කළ යුතු වැදගත් කාරණය වන්නේ, ජනාධිපතිවරයාට ඒකාධිපතියෙකු යැයි කීම හරි ද වැරදි ද යන්න නොව, එම අදහස දැරීමට සහ නිදහසේ ප‍්‍රකාශ කිරීමට ඕනෑම පුද්ගලයෙකුට ඇති අයිතිය ආරක්ෂා කිරීම පිළිබඳ කාරණයයි. විපක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක කර ඇත්තේ එම අයිතිය පාවිච්චි කිරීම පමණි. එම මන්ත‍්‍රීවරයා කියන පරිදි, ඔහු එම විවාදයේ දී එවැන්නක් කීම, දැන් ඔහු කියන ඝාතන සැලසුමට හේතු පාදක වී ඇත.

මෙවැනි සිදුවීම් හටගන්නේ ළඟ එන ජාතික තලයේ මැතිවරණයක් මුවවිට තබාගෙන බවත් මෙහි දී සඳහන් කිරීම වටී. පවත්වන්ට යන එම මැතිවරණයේ ස්වභාවය මේ යැයි කල් තියා අපට අඟවන පෙරනිමිත්තක් විය නොහැකිද මේ සිදුවීම? මේ ඒකාධිපති පාලන ක‍්‍රමය අහෝසි කරන ලෙසටත්, ඒ වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යවස්ථාවක් සංස්ථාපිත කරගන්නා ලෙසටත් තනි හඬකින් ඉල්ලා ඉදිරි මැතිවරණයට මුහුණදෙන පිරිස්වලටත් මෙවැනිම කෝපයකින් සහ ආක‍්‍රමණශීලීත්වයකින් සංග‍්‍රහ කරාවිද?

මැතිවරණ යනු අදහස් ප‍්‍රකාශයට පත්කිරීම් ය. එවැනි අදහස් දෙකක් හෝ ඊට වැඩි ගණනක් ගැන සළකා බැලීම සඳහා මහජනයා වෙත ඉදිරිපත් කෙරේ. එසේ සළකා බැලීම සඳහා සාමකාමී පරිසරයක් තිබිය යුතුය. තමන්ගේ අදහස් උදහස් බියකින් තොරව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇති පරිසරයක් තිබිය යුතුය. එවැනි සාමකාමී පරිසරයක් නැති, බියකින් තොරව එසේ අදහස් ප‍්‍රකාශ කිරීමේ වාතාවරණයක් නැති මැතිවරණයක්, නිදහස් සහ සාධාරණ එකක් විය නොහැකිය.

නිදහස් හා සාධාරණ මැතිවරණයක දී තීරණය කිරීමට ජනතාව ඉදිරියේ ඇති ප‍්‍රශ්නය වන්නේ, ජනාධිපතිවරයා සහ පවතින පාලන ක‍්‍රමය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලන ක‍්‍රමයක් වෙනුවෙන් ප‍්‍රතික්ෂේප කළ යුතුද, නැත්නම් මේ ක‍්‍රමය එසේම පවත්වා ගත යුතුද යන්නයි. ප‍්‍රචණ්ඩකාරී නොවී එම කාරණය ගැන ප‍්‍රශ්න කිරීමට, සාකච්ඡා කිරීමට සහ තීරණ ගැනීමට හැකියාවක් නැත්නම්, මැතිවරණ ගැන කතා කිරීම විහිළුවකි. එය, ශ‍්‍රී ලාංකීය ජීවිතයේ බොහෝ අංශවල දැනටමත් දක්නට ලැබෙන අවාසනාවන්ත තත්වයට සමාන තත්වයකි.

බැසිල් ප‍්‍රනාන්දු

*2014 ඔක්තෝබර් 21 වැනි දා ‘කලම්බු ටෙලිග‍්‍රාෆ්’ වෙබ් අඩවියේ පළවූ Is It A Crime To Call The President An Ekadhipathiya? නැමැති ලිපියේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග‍්‍රහයෙනි